Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

අවුරුද්දම සුබ වෙන්න බෝධි පූජාවකින් දවස පටන් ගමුද?

1 year ago 7 Min read
Subha.lk
වර්තමානයේ බෞද්ධයන් අතර ජනප්රිය ආගමික චාරිත්රයක් ලෙස බෝධි පූජාව දැක්විය හැකිය. “කෝකටත් තෛලය” ලෙස ඕනෑම දෙයකට බෝධි පූජාවක් පැවැත්වීම අද දැකිය හැකිය. ඇතැමුන් බෝධි පූජා පවත්වන්නේ “විලාසිතාවක්” ලෙසය. නැතහොත් පුරුද්දටය. නමුත් බෝධි පූජාවන් පැවැත්වීමෙන් ලබන ප්රතිඵල බොහෝය. ඒ නිසා බෝධි පූජාවක් පැවැත්වීම හෝ බෝධි පූජාවකට සම්බන්ධවීම ගැන මනාව දැන ගැනීම වැදගත්ය. ඒ නිසා බෝධි පූජා ගැන ලියන මේ ලිපිය කොටස් තුනකට (03) බෙදාගැනීම වැදගත්ය. 1. බෝධි පූජා ඉතිහාසය, 2. බෝධි පූජා පැවැත්වීමේ වැදගත්කම, 3. නිවැරැදිව බෝධි පූජාවක් පවත්වන්නේ කෙසේද?, ඉහත සඳහන් කරුණු සවිස්තරාත්මකව බැලුවොත් ලිපි තුනක් (03) ලිවීම තරම් දිගු නිසා මේවා කෙටියෙන් සඳහන් කරන්නට සිතමි. නමුත් කෙටි වූවා කියා අවශ්ය දේ බැහැර නොවේ යැයි සිතේ. 1. බෝධි පූජා ඉතිහාසය - බෝධි පූජාවේ ඉතිහාසය සොයා යෑමේදී එය බුදුන් වහන්සේගේ කාලය දක්වා විහිදී යන එකකි. “සිදුහත් කුමරු” දුෂ්කර ක්‍රියා කොට වනගතව “සිදුහත් තවුසා” ලෙස කාලය ගතකොට අවසානයේ දුෂ්කර ක්‍රියා අතහැර දමා මධ්යම ප්‍රතිපදාව අනුගමනය කොට බුදු බව ලබාගත් ආකාරය බෞද්ධයන් කවුරුත් දන්නා කරුණකි. බුදු බව ලැබූයේ ශ්‍රී මහ බෝධි ශාඛාව සෙවණේය. එසේ බුදු බව ලැබූ උන්වහන්සේ සති හතක් (07) ශ්‍රී මහ බෝධිය අසලම ගැවසෙමින් තමාට පිහිට වූ ශ්‍රී මහ බෝධි වෘක්ෂයට කෘතගුණ දැක්වීම සිදු කරන ලදී. එදා බුදුන් වහන්සේ සත් සතියක් පුරා ශ්‍රී මහ බෝධියට සහ ඒ අවට අජපල් නුග රුකටද තමාගේ ‘ස්තූතිය’ පුද දෙන ලදී. ඒ අනුව බෝධි පූජා ආරම්භය බුදුන්වහන්සේ ශ්‍රී මහ බෝධියට කරන ලද පූජාවෙන් ඇරැඹිණි. එතැනින් පසු බෞද්ධ ඉතිහාසයේ බෝධි පූජා ගථා සඳහන් නොවූවද ශ්‍රී ලංකාවේ ප්රථම බෝධි පූජාව දේවානම්පියතිස්ස රජතුමාගේ කාලයේ පැවැති බවට ඓතිහාසික සාධක ඇත. සංඝමිත්තා තෙරණිය ශ්‍රී මහ බෝධි ශාඛාවක් රැගෙන ශ්‍රී ලංකාවට වැඩම කළ අවස්ථාවේ “දඹකොළ පටුන” (ජම්බුකෝල පට්ඨන) නම් ස්ථානයේදී දේවානම් පියතිස්ස රජතුමා,සංඝමිත්තා තෙරණිය සහ ශ්‍රී මහ බෝධි ශාඛාව රැගෙන ගෞරව සහිතව පිළිගෙන සතියක් පුරා එම ස්ථානයේදී උදේ-සවස පූජා පැවැත් වූ බව කියැවේ. ඒ අනුව ලංකාවේ පළමු වැනි බෝධි පූජාව සංඝමිත්තා තෙරණියගේ අනුශාසනා යටතේ දේවානම්පියතිස්ස රජතුමා විසින් පවත්වනු ලැබීය. ඉන් පසු ලංකා ඉතිහාසයේ වරින් වර බෝධි පූජා පැවැත්වූ බව සඳහන් වෙතත් පානදුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේ බෝධි පූජා ගාථා සිංහලයට පරිවර්තනය කොට ලංකාව පුරා බෝධි පූජා පින්කම් මාලාවක් සංවිධානය කළ සේක. එදා මෙදාතුර විවිධ බෞද්ධ විහාරස්ථානවල මේ බෝධි පූජා පින්කම් මාලාවන් පැවැත්වේ. 2. බෝධි පූජා පැවැත්වීමේ වැදගත්කම - පූජාව නම් පිදීමයි. ඒ අනුව බෝධි පූජාව යනු බෝධියට පූජා පැවැත්වීමයි. අනුරාධපුර ශ්‍රී මහ බෝධියට දෛනිකව කරන “කිරිපිඬු පූජාව” මෙහිදී විශේෂවේ. එහෙත් ඒ ගැන නොව අප බෝධි පූජා පැවැත්වීමේ අනුහස් ගැන බලමු. මා මුලින්ම පැවැසුවාක් මෙන් ඇතැම්හු මෙය විලාසිතාවක් ලෙස කරති. සති අන්තයේ බෝධි පූජාවට සහභාගිවීම පුරුද්දක් සේ කරන අයද ඇත. ඒත් බෝධි පූජා පැවැත්වීමේ අරමුණු කිහිපයක් ඇත. 1. ග්රහ දෝෂ, ග්රහ අපල අඩු කර ගැනීම. 2. විභාග, සම්මුඛ පරීක්ෂණ, විදේශගවීම ආදියේදී ආශීර්වාද ලබා ගැනීම. 3. තමාට පමණක් නොව පවුලේ අන් අයගේ සෙත් ශාන්තිය අපේක්‍ෂා කිරීම. 4. සියලු ජනතාවට සිදුව ඇති දුක් ෙදාම්නස් අඩු කිරීමට පොදුවේ පූජා පැවැත්වීම. 5. ආගමික වතාවත් සිදුකර, පින්පෙන් ලබාගැනීම. මෙසේ විවිධ අවස්ථාවල, විවිධ හේතුන් මත බෝධි පූජා පැවැත්වීම සිදුකෙරේ. එහිදී බෞද්ධ නොවන අයට වුවද බෝධි පූජා පැවැත්වීම වරදක් නොවේ. 3. නිවැරැදිව බෝධි පූජා පවත්වන්නේ කෙසේද? - බොහෝ දෙනා බෝධි පූජා පින්කම් පැවැත් වුවද එය නියමාකාරව පවත්වන්නේ කෙසේද යන්න හරිහැටි අවබෝධයක් නැත. ඒ නිසා ඉන් ලබාගත හැකි පලය ලැබීම අඩුවේ. පුරුද්දට හෝ අනෙක් අය පවසන නිසා හෝ විලාසිතාවකට හෝ බෝධි පූජා පැවැත්වීම විහිළුවකි. නොකර සිටීම ඊට වඩා හොඳය. ඒ නිසා බෝධි පූජාවක් කරන අයුරු විමසා බලමු. සතියේ ඕනෑම දිනයක බෝධි පූජා පැවැත්වීම වරදක් නොවූවද වඩාත්ම සුදුසු බ්‍රහස්පතින්දා (ගුරුදා) සහ සෙනසුරාදා (ශනි දිනය). ඒ සඳහා සුදුසු හෝරා තෝරා ගැනීම වැදගත්ය. ග්රහ අපල සඳහා බෝධි පූජා පවත්වන්නේ නම් බ්‍රහස්පතින්දා ගුරු හෝරාවත් සෙනසුරාදා ශනි හෝරාවත් සුදුසුය. (මෙය ගුරුගේ සහ ශනිගේ අපල සඳහාය.) බෝධි පූජා පවත්වන දිනය මස් මාංස අනුභවයෙන් තොරව පිරිසුදුව (ස්නානය කොට) පේවීම වැදගත්ය. ඉන්පසු තමාට කැමැති විහාරස්ථානයකට යෑමට සූදානම් වන්න. ගෙදරදී නෙළාගත් මල් වට්ටියක් සූදානම් කරගන්න. එසේම හොඳින් පෙරාගත් පැන් බඳුනක් සූදානම් කරගන්න. (බොහෝ දෙනා පන්සල අසල ඇති මල් කඩයකින් මල් මිලදී ගැනීමත්, පන්සලේ කරාමයෙන් ජලය පුරවා ගැනීමත් කරති. එය එතරම් සුදුසු නැත.) සමන් පිච්ච මල් වඩා සුදුසුය. එසේම ඔබ ගුරුගේ අපලවලට බෝධි පූජා කරන්නේ නම් කහපාට මල්ය. සෙනසුරු අපලවලට බෝධි පූජා කරන්නේ නම් නිල් පාට මල්ද සුදුසුය. පොදුවේ කරන බෝධි පූජා සඳහා සමන් පිච්ච්, පිච්ච, නෙළුම් මල් ආදිය යොදා ගැනීම සුදුසුය. (සුවඳ දෙන ඕනෑම මල් වර්ගයක් යොදා ගැනීම වරදක් නොවේ.) නිවසේදී පෙරාගත් ජලය බඳුනට සුදු සඳුන් කුඩු සහ සමන් පිච්ච මල්ක කිහිපයක් දමාගැනීම වඩා සුදුසුවේ. (එසේම පන්සල් යෑමේදී පන්සලට ගැළපෙන ඇඳුමක් ඇඳගෙන) බෝධි පූජා පැවැත්වීම සඳහා සුදුසු විහාරස්ථානයක් තෝරගන්න. ඕනෑම බෝධියක්” සුදුසු යැයි සිතුවද නිතර මිනිසුන් වැඳුම් – පිදුම් කරන බෝධියක් වඩා සුදුසුය. (එය ප්‍රසිද්ධ පන්සලක් විය යුතු යැයි නොසිතන්න) බෝධි පූජාව පැවැත්වීමේදී අනුගමනය කළ යුතු පිළිවෙත් පහත අංක ලෙස දක්වන්නේ ලිපිය දිගු නොවීම පිණිසය. 1. බෝ මළුව පිරිසුදු කරන්න. 2. මල් ආසනය පිරිසුදු කරන්න. 3. මල් ආසනය මත පිළිවෙළකට මල් තබන්න. 4. නුග කොළ 07 (හතක්) මත එළඟි තෙල් පහන් 07 (හතක්) දල්වන්න. නුග පත්ර සොයාගත නොහැකි නම් බුලත් කොළ සුදුසුයි. (එහෙත් වර්තමානයේ බොහෝ පන්සල්වල පහන් වැටක් ඇති නිසා මෙය අපහසුයි.) 5. සුවඳ කූරු දල්වන්න. 6. පැන් බඳුන බෝධිය වටා 07 (හත) වතාවක් ප්‍රදක්‍ෂිණා කොට බෝධිය නාවන්න. 8. පසකට වී නිදහසේ බුදුන්, දහම්, සඟුන් වන්දනා කොට මල්, පහන්, සුවඳ දුම් පූජා කරන ගාථා පවසන්න. 9. තුන් සූත්රය කියවන්න. 10. බෝධි වන්දනා ගාථා (පාලි හෝ සිංහල) පවසන්න. 11. දෙවියන්ට පින් දෙන්න. 12. දෙවියන්ගේ ආශීර්වාදය ප්‍රාර්ථනා කරන්න. 13. මවුපියන්ට පින් අනුමෝදන් කරන්න. 14. ගෙනගිය පැන් කළය මුණින් අතට නවා තබන්න. නැතහොත් එය රැගෙන යන්න.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk