Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

බලාපොරොත්තු ඉටු කරන දේව ඇදහිල්ල

1 year ago 7 Min read
Subha.lk

ඈත අතීතයේ සිට මිනිස් ආදි වාසීන් දෙවියන්ගේ පිහිට පතා දේව මණ්ඩලවල එනම්, නොපෙනෙන බලවේගයන්ගේ පිහිට පැතූ බව පැවසේ. මේ සඳහා ඔවුහු සොබා දහමේ නිර්මාණයන් එනම්, ගස් වැල්, ගින්දර, ශෛලමය ආකෘතින් වැනි දේ සඳහා වන්දනාමාන සිදු කර තමන්ගේ කටයුතුවලට සහාය ඉල්ලා ඒ නොපෙනෙන බලවේගයන්ට කන්නලව් කළ අතර, කාලයාගේ ඇවෑමෙන් ඒ සඳහා රූප වන්දනාව, දේව වන්දනාව දෙවි පිහිට පැතීම දක්වා විකාශනය වී අද වන විට සමාජයේ බොහෝ අය තමන්ට පිහිට ඉල්ලා දෙවි දේවතාවුන් වහන්සේලා පුද පූජාවන් පවත්වා කන්නලව් කිරීම ඉතා ප්රබල අන්දමින් සිදු වේ. කායික, මානසික මෙන්ම වෙනත් කටයුතු කාරණා ඉෂ්ට සිද්ධ කර ගැනීම දක්වා ඒ පුද පූජා පැමිණ ඇත. එසේම ඇතැම් අය මෙම දෙවියන් ඇදහීම සහ පිහිට පැතීම මිත්යා දෘෂ්ටික සංකල්පයක් ලෙස පැවසුවද බුදුන් වහන්සේ දේශනා කරන ලද අංගූත්තර නිකායේ සඳහන් වන සෝණ සල්ලභරණ සුත්රයේ ආපදා අවස්ථාවලදී පුද පූජා පවත්වා කුසල් අනුමෝදන් කර තමන්ගේ කටයුතුවලට දෙවියන්ගේ පිහිට පැතීම වරදක් නොවන බව සඳහන් වී ඇත. විශේෂයෙන් මෙම ස්තෝත්ර දැහැන් මෙන්ම පිරිත් සජ්ඣායනා කිරීමේදී ශබ්ද ශාස්ත්රය මුල් කරගෙන එයින් ඇතිවන තරංග ශක්තිය එක්තැන් කර ස්වභාවය බලවත් කර එයින් තමන්ගේ අවශ්යතාවට අනුකූලව එම ශක්තියෙන් පිටුවහලක් ලබා ගැනීම සඳහා මන්ත්ර ජප කිරීම සිදු කරනු ලබයි. මෙහිදී එම අවශ්යතාව අනුව ජප කිරීමේ වාර ගණන නියම වනු ඇත. එයින් සිදු කෙරෙනුයේ එහි බලය ශක්තිය තව තවත් එක් රැස් කිරීමයි. මනුෂ්යයා මේ ලොවට බිහි වෙන අවස්ථාවේදී පවතින ග්රහචාරය එනම්, ග්රහයන් පිහිටන ආකාරය, වේලාව සහ එම වේලාවේ බලවත් වන නැකත අනුව ඔහුගේ ජන්ම පත්රය ලියැවෙනු ඇත. මෙම අවස්ථාව නියම අයුරින් ගණනය කර ලියැවෙන ජන්ම පත්රය නිසි ලෙස පරිශීලනය කරන විට පෙර අත්භවයන්හි කළ කුසල් අකුසල්, ඒවායේ පලවිපාක ආදිය ද මේ අත්භවයේදී ඒවා පඩිසන් දෙන ආකාරය සහ කාල සීමාවන් ද නිර්ණය කිරීමෙන් ඒවායේ උපකාරයෙන් යහපත් ප්රතිඵල ලබා ගැනීම මෙන්ම අශුභයන්ට එරෙහිව කළ යුතු වත් පිළිවෙත්ද ග්රහ බලය ශක්තියෙන් තමන්ට වාසනාව උදා කර ගැනීමට ග්රහ බලය ඉහළ තලයකට ගෙන ඒම සඳහා ද මෙම දේව ඇදහීම මඟින් සිදු කර ගැනීමට අද වන විට මනුෂ්යයන් සැදී පැහැදී ඇති අතර ඒ සඳහා කළ යුතු වත් පිළිවෙත් පිළිබඳව ද අවබෝධයක් ලබා ඇත. ඈත අතීතයේ ඇදහීමට ලක් වු ඉර, සඳ තරු මෙන්ම ඉන්ද්ර, අග්නි, පෘථවි ආදිය සඳහා ද පුද පූජා පවත්වා අව්ව වැස්ස ආදී දේශගුණික තුලනය ඔවුන් ප්රාර්ථනා කළ අතර, පසුව ඒ වත් පිළිවෙත් විකාශනය වී විෂ්ණු, බ්රහ්ම, මහේශ්වර යන ත්රිමුර්තිය බවට පත්ව එයින් ප්රධානව මහේශ්වර, ශිව, ඊශ්වර බවට ද බුදුන් වහන්සේ විශාලා නුවර තුන් බිය දුරු කිරීමට දේශනා කළ රතන සුත්රය, මහ පිරිතකදී දේශනා කරන ආටානාටිය සුත්රය ද, භාවනා යෝගී සාමණේරයන්ට බාධා නොකරන ලෙස දේශනා කළ කරණීයමෙත්ත සුත්රය වැනි සුත්රයන් ද මනුෂ්යයා තව තවත් දෙවියන්ගේ පිහිට පැතීමට නැඹුරු කරවන ලද සාධකයක් ලෙස දැක්විය හැකිය. බුදුන් වහන්සේගේ කාලයේදී බලවත් ලෙස මහා බ්රහ්මයා බොහෝ අයගේ ගෞරව බුහුමානයට ලක් වූයේ බුදුන් වහන්සේට ප්රථම ධර්ම දේශනාවට ආරාධනය කරන ලද්දේ මෙම මහා බ්රහ්මයාණන් වීම නිසාය. බුදුන් වහන්සේ දේශනා කළ පරිදි කුසල් වැඩීම මඟින් මාර්ග ඵලයක් ලබා ගත හැකි වෙනු ඇත. එසේ මාර්ගඵල ලබා මනුෂ්යයාට පිහිට වී ඔවුන්ගේ දුක් ගැනවිලි ප්රශ්නවලට පිහිට ලබා දීමෙන් ද තමන්ගේ ශක්තිය මඟින් ලෙඩ දුක් සුව කර විශිෂ්ට අන්දමේ යහපත උදා කර දී දේවත්වයට පත් වීම ද සිදු විය හැකිය. මේ ලොව පාලනය කරන සතර වරම් දෙවිවරු ගැන ද විශේෂ සඳහනක් ඇත. එනම්, දෘතරාෂ්ඨ, විරූඪ, විරූපාක්ෂ හා වෛශ්රවණ හෙවත් වෙසමුණි යන දෙවිවරුන් වන අතර, රාවණා ගැන සඳහන් වන අවස්ථාවන්හිදී මෙහි සඳහන් වෙසමුණි හෙවත් වෛශ්රමණ රාවණයන්ගේ පියාණන් ලෙසට ද ජනශ්රැතියේ සඳහන්ව ඇත. ලාංකික දේව ඉතිහාසයේ මේ ලක් දෙරණේ ආරක්ෂාව භාර වී ඇත්තේ ස්කන්ධ හෙවත් කතරගම, උපුල්වන් දෙවියන් (විෂ්ණු දෙවියන් ලෙස ද ඇතැම් අවස්ථාවල සඳහන් වන) සමන් දෙවියන් සහ විභීෂණ දෙවියන් යන දෙවිවරුන්ය. මේ මුළු විශ්වයම ආරක්ෂා කිරීම විෂ්ණු දෙවියන් හට භාරව ඇති බවට ද සඳහන් ඇත. මෙම දෙවියන් ද වර්ග කිරීමක් සිදු කර ඇති අතර, එය මහේශාක්ය සහ අල්පේශාක්ය දෙවිවරු වශයෙන්ය. මහේශාක්ය යන නමින්ම ඔවුන් තෙද බලවලින් සපිරුණු දෙවිවරුන්ය. අල්පේශාක්ය යන නාමය අනුවම ඔවුන් එතරම් බලවත් බලයක් නොමැති දෙවිවරුන් වශයෙන් පිළිගැනෙනු ඇත. මෙයින් ද තවත් දේව කොට්ඨාස තුනකට ඔවුන් බෙදී ඇත. එනම්, සම්මුතිදේව, උප්පත්තිදේව, විශුද්ධ දේව යනුවෙනි. ඔවුන්ගෙන් සම්මුති දේව ගණයට රජුන්, මෙහෙසියන්, රජ දරුවන් ද උප්පත්ති දේව ගණයට උපතින්ම උසස් කුලවත් තලයක ජීවත්ව දේවත්වයට පත් වුවන්ද සම්මුත් දේව ගණයට බුදු, පසේ බුදු, මහරහත් ආදී ඵලයන්ට පත් වූ අය ඇතුළත් වන අතර, මෙයින් උප්පත්ති දේව ගණයද බූමාටු සහ කලාටු යනුවෙන් නැවත ද කොටස් දෙකකට වර්ගීකරණය කර බූමාටු දෙවිවරුන්ට පොළොව, ගස්වැල්, පර්වත විශාල ගල් බිම් ආදියට බලවත් කරන අතර, කලාටු දේව ගණයට අයත් දෙවිවරු ඉහළ තලයන්ගේ දෙවිවරුන්ට සේවය සඳහා ඇප කැපවී සිටින කොට්ඨාසයක් ලෙස දක්වා ඇත. මෙහිදීද නැවතත් ආතාල පාතාල කටයුතුවලට අධිගෘහිත දෙවිවරුන් කොට්ඨාසයක් ද වෙනම කටයුතු කාරණා සිද්ධ කර මනුෂ්යයාට පිහිට වෙන අතර, එම ආතාල පාතාල දෙවිවරුන් බහිරවයන් වශයෙන් ද ප්රධානව කටයුතු කරයි. ඔවුන්ගේ ප්රධාන තලය ඉන්දු, යම, වරුණ, අග්නි, තෛරුනි, වායු වේශාන සහ වඩාත් ප්රකට කුවේරයන් ද කටයුතු කාරණා භාරව සිටිනු ඇත. එසේම මෙම ඉහත සඳහන් දේව මණ්ඩලවල දෙවියන්ගේ පිහිට ආරක්ෂාව සහ ඔවුන්ගෙන් එම පිහිට ලබා ගැනිමට සිදු කරනු ලබන පුද පූජාවන්ට අමතර යාග හෝම, බලි තොවිල් කටයුතු පිළිබඳ මීළඟ ලිපියෙන් ඔබ දැනුම්වත් කෙරෙනු ඇත.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk