Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

විභාග ජය ගැනීමට සරස්වතී මෑණියන්ගෙන් ආශීර්වාදය ලබා ගන්න ක්‍රමයක්

1 year ago 7 Min read
Subha.lk
මාපියන් විසින් සිහින දකින්නේ තමන්ගේ දුව හෝ පුතා අධ්යාපනයෙන් ඉහළට ගොස් තම දරුවා රටේ ඉහළ පිළිගත් වැඩදායී පුද්ගලයෙක් බවට පත් කිරීමටයි. ඒ සඳහා මාපියන්ට කළ හැකි සියලු දේ සිදුකරයි. ඒ අතර දරුවන්ට සෙත්පතා බෝධි පූජා පැවැත්වීම, සරස්වතී යන්ත්ර පැලැන්දීම, සරස්වතී තෛලය පැලැන්දීම, සරස්වතී පූජා පැවැත්වීම, ගණදෙවි පූජා පැවැත්වීම, සෙත්කවි ගායනා කිරීම ආදී බොහෝ කෙම් පහන්ද වෙයි. විභාග උණුසුම දැඩිව පවතින මෙම මොහොතේ අපගේ පාඨක ඔබ වෙත සරස්වතී මෑණියන්ගේ පිහිට ලබා ගැනීමට ක්‍රමවේදයක් මෙහි දක්වමු. මෙය ලොකු කුඩා සියලු දෙනාටම තරග විභාග ජය ගැනීමට භාවිත කළ හැකිවේ. මේ සඳහා පිරිසුදු රන් තැඹිලි තෙල් වුවමනා කරයි. සාදාගන්නා ආකාරය:- හොඳින් වේළුණු රන් තැඹිලි ගෙඩියක් ගෙන ලී උලකින් ලෙලි ගසා ලී හිරමනයක් (තලය ලී විය යුතුයි) භාවිත කර පොල් ටික සිහින්ව ගාගන්න. ඉන් පසු එය වතුර නොදමා මිරිකා ගන්න. දැලක් වැනි සිනිදු පිරිසුදු රෙදි කඩක් යොදා මිරිකීම වඩාත් සාර්ථක වේ. මෙලෙස මිරිකා පෙරා ගත් කිරි ටික වීදුරු භාජනයක දමා දින 7ක් අව්වේ තබන්න. බ්‍රහස්පතින්දා දින මෙය ආරම්භ කිරීම වඩාත් සුදුසුවේ. ලිත් පොත පරිහරණය කිරීමට දන්නා අයට සරස්වතී නැකැත් හෝ ගුරු හෝරාව වැනි සුබ නැකැත් භාවිත කිරීම මඟින් ප්‍රතිඵල වැඩි කර ගත හැකිය. මෙලෙස අව්වේ කකාරා හිඳගත් තෙල පිරිසුදු වීදුරු භාජනයකට හෝ කුප්පියකට දමා ගන්න. මෙලෙස හිඳගත් තෙල් පහන මන්ත්‍රයෙන් දහස්වර ජප කර ගන්න. ක්‍රමවේදය: - පිරිසුදු ලී පුටුවක් ගෙන සුදු පිරුවට එළා, කෙසෙල් කොළයක් ඒ මත එළා බුලත් 7, පඬුරු කාසි 7 තබා පුවක්මල් කිනිති අතුරා, සුවඳ මල්, පාට මල් පුදා, කැවිලි, පලතුරු, තැඹිලි පුදා පහන් දල්වා සුවඳ දුම්දී (නා පිරිසුදු වී පිරුවට ඇඳ) තෙරුවන් නමැඳ ජීවම ආරම්භ කරන්න. මෙය සිදු කිරීමට ඉතාමත් පිරිසුදු ස්ථානයක් තෝරා ගැනීම සුදුසුයි ජීවම් මන්ත්රය: - “බුද්ධි බුද්ධි වර්ධනී අරිය තාරා ප්‍රඥ්ඥා ධාරනී චන්ද දිෂ්ටි සූර්ය දිෂ්ටි මාගේ නලලතේ ශි්‍රයා කාන්තා දේවී දිෂ්ටි වර වර මුඛ ධාරනී ධාරනී නම– ” (‘මාගේ’ යන තැනට ඕනෑ අයගේ නම යොදාගත හැකිය.) මෙයින් 1000 වර ජීවම් කරගත් තෛලය පිරිසුදු ස්ථානයක තබා ගන්න. නැවත භාවිත කරන විට 108 ජීවම් කර අලුත් කරගන්න. මෙයින් ගත හැකි වැඩ මෙසේයි: 1. රන්, රිදී, පස්ලෝ යන සුරයක ලා පැලඳීම සුබයි. 2. තරග විභාග සඳහා පිටත්වන විට තෙල නළලේ ගා යෑම සුබයි. 3. මෙම මන්ත්‍රයෙන් 108 වර මතුරා තැඹිලි පානය කිරීම සුබයි. 4. මෙම මන්ත්‍රයෙන් උදෑසන දින 7 ලුණුවිල ඉස්ම මේස හැන්දක් ගෙන 108 වර මතුරා පානය කිරීම සුදුසු වේ. මෙය ඔබට ගෙන ආවේ නොදන්නා අයකුට වුවත් ඉතාමත් පහසුවෙන් කරගත හැකි පරිද්දෙනි. රටේ ඇතිවී ඇති තත්ත්වය මත දරුවනට යන්ත්ර පැලඳවීමට තියා තුන්වේල හරිහැටි ආහාර ගැනීමටත් බැරි තත්ත්වයක් අපට උදාවී තිබේ. මෙය සඳහා නැකැත් හා යන්ත්ර මන්ත්ර දන්නා උදවිය එහි බලය වැඩි කිරීම සඳහා තවත් මන්ත්ර යොදා ගත්තාට කමක් නැත. සරස්වතී මෑණියන්ගේ පිහිට ලබා ගැනීමට බොහෝ තෙල් වර්ග අපගේ ජාතිය සතුව පවතී. ඒ අතර සරස්වතී තෛලය, මහා සරස්වතී තෛලය, චන්ද සරස්වතී තෛලය, අග්නි සරස්වතී තෛලය, බ්‍රහ්ම සරස්වතී තෛලය, විෂ්ණු සරස්වතී තෛලය, ධාරණ සරස්වතී තෛලය ආදී තෙල් වර්ග ඇත. ඒවා සකස්කර ගැනීම ඉතා අපහසු වේ. ඒ සඳහා ඔෟෂධ වර්ග බොහෝ යෙදිය යුතුය. අපද දින කිහිපයකට ඉහතදී ඉතාමත් වෙහෙස මහන්සි වී සරස්වතී තෛලය සකස්කර ගනිමු. එම නිසා එම තෛලයේ ගුණ බල අප දතිමු. මෙහි දැක්වූයේ ඔබට නොමිලේ තම දරුවන් වෙනුවෙන් සරස්වතී මෑණියන්ගේ පිහිට ආශීර්වාදය ලබාගත හැකි ක්‍රමවේදයකි.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk