Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

සෙනසුරු මිතුරු – සතුරු විස්තර මෙන්න

1 year ago 7 Min read
Subha.lk
ශ්රී ලාංකිකයන් මෙන්ම බොහෝ ඉන්දියානුවන් ද විශ්වාස කරනුයේ ග්රහයන් නවදෙනකු පිළිබඳවය. එයිනුත් රාහුට හා කේතුට නැකැත් හා දශා වෙන්ව නොතිබුණේ නම් යුරේනස්, නැප්චූන්, ප්ලූටෝ වැනි තත්ත්වයකටවත් සැලකීමක් නැති වන්නට ඉඩ තිබුණි. රාහු හා කේතු සංකල්පීය ගණිතමය ලක්ෂයයන් දෙකක් මිස පදාර්ථ ග්රහයන් නොවේ. පදාර්ථයන්ගෙන් සැදුම්ලත් යුරේනස්, නැප්චූන්, ප්ලූටෝ පිළිබඳව වැඩි සැලකිල්ලක් නොදැක්වුවද ලෝකායත ජ්යොතිෂයේදී පලාපල කථනයට ප්රබලව යොදාගනී. මෙම ග්රහයන් අතීතයේදී වරුණ, ඉන්ද්ර යම ලෙසින් නම්කර තිබූ අතර වසර 6000කට පමණ පෙර විසූ කාකබුජන්දර මහර්ෂී විසින් අරක්කන්, සමාරයන්, කන්දකන් ලෙස ද්රවිඩ බසින් නම්කර ඇති බව ද පොතපතෙහි සඳහන්ය. පිරුවානා පොත් වහන්සේ ගෙන බැලූ විට ‘ඉන්දෝ වරුණෝ සෝමෝ ච’ යන්න දැක ගන්නට හැකිවේ. ඒ අනුව මෙම ග්රහයන් 1781 ත් 1930 ත් අතර සොයා ගත්තවුන් නොව දියුණු ආධ්යාත්මයක් ඇති සෘෂිවරුන් සිටි යුගයේ සොයාගත්තවුන් බවත් වැඩිපුර භාවිතා නොකිරීමෙන් ඔවුන් මිනිසාට අමතකව ගොස් තිබූ බවත් පැහැදිලිය. ඉදිරියේදී මෙම ග්රහයන්ගේ කාරකත්වය හා ගති සිරිත් පිළිබඳව පාඨක ඔබට කරුණු ලියන්නට අදහස් කරමි. අද අප සෙනසුරු නොහොත් ශනි පිළිබඳව සාකච්ඡා කරමු. මුලින් සඳහන් කළ සෑම ග්රහයකුගෙන්ම පල මෙන්ම අපල ඇතිවේ. ඒ අතරින් සෙනසුරු විශේෂ ග්රහයෙකි. ශනි අපල ඇති කරනවාට අමතරව ඒරාෂ්ටක තත්ත්වයන් ද ඇති කරයි. හුදී ජනයා සියලු අපලයන්ට වඩා ශනිගේ ඒරාෂ්ටක අපලවලට මහත් බියක් දක්වති. ශනි රාශී චක්රයේ එක් වටයක් ගමන් කරන විට ජන්මියකුට ඒරාෂ්ටක හතරක් ඇති කරයි. ඒවා ලග්න ඒරාෂ්ටකය, ජන්ම ඒරාෂ්ටකය, ලග්න අෂ්ටම ඒරාෂ්ටකය හා ජන්ම අෂ්ටම ඒරාෂ්ටකය ලෙස හඳුන්වයි. මෙම ඒරාෂ්ටක හතර සඳුගේ පිහිටීම මත දෙවතාවකින් ද තුන් වතාවකින් ද හතර වතාවකින් ද ජන්මියකුට ලබා ගෙවී යන්නට පුළුවන. ලග්න ඒරාෂ්ටකය වසර 7 1/2 ක්ද අනෙක් ඒරාෂ්ටක වසර 2 1/2 බැගින් ද පවතින බව සාමාන්ය විශ්වාසයයි. සෙනසුරුගේ ඒරාෂ්ටක කාලයන් භයානක වීමට පුළුවන. එය තීරණය වනුයේ යම් ජන්මියකුගේ ජන්ම කේන්ද්රයේ ශනිගේ හා සඳුගේ පිහිටීම අනුවයි. අනෙක් කරුණ නම් වෙනත් ග්රහයන්ගේ දශා හා යෝග පිළිබඳව සැලකිලිමත් විය යුතුය. සමහර ජන්මීන්ට ඒරාෂ්ටක ලැබූව ද එයින් එම ජන්මියාට ලාභ ඇතිවීමට ද නොඑසේ නම් යම් පමණකට ශුභ ඵල ඇතිවීමට ද ඉඩ ඇත. සඳුගෙන් හෝ ලග්නයෙන් අටවැන්නේ ශනි ගමන් කිරීම අෂ්ටම ඒරාෂ්ටකයන් වේ. මෙවැනි අවස්ථාවක සඳුගේ දශාවක් ද ලබා තිබුණොත් තත්ත්වය වඩාත් බරපතළ විය හැක. ඒරාෂ්ටක තත්ත්වයක් නොමැතිව උවත් ශනිගේ ගමනේ භයානක තැන් නැත්තේම නොවේ. විශේෂයෙන්ම ශනි දහවැන්නේ ගමන් කිරීම යමකුට අශුභ ඵල ලබාදීමට හේතු විය හැක. මන්ද එවන් අවස්ථාවක රවිගේ දශාවක් ලබා තිබෙන්නට පුළුවන. එසේම ශනි හත්වැන්නේ ගමන් කරන විට ඒරාෂ්ටකයක් නැතත් කුජගේ දශාවක් පවතින්නේ නම් ජන්මියාට බරපතළ අශුභ ඵල භුක්ති විඳින්නට සිදුවිය හැක. ඒ බව ‘අෂ්ට මන්දේ දශා චන්ද්රේ-දස මන්දේ දිවාකරේ සප්ත මන්දේ මහිපුත්රේ-ඒවං ප්රාණ විනාශනඃ’ යන්නෙන් පැහැදිලිය. මේ අනුව දශා අතුරු දශා පිළිබඳවත් සියුම්ව සොයා බලා තීරණයකට එළැඹිය යුතුය. එසේම ඒරාෂ්ටක කාලයකදී විඳින්නට සිදුවිය හැකි විපාකයන් කීපයක් මෙසේ විස්තරව ඇත. ‘දුර්වර්ණ දේහබල වීර්ය යශඃ ප්රහීණං-කාර්යය ප්රමාද ධන හානි වියෝග දුඃඛං ශත්රැංහි භීත වධ බන්ධන රෝග පීඩා-ඒරාෂ්ට ජන්ම ද්වීදශ මන්ද යුතඃ ද්විතීයේ’ ශරීරය දුර්වර්ණවීම, කායබල නැතිවී යෑම, වීර්යය හා යසස නැතිවී යෑම, වැඩකටයුතු ප්රමාදය, ධන හානිය, බන්ධු වියෝගය, දුක, සතුරු බිය, වධ බන්ධනයන්ට හසුවීම, රෝග පීඩාවන් ඇතිවීම ආදී බොහෝ දුක් සෙනසුරු ලග්නයේ හෝ දොළොස්වැන්නේ හෝ දෙවැන්නේ ගමන් කරද්දී ඇතිවීමට පුළුවන. මේ ලග්න ඒරාෂ්ටකයේ ස්වභාවයයි. ශනිගේ ඒරාෂ්ටක පල ලියා නිම කරන්නට මෙවැනි ලිපියක් ප්රමාණවත් නොවේ. මෙය කියවන පාඨක ඔබ දැන් බියවිය යුතු නැත. ඒ වෙනුවෙන් බොහෝ පිළියම් ද පවතී. ඔබගේ ජ්යොතිෂවේදියා ඒ සඳහා ඔබට මඟපෙන්වනු ඇත. වර්ෂා දිනයක කුඩයක් රැගෙන ගමන් කරන අප සම්පූර්ණයෙන් නොතෙමුන ද පිණිපොද වැදීමෙන් යම් පමණකට තෙමෙන බව දනිමු. වාහනයක ගමන් කළේ වී නමුත් එයින් බසින මොහොතේ හෝ සුළු වශයෙන් තෙමෙන බවද දනිමු. එහෙත් අප කුඩය විසිකර පා ගමනින් ඇවිද ගියේ නම් සම්පූර්ණයෙන්ම තෙමී සමහරවිටෙක අසනීප වන්නටද පුළුවන. සෙනසුරු අපලයට හෝ ඒරාෂ්ටකයට මෙය ආදේශකොට බලා වුවමනා පිළියම් යෙදීමෙන් යම් ආරක්ෂාවක් ලබා ගැනීමටත් දිවි ගමනට සුවිශේෂී අත්දැකීම් ලබා ගැනීමටත් හැකිවන බව මතක තබාගත යුතුය. දක්ෂ ජ්යොතිර්වේදීන් සියලුම ග්රහයන්ගේ තත්ත්වයන් සියුම්ව පිරික්ෂා කළ යුත්තේ කුමක්දැයි ජන්මියාට පහදා දෙනු ඇත.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk