Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

හතර කේන්දරය පාළු වෙලාද?

1 year ago 7 Min read
Subha.lk
පළමුව හතර කේන්දරය යනු කුමක්ද? හතර කේන්දරයට නම් 1-4-7-10 යන තැන් හතරයි. මෙම හතරේ එකකවත් ශුභ ග්රහයකු නොසිටීමෙන් අශුභ යෝගයන් යෙදෙන බව අප සාම්ප්රදායික දෛවඥ මතයයි. එහෙත් එය ඇත්තමද? හතර කේන්දරය පාළු වීමෙන් ජීවිතයට බරපතළ හානියක් වේද? යන්න කිසිවකුත් හරියට විමසා අධ්යයනය කර නැති නිසා බරපතළ සමාජ භීතිකාවක්ව ඇති බව නොරහසකි. අවාසනාව නම් මෙම හතර කේන්දරය පාළු වීම ගැන කතා කළේ දළ කේන්දර පරීක්ෂාවෙන් වීමයි. සමහර දෛවඥයන් මෙම හතර කේන්දරය පාළුයි කිව්වත් භාව කේන්දරයක් සාදා බලන විට එම දෝෂය නැති බව පෙනේ. එම නිසා මෙම මතයේ මුල් බැසගත් අයට මට මෙසේ විමසීමට සිත්විය. කේන්දරය ස්ථාන 4 තුළම ග්‍රහයන් නොපිහිටා හතර කේන්දරය පාළු වූ හඳහනක එම කේන්දර ස්ථාන අධිපතීන් වෙනත් තැනක බලවත්ව පිහිටි විට හතර කේන්දරය පාළු වූ විට කුමක් වේද? මෙම කේන්දරය ස්ථාන හඳුන්වන භාවයන් සතරෙන් ජීවිතයේ අතිශය වැදගත් ස්ථාන 4ක් ආවරණය වේ. 1 ලග්න භාවයෙන්, කේන්දර හිමියාද, 4 වන භාවයෙන්, දේපළද, 7 වන භාවයෙන්, හවුල් ව්‍යාපාර- සහකරුද, 10 වැනි භාවයෙන් රැකියාවද නිවේදනය කරයි. මෙම ක්‍ෂේත්ර 4ම එකසේ වැදගත් වේ. මෙම ස්ථාන හතරෙන් එකක හෝ ග්‍රහයකු පිහිටා නොමැති නම් හතර කේන්දරය පාළුවන බව කියැවෙන්නේය. එම ස්ථානවලින් එකක හෝ ග්‍රහයකු පිහිටා ඇත්නම් එම දෝෂය නොදෙන බවයි. එය තර්කානුකූලද? - එක භාවයක පිහිටි ග්‍රහයකු අනෙක් භාව තුනේ කරුණු රක්ෂා කරන්නේ කෙසේද? එය සරල හැඳින්වීමකි. කේන්දර ස්ථානවලට බලපාන කරුණු රැසකි. 1. භාවයේ අධිපතිගේ තත්ත්වය, 2. ග්‍රහයාගේ තත්ත්වය, 3. භාව අධිපතියාට වැටෙන ග්රහ දෘෂ්ටි ඉන් සමහරකි. භාවයක ග්‍රහයකු තැන්පත් වීමෙන් හෝ නොවීමෙන් එය එක් සාධකයක් පමණි. මේ පිළිබඳව ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය අනුව මනාව විග්රහ කළ හැකිය. යම් කේන්දරයක හතර කේන්දරය පාළුවීම හෝ නොවීම එම ක්රමයට අදාළ නැත. හතර කේන්දරයේ පාළුවීම ගැන සංකල්ප ක්‍රිෂ්ණ මූර්තිය වැනි ජේ‍යාතිෂ සම්ප්‍රදායන් විසින් බැහැර කරනුයේ එහි සත්‍යතාවක් නැති බැවිනි. තවද හතර කේන්දරය පාළුවීම විවාහයට අශුභ යැයි මතයක් පවතී. විවාහයට අදාළ සුදුසුකම් තිබියදී, හතර කේන්දරය පාළුවීම මත ඇතැම් කේන්දරය විවාහයට ප්‍රතික්ෂේප කරන්නට තරම් මෝඩ නොවිය යුතු යැයි එය මගේ පෞද්ගලික මතයයි. සමහර ජේ‍යාතිෂඥයන් හතර කේන්දරය පාළුයි කියන්නේ අඩු තරමින් භාව කේන්දරයවත් සකසා බලා නම් සුළු සමාවක් දිය හැකිය. තවද හතර කේන්දරය පාළුවීම ගැන බලද්දී ඡායා ග්‍රහයන්, යුරේනස් – නැප්චූන් නොසලකා හැරීම වරදකි. ක්‍රිෂ්ණමූර්ති ක්රමයට එය බැලීම යුතුමයි. හතර කේන්දරයේ කොතැනක හෝ යුරේනස් – නැප්චූන් සිටියි. උගත් පිළිගත් අතීතයේ සිටි අතිපූජ්ය බළන්ගොඩ ආනන්ද මෛත්රය හිමියන්ගේ මතයද එය නොවේ. හියුබට් ප්‍රනාන්දු මහතා යුරේනස්, නැප්චූන් බැහැර කළත් දෙස් විදෙස් බහුතර මතය පිළිගැනීම පලාපල කථනයට ඒ ග්‍රහයන් අනිවාර්යය බවයි. හතර කේන්දරය පාළුයි කීම මෝඩ විහිළුවකි. බරපතළම අනිත් මිථ්‍යාව නම් හතර කේන්දරය පාළු දරුවන් මහණ විය යුතු බවයි. පැවිද්ද ගිහි ජීවිතයටත් වඩා දුෂ්කර එකකි. ගිහි දිවියට නුසුදුසු අය, පැවිදි දිවියටද සුදුසු නොවේ. හතර කේන්දරය පාළුවීම ශ්රමණ යෝගයක් නම් එය ගෞතම බුදු හිමියන්ටත් යෙදිය යුතුමයි. ඒත් එසේ නොවේ. ඒ අනුවද එයද මිථ්‍යාවකි. එය ඔබට පැහැදිලි ඇති. දක්ෂ ලේඛකයකු වූ ජෝර්ජ් බර්නාඩ් ෂෝ ගේ හතර කේන්දරය පාළුයි. බර්නාඩ්ෂෝ අවිවාහකයෙකි. ඔහු අවිවාහක වීමට හේතුව හතර කේන්දරය පාළුවීම යැයි පිළිගත නොහැක්කේ, හතර කේන්දරය පාළු නැති බොහෝ අයද අවිවාහක බැවිනි. මෙවැනි 4 කේන්දරය පාළුවීම ගැන පරණ හණමිටි අදහස් ඉවත් කරමු. හතර කේන්දරයේ අවිචාරවත් හැඟීම් මිනිසුන්ගේ මනසට නොදී ජේ‍යාතිෂය පින් කෙත පවිත්ර කළ යුතුම කාලය දැන් එළැඹ ඇති බව මගේ මතයයි. සමහර ජේ‍යාතිෂඥයන් පවා මහා ලොකුවට උලුප්පා බොරු කතන්දර මවා පෙන්වා, හතර කේන්දරය විමසිලිමත්ව බලන විට පැහැදිලි වනු ඇත. කේන්දරයන් අතට ගත් සැණින් මෙය පාළු කේන්දරයන් යැයි කියා සිටින්නේ නැතිව දක්ෂව බුද්ධියෙන් විමසා බැලීමෙන් සේවාදායකයාගේ බිය පහව යනු ඇත. තම සේවාදායකයාට ගෞරවනීය ලෙස කතා කිරීමද ජේ‍යාතිෂවේදීන්ගේද ගෞරවය රැකේ. හඳහන් පැත්තකට වීසි කරන, බැන වදින ජේ‍යාතිෂවේදීන්ද නැතිවා නොවේ. මේ උතුම් රාජකාරිය දේව කාරියක් ලෙස සැලසීමද අපගේ යුතුකමකි. හඳහන (කේන්දර පිටපත) බොරුවක්, මිථ්‍යාවක් යන තැනට කටයුතු කරන්නේද ජේ‍යාතිෂවේදීන්ම බව නොකියාම බැරිය. ඒ, ඒ අය ක්‍රියා කරන ආකාරයෙනි.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk