Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

‍දොසක් නැතිව - නිවෙස තනන්න හොඳම තැන සොයාගන්නේ මෙන්න මෙහෙමයි

1 year ago 7 Min read
Subha.lk

අද සමහරුන්ට නිවෙසක් තනාගන්නට කලින් හොඳ ඉඩම් කැබැල්ලක් සොයාගැනීමත් ලොකු ප්රශ්නයක්. නමුත් ඉඩමක් හිමි සමහරුන්ට තම ඉඩම තුළ ඉදිකිරීමට යෝජිත නිවෙස කවරාකාරව ස්ථාපනය කරගන්නවාද යන ප්රශ්නය මතුවෙලා. පවත්නා සීමිත සම්පත් හමුවේ ඉඩම් සොයාගැනීම ගැටලුවක්ව පැවතීම සාධාරණීකරණය කළ හැකි වුවත් ඉඩමක් සහිත වූවන් නිවෙස තනා ගැනීම ගැටලුවක් කර ගැනීම අනුමත කළ නොහැකිය. මන්ද වර්තමානයේ ප්රබල වාස්තු විද්‍යා සිද්ධාන්ත යටතේ නිරවුල්ව හා පැහැදිලිව මෙම ගැටලුවට විසඳුම් ලබාදී තිබෙන බැවිනි. නමුත් ඒ කෙසේ වෙතත් මෙම ලිපිය මඟින්ද ඉහත කී ගැටලුවෙන් පෙළෙන අයවලුන් වෙනුවෙන් පවත්නා ඉඩම තුළ නිසියාකාරව නිවෙස ස්ථාපනය කරනුයේ කෙසේද යන කාරණාව පිළිබඳව මනා අවබෝධයක් ලබාදීමට කැමැත්තෙමි. වර්තමානයේ විවිධ ප්‍රමාණයන්ගෙන් යුතු ඉඩම් සමචතුරස්‍රාකාරව, ඍජුකෝණාස්‍රාකාරව, චතුරස්‍රාකාරව මෙන්ම ත්‍රිකෝණාකාරවද පවත්නා අවස්ථා ප්‍රායෝගිකව මා දැක ඇත. මෙම ඉඩමේ හැඩය කෙසේ වෙතත් තමා සතුව පවත්නා ඉඩම තුළ නිසියාකාරව නිවෙස ස්ථාපනය සිදුකරනු ලබන ආකාරය මූලික වශයෙන් දළ සටහනක් මඟින් පෙන්වා දීමට කැමැත්තෙමි. පළමුවෙන්ම රූපසටහනේ (1) ආකාරයට ඔබගේ සමස්ත ඉඩම සමචතුරස්‍රාකාර නම් දිග, පළල සම වශයෙන් කොටස් 07කට බෙදා ගැනීමෙන් පාද වෙන්කර ගන්න. අන් කවර හැඩයක වුවත් මේ ආකාරයෙන්ම සමස්ත ඉඩම වටේ මායිමේ සිට අභ්‍යන්තරය දක්වා සමානව බෙදා ගැනීම සිදු කරන්න. දැන් මායිම වටේට කොටස් 24ක් වෙන්ව පවතිනු ඔබට පෙනෙනු ඇත. මෙම කොටස් 24 ප්‍රේත පාදය වශයෙන් වෙන් කරනු ඇත. දෙවැනි වටයෙන් පෙන්වනු ලබන්නේ කොටස් 16කි. වාස්තු විද්‍යාවේ මෙම කොටස මනුෂ්ය පාදය වශයෙන් හඳුන්වනු ඇත. තෙවැන්න දක්වනු ලබන්නේ කොටස් 8ක දේව පාදය ලෙසටයි. අවසාන වශයෙන් මධ්‍යයේ ඉතිරිවන තනි කොටස බ්‍රහ්ම පාදය වශයෙන් නම්කරනු ඇත. මෙය තවදුරටත් ඔබට රූපසටහන (2) මඟින් පැහැදිලි වනවා ඇත. දැන් ඔබට ඉඩමේ පිහිටීම පිළිබඳව නිවැරැදි අවබෝධයක් ඇත. මෙහි මූලික වශයෙන් ප්‍රේත පාදය අසුබය. පිරිසුදුකම, අලංකාරය, ඵලදීම අඩුවීම නිසා ඉඩමක ප්‍රේත පාදය ගෙවල් සෑදීමට නුසුදුසු මෙන්ම දෝෂ සහිත කොටසක් ලෙස වාස්තු විද්‍යාවේ පෙන්වා දේ. මෙම කොටසට ගෙය සම්බන්ධ වූ විට භූත දෝෂ නිවැසියන්ට අසනීප, දියුණුව අඩුවීම ආදී අයහපත් තත්ත්වයන් උදාවනු ඇත. මේ කොටස සඳහා වඩාත් සුදුසු වන්නේ වැසිකිළි හෝ කැසිකිළි බැහැරකිරීම් සිදු කරන ස්ථාන, කසළ බැහැර කරන ස්ථාන වගේම සතුන් සඳහා ස්ථාපිත කිරීම් සිදු කරන්නටත් යෝග්ය වනු ඇත. දෙවැනි කොටස වශයෙන් ඔබට පෙන්වා දෙනු ලැබුවේ මනුෂ්ය පාදයයි. මේ නමින්ම ගම්ය වන්නේ මනුෂ්‍යයන් සඳහා සුදුසු යන්නයි. එනිසා මිනිස් වාසය සඳහා ඉතාම සුදුසු වන්නේ මනුෂ්ය පාදයේ නිවෙස සෑදීමයි. විශාල ඉඩමක එය කළ හැකි වුවත් කුඩා ඉඩමක නම් දේව පාදයත් සම්බන්ධ කර ගනිමින් නිවෙස ස්ථාපනය සිදු කළ හැකිය. තෙවැන්න වශයෙන් පෙන්වාදෙනු ලබන දේව පාදය යොදා ගනිමින් නිවාස සෑදීමට වඩාත් උචිත වන්නේ රාජකීය ප්‍රභූන්ටය. රජයේ ආයතන සඳහාද දේව පාදය සුදුසු වෙයි. දේව පාදයේ සාදන නිවාස දියුණුව, කීර්තිය ළංකර දෙනු ඇත. අවසාන වශයෙන් බ්‍රහ්ම පාදය සැලකීමේදී ඕනෑම හැඩයකින් යුතු ඉඩමක හරි මැද බ්‍රහ්ම පාදයයි. පන්සල්, පල්ලි, කෝවිල් වැනි පූජනීය ඉදිකිරීම් සඳහා බ්‍රහ්මපාදය යහපත්ය. මෙම ස්ථානය නිවාස සෑදීමට නුසුදුසු වුවත් මර්මස්ථානයක්, භෛරව පාදයක් වැනි අසුබ ස්ථානයක් නොවන බවත් සිහි තබාගත යුතුය. ඉඩමක උතුම්ම භූමි භාගයයි. දැන් ඔබට නිවෙසක් සෑදීම සඳහා ඉඩමක් සහිත නම් ඉඩමේ නිවෙස ස්ථාපිත කිරීම සිදුකළ යුත්තේ කුමන කොටස් සහසම්බන්ධ කොට ගනිමින්දැයි මනා අවබෝධයක් ලැබෙන්නට ඇතැයි සිතමි. මින් ඉදිරියට මෙම ගැටලුවලින් මිදී ඉඩම නිසි ලෙස ගළපා නිවෙස තනන්නට නුවණැති ඔබ සිතට ගත යුතුව ඇත.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk