ජන්ම දිනයෙන් කියැවෙන ඔබේ ගතිගුණ (දෙසැම්බර් 26 සිට ජනවාරි 08 දක්වා)
🟣 දෙසැම්බර් 26
සේවා ස්ථානයේ හොඳ නමක් දිනා ගන්නෝය
සඳු ග්‍රහයාගෙන් නියෝජනය වන අංක දෙක සහ සිකුරුගෙන් නියෝජනය වන අංක හය එකට යෝගවීමෙන් විසිහය වැනි දිනය නිර්මාණය වේ. මෙදින උපත ලැබූ ජන්මීන්ගේ චෛතසික අංකය ලෙස අංක අට හැඳින්වේ. මෙම අංකය සෙනසුරු ග්‍රහයාගෙන් පාලනය වේ. ජීවිතයේ මුල් කාල සීමාවේදී විවිධ ගැටලුවලට මෙන්ම අවාසනාවන්ත සිදුවීම්වලට මුහුණ දීමට සිදුවූ අතර අනාගතයේද එවැනි අවස්ථාවන්ට මුහුණ පෑමට සිදුවේ.
මෙවැන්නෝ තම සහකරු හෝ සහකාරිය තෝරා ගැනීමේදී බොහෝදුරට සැලකිලිමත් විය යුතුය. චෛතසික අංකය අට, හත හිමි අය විවාහය සඳහා ගැළපේ. මොවුන් වෙහෙස මහන්සි වී කැපවීමෙන් වැඩ කිරීමට යොමුවීම නිසා රැකියාවේ ඉහළ තනතුරු ලබා ගැනීමටත්, සේවා ආයතනය තුළ හොඳ නාමයක් හිමිකර ගැනීමටත් හැකිවේ. එසේ වුවද දැඩි මුරණ්ඩු බවකින් වැඩ කිරීමට පෙලඹීම හේතුවෙන් විසිහය වැනි දින උපත ලැබූ පිරිමි අය තම කටයුතුවලට විරෝධය දක්වන්නන් කෙරේ සැරපරුෂ වීමත්, පළිගැනීමට සූදානම් වීමත් නිසා අන් අයගේ අප්‍රසාදයට පත්වේ.
🟣 දෙසැම්බර් 27
ස්වාධීනව කටයුතු කරන්නෝ වෙති
කේතු සහ සඳුගේ සංයෝගයෙන් නිර්මාණය වූ අංක විසිහතට අනුව දෙසැම්බර් විසිහත් වැනි දින උපත ලැබූවන් සතුව වෙනත් කිසිවකුට විනාශ කළ නොහැකි මට්ටමේ ශක්තියක් පවතී. මොවුන් සත්‍ය වශයෙන්ම ස්වාධීනව කටයුතු කිරීමේ ආත්ම ශක්තිය ඇත්තෝ වෙති. තමා වෙත පැවරෙන ඕනෑම රාජකාරියක් ඉතා සාර්ථකව ඉටුකිරීමේ දක්ෂතාවක් තිබීම ඔවුන් සතුව පවතින කැපීපෙනෙන ලක්ෂණයකි. සඳුගේ නියෝජනයෙන් යුක්ත වූ අංක දෙක සහ කේතුගේ නියෝජනයෙන් යුක්ත වූ අංක හත යන අංක දෙකම සැලසුම් සැකසීමේදී වැදගත් තැනක් ගන්නා හෙයිනි.
ව්‍යාපාරික කටයුතු මෙන්ම පවුලේ කටයුතු සාර්ථකව පවත්වා ගැනීමට අදාළ සැලසුම් මනා ලෙස සැකසීමට මෙදින උපත ලැබූවන්ට හැකිවේ. අංක දෙක සහ අංක හත එකතුවීමෙන් ලැබෙන අංක නවය කුජගේ පාලනයට යටත් වේ. එනිසා විසිහත් වැනි දින උපත ලද අය බලසම්පන්නවූත්, අණදීමේ හැකියාවෙන් යුත් බල අධිකාරිය සහිත පුද්ගලයෝ වෙති. මෙම ගති පැවතුම් නිසාම සාර්ථකත්වය කරා ළඟාවීමේ ශක්තිය හා හැකියාව මොවුන් සතු විශේෂත්වයයි.
🟣 දෙසැම්බර් 28
බාධා අභිබවා ජයගනී
අරගල කිරීමට පෙලඹීම මෙදින උපත ලැබූවන් සතු විශේෂත්වයකි. එනිසා දෙසැම්බර් විසිඅට වැනි දින උපත ලැබූ අය සඳු ග්‍රහයාට සහ සෙනසුරු ග්‍රහයාට අයත් ගති ලක්ෂණවලින් යුක්ත වේ. සඳු ග්‍රහයා සතු චංචල ගුණයත්, සෙනසුරුගේ දැඩි බවත් එක්වීම නිසා සෑම අවස්ථාවකදීම මොවුන්ගේ කටයුතුවලට බාධා ඇතිවීම සහ අන් අයගේ විරෝධතාද ඇතිවේ. එසේ වන නමුත් මෙම අංක දෙකෙහි එකතුවට අනුව හිමිවන අංක එක රවිගේ පාලනයට යටත්වන හෙයින් කොපමණ බාධා, ගැටලු ඉදිරිපත් වුවත් ඒවා සියල්ලක්ම අභිබවා ජයග්‍රහණය කිරීමේ හැකියාව මොවුන් සතුව පවතී.
සෑම අවස්ථාවකම අරගලවලට මුහුණ දෙමින් විරුද්ධවාදීන් ජයග්‍රහණය කිරීමේ හැකියාව මෙදින උපත ලැබූවන් සතුවේ. එමෙන්ම මොවුන් තුළ පවතින ආචාරශීලී ගුණය මත තමාට හිමි අධිකාරි බලය සහ නියෝග දීමේ හැකියාව ඉතා අවම මට්ටමින් භාවිත කර අන් අයගේ සිත් දිනාගැනීමටත්, සිය කාර්යයන් සාර්ථක ලෙස අවසන් කර ගැනිමටත් හැකිවේ.
🟣 දෙසැම්බර් 29
කරුණාවන්ත තැනැත්තෝය
අංක විසිනවය අංකයක් ලෙස සැලකීමේදී ඉතාමත් අවදානම් සහිත වූ අනාරක්ෂිත අංකයක් ලෙස සැලකෙන නිසා දෙසැම්බර් විසිනව වැනි දින උපත ලැබූවන්ගේ ජීවිතයට විවිධ බාධා ඇතිවෙන බව මෙම අංකය අනුව පැවසේ. අංක දෙක සඳු ග්‍රහයාට හිමිවීමත්, අංක නවය කුජට හිමිවීමත් තුළ සඳුගේ චංචලත්වය හා කුජගේ ප්‍රචණ්ඩකාරිත්වය එකට එක්වීමෙන් බුද්ධිමත් ලෙස කටයුතු කිරීමට මෙවැන්නෝ අපොහොසත් වන බව අංක විද්‍යාත්මක මතයයි.
එහෙත් අංක දෙක හා අංක නවය එකට එකතු කළ විට ලැබෙන අංකය දෙක වන අතර, එහි වැඩි බලයක් සඳු ග්‍රහයාට හිමිවේ. සඳු ග්‍රහයා සතුව චංචල ගතියක් පැවතියත්, සිතුවිලිවලට මූලික වූ සඳු ජන්මියාගේ උප්පත්ති කේන්දරයේ ශුභකර්තරී ලෙස පිහිටා ඇතොත් සෞම්‍ය, මුදු, මොළොක් ගුණයෙන් යුක්ත කරුණාවන්ත පුද්ගලයන් බවට පත්වේ. එනිසා වෘත්තීයමය වශයෙන් මෙදින උපත ලැබූවෝ ඉහළ තනතුරවලට පත්වේ. එසේ වෙතත් පෞද්ගලික දිවියේ මූලික සැලසුම්වල එතරම් සාර්ථකත්වයක් ඇතිකර නොගනී.
🟣 දෙසැම්බර් 30
සමාජ සේවයට ලැදි වෙති
අංකයක් වශයෙන් බිංදුව කෙරෙහි සැලකිල්ලක් නොදක්වන නමුත් තනි අංකයක් සමඟ යෝගවීමේදී එහි බලපෑමක් පවතී. ඒ අනුව දෙසැම්බර් තිස්වැනි දින උපත ලැබූවන් මිතුරු ඇසුර ඉතා අවම මට්ටමක පවතී. භෞතික වශයෙන් තම දියුණුව ඉතා සෙමින් සිදුවන නමුදු දැඩි ලෙස වෙහෙස නොවී පවතින තත්ත්වය ආරක්ෂා කර ගැනීම තුළින් මෙදින උපත ලැබූවෝ සැපවත් ජීවිත ගත කිරීමට පෙලඹේ. ස්ත්‍රියක් නම් පිරිමින්ගේ බලපෑම්වලටත්, පිරිමියෙක් නම් ස්ත්රීන්ගේ බලපෑම්වලටත් නැඹුරුවීම මත සමාජ සේවාව කෙරෙහි වැඩි ළැදියාවක් ඇතිවේ.
ආදායම් ඉපයීමේ විවිධ මාර්ගවලට යොමුවුවත් එවැනි කටයුතු කිරීමේදී මුදල් ඉපයීම අරමුණක් නොවන නිසා මෙදින උපත ලැබූවන්ගේ සහාය ලබාගැනීමට බොහෝ අය රුචිකත්වයක් දක්වති. එනිසාම ප්‍රධාන ආදායම් මාර්ගවලට තිබිය යුතු කැපවීම අවමවීම නිසා වෘත්තීය දියුණුව අඩාලවීමට හේතුවේ. එය මෙදින උපත ලැබූවන් සතුව පවතින දුර්වල ලක්ෂණයකි.
🟣 දෙසැම්බර් 31
ක්ෂණික තීරණ ගනී
ගුරු ග්‍රහයාට අයත් අංක තුන සහ රවි ග්‍රහයාට අයත් අංක එක යෝගවීමෙන් සැකසුණු අංක තිස්එක යහපත් අංකයක් ලෙස පෙනී ගියත් මෙදින උපත ලැබූවන් කෙරෙහි වැඩි බලපෑමක් රාහු ග්‍රහයාගෙන් හිමිවේ. රාහුගේ කාර්යභාරයට අනුව මෙවැන්නෝ ගැටලු නිර්මාණය කරගනිමින් අනපේක්ෂිත ආකාරයෙන් ජීවිතය පිළිබඳ ක්ෂණික තීරණවලට එළඹේ. එසේ ගනු ලබන තීරණය යහපත් මෙන්ම අයහපත් ඒවාද විය හැකිය.
මෙදින උපත ලැබූවන් පිළිබඳ වැරදි අවබෝධ මිතුරු මිතුරියන් අතරේ පවතින නිසා තමා පිළිබඳ හොඳ නාමයක් පවත්වා ගැනීම අපහසුවේ. මෙවැන්නෝ සියල්ලන්ගෙන් අෑත්වී ජීවත්වීමට උත්සාහ දැරීම මෙයට හේතුවේ. සමහර අවස්ථාවලදී විප්ලවකාරී කණ්ඩායම්වලට එකතු වීමෙන් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීමට මොවුන් පෙලඹේ. එවැනි පසුබිම් තුළ මෙදින උපත ලැබූ ජන්මීන් රහසිගත ක්‍රියා අනුමත කරමින් තමාගේ නායකත්වය යටතේ අන් අය මෙහෙයවීමට උත්සාහ දැරීම මොවුන් සතු දුර්වල ලක්ෂණයකි.
🟣 ජනවාරි 01
ස්ථාවර අදහස් හා අරමුනු ඇත
රවි ග්‍රහයාගේ සම්පූර්ණ බලය හිමිකර ගනිමින් ජනවාරි පළමුවැනි දින උපත ලැබූවන්ගේ චෛතසික අංකයද අංක එක බවට පත්වීම විශේෂ කරුණක් ලෙස සැලකේ. මෙවැන්නෝ තමා තුළ පවතින අදහස් මෙන්ම තමාගේ අරමුණුද දැඩි ස්ථාවර තත්ත්වයකින් හෙළිදරව් කිරීමට තරම් අධිෂ්ඨානශීලී තැනැත්තෝ වෙති. මොවුන්ගේ හැසිරීම් රටාව, ඔවුන් ගනු ලබන නිගමන මෙන්ම තීරණ සහ ගමන් පිළිබඳව පවතින අවබෝධය ගැන සාකච්ඡා කර වෙනස් කිරීම් සඳහා පොලඹවා ගැනීම ඉතාමත් දුෂ්කර ක්‍රියාවකි. මොවුන් සෑමවිටම තම අදහස් ක්ෂණිකව ක්‍රියාවට පත්කිරීම දුර්වල ලක්ෂණයක් ලෙස පෙනීයයි.
තම ජීවිතය පිළිබඳ පැහැදිලි අරමුණක් සෑම අවස්ථාවකදීම පවතින නිසා තමා විසින් කරන කටයුතු සම්බන්ධව ඉතා පිරිසුදු අවබෝධයක් පවතී. එමෙන්ම මෙදින උපත ලැබූ ජන්මීන් වෙත පැවරෙන ඕනෑම කටයුත්තක් ඉවසීමෙන් යුතුව, කලට වෙලාවට සම්පූර්ණ කිරීමේ වගකීම මොවුන් සතුවේ. ඉතා කාර්යක්ෂම ලෙස කටයුතු කිරීමේ හේතුවෙන් කොයි කාගේත් හොඳ හිත දිනාගැනීමට අවස්ථාව ලබාගනී.
🟣 ජනවාරි 02
තීරණ ගැනීමේදී නම්යශීලීවන්නෝය
ජනවාරි දෙවැනි දින උත්පත්තිය ලැබූ අයට හිමි අංක දෙක සඳු ග්‍රහයාගේ නියෝජනයෙන් යුක්ත වන අතර මොවුන්ගේ චෛතසික අංකයද එම අංකයම වේ. සඳු ග්‍රහයාගේ චංචල ස්වභාවය නිසා තීරණ ගැනීමේදී නම්‍යශීලී බවක් මෙදින උපත ලැබූවන් සතුවේ. එනිසා බොහෝදුරට අනුන්ගේ බසට රැවටීමෙන් අපවාද, චෝදනාවලට මුහුණපෑමට සිදුවේ. කොතෙක් දුරට නිර්මාණශීලී වුවත් අන් අයගේ මඟපෙන්වීමකින් තොරව කටයුතු කිරීම මොවුන්ට අපහසු කරුණකි.
එම තත්ත්වය නිසා තමාගේ භෞතික වශයෙන් දියුණුව ප්‍රමාද වනු ඇත. සඳු ග්‍රහයා බලවත්ව සිටී නම් තම දක්ෂතා මත ජනප්‍රිය වන අතර අනෙත් අය අතර කැපී පෙනෙන අයෙක් බවට පත්වේ. එමෙන්ම මොවුන් කාරුණික ගුණයෙන් යුක්ත, සාමකාමී පුද්ගලයන් වීම නිසා ඕනෑම අයකු සමඟ සහයෝගයෙන් වැඩ කිරීමට පෙලඹෙනු ඇත. කොයි කා සමඟත් මිත්‍රශීලී ලෙස කටයුතු කිරීම මොවුන් සතු යහපත් ගුණාංගයකි.
🟣 ජනවාරි 03
ක්‍රියාශීලීත්වය මත ජනප්‍රිය වෙති
අධ්‍යාපනය, විවාහය, පාරම්පරික ගතිපැවතුම් ආදී අංශ නියෝජනය කරන්නා වූ අංක තුන හිමි වූ ජනවාරි තුන්වැනි දින උපත ලද ජන්මීන් බුද්ධිමතුන් ලෙස හැඳින්වේ. මොවුන් ඉතාමත් කාර්යශූර පුද්ගලයන් වන අතර, වෙහෙස මහන්සි වී වැඩ කිරීමත්, විනයකින් යුතුව කටයුතු කිරීමත්, ආත්ම විශ්වාසයෙන් ක්‍රියාශීලී වීම මත ජනප්‍රියත්වයට පත්වේ. මෙදින උපත ලැබූ අය බොහෝ දුරට තනතුරු නිලතල කෙරෙහි කැමැත්තක් දක්වන පුද්ගලයෝ නොවෙති. සෑම විටම විශිෂ්ට දේවල් කරමින් ශ්‍රේෂ්ඨත්වයට පත්වීමට උත්සාහ දරයි.
මොවුන් වෙත පැවරෙන රාජකාරිය දේවකාරියක් ලෙස සලකන නිසා සත්‍යගරුකව, අවංකව, කැපවීමෙන් කටයුතු කිරීමට නිතැතින්ම පෙලඹේ. එම ගුණය මත යහපත් සේවාවක් මොවුන්ගෙන් සමාජයට හිමිවේ. එනිසා කාගේත් ගෞරවය මොවුන්ට ලබා ගැනීම අපහසු කරුණක් නොවේ. එහෙත් සර්ව ශුභවාදී දෘෂ්ටියෙන් කටයුතු කිරීම නිසා තමා අසල ගැවසෙන සතුරන් හඳුනා ගැනීමට අපහසු වේ. එනිසා එවැනි අයගෙන් ඇති වන බාධක හිරිහැර හේතුවෙන් බොහෝ අවස්ථාවලදී තම කටයුතු ක්‍රමානුකූලව අවසාන කිරීම අපහසු වේ.
🟣 ජනවාරි 04
උදවු කිරීමේ ගුණයෙන් යුතුයි
මෙම අංකයෙහි නියෝජනය හිමි රාහු ග්‍රහයාගේ ගති පැවතුම්වලට අනුව කඩිසර ලෙස කඩාකප්පල්කාරී කටයුතු මෙහෙයවීම රාහුගේ කාර්යය වන බැවින් ජනවාරි හතරවැනි දින උපත ලැබූ ජන්මීන්ගේ මානසික තත්ත්වය රාහුගේ හැසිරීමට අදාළව පවතී. රාහු පාපී ග්‍රහයෙකි. මෙවැන්නෝ ස්වභාව ධර්මයට සමීප වීමේදී ක්‍රියාශීලී වෙතත් සාමාන්‍ය ජීවිතය තුළ සංවේදී ගුණය අඩු පුද්ගලයෝ වෙති. මෙවැන්නෝ සෑම අවස්ථාවකදීම තෘප්තිමත් බවින් තොරවූවන් බවට පත්වන්නේ මන--කල්පිත සිහිනවල ජීවත්වන හෙයිනි.
විවෘත මනසකින් කටයුතු කිරීමට එළැඹුමක් නොමැති මොවුන් තුළ ස්ථිර ගති පැවතුම් අපේක්ෂා කළ නොහැකිය. ක්ෂණිකව ගන්නා තීරණ නිසා මොවුන් සමඟ විශ්වාසයෙන් කටයුතු කිරීම අපහසුවේ. සෑම මොහොතකම කාගේ හෝ උපදෙස්වලට අනුව කටයුතු කිරීමෙන් ඉතා පහසුවෙන් රැවටීමටත්, නොමඟ යෑමටත් ඉඩ තිබේ. මෙවැනි ගති ලක්ෂණවල බලපෑමෙන් රැකියා කටයුතුවලදී තමන්ගේ දියුණුව උදෙසා අරගල කිරීමට සිදුවන අතර, සෑම අවස්ථාවකදීම ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවේ.
එහෙත් මොවුන් තුළ පවතින අනුන්ට උදවු කිරීමේ මානුෂීය ගුණය නිසා යහළුවන් අතරේ අවංක ලෙසත්, ඉවසීමෙන් කටයුතු කිරීමටත් පෙලඹේ. එසේ වුවත් සමහර අවස්ථාවලදී පිළිබිඹු වන නපුරු හා අශිෂ්ට ගතිවලින් ඥාති හිත මිත්‍රාදීන්ගේ අතවරයන්ට හසුවීම මොවුන්ගේ දුර්භාග්‍යයක් ලෙස පෙනීයයි.
🟣 ජනවාරි 05
කලාකාමී හදවත් ඇත්තෝය
ජනවාරි පස්වැනි දින උපත ලැබූ ජන්මීන්ට හිමි ජන්ම අංකය බුධ ග්‍රහයාගේ පාලනයට අයත් වේ. මොවුන් බුද්ධිමත් බවින් යුක්ත වන නමුදු, සෑම විටම නොසන්සුන්කාරී තත්ත්වයකින් පසුවේ. එසේ වුවද මෙදින උපත ලද ජන්මීන් ශාස්ත්‍රීය වශයෙන් දියුණු වේ. කතාවෙන් අන් අය දිනා ගැනීමේ දක්ෂතාවත්, ගැඹුරු චින්තනයකින් වැඩ කිරීමත් මත රාජකාරී කටයුතු මෙන්ම පෞද්ගලික කටයුතුද උපක්‍රමීය ලෙස මෙහෙයවයි. සැලසුම් සම්පාදනයේදී අන් අය මෙහෙයවා වැඩ ගැනීමට දක්ෂ වෙති.
මෙදින උපත ලැබූවන් කලාකාමී හදවතකින් යුක්ත වීම නිසා සෞන්දර්යවාදීන්, සංගීතඥයන්, චිත්‍ර ශිල්පීන් සහ කවියන් බවට පත්වේ. ගුප්ත විද්‍යාවන් විශ්වාස කරන අතර, ජේයාතිෂය, අංක විද්‍යාව සහ හස්තරේඛා පිළිබඳ පර්යේෂණ කිරීමට පෙලඹේ. මොවුන්ගේ ජන්ම පත්‍රයෙහි බුධ ග්‍රහයා බලවත් ලෙස පිහිටා ශුභ දෘෂ්ටි ලැබ සිටී නම් ගණිතය, ගණකාධිකරණය, නීතිය වැනි විෂයයන් හැදෑරීමට කැමැත්ත දක්වති. ආගමික කටයුතුවලට කැමැතිවන අතර, ආමිස පූජාවන්ට වඩා ප්‍රතිපත්ති පූජාවල යෙදීම මොවුන් සතු යහපත් ගුණාංගයකි.
🟣 ජනවාරි 06
ගැටලු සාමකාමීව විසඳන්නෝ වෙති
හිරු උදාවට ප්‍රථමයෙන් නැඟෙනහිර අහසේ දැක්වෙන උදා තරුවක් වූ සිකුරු ග්‍රහයාගේ පාලනයට අංක හය අයත් වේ. ඒ අනුව ජනවාරි හය වැනි දින උපත ලැබූ ජන්මීන්ගේ පොදු ලක්ෂණ සිකුරු ග්‍රහයාගේ ගති පැවතුම්වලට සමාන වේ. මේ අනුව මෙදින උපත ලද ජන්මීන් සංවේදී බවින් යුක්ත නිර්මාණකරුවන් වීමත්, අලුත් දේවල් ගවේෂණය කරමින් නිර්මාණාත්මක ලෙස ඉදිරිපත් කිරීමටත් හැකි දක්ෂයන් ලෙස හැඳින්වේ. එමෙන්ම මෝහන විද්‍යාව, ගුප්ත විද්‍යාව මෙන්ම රස පරීක්ෂක කටයුතු කෙරෙහි නැඹුරුවක් දක්වන්නෝ වෙති.
මෙම ජන්මීන් දක්ෂ වූත්, උපායශීලී වූත් පුද්ගලයන් වීම නිසා වැඩි වෙහෙසකින් තොරව බොහෝ දේවල් ගැඹුරින් අධ්‍යයනය කිරීමේ හැකියාවක් පවතී. එමෙන්ම වහා වැටහෙන නුවණින් යුක්ත වීම තුළ ඕනෑම ගැටලුවක් සාමකාමී ලෙස විසඳීමට ඉදිරිපත් වේ. ඉලක්ක කරා ළඟාවීමට ඉක්මන් නොවන අතර ස්ථිර සැලසුමකින් යුතුව, කටයුතු කිරීම නිසා සෑම අවස්ථාවකදීම මොවුන් වෙත පැවරෙන රාජකාරි කටයුතු පලදායි ලෙස අවසන් කිරීම වැදගත් කරුණක් ලෙස හඳුන්වා දිය හැකිය.
🟣 ජනවාරි 07
විචක්ෂණ බුද්ධියෙන් යුතු ඥානවන්තයෝයි
මෝක්ෂ කාරක ග්‍රහයා වශයෙන් සැලකෙන කේතු ග්‍රහයා විසින් අංක හත පාලනය කරන අතර ජනවාරි හත්වැනිදා උපත ලැබූවන් විචක්ෂණ බුද්ධියෙන් යුත් ඥානාන්විත පුද්ගලයන් වේ. මෙම තත්ත්වය තුළ මෙවැනි ජන්මීන් කිසිම අවස්ථාවක භෞතික සම්පත් කෙරේ අපේක්ෂා සහගත නොවේ. කිසියම් කාර්යයක් ඉටුකිරීම සඳහා පෙලඹවීමක් කිරීමට සිදු නොවන අතර, තම දැනුම තුළින් යමක් වටහා ගැනීම නිසා තමා වෙත පැවරෙන රාජකාරිය අන් අයගේ උපකාරයෙන් තොරව ඉටුකිරීමට හැකිවේ.
උත්පත්ති කේන්දරයේ කේතු ග්‍රහයා බලවත් වී සිටින ජන්මීන් වෙත භූත ආත්මවල ශක්තිය පවතින හෙයින් මොවුන් වෙත අදෘශ්‍යමාන බලවේගයන්හි බලපෑම් ඇති වේ. ආවේශයෙන් ශාස්ත්‍ර කීම, දේව බලයෙන් ලෙඩුන් සුවපත් කිරීම ආදී කාර්යයන් සඳහා මොවුන්ට ඉඩ ලැබේ. හොඳින් කතා කිරීමේ හැකියාව පවතින හෙයින් වාද විවාදවලට ඉදිරිපත් වීමටත් සුදුස්සෝ වෙති. එම හැකියාව මත ඉතා ඉක්මනින් ජනප්‍රියත්වයට පත්වේ. සියල්ලෝම එක හා සමානව දැකිය හැකි දක්ෂතාව තුළින් පන්ති භේදයත් උසස් පහත් භේදයත් නොතකා වැඩකිරීම මොවුන් සතු සුවිශේෂී ගුණාංගයයි.
🟣 ජනවාරි 08
විධිමත් සමාජ සංවිධායකයෝ වෙති
වැඩිහිටි බවින් යුක්ත වූ අඳුරු ස්ථානයන්හි විවේකීව ගත කිරීමට කැමැති ග්‍රහයෙක් ලෙස සැලකෙන සෙනසුරු ග්‍රහයාට හිමි අංකය අංක අට ලෙස හැඳින්වේ. මේ අනුව ජනවාරි අට වැනිදා උපත ලැබූ ජන්මීන් තුළද අවංක වූ මානුෂීය ගතිගුණ මෙන්ම ආධ්‍යාත්මික ගුණයද පවතින හෙයින් සාමකාමී ලෙස කටයුතු කිරීමට උත්සාහ ගනී. මොවුන්ගේ උත්පත්ති කේන්දරයෙහි සෙනසුරු බලවත් අයුරින් පිහිටා තිබේ නම් එවැන්නෝ පාලනයෙහි දක්ෂ, නායකත්ව ලක්ෂණ හිමි විධිමත් සමාජ සංවිධායකයෝ බවට පත්වේ. මොවුන් තුළ පවතින විශිෂ්ට ගණයේ දක්ෂතා මෙන්ම පෞරුෂය මත යුතුකම සහ වගකීම් මැනවින් ඉටුකරයි.
කොතරම් හොඳින් වැඩ කළත් තමා ජීවත්වෙන පරිසරය තුළින්ම සතුරු බලවේග මතුවීම හේතුවෙන් තමාගේ සාර්ථකත්වයට ඔවුන්ගෙන් බාධා ඇතිවේ. එනිසා තමා කරන කටයුතුවල සාර්ථකත්වය අපේක්ෂිත අයුරින් නොලැබීම නිසා සිත් වේදනාවට පත්වේ. එහෙත් කිසිම කාර්යයක් අතහැර දැමීමට තරම් මානසික වශයෙන් දුර්වල නොවන නිසා ජීවිතයේ මධ්‍යම වයසේදී දියුණුවට පත්වේ. ආගමික මූලධර්මයන් කෙරේ පවතින විශ්වාසය තුළ ප්‍රතිපත්ති පූජා මෙන්ම ආමිස පූජාවන්හි යෙදීමට මොවුන් පසුබට නොවේ.
කිවිපති
කල්‍යාණි හේරත් මැණිකේ (09/01/2022 මව්බිම පුවත්පතේ තරුපති විශේෂාංගය)