Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

2023 සාර්ථක කර ගන්න වරාහි මෑණියන්ගෙන් ආශිර්වාද ලබාගමු

1 year ago 7 Min read
Subha.lk
වාරාහි දේවිය යනු හින්දු දහමේ මවු දෙවඟනන් අට දෙනාගෙන්, (1. බ්රාහ්මි 2. මහේෂ්වරී 3. කෞමාරි 4. වෛශ්නවී 5. වාරාහි 6. මහේන්ද්ර 7. චාමුණ්ඩි 8. නරසිම්හී) පස්වැනි දේවියයි. ඇය ශක්ති ස්වරූපයකි. තවද විෂ්ණු දෙවියන්ගේ දසමහා අවතාරවලින් එකක් වන වරහා අවතාර ස්වරූපයේ ස්ත්රී ශක්ති ස්වරූපයයි. එමෙන්ම විෂ්ණු දෙවියන්ගේ ශක්තීන් තුනෙන් (වෛශ්නවී, නරසිංම්හි, වාරාහි) එක් ශක්තියක්ද වේ. එපමණක්ද නොව ඇය තුළ ශිව ශක්ති සදාශිව ශක්තියද ගැබ්ව පවතින ඉතා බලවත් දෙවඟනකි. වාරාහි දේවියගේ මුහුණ වල් උෟරකුගේ මුහුණට සමාන වන අතර ශරීරය ඉතා සුන්දර ස්ත්රී දෙවඟනකට සමාන වේ. ඇයගේ නෙත් ඉතා තියුණු අතර ඇයගේ ශක්තිය හා බලය ඇගේ නාසයේ ඇතැයි කියනු ලැබේ. තවද අෑ භූ දේවීද (භූමියට අධිපති-රත්රන් මිනිරන් මැණික් ආදියද ඇතුළත්ව) වාක්කු දේවීද (වාග්, කථනයට අධිපති) වේ. වාරාහි මෑණියන් වෙනුවෙන් දේවස්ථාන රාජ රාජ චෝලන් රජු විසින් ඉන්දියාව පුරාද ඉදිකර ඇත. වේදයන්හි සඳහන් ආකාරයට ඇය ඉතා සුරූපී දේවතාවියකි. එනම් රතු වස්ත්ර පැලඳ නෙළුම් මලක් මත හිඳ සිටින, මුහුණේ දීප්තිය සූර්යයන් මිලියන ගණනකට සම කර ඇති, ගෙලෙහි දියමන්ති ආභරණ පැලඳ සිටින, විවිධ ආයුධ අත් මත දරාගෙන සිටින දිව්යමය අංගයන් රාශියක් ඇති දෙවඟනක් ලෙසටය. තවද ඇය මහා විද්යාවේ කමලා දේවියගේ ස්වරූපය හා ලක්ෂ්මී දේවියගේ ස්වරූපය සමඟ සම්බන්ධ දේවතාවියක්ද වේ. ඇය ලක්ෂ්මී ස්වරූපයක් ලෙස වඩා ප්‍රචලිතය. ශ්‍රී විද්‍යාවේ බලය කුරුකුල්ලා සමඟින් සංකේතවත් කරන ඇය ශ්‍රී ලලිතා ත්‍රිපුර සුන්දරී මාතාවගේ හමුදාවේ සේනාධිපතිනියද වේ. තවද ආඥා චක්‍රයේ අධිපතිනියද ඇයයි. දණ්ඩනිකා හා දණ්ඩනාථ ලෙසද ඇය හැඳින්වේ. දේවි මහත්මම්ට අනුව දුර්ගා දේවිය සමඟ වාරාහි දේවිය මී හරකකු පිට නැඟී කඩුවක්, පළිහක් හා එළුවකු අල්ලාගෙන යක්ෂ හමුදාව හා සටනට යන ආකාරය ප්‍රකාශ කෙරේ. දේවි මහත්මම් අවසාන කථාංගයට අනුව දුර්ගා දේවිය රක්තබීජ අසුරයා ඝාතනයේදී තම ශරීරයෙන් මාත්‍රිකාවන් නිර්මාණය කර එම මාත්‍රිකාවන්ගේ උපකාර ඇතිව රක්තබීජගේ සම්පූර්ණ හමුදාව විනාශ කළ බව සඳහන් වේ. තවද ෂුම්භ යන යක්ෂයා දුර්ගා දේවියට තනි සටනකට අභියෝග කළ විට ඇය සියලුම මාත්‍රිකාවන් තමා තුළට අවශෝෂණය කළ බව පැවසේ. වාමන පුරාණයෙදී චන්ද්‍රිකා දිව්ය මවගේ (පාර්වතී මෑණියන්ගේ ස්වරූපයක්) ශරීරයේ විවිධ ස්ථානවලින් මාත්‍රිකාවන් හටගත් බව කියවේ. මත්ස්ය පුරාණයට අනුව වාරාහි සහ මාත්‍රිකාවන් ශිව දෙවියන් විසින් අන්ධගා අසුර විනාශ කිරීම සඳහා නිර්මාණය කර උදවු ලබාගත් බව සදහන් වේ. ශ්‍රී භගවත් පුරාණයට අනුව වාරාහි සහ මාත්‍රිකාවන් උත්තරීතර මවු දෙවඟන විසින් අවශ්ය විටදී අසුරයන් සමඟ සටන් කිරීමට නිර්මාණය කෙරූ බව සඳහන් වේ. ලලිතා සහස්‍රනාමයෙහි වාරාහි හැඳින්වෙන්නේ විසූකරන් යක්ෂයාගේ විනාශකාරිය ලෙසයි. වාරාහිය මරණයේ දෙවියා වන යමගේ ශක්තිය වන යමී හා සම්බන්ධව සිටිනා නිසා වෛවස්වතී නාමයෙන්ද ආමන්ත්රණය කරනු ලබයි. වරාහි දේවිය තාන්ත්‍රික දේවියක් ලෙසද ගැනේ. ඇයගේ අවතාර පහකි. 1.ස්වප්න වරාහි, 2.චණ්ඩ වරාහි, 3.මහී වරාහි (බහිරවී), 4.මත්ස්ය වරාහි, 5. ක්‍රච්ඡ වරාහි යනුවෙනි. වරාහි දේවිය රෞද්ර දේවියක් ලෙස පෙනුණද ඇයට ඇත්තේ ඉතා මෘදු හදවත් බව පැවසේ. ඇයට තරම් කාරුණික හදවතක් වෙනත් දෙවි කෙනකුට නොමැති තරම්ය. කාරුණායියේ උෟරුවානවලේ වාරාහි ලෙස බැතිමතුන් ඇය අමතයි. තම භක්තිකයා හදවතින්ම ඇය ඇමතූ විට ඇය කිසිවිටක හිස් අතින් තම භක්තිකයා නොයවනා බවටද හා ඇයට නැමදීම තුළින් ශ්‍රී ලලිතා මෑණියන් වෙත පහසුවෙන් සමීප වීමටද අවස්ථාව උදාවන බවටද විශ්වාසයක් ඇත. ඇය තම බැතිමතුන්ගේ සතුරන් දුර්වල කර නපුරු බලවේග විනාශ කර දමයි. කේතු ග්‍රහයා හා සම්බන්ධ ගැටලු සඳහාද ඇයට නමදිනු ලබයි. ඒ වගේම ඇයගේ විශේෂ ගුණයන් වන්නේ, 1. ඇය තම භක්තිකයා ආරම්භ කෙරූ සියලු කාර්යයන් අවසන් වෙන තෙක් උත්සාහය, ශක්තිය වගේම ආශීර්වාද කර කාර්යයේ පූර්ණත්වය ලබා දෙයි. 2. සියලු සතුරු ශක්තීන්ගෙන් පලිහක් ආකාරයට තම භක්තිකයන් රකි. 3. පෘථිවි තලය මත සහ ඇතුළත තිබෙන සියලු වස්තු සම්පත් මෙන්ම සියලු ශාක ඇතුළු ආහාරවලටද එතුමිය අධිපතීත්වය දරයි. 4. රත්රන්වලටද ඇගේ විශේෂ සම්බන්ධයක් තිබෙනවා. 5. ඇගේ සූකරයකුගේ මෙන් මුහුණින් ඇගේ පෘථිවිය සමඟ තිබෙන සම්බන්ධය පිළිබිඹු කරයි. 6. ඇගේ දළ මත ඇය ධනය රඳවා තබා ගන්න අතර, ඇයට පොළොව යට තිබෙන ධනය උඩට රැගෙන ආ හැකිය. 7. ඇය හදවත චක්රයට බලවත් වන දෙවඟනකි. 8. ඇය සියලු ඍණාත්මක ශක්තීන්, අදුරු ශක්තීන්, හූනියම්, ඇස්වහ කටවහ, භූත ෙදා්ෂ ඉවත් කරයි. 9.ඇය ලලිතා පරමේශ්වරී මාතාවගේ සේනාධිපතිනියයි. ඇය අපට ජයග්රහණය සහ ධෛර්යය ප්‍රදානය කරයි. එමෙන්ම ලලිතා පරමේශ්වරියට ළං වීමට පහසුම මාර්ගය වාරාහි මාතාවයි. 10. ඇය විෂ සතුන්ගෙන් ආරක්ෂාව ලබාදෙයි. වරාහි දේවිය නමැදීමට සුදුසු වේලාව වන්නේ ඉර බැසගිය පසුව හා මධ්යම රාත්‍රියයි. විශේෂිත පූජා දින - * ආෂධා නව රාත්‍රිය – මෙහිදී දින 9ක් ඇය වෙනුවෙන් පූජාවන් පවත්වයි. (ජුනි -ජූලි) * අෂ්ටමී - *පංචමී – පූර්ණමී හා අමාවාසයට පසුව යෙදෙන 5 වැනි දිනය. * මීට අමතරව අඟහරුවාදා හා සිකුරාදා දිනයන්ද සුබ දින වේ. වරාහි දේවියගේ උදය වරුවේ පූජාවන් සඳහා සුදු හඳුන්ද, සවස පූජා සඳහා තද රතු කුංකුමද, රාත්‍රි කාල පූජාවන් සඳහා රතු කුංකුම වතුරින් මිශ්රව කර කුරුධි ලෙසද පූජා කරයි. ඇය ඉතා ප්‍රිය කරන ආහාර වර්ග ලෙස දෙළුම්, පායසම්, චක්කරයි, පොන්ගල්, උළුඳු වඩ, මී කිරි බතල, මී පැණි, මී කිරි මිශ්ර බත් යනුවෙන් කිහිපයක් පමණක් සඳහන් කරමි. පුෂ්පයන් ලෙස රතු නෙළුම්, සුදු නෙළුම්, දෙළුම් මල් යනාදී විවිධ පුෂ්පයන්වලටද ඇය ඉතා ප්‍රිය කරයි. ඇයගේ ප්‍රිය වර්ණයන් ලෙස රත්තරන් පාට /කහ, රතු ගැනේ. වාරාහී මූල මන්ත්රය- “ඕම් අයිම් ග්ලෞම් වාරාහියෙයි නමහා වාරාහි ගයාත්‍රි මන්ත්ර - “ඕම් මහිෂධ්වජායෙයි විද්මහේ.. දණ්ඩහස්තාය දී මහී.. තන්නෝ වාරාහි ප්‍රචෝධයාත්…” ශ්‍රී වාරාහි ද්වාදශ නාමාවලිය - ලලිතා පරමේශ්වරිය භණ්ඩාසුරට එරෙහිව සටන් වදින විට එතුමියගේ සේනාධිපතිනිය ලෙස කිරි චක්ර නම් රථයේ ගමන් කරමින් සේනාව මෙහෙයමින් සිටි වරාහී දෙවඟන එම රථයෙන් බැස ඉමහත් වූ කෝපයෙන් සිංහ වාහනයක නැඟී භණ්ඩාසුරගේ සේනාව විනාශ කරන්නට විය. ඇගේ කෝපය දැක භීතියට පත් වූ දෙවිවරු, ඇය සතුරු සේනාව පමණක් නොව, මුළු විශ්වයම විනාශ කරාවි යැයි බියට පත් වී එතුමියගේ නම් 12 දිගින් දිගටම ගායනා කරමින් ඇයව ශාන්ත කළහ. මෙම නම් ඇසීමෙන්ම වරාහී මාතාව සතුටු වන බවත්, වරාහී මාතාව සිහි කරමින් මෙය ගායනා කරන පුද්ගලයන් වජ්‍රයක් සෑදූ කුටියක සිටිනවා මෙන් ආරක්ෂාව ලැබෙන බවත්, සියලු දුෂ්කර කාලවලදී පවා සතුට ඔහුව අත්හැර නොයන බවත් හයග්රීව දෙවියන් විසින් අගස්ති සෘෂිතුමාට හෙළි කළහ. 1.ඕම් පංචමියේ නමහා, 2. ඕම් දණ්ඩනාථා නමහා, 3. ඕම් සංකේතා නමහා, 4. ඕම් සමයේශ්වරී නමහා, 5. ඕම් සමය සංකේතා නමහා, 6. ඕම් වරාහියෙයි නමහා, 7. ඕම් පෝත්රින්යෙයි නමහා, 8. ඕම් ශිවායෙයි නමහා, 9. ඕම් වාර්තාල්යෙයි නමහා, 10. ඕම් මහාසේනා නමහා, 11. ඕම් ආඥාචක්රේශ්වරී නමහා, 12. ඕම් අරිග්නියෙයි නමහා, 1. පංචමී – අෂ්ට මාත්රිකාවන්ගෙන් පස්වැනියා වන දෙවඟන. (අෂ්ට මාත්රිකාවන් යනු බ්‍රහ්ම, විෂ්ණු, මහේෂ්වර, ස්කන්ධ, වරාහ, ඉන්ද්ර, අම්බිකා, නරසිංහ යන අයගේ ඇතුළාන්ත ශක්තිය වන බ්‍රහ්ම්මානී, වෛෂ්ණවී, මහේෂ්වරී, කෞමාරීලවාරාහී, ඉන්ද්‍රානි, චාමුණ්ඩී, නරසිම්හී යන දෙවඟනන් අට දෙනායි) එලෙසම පංච බ්‍රහ්මයන් වන බ්‍රහ්ම, විෂ්ණු, රුද්ර, ඊශ්වර, සදාශිව යන පස් දෙනාගෙන් පස්වැනියා වන සදාශිවගේ ශක්තිය ලෙසද වරාහී දෙවඟනව හඳුන්වයි. එලෙසම පංචමී දිනය ( අමාවක හෝ පුර පසළොස්වකට පසුව එන පස්වැනි දිනය) එතුමියට විශේෂ වේ. ලලිතා පරමේශ්වරියගේ පංච භානය හෙවත් ඊතල පහෙන් ඇය උපත ලැබූ නිසාද අංක 5 එතුමියට විශේෂ වේ. 2. දණ්ඩනාථා – ලලිතා හෙවත් විශ්ව මාතාවගේ සේනාපතිනිය හා දණ්ඩක් අතින් දරා සිටින දෙවඟන. 3. සංකේතා – යුද්ධයේ රහස් කේතයන් දරා සිටින දෙවඟන 4. සමයේශ්වරී – නීති සහ සීමාවන් තිබෙන මාර්ගයට අධිපති දෙවඟන (ආධ්‍යාත්මික මාර්ගය) 5. සමයසංකේතා – පූජාවේ සියලු රහස් දැනුම ප්‍රදානය කරන දෙවඟන 6. වාරාහී – වරාහ දෙවියන්ගේ ශක්තිය වන දෙවඟන 7. පෝත්‍රිනී – උෟරු මුහුණක් දරන දෙවඟන. උෟරාට වතුරේ පිහිනීමට හැකියාව තිබෙනවා මෙන් බැතිමතුන්වද ප්‍රශ්න කරදර තුළ ගිලෙන්න නොදී ආරක්ෂා කිරීමද, සියලු ප්‍රශ්න මුලිනුපුටා දැමිය හැකි දෙවඟන. 8. ශිවා – සදා සෞභාග්‍යවත්ව සිටින දෙවඟන. එලෙසම ලලිතා දෙවඟනගේ දකුණු පසින් උපත ලැබූ නිසා ඇය ශිවගේ ස්වරූපයක් වන බැවින්ද, (ලලිතා දෙවඟනගේ සිරුරේ දකුණු පස ශිවද ශිවගේ සිරුරේ වම්පස මෑණියන්ද වේ.) පිය ගුණ දරන නිසාද මෙනමින් හැඳින්වේ. 9. වාර්තාලී – වචනය පාලනය කරන දෙවඟන, 10. මහාසේනා – මහාසේනාවක් සහිත දෙවඟන, 11. ආඥා චකේ‍ර්ශ්වරී – ආඥා චක්රයට අධිපති දෙවඟන. 12. අරිග්නී – සතුරන් ඉවත් කරන දෙවඟන. ඔබත් 2023 ආරම්භයේදීම ඇයගෙන් ආශීර්වාද ගෙන අවුරුද්ද සුන්දරව ගෙවීමට ශක්තිය ලබා ගන්න.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk