Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ගුප්ත විද්‍යාව අඩු නැතිව යොදාගත් අතීත ගව වෙදකම

1 year ago 7 Min read
Subha.lk
විද්යාව වේගයෙන් දියුණුවෙමින් පවතියි. ලොව පවත්නා සියලු දෙය විද්යාත්මකව විග්රහ කිරීමට සමාජය ඇබ්බැහි වී ඇති සෙයකි. මෙම තත්ත්වය ආරම්භ වන්නේ මෙයට වසර 600කට හෝ 700කට ආසන්න කාලයක සිටය. අපරදිග විද්යාවේ දියුණුවට එහා ගිය ශිෂ්ටාචාරයක් පෙරදිග රටවල තිබුණු බවට කිසිදු විවාදයක් නැත. එකල ජන සමාජයේ පුද්ගලයාගේ වත්කම් මැනීමට භාවිත කළ එක් සාධකයක් ලෙස ගව මහීෂාදීන්ගේ ප්රමාණය යොදාගත්හ. තමාගේ ධනය පෙන්වන්නාවූ ගව සම්පත රැකගැනීමට මහත් වෙහෙසක් දරන්නට මානවයා පුරුදුව සිටියේය. ලේ, මස්, ඇට, නහරවලින් සෑදුණු ගවයාටද මිනිසාට මෙන්ම විවිධ රෝගාබාධයන් වැලදනුයේ විස්මිත ස්වභාවධර්මයේ මහිමය කියාපාන්නට යැයි හැඟේ. සත්ත්ව ලෝකයේ වෙද හෙදකම් නැති නමුත් තමාට වැල‍ෙදන සමහර ලෙඩ රෝග උදෙසා, සතුන් ඉවෙන් මෙන් ඔෟෂධ සොයා අනුභව කරති. එහෙත් මානවයා සිය ගව සම්පත රැකගැනීමට ඉතාම ප්‍රත්‍යක්ෂ වෙදකම් ක්රම සොයාගත් අතර ලංකාවට ආවේණික ගව චිකිත්සා ක්‍රමයක්ද දුරාතීතයේ සිට අප රට තුළ පැවතෙමින් සුවහසක් සතුන්ගේ ප්‍රාණය ආරක්ෂා කරමින් ඔවුන්ට සුවය ලබාදුනි. එවන් වූ විස්මිත වෙදකමක් තවමත් මාතලේ, පල්ලේපොළ, රුසිගම නම් ඓතිහාසික ගම්මානයේ අදටද පවතින්නේ ජාතියට මෙන්ම ගව සම්පතටද වාසනාව කැන්දමිනි. රුසිගම ගම්මානය අතීතයේ ඍෂිගම ලෙස හැඳින් වූ බවට සාධක ඇත. ඒ මෙම ලියුම්කරු වන මාගේ ගම්මානයයි. එගම විසූ මුල්ම වැසියන්ගෙන් පාරම්පරිකව මෙම වෙදකම පැවැත එයි. වර්තමානයේ මෙම වෙදකම 85 වියැති මාගේ මව වන ඉහළගෙදර කිරිබන්දු වෙදහාමිනේ විසින් කරගෙන යන අතර එහි ඊළඟ පරම්පරා වගකීම පැවරී ඇත්තේ මා වෙතය. වත්මන් උපාධිධාරී පශු වෛද්‍යවරුන්ට පවා හදුනාගත නොහැකි, සුව කළ නොහැකි සමහර ගවයන්ගේ රෝග සඳහා එක බෙහෙතක්, එක මන්ත්‍රයක් භාවිත කරමින් එම සතුන් සුවපත් කරනු ලැබුයේ ගව පාලකයන් පමණක් නොව එම වෛද්‍යවරුන්ද විස්මයට පත්කරවමිනි. පශු සම්පත් මණ්ඩලය පවා සමහර හදුනා නොගත් රෝග පවතින බව පවසද්දී ගවයාට රෝග සංඛ්‍යාත්මක වශයෙන් 4448ක් වැල‍ෙදන බව අපි පාරම්පරික ඥානයෙන් දැනසිටිමු ගව වෙදකම ඉතා සරල යැයි අයකුට හැඟෙන්නට පුළුවන. නමුත් එසේ නැත. එතුළ පවත්නා අද්භූත බලපෑමද අතිමහත්ය. අනෙක් අතට ගවයකුට වෙදකම් කිරීමට භාරගත්විට එම සත්ත්වයාගේ ජීවිතයද මිනිස් ජීවිතයක් හා සමානවම සිතිය යුතුය. විශේෂයෙන්ම ගව රෝග බොහෝමයක් සඳහා ගොපලු යක්ෂයාගේ බලපෑම පවතී. එබැවින් ගවයකුට වෙදකම් කිරීමට භාරගත් පසු වෙදමහතාගේ හිස මත අප්‍රමාණ බරක් පැටවේ. තමා සතු ගව පට්ටියක් ඇත්නම් එය ආරක්ෂා කළ යුතුය. එසේ ඇතත් නැතත් තම නිවස, නිවැසියන් ආරක්ෂා කළ යුතුය. ඉදිකඩ ආරක්ෂා කළ යුතුය. තමාද ආරක්ෂා කරගත යුතුය. ආගන්තුක රෝගයක් හැර ගොපලු යක්ෂයාගෙන් වූ රෝගයක් නම් අනිවාර්යයෙන්ම ගවයාට මැතිරිය යුතුය. එසේ මැතිරීමෙන් ගොපලු යක්ෂයාගේ ඊළඟ ඉලක්කය වෛද්‍යවරයාගේ ගව පට්ටියයි. නැතිනම් නිවෙස හෝ නිවෙසේ අයකු වේ. එසේත් නොමැති නම් වෛද්‍යවරයාය. වරෙක මාගේ මව කුඩා කල ඇයගේ පියා ගව වෙදකමකට පිටවගොස් ඇත්තේ තමා සතු එක් ගවයකු ගවපට්ටියට රැගෙන ඒමටවත් කාලය මිඩංගු නොකරමිනි. සියලු ආරක්ෂාවන් යොදා තිබුණද රෝගී ගවයාට මතුරා අවසන් වෙද්දීම ගව පට්ටියෙන් බැහැර පොල්වත්තක දිගේලි කර සිටි ගවයා වසාගනිමින් දරුණු බඹර ප්‍රහාරයක් එල්ලවී ඇත. එකල දිරිය කාන්තාවක් වූ මාගේ ආත්තම්මා පොල් අතු කිහිපයක් එකට කර සාදාගත් හුළු අත්තක් රැගෙන ගොස් බඹරුන් පලවාහැර ගවයාගේ දිවි බේරාගත් නමුත් ගවයා දැඩිසේ රෝගාතුර වී ඇත. සීයා පැමිණ මහත් පරිශ්‍රමයක් දරා ගවයා සුවපත් කළ බව අප අසා ඇති එක් අද්භූත සිදුවීමකි. මාගේ මව වන ඉහළගෙදර කිරිබන්දු වෙදහාමිනේ වෙදකම් කරන සමයේ එක් දිනක රාත්‍රි කාලයේ හදිසියේ රෝගතුර වූ සතකුට කරුණාවෙන් වෙදකම් කරන්නට පිටව ගොස් පැමිණ නිවෙසේ තනිව වාසය කර ඇත. රාත්‍රි කාලයේදී මවට සත්ත්ව පාලකයා කතාකරන හඬ ඇසී (එදින ඔහු පැමිණ කතාකර නැත.) නැඟිටීමට උත්සාහ දරා ඇතිමුත් ඒ වනවිට ඇයගේ ශරීරයේ එක් අංශයක් අප්‍රාණිකව තිබුණු බවත් එතැන් පටන් දින කීපයක් ගතවන තුරුම කළ කීදෑ අමතක බවත් මව පවසන්නීය. විවිධ ශාන්තිකර්ම හා පිළියම් කිරීමෙන් අනතුරුව අංශභාග රෝගයෙන් සුවපත් වූ මාගේ මව ඔඩුවණ ඇතුළු සර්වාංග වෙදකමත් ගව චිකිත්සාවත් අද දක්වාම කරගෙන යනුයේ පැරැණි අද්භූත අත්දැකීම් අපට කියාපාමින් අපද ඒ සඳහා පුරුදු පුහුණු කරවමිනි. කියන්නට බොහෝ අත්දැකීම් ඇතත් ලියන්නට ප්රමාණවත් ඉඩක් නොමැත. සවස 06.00 පසුවත් මධ්‍යහ්න 12.00 – 01.00 අතරත් වෙදකම් නොකරන්නේ මෙහි ඇති ගුප්ත හා අද්භූත බලපෑම නිසාමය. තනිව වෙදකමේ නොයා යුතුය. එදින රාත්‍රිය තනිව නොසිටිය යුතුය. කැලේ කොළේ ඇවිද සොයාගන්නා ඔෟෂධ කිහිපයකින් සකසා ගත් ප්‍රත්‍යක්ෂ බෙහෙත්ද ඉතා බලගතු මන්ත්ර කීපයක්ද රහස් කෙම් ක්රමද මේ මාහැඟි වෙදකමට අපි පාරම්පරිකව භාවිත කරන්නෙමු

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk