සතුරන් මට්ටු කරන කළු කම්බිලි අප්පච්චි
පෙර කල ලක්දිව විසූ ‘චේතිය’ නම් බලවත් යකින්නට අනුරාධපුර රාජධානියේ ආරම්භක රජු වූ පණ්ඩුකාභය රජුට දාව දරුවෝ තිදෙනෙක් උපන් බවත් එම දරු තිදෙනා කළු කම්බිලිවරුන් ලෙස නම් වූ බවත් ඉතිහාසයේ සඳහන් වේ. පණ්ඩුකාභය රජුගේ වැඩිමහල් පුතා කළු පාට වූ හෙයින් ‘කළු කම්බිලි’ නම් විය. මඳ කහ පැහැයෙන් යුත් දෙවැන්නා ‘සැඩ කම්බිලි’ විය. රන්වන් පාටින් යුක්ත තුන්වැන්නා ‘රත්න කම්බිලි’ විය. වරෙක මහා යුද ඇති වූ සමයක චේතිය නම් යකින්න වෙළඹකගේ වෙස් ගෙන පණ්ඩුකාභය රජු තම පිට මත තබා ගනිමින් රජුට සහාය වෙමින් යුද බිමට ගියේය. වෙළඹකගේ වෙස්ගත් යකින්නගේ අනුභාවයෙන් සතුරු සේනාවන් සෑම අවස්ථාවකදීම රජුට පරාජය වූයේය. මේ ආකාරයෙන් පණ්ඩුකාභය රජතුමාට යක් බිරියගේත්, යක්ක පුතුන් වූ කළු කම්බිලි තුන් කට්ටුවේත් සහාය සෑම විටකම හිමි වූ බව ඉතිහාසය කතාවේ සඳහන් වේ. තවත් පැරණි ඉතිහාස කතාවක පණ්ඩුකාභය කුමාරයා ආරක්ෂා කළ දාසියයක් මරණයෙන් පසුව යකින්නක්ව යළි ඉපිද රජුගේ ආරක්ෂාව පිණිස රජු වෙත චේතිය නම් යකින්නව පැමිණි බවටද මතයක් ඇත. පණ්ඩුකාභය රාජ්ය සමයේ යක්ෂ ඇදහීම බහුලව තිබුණු බවත්, නගර නිර්මාණය කිරීමේදී අනුරාධපුර නගරයේ දකුණු ෙදාරටුවේ ‘යකින්න’ වෙනුවෙන් දෙවොලක්ද ඉදිකොට පුද සත්කාර කළ බවත් කියැවේ. වර්තමානය වන විට ප්‍රසිද්ධ කළු කම්බිලි දේවාලයකට ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි දෙවොලයි. එහි හාස්කම් බොහෝ තිබෙන බව එහි යන එන ඇත්තන්ගේ අදහසයි. කළු කම්බිලි තුන් කට්ටුව සහෝදරයන් නොවන බවද, එකම යක්‍ෂයා නම් තුනකින් පුදන බවත්, ඔහු කළු කම්බිලි මන්ත්ර පිල්ලියෙන් උපන් බවත්, සෑම කලකම ඝන කළු කම්බිලියක් හිසේ සිට දෙපා දක්වා දරා සිටිනා මළ යකෙකු බැවින් කළු කම්බිලි යක්‍ෂයා යනුවෙන් නම් පටබැඳි බවත් තවත් එක් ජන විශ්වාසයකි. මහනුවර දිස්ත්‍රික්කයේ බොක්කාවල නම් ගමේ මොහු ජීවමානව විශේෂයෙන් කෙම්මුර දිනයන් හිදී ඇඳිරි වැටි සමයේ සැරිසරනා බවටද අතීතයේ සිටම එම ප්‍රදේශවාසීන්ගේ පිළිගැනීමක් ඇත. එමෙන්ම මොහු දකුණේ කසාගල ප්‍රදේශයේ වාසය කළ බවත්, එහි මොහු වෙනුවෙන් දෙවොලක් ඉදිකොට ඇති බවද මොහු කන්දස්වාමි නොහොත් කතරගම දෙවිදුන්ට අන්තේවාසිකව සිට සේවය කරමින් වැඩ විසූ දේශීය යක්‍ෂයකු බවත්, සැඩපලු ගෙතුණු හිසින් යුතු දැඩි කාලවර්ණ පැහැයකින් යුත් අයකු බවට තවත් මතයක් වේ. අයියනායක දෙවියන්ගේ සේවක පිරිවරට රත්න කම්බිලි එකතු වුණු බවත්. මොහුගේ දේවාලය හා ගම් කොටුව ලෝවාකඩ බවද පැවැසේ. එක් කලෙක රත්න කම්බිලි යක්ෂයා තමාගේ වසඟයට ගැනීමට මැතිරූ ඇණයක් ගැසීමට උත්සාහ කිරීමේදී කදුබොඩගම මහා වෙදාගේ කොන්ද කඩා, භාර්යාවගේ සහ දූ දරුවන්ගේ බොටු කඩා මරා දමා ඇති බවට කතා පුවතක් පැරණි ජන සමාජය තුළ ඇත. යකුන් – යකිනියන් ඇදහූ සමහරක් පැරැන්නන් අතිශෝක්තියෙන් බිය මුසු ගෞරවයෙන් මොහුට ‘බලිගල දෙවි’, ‘රත්න කඩවර’ “කළු කම්බිලි” දෙවියන් ලෙස ආමන්ත්රණය කොට ඇත. මෙසේ චේතිය නම් යකින්නගෙන් උපන් මේ සැඩපරුෂ යක්ෂයන් සමහරක් පැරැන්නන් විසින් මොවුන් දෙවියන් ලෙස සමාන කොට ඇදහීම් කටයුතු කළ බවත්, ඒ අනුව අදටත් සමහර පුද්ගලයන් විසින් මේ යක්‍ෂයන්ට ‘කම්බිලි දෙවියන්’, ‘කම්බිලි අප්පච්චි’ යනුවෙන් ගරු නාමයන් ලබාදෙමින් දෙවියන් මෙන් යක්ෂයන් වන්දනාමාන කරනු ලබයි. මේ ආකාරයෙන්ම තවත් පිරිසක් ‘කඩවර’, ‘සූනියම්’ නමැති ශ්‍රී විෂ්ණු, සමන්, කතරගම, ඊශ්වර දෙවියන්ට සේවය කරනා මළ යක්ෂයන්ට ‘දේවතාවුන් වහන්සේ’, ‘මතු බුදු වන අප්පච්චි’ යන මිථ්‍යා අන්වර්ත නාමයන්ගෙන් වැඳුම් පිදුම් කරගෙන යනු ලබයි. කෙසේ කොහොම වෙතත් තමන්ට වැරදි කරන, සතුරුකම් කරනා ඇත්තන්ට දඬුවම් ලබා දීම පිණිස මෙම යක්ෂයන්ගෙන් උදවු උපකාර, ආරක්ෂාව සත්‍යයෙන්ම ලබාගත හැකිය. නමුත් දෙවියන්ට මෙන්, මේ යක්‍ෂයන්ට වැදුම් පිදුම් කොට සෙත, ශාන්තිය, දියුණුව, නිරෝගී බව, යහපත ප්‍රාර්ථනා කිරීම ගඟට කපනා ඉනි මෙන් පල නොමැති දෙයකි. අනෙක් කාරණාව නම් දෙවියන් අදහන අයට මෙන්, දෙවියන්ට වැඳ පින් දී ඉල්ලීමක් කිරීමෙන් මොවුන්ගෙන් උදවු උපකාර ලබා ගත නොහැකිය. ඒ සඳහා මොවුන්ගේ ප්‍රිය පුද පූජාවන් වන රා, අරක්කු, සුරුට්ටු, දිය ගොඩ මස්, පුළුටු, බැදුම් වර්ග සහිත ගොටු පූජා පුද දී ගනුදෙනුවක් ආකාරයෙන් සිදු කරගත යුතු වෙනවා. ඒ වගේම මොවුන්ට පහන් දල්වන ඇත්තන්ද ඉතා ප්‍රවේශම් විය යුතුමය. පෙර විසූ පැරැන්නන් මේවා කළේ නිසි අවබෝධයකිනි. මන්ත්ර ශාස්ත්රය ගැන පවා ඔවුන්ගේ දැනුම ඉහළ ස්ථානයක තිබූ නිසා නිසි ආරක්ෂාවන්ද ඔවුන් මේ ඇදහීම් කටයුතුවලදී භාවිත කොට ඇත. දෙවියන්ට පහන් දල්වනා ඇත්තකුට අතපසු වීමකින් දෙවියන්ගේ පහන දැල්වීමට නොහැකිවී ගියාය කියා හෝ තමන්ගේ අපහසුතාවක් මත දෙවියන්ට තැබූ පහන නවතා දැමුවාය කියා ඔවුනට කිසිදු අතුරු අන්තරාවක් සිදු නොවේ. (නමුත් එසේ කරන්නන්ට දෙවියන්ගේ පිහිට, ආකර්ෂණය නැතිවී යා හැකි බව නම් දත යුතුය) නමුත් දෙවියන්ට මෙන් නොව යක්‍ෂයන්ට පහන් දල්වන, වැදුම් පිදුම් කරනා ඇත්තන්ට යම්කිසි අතපසු වීමක් සිදු වුවහොත්, ඒවාට භයානක ප්‍රතිඵල ලැබීම අනිවාර්ය වේ. මෙවැනි යක්ෂයන්ට පුද පූජාවන් කරනා ස්ථානයන්ට, නිවාසවලට යක්ෂ ආකර්ෂණයන් වැටේ. එහි ප්‍රතිඵලයන් වශයෙන් එම ස්ථානයන්වල ජීවත් වන මනුෂ්‍යයන්ටද ඒවායේ බලපෑම් වශයෙන් දරුණු ගති ලක්ෂණ ඇති වීම, රෝග පීඩා, එකිනෙකා නොරිස්සුම් ඇතුළු බොහෝ අනිටු දේ සිදුවීමට හැකිය. අනෙක් අවාසනාවන්තම සිදු වීම නම් එම ස්ථානයන්ට දේව ආකර්ෂණය, දේව බැල්ම, ශුද්ධ ආත්මයන්ගේ ඇතුළු වීම්, යහපත් විශ්ව ශක්තීන් ඇතුළු වීම් සියල්ල අක්‍රිය වී යයි. මා විසින් කරනා මේ කරුණු පැහැදිලි කිරීම් නිසා කළු කම්බිලි, කඩවර, මහාසෝන, සූනියම් වැනි යක්‍ෂයන් දෙවියන් ලෙස සිතා ගෞරවයෙන් වදුම් පිදුම් කරනා සමහරක් අයගේ සිත් රිදීමක් ඇතිවිය හැකිය. ඒ ගැන මම අවංකව සමාව අයැද සිටිනවා. මා මෙතැනදී කාලි මෑණියන් ගැන කතා නොකළේ කාලි මෑණියන් යනු පූර්ණ යක්‍ෂණියක නොව දේව, මණ්ඩලයේම ඉන්නා මහා දේවතාවියගේ එක් අවතාර ස්වරූපයක් පමණක් වන නිසා. එමෙන්ම එතුමිය මහා දේවතාවිය වන නිසා යක්ෂ ස්වරූපයෙන් සිටින අවස්ථාවේදී පවා දේව ගුණයෙන්ම යුතු අයකු වේ. මාගේ මේ ලිපිය පළ කිරීමේ පරමාර්ථය වන්නේ සත්යය හා නිවැරදි දේ පිළිබඳව සමාජය දැනුවත් කිරීම පමණයි. ඒ වගේම අනවබෝධයෙන් විවිධ ඇදහීම් කටයුතු කරන්නට ගොසින් විනාශ වන හා විනාශ වී යෑමට හැකි සමාජයේ වෙසෙන බොහෝ දෙනාගේ යහපත හා හිතසුව පිණිසයි. එම නිසා ගුප්ත කර්මයට හා දෙවියන්ට ළැදි සෑම දෙනාගෙන්ම මම ඉල්ලීමක් කරන්නට කැමැතියි, යක්ෂයන් හා දෙවියන් අතර වෙනස අවබෝධ කොටගෙන නිවැරදි මඟ යමින් සුදුසු දේ පමණක් තෝරාගෙන තම තමන්ගේ ඇදහීම් කටයුතු කරගෙන යන ලෙස. ඔබ සැමට මහා දුර්ගා මෑණියන්ගේ පිහිටයි!