Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

2022 අප කාටත් ඇඬෙන වසරක් වේවිද?

1 year ago 7 Min read
Subha.lk

නිදහස් ප්‍රතිඥාව කියවමින් ශ්‍රී  ලංකාවට නිදහස ලබාදුන් වෙලාවේ උදා රාශිය කුම්භ වේ. එබැවින් ලංකා හඳහන කුම්භ වශයෙන් ගනු ලබයි. 2022 වසරේ ග්‍රහයන් තැන්පත් වී ඇති සැටියෙන් සංහිතාපල සංග්‍රහය අනුව රටට වන දේ ගැන දැනගත හැකිය.

 

2022 වර්ෂයේ දශ අධිකාරීහු කවුදැයි බලන කල ශෂ්‍යාධිපති _ ප්‍රජාධිපති _ ධනාධිපති - ශකුණාධිපතිද _ නිරාසාධිපති _ ගෘහාධිපතිද යන අධිපති අවස්ථා තුන නිවේදනය වන්නේ ශනි හෙවත් සෙනසුරුගෙනි. වී ගොවිතැන, එළවළු, පලතුරු මෙන්ම තේ වගාව ආදී ආර්ථික බෝග වගාවන් ශෂ්‍යාධිපතිට අයත් වෙයි. බාල, මහලු, ලොකු, කුඩා, ඇති, නැති පරතරයේ පවතින සියලු ප්‍රජාවම නිරාසාධිපතිට අයත් වෙයි. ධන ධාන්‍ය, වී හාල් ආදී බෝග ඇතුළු ලෝහ කර්මාන්ත - ලෝහ _ මිනිරන් ආකර _ මැණික් මෙන්ම ගෙදර‍ෙදාර ගෘහ මූලිකයන්ද මේ වසරේ ශනිට අයත් වෙයි.

 

 ලංකා කේන්දරයේ ලග්නාධිපතියා වන්නේද ශනි ග්‍රහයාම වෙයි.

රට පිළිබඳ තත්ත්ව සමීක්ෂණයට ලක් වෙන ප්‍රධාන ග්‍රහයා වන ශනි තම සතුරා වන සඳුට අයත් සුවණ නැකැතේ පෙබරවාරි 18 වැනිදා දක්වා සංචරණය වෙයි. පසුගිය වසරේම සිටියේත් සුවණ නැකැතේ වෙයි. රට මේ තරම් අගාධයකට ඇද වැටුණේ එම නිසා බව සලකන්න. සඳු සිතට අධිපති ග්‍රහයා බැවින් රට කරවන පාලකයන්ගේ සිත් තුළ හරි දැක්මක් සහ හරි අවබෝධයක් ඇති නොකළේ ඒ නිසයි. 

 

 

දුකට අධිපති ශනි විසින් එසේ සිතට අධිපති සඳුට සිදුකළ බලවත් පීඩනයේ දුක්ඛිත අවස්ථාව උදා වන්නේ නව වසරේ මුල් කාර්තුවේ සිට බව සැලකිය යුතුයි.

 

ජනවාරි 19 වැනිදා සිට පෙබරවාරි 21 දක්වා ශනි අස්ත වෙයි. මෙම දුර්වල වීම නිසා ශෂ්‍යාධිපති _ ප්‍රජාධිපති _ ධනාධිපති _ නිරසාධිපති- ගෘහාධිපති යන අධිකාරීන්ගෙන් නියෝජනය වන සියල්ලේ විනාශය ඇති වන්නේය.

 

මන්ත්‍රියාධිපති හෙවත් අගමැති සහ ඇමැති මඬුල්ල නිවේදනය වන්නේ ගුරු ග්‍රහයාගෙනි. එම ගුරු පෙබරවාරි 19 සිට මාර්තු 31 වැනිදින දක්වා අතර කාලයේදී අස්ත වෙමින් දුර්වල වෙයි. අස්ත වූ ග්‍රහයා මළ ග්‍රහයෙකි. මේ හේතුවෙන් ප්‍රධානීන්ගේ හදිසි රෝගබාධ _ හදිසි අනතුරු - හදිසි මරණ සිදුවිය හැකිය. පාර්ලිමේන්තුවේ ගුටිකෙළි හුවමාරු වන තරමට පත්වෙයි. උණුසුම් වාද විවාද ඇති වෙයි. රටට නොගැළපෙන අණ පනත් ගිවිසුම් අස්සන් කර ගැනීමට මාන බලයි.

 

ජනවාරි 12 බුධ අස්ත වී දුර්වල වෙයි. මේ වසරේ අර්ඝාධිපති මේඝාධිපති - සේනාධිපති යන ප්‍රධාන අවස්ථා තුනක අධිකාරි බලය බුධට අයත් වෙයි. බුධගේ දුර්වල වීම හේතුවෙන් හමුදාපති ආදී සේනාධිපතීන්ට හදිසි අනතුරු සහිත අපල ඇති වන කාලයක් වෙයි. ඒ අය මහජනයාගේ අප්‍රසාදයට පත්වේ. මහජන කැලඹිලි, උද්ඝෝෂණ තදින් ඇතිවෙයි. අත්‍යවශ්‍ය බඩු භාණ්ඩ මිල ඉහළ යෑම, දුප්පත් මෙන්ම මධ්‍යම පාන්තිකයන්ටත් බඩට වදින මරු පහරක් වෙයි. 

 

දැඩි නියඟයත්, ගොවිතැනට අවශ්‍ය වෙන පසට පුරුදු වී ඇති අමුද්‍රව්‍ය නැති වීමත් හේතුවෙන් බත් පතට හෙනසුරා ලබයි. තදින් කුසගින්දර දැනෙන වසරක් වෙයි. ඒ අතර මහල්ලන් විසින් දැරියන් කෙලෙසීම, බාල අපරාධ හා අපචාරයන් ඇතිවීම, කාන්තා මරණ, අබිරහස් මරණ ඇතිවීම, හොරකම _ මංකොල්ල කෑම උග්‍රවීම, අකුණු අනතුරු - පස් කඳු කඩා වැටීම ආදී හැම අතකින්ම ඉහත සඳහන් කළ වකවානුව තුළ විපත් ඇති වෙයි. වසංගත රෝගවලින් සිදුවන විපාකද වැඩි වෙයි. සියල්ලෝම කුසගිනි උසුලාගෙන හෝ පිළිවෙත් ගරුක වුණොත් තරමක සහනයක් ලැබෙනු ඇත. සැමට ශුභ නව වසරක් වේවායි පතමි.

 

 

සාමවිනිසුරු ජ්‍යොතිෂ්‍ය ශබ්ද විද්‍යා විශාරද

බෙල්පාමුල්ලේ එච්. පී. සිරිසේන (09/01/2022 මව්බිම පුවත්පතේ තරුපති විශේෂාංගය)

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk