Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

සාර්ථක යුගදිවියකට මඟ කියන විසි පොරොන්දම

1 year ago 7 Min read
Subha.lk
නන්නාඳුනන සිත් දෙකක්, ශරීරවල් දෙකක්, චරිත දෙකක් සැරයටියෙන් යනෙන තුරා නැතිනම් අවසන් හුස්ම තෙක් එකමුතුව ජීවත් කරවීමට නීත්යනුකූලව සිදුකරන බන්ධනය විවාහය හෙවත් සරලව කසාදය නම් වේ. දෙදෙනාගේ අදහස් උදහස්වල ගැළපීම නොගැළපීම මත එම බන්ධනය වින බන්ධනයක් විය හැකිය. අපායක් හෝ සුරලොවක් විය හැකිය. “ඉස්සරනම් අනේ එයා එහෙම නැහැ. මාව නැතිවම බැහැ දැන් තමයි බේබද්දෙක් වගේ බීගෙන රණ්ඩු කරන්නේ” බැඳල ටික කාලෙකින් ගැහැනු කියන කතා. විවාහ ජීවිතය දෙදරා යෑමෙන් වැඩිපුරම බලපෑමට ලක්වන්නේ ස්ත්රීන්ය. පළමු විවාහය අසාර්ථක වුවහොත් පසු විවාහයෙන් ප්රථම විවාහයටත් වඩා අසාර්ථකය. විවාහ වන්නේ මැරෙනකම් එකට ජීවත් වීමටය. එසේ විවාහ ජීවිත අතළොස්සකි. විවාහයකට පෙර ඉතාමක් කල්පනාකාරී විය යුතුය. විවාහයකට අදහස් විතරක් ගැළපුනාට මදි. ශාස්ත්‍රානුකූලව විවාහ අපේක්‍ෂිතයන්ගේ ජන්ම කේන්දර දෙකද ගැළපිය යුතුය. ඒ නිසයි ඍෂිතුමන්ලා විසින් පොරොන්දම් බැලීමේ ක්‍රමවේදයක් හඳුන්වා දුන්නේ. එයින් විසි පොරොන්දමට ජේ‍යාතිෂ් ශාස්ත්‍රයේ හිමි වන්නේ අද්විතීය තැනකි. දත්, ඇහිබැම, නළල් තලය, බෙල්ල, උදරය, කම්මුල, දෙපා, හස්ත රේඛා, රෝම, නියපොතු, ලිංගික අවයව ආදියෙන් සුබ අසුබ ලක්ෂණ ගැළපීමේ දේහ ලක්ෂණ ශාස්ත්‍රයන්ද අනාදිමත් කාලයක සිට පැවතෙන්නෙකි. පැරැණි ශාස්ත්ර ගරු නොකරන බටහිර රටවල දික්කසාද බහුල වශයෙන් සිදුවේ. මහා බි්‍රතාන්‍යයේ චාල්ස් කුමරු සුරූපී ඩයනා දික්කසාද කර කැමිලාව විවාහ කර ගැනීම ලොව ප්රකට වෙන්වීමකි. අපරදිග රටවල දික්කසාදය සාමාන්යකරණය වී ඇත. ඉන්දියාව, ලංකාව වැනි පෙරදිග රාජ්‍යයන්හි දික්කසාද වන්නේ කලාතුරකිනි. නමුත් වර්තමානයේදී එම තත්ත්වය සීග්‍රයෙන් වෙනස්වී ඇත. විවාහ ජීවිතයේදී පුරුෂයාට වඩා කාන්තාව කෙරෙහි වැඩි අවධානයක් දක්වයි. ජේ‍යාතිෂ විද්‍යානුකූලව විවාහයකට නුසුදුසු ස්ත්‍රීන් විග්රහ කර ඇත. හිසකෙස් ඉතාමත් අඩු හෝ තට්ට හිසක් ඇති කාන්තාව, දුඹුරු පැහැති කෙස් ඇති කාන්තාව, ඇඟිලි ආදී අවයව වැඩියෙන් හෝ අඩුවෙන් පිහිටා ඇති ලිය, අපිරිසුදු ස්ත්‍රිය, වාතරෝග ඇත්තිය, නිදන්ගත රෝගවලින් පෙළෙන්නිය, වාචාල විකට කතාවක් ඇති ස්ත්‍රිය, දැලි රැවුල් ඇත්තිය. පිරිමින්ගේ මෙන් ශරීර ඇති ලිය, ගොර ගොර හඩින් කතා කරන ලිය, ඇහි බැමි එකට යාව ඇති ලිය, වටකුරු ඇස් ඇත්තිය, ලෝම බහුල කෙණ්ඩ ඇත්තිය, උස්ව පිහිටි බෙල්ලක් ඇත්තී, සිනාසෙන විට කම්මුල් වළ ගැසෙන ස්ත්‍රීන්, රතු පැහැති ඇස් ඇති අය, පඬුවන් පැහැති නියපොතු ඇත්තී, රළු සමක් ඇත්තී, කෙසඟ සිරුරක් ඇත්තී, ඉතාමත් මිටි ස්ත්‍රීන්, ප්‍රමාණයට වඩා උසක් ඇති ස්ත්‍රීන්, දත් අතර සිදුරු ඇති ලියන්, ආගමික භක්තිය නැති ලිය, අනවශ්ය දිගු රෝම ඇත්තී, අපස්මාර – අර්ශස් – කබර ඇති ස්ත්‍රීන්. තවද ගංගා, යමුනා, කල්‍යාණි ආදී ප්‍රසිද්ධ ගංගාවල නම් ඇත්තියන්, නැකැත් නාම, ගස්වල නාම, පර්වතවල නාම, පක්‍ෂි නාම ඇත්තියන් විවාහයට නුසුදුසු බව මනුස්මෘතියෙහි දැක්වේ. විවාහයට පෙර වෙන පුරුෂයන් හා ලිංගිකව එක්වී කන්‍යාභාවය බිඳගත් යුවතියන්ද විවාහයට නුසුදුසු බව වාත්ස්‍යයෙනයේ දැක්වේ. එම ස්ත්‍රීන් සමඟ කෙරෙන විවාහ සාර්ථක නොවේ. විවාහයෙන් පසුවද සැමියාට හොර රහසේ පරපුරුෂ සැප විඳියි. මසින් තොර කෘශ වූ පියයුරු, තට්ටම්, යෝනි, කලවා ඇත්තී විවාහ ජීවිතයෙහි දුර්භාග්ය ගෙන දේ. විවාහය දියුණුව මෙන්ම පරිහානිය කරා ගෙන යන ෙදාරටුවකි. එබැවින් මනාව ගැළපෙන විවාහයන් කර ගැනීමට කල්පනාකාරී විය යුතුය. විවාහය සඳහා කුල කතක් තෝරාගන්නා අන්දම සුභාෂිතරත්නයේ මෙසේ විස්තර වේ. එම කන්‍යාව සහකරුගේ කුලයට සමවිය යුතුය. විවාහ අපේක්‍ෂිත යුවතියගේ මවුපියන් ජීවමානව සිටිය යුතුය. එම කන්‍යාව පුරුෂයාට වඩා වසර තුනක්වත් වයසින් බාල විය යුතුය. සදාචාරවත් පවුල් පසුබිමක ස්ත්‍රියක් විය යුතුය. යහපත් කුල ඇත්තියක විය යුතුය. ඥාති සමූහයක් සිටිය යුතුය. රූපශ්‍රීයෙන් ගුණයහපත්කමින් අනූන විය යුතුය. දත්, නිය, කන්පෙති, ඇස්, හිසකේ, පියයුරු නොඅඩුව නොවැඩි ලෙස මනාව පිහිටා ඇත්තියක විය යුතුය. ලෙඩ රෝග අඩු නිරෝගී ශරීරයක් ඇති කතක් විය යුතුය. ප්‍රමාණවත් අධ්‍යාපනයක්, උගත්කමක් ලබා තිබිය යුතුය. මෙකී කරුණු කාරණා සපුරන ලද යුවතියන් අද කාලයේ සොයා ගැනීම කිසාගෝතමිය නොමළ ගෙයකින් අබ අහුරක් සෙව්වා සේය. එබැවින් බුද්ධිමත්ව දූරදර්ශීව විවාහ සහකරු සහකාරිය සොයා ගැනීම කළ යුතුය. - විසි පොරොන්දම මෙසේය - 1. නක්‍ෂත්ර පොරොන්දම, 2. ගණ පොරොන්දම, 3. මහේන්ද්ර පොරොන්දම, 4.ස්ත්‍රී දීර්ඝ පොරොන්දම, 5. යෝනි පොරොන්දම, 6. රාශි පොරොන්දම, 7. රාශ්‍යාධිපති පොරොන්දම, 8. වශ්ය පොරොන්දම, 9. රජ්ජු පොරොන්දම, 10. වේධ පොරොන්දම, 11. වෘක්ෂ පොරොන්දම, 12. ආයු පොරොන්දම, 13. පක්‍ෂි පොරොන්දම, 14. භුත පොරොන්දම, 15. ගෝත්ර පොරොන්දම, 16. වර්ණ පොරොන්දම, 17. ලිංග පොරොන්දම, 18. නාඩි පොරොන්දම, 19. දින පොරොන්දම, 20. ග්රහ පොරොන්දම, – නැකැත් 27 කොටස් 9කට බෙදා විවාහ අපේක්‍ෂිත යුවළගේ ජන්ම නැකැත් එකිනෙකට සැසඳීමෙන් නක්‍ෂත්ර පොරොන්දම ගළපයි. – නැකැත් 27 දේව ගණ, මනුෂ්ය ගණ, රාක්ෂ ගණ යන කොටස් 3කට බෙදා විවාහපේක්‍ෂිත යුවළගේ ගණ ගැළපීම ගණ පොරොන්දමයි. ස්ත්‍රී – පුරුෂ දෙදෙනා එකම ගණයකට වැටේනම් සුබයි. මනුෂ්ය හා දේවගණ වීනම් සෑහේ. දෙදෙනාගෙන් කෙනෙක් දේව ගණයේ අනෙකා රාක්ෂ ගණයේ වූයේ නම් නොගැළපේ. දෙදෙනා මනුෂ්ය ගණ, රාක්ෂ ගණ වූයේ නම් නොගැළපේ. – නැකැත් 27 පදනම් කරගත් ප්‍රධාන වැදගත් පොරොන්දමකි. මහේන්ද්ර පොරොන්දම. – ස්ත්‍රී දීර්ඝ පොරොන්දම යනු අභිනව යුවළගේ ජන්ම නැකැත් දෙකෙහි දුර ප්‍රමාණය ගනිමින් සුබ අසුබ සොයාන ක්‍රමවේදයකි. – නැකැත් 27 සතුරු සත්ත්ව යෝනි 7කට බෙදා යෝනි පොරොන්දම් පරීක්‍ෂාව සිදු කරයි. බල්ලා – මුවාට, පූසා – මීයාට, මුගටියා – සර්පයාට, සිංහයා – ඇතාට, වඳුරා – එළුවාට, අශ්වයා – මීහරකාට, කොටියා – ගොනාට සතු වේ. මෙම සතුරු යෝනි 07 සාමාන්ය වෛරය, උදාසීන වෛරය, මෛත්‍රි, අති මෛත්‍රි ලෙසින් ජන්ම නැකැත් 2ක හා ගළපන ක්‍රමවේදයකි. නයි – මුගටි වෛරය ලෙසින් ඇනකොටා නොගනිමින් මැරෙනකම් සමඟිව ජීවත්ව සිටීදැයි සොයන පොරොන්දම් පරීක්‍ෂාවකි. – විවාහ අපේක්‍ෂිත යුවළගේ ජන්ම රාශි 2ක හා සඳු සිටින රාශි 2ක මැනවින් පරීක්‍ෂා කිරීම රාශි පොරොන්දමයි. චන්ද්ර රාශීන් ගැළපීමෙන් දෙදෙනාගේ අභ්‍යන්තර චිත්තවේගයන් අදහස් ගැළපේදැයි විමර්ශනය කෙරේ. – විවාහපේක්‍ෂිත යුවළගේ ලග්නාධිපතියන් හා චන්ද්ර රාශි අධිපතියන් පදනම් කර ගනිමින් රාශ්‍යාධිපති පොරොන්දම ගළපනු ලබයි. – විවාහ අපේක්‍ෂිත යුවළගේ ජන්ම රාශීන් හා චන්ද්ර රාශීන් එකිනෙකට සීහුම් වේදැයි සොයා බැලීම වශ්ය පොරොන්දම නම් වේ. දෙදෙනාගේ වසඟවීම, කීකරුවීම මෙයින් සොයා බලනු ලබයි. එකිනෙකාට කීකරුව ජීවත්වීම යහපත් විවාහයකට මඟ පාදනු ලබයි. – නැකැත් 27 කොටස් නැතහොත් රජ්ජු 5කට බෙදා සුබ අසුබ සෙවීම රජ්ජු පොරොන්දම නම් වේ. රජ්ජු යනු රැහැනයි. නැතහොත් බාධනයයි යන අරුත් ගෙන දේ. එවැනි රජ්ජු 5කි. 1. පාද රජ්ජු 2. උෟරු රජ්ජු 3. නාභි රජ්ජු 4. බාහු රජ්ජු 5 ශිරො රජ්ජු පොරොන්දම් නොගැළපීමේ පලවිපාක පුරාණ සෘෂිවරු මෙසේ දක්වා ඇත. “පාද රජ්ජු: ප්‍රවාස– ස්‍යා – දූරුරජ්ජුර් ධනක්ෂය– නාභි රජ්ජු– ප්‍රජාහීනං – කණ්ඨ රජ්ජු– ස්ත්‍රියං හරෙන් ශිරො රජ්ජු– පතිං හග්නී – තේයවං රජ්ජු ඵලං විදු–“ මෙහි තේරුම මෙසේය. විවාහ අපේක්‍ෂිත දෙදෙනාගේ නැකැත් පාද රජ්ජු වූයේ නම් සැමියා විදේශ ගතවේ. උෟරු රජ්ජු නම් ධන හානි වෙයි. නාභි රජ්ජු නම් ස්ත්‍රියට දරුඵල නොමැත. කණ්ඨ හෙවත් බාහු රජ්ජු නම්, කෙටි කලකින් පුරුෂයා තම බිරිය හැරදමා අන්ය ස්ත්‍රියන් කරා යයි. ශිරා රජ්ජුව නම් සැමියා අකාලයේ මිය යයි. – දෙදෙනාගේ ජන්ම නැකැත් පදනම් කරගනිමින් සිදුකෙරෙන පොරොන්දම් ගැළපීමකි. වේධ පොරොන්දම. එහි අර්ථය එකකින් අනෙක කැපීයාම – සිදුරුවීම – විනිවිදයෑමයි. මෙම වේධ කර්මය ජේ‍යාතිෂයේ මෙන්ම ගුප්ත ශාස්ත්‍රයේදී හමුවේ. – වෘක්ෂ පොරොන්දම යනු නැකැත් 27කින් කිරි ගස් – හර ගස් යනුවෙන් වර්ග කර දෙදෙනාගේ ජන්ම නැකැත් පරීක්‍ෂා කිරීමේ ක්‍රමවේදයයි. පැරැණි ශාස්ත්ර ඇදුරුතුමන්ලා විවාහ ජීවිතය ස්වභාවධර්මතා සමඟ බද්ධ කිරීමට ගත් උත්සාහයක් වශයෙන් මෙම පොරොන්දම විග්රහ කළ හැකිය. ගහකොළ, සතා සීපාවා, ඇළ ෙදාළ ගංගා මනුෂ්ය අපේ දරුවන් සේ රැකබලා ගත යුතුය. – ආයුෂ පොරොන්දමෙන් පරීක්‍ෂා කරනුයේ විවාහ අපේක්‍ෂිත දෙදෙනාගෙන් කවරෙක් දීර්ඝායුෂ සම්පත්තිය ලබාගන්නේද යන්න සොයා බැලීමයි. නැකැත් 27 මත පදනම් වූ ගණිතමය ක්‍රමවේදයකට මෙය පිරික්සා බලනු ලබයි. වැදගත් පොරොන්දම් ගැළපීමකි. – ගරුඬ, පිංගල. කාක, කුක්කුව, මයුර ලෙසින් නැකැත් 27 බෙදා දෙදෙනාගේ ජන්ම නැකැත් සීහුම් බැලීම පක්‍ෂි පොරොන්දමයි. පක්‍ෂීන්ගේ සතුරු මිතුරු හා අනුව සුබ අසුබ විග්රහ කරයි. – මනුෂ්ය අප ඇතුළුව මේ ලොව පවත්නා සෑම ජීවි අජීවී දෙයකම නිර්මාතෘ වන්නේ පංච මහා භූත ශක්තියයි. සෑම දෙයකම ගැබ්ව ඇත්තේ මෙම පංච මහා භුතයන්ය. මහාභුත, ධාතු යන අර්ථයෙන්ද මෙකී පංච මහා භුතයන් අර්ථ දැක්වේ. පෘථිවි (තද දේවල්), ආපෝ (දියර දේවල්), තේජෝ (උණුසුම් දේවල්), වායු (සුළඟ), ආත්රශ (ඉඩ හෙවත් හිස් ගතිය) යනු පංච මහා භූතයන්ය. නැකැත් 27 මෙකී කොටස් පසට බෙදා අභිනව යුවළගේ ජන්ම නැකැත් ගැළපේදැයි සොයා බලා සුබාසුබ විග්රහ කිරීම භූත පොරොන්දම නම් වේ. දෙදෙනාගේ උපන් නැකැත් එකම භූතයකට වැටේ නම් සුබයි. ජන්ම නැකැත් දෙකෙන් එකක් අපෝ වී අනෙක තේජෝ ධාතු වීනම් පොරොන්දම නොගැළපේ. මරණය නියතයි. අසුබයි. විවාහයට සියලු කටයුතු සූදානම් කර තිබියදී ඊට පෙර දින අනතුරුවලින් මියගිය විවාහ අපේක්‍ෂිතයන් ගැන අප කොතෙකුත් අසා ඇත. නමුත් මෙය භංග වෙන යෝග බලයන් බලවත්වූ කල්හී සුබදායක බැව්ද කිව යුතුමය. මෙයට වෙනස් ගැළපීම් මධ්‍යමයි. – මනුෂ්ය සමූහයා ගෝත්ර හෙවත් වංශ 7කට බෙදා ඒවා එක නෝත්රයකට 4ක් වන සේ අභිජිත් නැකැතක් සමඟ නැකැත් 28කට වෙන් කොට සුබාසුබ සෙවීම ගෝත්ර පොරොන්දම නම් වේ. ජේ‍යතිෂ්ය හෙවත් නක්‍ෂත්රය නිර්මාණය කළද ඍෂිතුමන්ලා සත් දෙනකුගේ නාමයන්ගෙන් මෙකී ගෝත්ර 7 නම්කර ඇත. මොවුන් මීට වසර පන්දහසකටත් එපිට දඹදිව තලයේ වාසය කළ ශේ්‍රෂ්ඨ නක්‍ෂත්‍රධාරීන් වූ බව කියැවේ. මරීච්, අත්‍රි, වශිෂ්ට, අංගීරස, පුලස්තී, පුලහ, ක්‍රතු යනු එම ගෝත්ර හතයි. – බ්‍රාහ්මණ (පූජකයන්), ක්‍ෂත්‍රීය (පාලකයන්), වෛශ්ය (ගොවියන් හා වෙළෙඳුන්), ශුද්ර (කම්කරුවන්), පංචම (රොඩී කුලය), සංකර (විවිධ ජාති සංකලනයෙන් උපන් අය) යන ජාති හෙවත් වර්ණ හය රාශි ෙදාළහ හා නැකැත් 27 සමඟ සසදා අභිනව විවාහපේක්‍ෂිත යුවළගේ ජන්ම රාශීන්, චන්ද්ර රාශීන් සීහුම් කිරීම වර්ණ පොරොන්දමෙන් සිදු කෙරේ. – නැකැත් 27 ස්ත්‍රී – පුරුෂ – නපුංසක යන ලිංග 3ට බෙදා පොරොන්දම් ගැළපීම ලිංග පොරොන්දම නම් වේ. – විවාහපේක්‍ෂිත දෙදෙනාගේ ජන්ම දිනයන් අනුසාරයෙන් සුබාසුබ සෙවීම දින පොරොන්දමෙන් සිදුකෙරේ. සිංහල 60 පැයත් දිනයකි. අද සූර්ය උදාවේ සිට තෙවන සූර්ය උදාව දක්වා කාලය හැට පැයකි. සෞරග්රහ මණ්ඩලයේ අධිපති සූර්යයා හෙවත් ඉරුය. ජීව අජීව සෑම දෙයකම නිර්මාපකයා ඉරුය. එම නිසයි සතියේ දින හතේ පළමු දිනය ඉරිදා හෙවත් ඉරු දිනය ලෙස සඳහන් වන්නේ, – පූර්ව නාඩි, මධ්ය නාඩි. ආපත්ය නාඩි යන නාඩි තුන හෙවත් කූටය ත්‍රිනාඩි, චතුර් නාඩි පඤ්වම නාඩි, නම් ප්‍රධාන කොටස් 3කට බෙදා නැකැත් පාද, සංඛ්‍යාව අනුව ස්ත්‍රී ජන්ම නැකැත මූලික කර ගනිමින් නාඩි පොරොන්දම් ගණනය කර සුබාසුබ පවසයි. දෙදෙනාගේ සිතිවිලි ආවේග, කෙතරම් දුරට ගැළපේදැයි මෙයින් විමර්ශනය කෙරේ. – විවාහ අපේක්‍ෂිත දෙදෙනාගේ කේන්දරයන්හි ජන්ම ලග්නයෙන්, සඳුගෙන් හා සිකුරු ග්රහයාගෙන් හත, අට, දෙක යන කේන්ද්‍රස්ථානයන්ගේ පාප ග්‍රහයන්ගේ පීඩිත බව පදනම් කර ගනිමින් ගුණ‍ෙදාස් සෙවීම ග්රහ පොරොන්දම නම් වේ. විවාහය නම් ජීවිතයේ නැවත ඉපදීමකි. එකී විවාහ ජීවිතය අර්ථවත්ව ගෙන යෑම සඳහා තම තමන්ගේ අදහස් උදහස් සිතැඟියාවත් මෙන්ම ශාස්ත්‍රානුකූල ක්‍රමවේදයන්ද අනුගමනය කරන්නේ නම් ඉතාමත් යහපත් වේ. චිරං ජයතු…!

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk