වියපත් වූ කල සලකන පින්වත් දරුවන් ඔබටත් හිමිද?
මවුපියන්ට දරුවන් තරම් උතුම් සම්පතක් තවත් නැත. මේ නිසාම දරුවන්ගේ අනාගත දියුණුව සඳහා මවුපියන් මොනතරම් වෙහෙසක් කැප කිරීමක් කරනවාද, එහෙත් ඒ මහඟු ගුණ ගැන සලකා දරුවන් මවුපියන් වෙනුවෙන් ඉටුකළ යුතු යුතුකම් ඉටු කරන්නේ කීයෙන් කී දෙනාද. මෙය කෙනකුගේ කේන්දරයේ පස්වැන්නාධිපති පස්වැන්නේ ඇති ග්‍රහයන් හා ඒවාට ඇති ග්‍රහ දෘෂ්ටි සහ ලග්නය හා ඇති යෝගවලින් මනාව පෙන්නුම් කරයි.
දරුවන්ගේ තත්ත්වය පැහැදිලි කරන්නේ කේන්දරයේ පස්වැනි රාශිය හෙවත් පුත්‍ර ස්ථානයයි. මෙය හොඳින් පරීක්‍ෂා කිරීමෙන් තමාට දරුවන් සලකාවිද යන්න දැනගත හැකිය. එමෙන්ම උපදින දරුවා මවුපියන් වියපත් වූ විට සලකන කෙනෙක්දැයි දරුවාගේ කේන්දරයේ බන්දු තත්ත්වය හා නෑදෑයන්ගේ තත්ත්වය පැහැදිලි කරන ස්ථානයයි.
දරුවන්ගෙන් මවුපියන්ට මෙන්ම මවුපියන්ගෙන් දරුවන්ට ගෙනදෙන පල අපලද කේන්දරයේ මනාව සටහන් වෙයි. ඡන්ම පත්‍රයක පියා 9 වැනි කොටුව සහ රවියෙන්ද. මව 4 වැනි කොටුව සහ සඳුගෙන්ද නියෝජනය වෙයි. දහවල උපදින අයට සිකුරු මවු වෙයි. මෙම කොටුවල ග්‍රහයන් බලවත්නම් මවුපියන්ට ශීඝ්‍ර දියුණුවක් අත්වෙයි. තවද එම භාවයන් පාප ග්‍රහයන්ගෙන් පීඩිත වී සිටියොත් මවුපියන්ට පීඩා ගෙනදෙයි. කේන්දරයක ලග්නාධිපති බෙලහීනව 5 වැන්නේ සිටියහොත් දරුවන් අඩුවන අතර එම දරුවන්ට ඉතා අපලය. තුන්වැන්නාධිපති පස්වැන්නේ සිටින අයට දරුවන්ගෙන් උදවු උපකාර ලැබිය හැකි නොවේ. හත්වැන්නාධිපති පස්වැන්නේ නම් දරුවා මවට ඉතා ආදරය කරයි. පස්වැන්නාධිපති පස්වැන්නේ උච්චව හෝ ස්වක්‍ෂේත්‍ර වීම සහ යහපත් ග්‍රහයකු නීච නොවීම නිසා තමාගෙන් දරුවන්ට අපල නොවන අතර ඔවුන්ට දරුවන්ගෙන් සැප ලැබිය හැකිවේ. එමෙන්ම අට අධිපති පස්වැන්නේ සිටීමෙන් බුද්ධිමත් දියණියක් ලැබීමට හැකිවෙයි. තවද 9,10,11 අධිපතින් පස්වැනි භාවයේ සිටීමෙන් ධනයෙන් මෙන්ම යහපත් දරුවන් ලැබීමට හේතුවෙයි. පස්වැන්නාධිපති රවි සමඟ හෝ ගුරු සමඟ යෝග වීමෙන්ද උගත්, බුද්ධිමත් දරුවෝ බිහිවේ. සිකුරු එහි සිටීමෙන් රූමත් ගුණවත් දරුවන් හිමිවිය හැකිය.
පස්වැන්නාධිපති සහ ලග්නාධිපති පස්වැන්නේ ග්‍රහයන් ලග්නාධිපති හා මිත්‍ර වේ නම් දරුවෝ මවුපියන්ට හොඳින් සලකති. ලග්නාධිපති හා පස්වැන්නාධිපතිට පරිවර්තන යෝගයක් පිහිටා ඇත්නම්ද තත්ත්වය එසේම වෙයි. මෙම ග්‍රහයන් එකිනෙකාට ත්‍රිකෝණගත වූවද සුබපල වේ.
ගුරු, සඳු පස්වැන්නේ, බුධ තමාගේම රාශියේ රවි පළමුවැන්නේ, හතරවැන්නේ, පස්වැන්නේ, නවවැන්නේ සහ එකොළොස්වැන්නේ අශුභ දෘෂ්ටි සම්බන්ධයක් නොමැතිව පිහිටා ඇතිනම් ලැබෙන දරුවන් අකීකරුය.
පස්වැන්නේ කුජ, ශනි, රාහු හෝ කේතු සිටීම අකීකරු මවුපියන්ට නොසලකන දරු උපත් ගෙනදෙයි. පස්වැන්න ඔවුන්ගේ රාශියේ නම් දරුවන් මවුපියන් හා කල කෝලාහල නොකළද එකිනෙකා අවබෝධයකින් තොරව කටයුතු කරනු ඇත. මෙම ග්‍රහයන් පස්වැන්නේ වක්‍ර වී ඇත්නම් හෝ තවත් අශුභ ග්‍රහයන් හා සම්බන්ධ වී ඇත්නම් හෝ දෘෂ්ටියට ලක්වී ඇත්නම් හෝ දරුවන්ගෙන් මවුපියන්ට කරදර ඇතිවේ. ඔවුන් මවුපියන්ට නොසලකනු ඇත.
රවි පස්වැන්නේ සිටින විටදී ස්වල්ප වශයෙන් දරුවන් ලැබීමට හෝ නොලැබීමටද ඉඩ ඇත. චන්ද්‍රයා පස්වැන්නේ නම් බොහෝ දරුවන් ලැබිය හැකිය.
කුජ පස්වැන්නේ නම් උපදින දරුවන් අකීකරුය. බුධ පස්වැන්නේ නම් ඔවුන්ගේ දරුවන් ඔවුන්ට හිතවත්ය. ඔවුන්ගේ මවුපියන්ද ඔවුන්ට ළැදි මෙන්ම හයවැන්නේ නම් නෑදෑයන්ට විරුද්ධය.
පස්වැන්නේ බලවත් වූ ග්‍රහයන් පිහිටීම පස්වැන්නාධිපතියා බලවත් වීමද උසස්, ගුණවත් දරුවන් ලැබීමට හේතු වන්නකි. පහ බලවත් වී ගුරු උච්ච වීමෙන්ද දරුවන් බොහෝ දියුණුවට හේතුවන පිහිටීමකි. ගුරු නීචව සිටීමෙන් හා වෙනස් ආකාරයකින් දුර්වල වීමෙන් දරුපල අඩුවේ. ගුරුගේ දුර්වලතාව දරුවන් පිළිබඳ කරදර පෙන්වන බව සැලකිය යුතුයි.
පුත්‍රස්ථානාධිපතියාත්, ලග්නාධිපතියාත් ගුරු එක්ව සිටීමෙන් පියාගේ හැඩරුව හා ගතිගුණ ඇති දරුවෝ ලැබෙති. පියාගේ චරිතය ආදර්ශයට ගෙන ඔහු ගිය මඟ ඔස්සේ ගමන් කරන මොවුන් හා පියා අතර දිවි පවත්නා තුරු නොකැඩෙන සමීප සම්බන්ධතාවක් පවතී.
භාග්‍යස්ථානයේ ගුරු, සිකුරු, සඳු ආදී ග්‍රහයන් බලවත්ව සිටීමෙන් බොහෝ දියුණු වන දරුවන් ලැබෙන අතර මවුපියන්ටද දරුවන්ගෙන් ජීවිතයට සැප ලැබීමේ වාසනාව හිමිවෙයි. කීකරු, විනීත, ධර්මයට ළැදි දරුවන් වීමද විශේෂ ලක්‍ෂණයකි.
මොවුන් සමාජයට රටට වැඩදායක ජීවිත ගෙවන අය වීමත් ලෝකයාගේ ගරු බුහුමන් ලැබීමටත් හේතුවෙයි.
පහ අධිපතියා හා නවය අධිපතියා එක්ව සිටී නම් ඉතා උසස්, වාසනාවන්ත දරුවන් ලැබීමට හේතුවේ. දරුවන්ගෙන්ද මවුපියන්ටද ලොකු සතුටක් ලැබෙයි. මොවුන් හැමවිටම මවුපියන්ගේ දුක සැප සොයා බලමින් කටයුතු කරති. ඉගෙනීමට දක්‍ෂ, ඥානවන්ත, වැඩිහිටි ගුරුවරාදීන්ට ගරු කරන මනා හික්මීමෙන් යුතු අය වෙති.
බුධ සමඟ හෝ සඳු සමඟ හෝ පහ අධිපතියා සමඟ හෝ නවයේ හෝ රාහු පිහිටීම ඉගෙනීම අතරමඟ කඩාකප්පල් කර දැමීමට හේතු වන පිහිටීමකි. හතරේ, ෙදාළහේ, අටේ රාහු සිටීමෙන් විශේෂයෙන් උසස් අධ්‍යාපනයට බාධා කරදර පමුණුවයි. ගුරු සමඟ නම් එතරම් බාධාවක් ඇති නොකළත් අපහසුතාවකින් හෝ ඉගෙනීමේ කටයුතු කරගෙන යා හැකිය.
පහ අධිපතියා කුජ සමඟ නම් සටන්කාමී, උදේයාගිමත් දරුවන් ලැබිය හැකිය. ළමා කාලයේදී දඟකාර ගතියකින් යුක්ත වූවත් ශරීර ශක්තියෙන් වැඩුණු පසු අන්‍යයන් අභිබවා දියුණුව ලබන්නෝ වෙති.
හිඹුටානේ පියතිලක ද අල්විස් (09/01/2022 මව්බිම පුවත්පතේ තරුපති විශේෂාංගය)