Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

මාරක බාධා-හදිසි අනතුරු ගැන කල්තියාම බලා ගමුද?

1 year ago 7 Min read
Subha.lk
රවි, සඳු, කුජ, බුධ, ගුරු, ශුක්ර ශනි ආදී සප්තවිධ ග්රහ මණ්ඩලයන්ගෙන්ද යුත් අත්ලක ප්රධාන රේඛාවන් හයක් දැකිය හැකිවෙයි. ජීවන රේඛාව, ශීර්ෂ රේඛාව, හෘදය රේඛාව, දෛව රේඛාව, රවි රේඛාව හා සුබ රේඛාව ආදී වශයෙනි. ජීවිතයක නැඟීම්, බැසීම්, ධන ලාභ, හදිසි අනතුරු, රෝග පීඩා ආදිය දැන ගත හැක්කේ එම රේඛාවලිනි. පලාපල නිගමනය කිරීමේදී සියුම් ලෙස එම රේඛා පරීක්ෂා කොට යථා තත්ත්වය තේරුම් ගත යුතුය. එම රේඛාවන්ගේ කැඩීම්, කැපීම්, මැකීයාම්, දූපත්, ත්‍රිකෝණ, තරු සලකුණු ආදියෙන් අශුභපලද, එම සලකුණුවලින් තොර පැහැදිලි දීප්තිමත් වූ නියම ස්ථානයන්හිම පිහිටි එක සමානව විහිද ගියාවූ රෝස පැහැයෙන් යුත් සෘජුව විහිද ගිය රේඛාවන්ගෙන් ශුභපලද ප්‍රකාශ කළ හැකිවේ. අත්ලේ පිහිටි ප්‍රධාන රේඛාවන් අතරින් ජීවන රේඛාව ප්‍රධාන වෙයි. කෙනකුගේ ආයු කාලය දැක්වෙන නිසා මෙයට ජීවන රේඛාව යන නම ව්‍යවහාර වුවත් මෙම රේඛාවෙන් ආයුෂ පමණක් නොව තවත් බොහෝ කරුණුද හෙළිදරව් වන බව කිව හැකිය. අත්ල හිමියාගේ සෞඛ්ය තත්ත්වය, රෝග පීඩා ඒවා ඇතිවන කාල වකවානු, ජීවිතයේ ජයග්රහණ හා පරාජයන් ආදී සුවිශේෂ සිදුවීම් යනාදී බොහෝ දේවල් ජීවන රේඛාවේ පිහිටීම් තුළින් පෙන්නුම් කරයි. වම් අතේ ජීවන රේඛාවෙන් පරම්පරාගතව එන රෝග පීඩා, ගතිගුණ. සිතුම් පැතුම් ශරීර ශක්තිය ආදිය ප්‍රකාශ කළ හැකි අතර දකුණු අතේ ජීවන රේඛාවෙන් හදිසි ධන ලාභ කලින් කළ ඇතිවන රෝග පීඩා, ජීවනෝපාය මාර්ග, සැපදුක් ආදිය ප්‍රකාශ කළ හැකිය. තමන්ගේ උත්සාහය හා උදාසීනභාවය අනුව මෙම රේඛාවන් ප්රබල හෝ දුබල විය හැකිය. අත්ලේ දබරගිල්ලත්, මහපටඟිල්ලත් අතර ගුරු මණ්ඩලයෙන් ආරම්භ වී සිකුරු මණ්ඩලය වටකරමින් මැණික් කටුව ප්‍රදේශය දෙසට විහිද යන්නේ එම ජීවන රේඛාවයි. අත්ලේ ජී.ජී. වශයෙන් සලකුණු කර ඇත්තේ එම රේඛාවයි. අනිත් රේඛාද අකුරුවලින් ඔබට හඳුනාගත හැකිවෙයි. ගුරු මණ්ඩලයෙන් මෙම රේඛාව පටන් ගන්නා බැවින් ජීවිතයේ මුල්කාලය (ළමා කාලය) පෙන්නුම් කරන්නේ ගුරු මණ්ඩලය අසල පවතින කොටසිනි. මෙම කොටස ඇතැම් අයගේ දම්වැල් ආකාරයෙන් මෙන්ම සමහරවිට රේඛාවේ දූපත් සලකුණුද දැක ගත හැකිය. ඒ අනුව එම අය කුඩා කාලයේදී රෝග පීඩා ආදියෙන් දුකට පත්ව සිටි බැව් හෙළිවේ. ඇතැම් අයගේ ජීවන රේඛාව හා ඒ ළඟම ඇති ශීර්ෂ රේඛාව එක තැනකින් පටන් ගනී. එවැනි අය තර්කානුකූලව කතා කරන තීක්ෂණ බුද්ධියක් ඇති අය වෙති. එමෙන්ම ශීර්ෂ රේඛාව හා ජීවන රේඛාව අතර සුළු පරතරයක් පවතී නම් එවැනි අය සාධාරණ අදහස් දරන අය වන අතර ඔවුන් තමන්ගේ වැඩපිළිවෙළ නිශ්ශබ්දව ඉදිරියටම ගෙන යයි. එම රේඛා දෙක අතර ලොකු පරතරයක් ඇත්නම් ඒ අය ඉතා ඉක්මන්කාරී මෙන්ම අන් අය සමඟ දබර කිරීම ආදියට කැමැත්තක් දක්වයි. තනි මතයට හදිසි තීරණ ගැනීමද ඔවුන් තුළින් පෙන්නුම් කරයි. ජීවන රේඛාවේ දිගින් පමණක් කෙනකුගේ ආයුෂ ප්‍රමාණය මැනිය නොහැක. එහෙත් ශරීර ශක්තිය එම රේඛාවේ පුළුල් බව තුළින් පහසුවෙන් දැනගත හැකිය. පැහැදිලිව ඝනව කාවැද්දුණු රේඛාවෙන් ප්රබල ශරීර ශක්තියකින් යුක්ත බව ප්රකට වෙයි. ඔවුනට දැඩි වෙහෙසකට වුවත් මුහුණ දිය හැකිය. මෙවැනි අය රෝගී වුවත් වැඩි කාලයක් යන්නට පෙර සුවය ලබයි. ජීවන රේඛාව අඳුරු පැහැයෙන් යුක්තව අපැහැදිලි ලෙස වැටී ඇත්නම් එම අයගේ සෞඛ්ය තත්ත්වය යහපත් නොවන අතර එවැනි අයට යම් දෙයකට ඉදිරිපත් වීමට ඇති කායික හා මානසිකත්වයද දුර්වලය. ඇතැම් අයගේ මෙම රේඛාව චන්ද්‍රමණ්ඩලය දක්වා පිහිටයි. එවැනි අයට වැඩුණු දේහයක් හිමිවන අතර ඔවුන් උසින් වැඩි බවක්ද පෙන්වයි. බොහෝ විට ජීවන රේඛාව කුඩාවට දුර්වලව පිහිටීම අශුභය. ඔවුන් නිතර නිතර අසනීපවලට ලක්වන අතර අන්‍යයන්ද අප්‍රිය කරයි. ජීවන රේඛාව කැඩීම්, බිඳීම්, කැපීම් නොමැතිව දීර්ඝ ලෙස පිහිටියේ නම් ඔහුට හෝ ඇයට සැපවත් දිවියක් ගත කිරීමට හැකිවේ. රත් පැහැයෙන් යුතු ජීවන රේඛාව ශරීරයේ ඇති වේගවත් බව මෙන්ම ශක්ති සම්පන්න බවද ප්රකට කරන අතර රෝස පැහැයෙන් යුතු වූ ජීවන රේඛාව මනා ශරීර සෞඛ්ය තත්ත්වයක් පෙන්වයි. කහ පැහැයෙන් යුතු ජීවන රේඛාව දක්වන්නේ අලස බවින් යුතු ජීවන චරිතයකි. සියුමැලි වූද දුර්වර්ණ වූද ජීවන රේඛාව රෝගී තත්ත්වයක් ඇති බවට සලකුණකි. මෙම රේඛාවෙන් ලම්භාකාරව ඇඟිලි දෙසට යන රේඛා වාසනා රේඛායි. එය කෙනකුගේ ජීවිතයේ භාග්යය උදාවන කාලයයි. එම කාල සීමාව නිවැරැදිව දැන ගැනීමට නම් රේඛාව මැනිය යුතුවේ. මෙම රේඛාවෙන් පහළට යන රේඛා අශුභපල උදා කරයි. සිකුරු මණ්ඩලයෙන් ඇදී එන ප්රබල රේඛාවකින් ජීවන රේඛාව කැපී ගියහොත් දුක් කරදර, හදිසි අනතුරු මාරක විපත්වලට හේතුවෙයි. ජීවන රේඛාවෙන් විහිද යන රේඛාවක් රවි මණ්ඩලය වෙත යොමු වූයේ නම් ධන ලාභ, කීර්ති ප්‍රශංසා ගරු නම්බුනාම ආදිය හිමිවන අතර එවන් රේඛාවක් බුධ මණ්ඩලය වෙත යොමු වූයේ නම් ව්‍යාපාර දියුණුව ඇති ධනවතකු බවට පත්විය හැකිය. ජීවන රේඛාවෙන් පටන් ගත් රේඛාවක් ගුරු මණ්ඩලය දක්වා විහිද ගියේ නම් උසස් අධ්‍යාපනයෙන් ඉමහත් ප්‍රතිඵල ලබා ගැනීමට වාසනාව උදාවනු ඇත.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk