Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

විවාහය ප්‍රමාදයිද?

1 year ago 7 Min read
Subha.lk

තම පෙම්වතා හෝ පෙම්වතිය කවදා කෙසේ හමුවේදැයි තරුණ තරුණියන් නිතර අසන ප්රශ්නයකි. ජේ‍යාතිෂ න්‍යායන් ඉගෙන ගත් පමණින්ම මේ ප්‍රශ්නයට පිළිතුරු දීමට ඉක්මන් නොවී දහස් ගණනක් විවාහක ස්ත්‍රී – පුරුෂයන්ගේ කේන්දර සමඟ ඒ අය විවාහ වූ දිනයත් සහකරු හෝ සහකාරිය මුණගැසුණු ආකාරයත් පිරික්සීමි. මෙසේ පරීක්ෂණ තුළින් හෙළි වූ කරුණු ස්වල්පයක් ඔබ හමුවේ විස්තර කරනුයේ ඔබේ කේන්දරය ඔබටම බලා තේරුම් ගැනීම පිණිසය. ඇතැම් අයට උත්සව අවස්ථාවකදී අනාගත තම සහකරු හෝ සහකාරිය හමුවනු ඇත. තවත් අයට ආගමික ස්ථානයකදීද තවත් අයට මරණ වැනි ශෝක අවස්ථාවකදීද තම අනාගත සහකරු හෝ සහකාරිය හමු විය හැකිය. රැකියා කරන ස්ථානයකදී හෝ පාසල් අවධියේදී ඇතිකර ගන්නා ප්‍රේම සම්බන්ධතාද යුගදිවිය දක්වා වර්ධනය වන අවස්ථාද ඇත. වයස 16 වැනි බාල වියේදීම ඇතැම් අය යුග දිවියට පා තබන අතර ඇතැම් අයට වයස හතළිස් ගණන් ගෙවී ගියද විවාහයක් සිදුකර ගැනීම අපහසු කරුණකි. එක් ප්‍රාදේශීය රජයේ නිලධාරියෙක් තම සහකාරිය සොයා ගත් සැටි උදාහරණයක් වශයෙන් දැක්විය හැකිය. එම නිලධාරියාට වෙනත් සහෝදර සහෝදරියන් නොසිටි අතර පියා මියගියේ ඔහු බාල කාලයේදීමය. මව සෑම උත්සාහයක්ම ගෙන ඔහුට උගන්වා උසස් නිලධාරියෙක් බවට පත් කළ සැටිත්, ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන් අවවාද අනුශාසනා කළ සැටිත් ඔහුට මතකය. විවාහ වීමේදී තම තත්ත්වයට ගැළපෙන සහකාරියක් සෙවීමට මව විසින් මඟුල් කපුවන් යොදවා ඇති බව ඔහු දනී. මේ අතර තම කාර්යාලයට පැමිණි එක්තරා පාසල් ගුරුවරියකගේ ප්‍රශ්නය වූයේ නැති වූ කූපන් පොත් ලබාගැනීමය. ඒ කාලයේ සැමටම කූපන් පොත් හෙවත් සලාක පොත් අයත් විය. සාමාන්ය නිලධාරියෙක් ඇගේ ප්‍රශ්නය මඟහැරිය නිසා ඇය මෙම උසස් නිලධාරියාටම තම ප්‍රශ්නය ඉදිරිපත් කළාය. සාමාන්ය නිලධාරියකුට වහා එය ඉටුකරන මෙන් අණකර ඔහු ඇය සමඟ සුහදව කටයුතු කළේය. මෙයින් මාස කිහිපයකට පසු අතරමඟදී මෙම නිලධාරියාගේ මෝටර් රථය ක්‍රියා විරහිත විය. ඔහු රථයෙන් බැස කාර්මික දෝෂය පරීක්ෂා කරද්දී පාසල් ඇරී ගෙදර යමින් සිටි ගුරුවරියක් ඔහු සමඟ කතා කළාය. ඔහුගේ සිතේ ඒ වන විටත් නලියමින් තිබූ මුල් දින මුණගැසීම අලුත් විය. මාස කිහිපයක් ඔවුනොවුන් නිතර හමුවීම් ආදියෙන් පසුව විවාහ ගිවිස ගත්හ. මේ අයගේ කේන්දර පිරික්සීමෙන් පසු පෙනී යනුයේ රාජකාරි අවස්ථාවකදී සහකාර, සහකාරියන් ලැබීමට ඇති බවය. තමා උපන් ලග්නය කුමක් වුවත් උපන් ලග්නයෙන් හත්වැන්න විවාහය සම්බන්ධයෙන් විශාල බලපෑමක් ඇති කරයි. හත්වැන්නේ සිටින ග්‍රහයන් හා හත්වැන්නාධිපති ග්‍රහයන් හත්වැන්නට වැටෙන ග්රහ දෘෂ්ටීන් හා හත්වැන්නාධිපතියාට වැටෙන ග්රහ දෘෂ්ටීන්ද සලකා සහකරු හෝ සහකාරිය මුණගැසෙන ආකාරයද විවාහ වන දවසද කාලයද පැවැසිය හැකිය. පළමුව විවාහ වන දවස සොයමු. මෙතෙක් අපගේ පරීක්ෂණයට ලක්වූ අයගේ කේන්දරවලින් හෙළි වූ පරිදි හත්වැන්නේ යම්කිසි ග්‍රහයෙක් සිටී නම් හෝ හත්වැන්නාධිපති ග්‍රහයාගේ හෝ හැත්වැන්න බලවත්ව දෘෂ්ටි හෙළන ග්‍රහයාගේ හෝ දවස ජන්මියා විවාහ වන දවස වශයෙන් සැලකිය යුතුය. ඉරිදා රවි ග්‍රහයාටත්, සඳුදා සඳු ග්‍රහයාටත් අයත් වේ. එසේම අඟහරුවාදා -කුජ, බදාදා – බුධ, බ්‍රහස්පතින්දා -ගුරු, සිකුරාදා -සිකුරු, සෙනසුරාදා- ශනි වශයෙන් සතියේ දින හත ප්‍රධාන ග්‍රහයන් හත්දෙනාට අයත් වේ. රාහුට හා කේතුට දින වෙන්කර නැති නමුත් රාහුගේ ක්‍රියාකාරීත්වය සෙනසුරුටද. කේතුගේ ක්‍රියාකාරිත්වය අඟහරුටද අයත් සේ සලකයි. මේ අනුව විවාහ වන දිනය හත්වැන්නේ සිටින ග්‍රහයාට හෝ හත්වැන්නාධිපතියා වන ග්‍රහයාට හෝ හත්වැන්නට බලවත් දෘෂ්ටිය හෙළන ග්‍රහයාට හෝ අයත් දවස බව තේරුම් ගත යුතුය. විවාහ වන කාලය තේරුම් ගැනීම සඳහා හත්වැන්නාධිපතියාගේ හෝ හත්වැන්නේ සිටින ග්‍රහයාගේ හෝ හත්වැන්නට බලවත් දෘෂ්ටි වැටෙන ග්‍රහයාගේ මහ දශා, අතුරු දශා විදශා හා සූක්ෂ්ම දශා කාලයන් බැලිය යුතුය. එසේම ග්රහ ගෝචර තත්ත්වයන්ද සැලකිල්ලට ගත යුතුය. මේෂ ලග්න හිමියන්ට හත්වැන්නාධිපතියා වනුයේ සිකුරු ග්‍රහයාය. ඔහුගේ හෝ ඇයගේ විවාහය ගැන බැලීමේදී සම්පූර්ණයෙන්ම සිකුරුගේ බලපෑම ගැන පමණක් සැලකිලිමත් වීම ප්‍රමාණවත් නැත. සිකුරු කේන්දරයේ උසුලන බලය මෙන්ම හත්වැන්නේ වෙනත් ග්‍රහයන් සිටී නම් ඒ ග්‍රහයන් ගැනද හත්වැන්නට වැටෙන දෘෂ්ටීන් පිළිබඳ සලකා බලා තීරණය කළ යුතුය. සෑම මේෂ ලග්න හිමියන්ටම ඒකාකාරී නොවූ විවිධ ආකාරයෙන් විවාහයන් සිදුවනුයේ එම නිසාය. සිකුරු පමණක් බලපාන්නේ නම් සෑම මේෂ ලග්න හිමියකුගේම විවාහය ගැන සමානව කතා කළ හැකි විය යුතුය.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk