Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

19දා සෙනසුරු යළි කුම්භයට සෙනසුරු කලින් කුම්භයට ආ වෙලේ රටට මොනවද සිදු වුණේ?

1 year ago 7 Min read
Subha.lk
සෙනසුරු ග්රහයා වසර තිහකට පසු නැවත කුම්භ රාශිගත වීම අතීත සිහි කැඳවීම් සමඟ සංසන්දනය කර බැලීමේදී එතරම් ශුභවාදී නොවන බව පෙනීයයි. 1993 මාර්තු පස් වැනි දින ලංකා කේන්දරයේ කුම්භ රාශියට පැමිණි සෙනසුරු දෙටන නැකැතේ ගමන් ඇරඹූ විට බොහෝ හදිසි විපත්වලට මුහුණ පෑමට මහජනතාවට සිදුවිණි. එම කාලවකවානුව තුළදී නෙප්චූන් සහ යුරේනස් යන ග්රහයන් ලංකා කේන්දරයෙහි එකොළොස් වැනි භාවයේ යෝග වී සිටීම නිසා පාර්ලිමේන්තු මන්ත්රිවරුන්, ඇමැතිවරුන් සහ රාජ්ය නිලධාරීන් විපතට පත්විණි. එම අවස්ථාවේ රාහු ග්රහයා නීච වී දහ වැනි භාවයේත්, ගුරු ග්රහයා සතුරු බලයෙන් යුතුව වක්ර වී අට වැනි භාවයේත් ගමන් කරන ලදී. මෙවැනි අතීත අත්දැකීම් රාශියක් පිළිබඳව මතකය අවදි කරමින් 2023 ජනවාරි දහනව වැනි දින සෙනසුරු ග්රහයා යළිත් කුම්භ රාශිගත වීම ලංකාවට කෙසේ බලපවත්වයිද? යන්න විග්රහ කිරීම මෙහි ප්රධාන අරමුණ වේ. මෙම අවස්ථාවේදී ගුරු ග්‍රහයාගේ නැකැතක ගමන් ගන්නා යුරේනස් ග්‍රහයා සමඟ යෝග වෙමින් සෙනසුරු ග්‍රහයා කුජ ග්‍රහයාගේ නැකැතක ගමන් කරමින් සිටී. එම අවස්ථාවේදී කුජ ග්‍රහයා ලංකා කේන්දරයේ සිවු වැනි භාවයේ ගමන් කරනුයේ සදු ග්‍රහයාට අයත් රෙහෙණ නැකැතේය. පාර්ලිමේන්තුවේ කටයුතු මෙන්ම මන්ත්‍රිවරුන්, අමාත්ය මණ්ඩලය පිළිබඳ නිවේදනය කරන එකොළොස් වැනි භාවයේ සිකුරු ග්‍රහයාට අයත් නැකැතක ගමන් කරන බුධ ග්‍රහයා කුජ ග්‍රහයාගේ අට වැනි දෘෂ්ටියෙන් පීඩාවට පත්වේ. මෙහිදී සිකුරුගේ නැකැත්වල ගමන් කරන යුරේනස් සහ රාහු යන ග්‍රහයන් තුන්වැනි භාවයේ ගමන් කරමින් සිටී. යුරේනස් ග්‍රහයා දේශපාලන විප්ලව, කැරලි කෝලාහල නියෝජනය කරන අතර සතුරු බලයෙන් සිටින රාහුගේ සංයෝගය එම අවස්ථා වර්ධනය වීමට හේතුවේ. මෙවැනි ග්රහ පිහිටීමක් පවතින අවස්ථාවේදී සෙනසුරු කුම්භ රාශියේ ගමන් ඇරඹීමත් සමඟ ලංකා කේන්දරයේ ගෝචර වී සිටින අනෙක් ග්‍රහයන්ගේ බලපෑමට අනුව විශේෂයෙන් ආණ්ඩුවට, රාජ්ය නායකයන්ට මෙන්ම රාජ්ය නිලධාරීන්ට අයහපත්, අශුභදායි කාලයක් උදාවෙන බව පැහැදිලි වේ. මේ හේතුවෙන් රටේත්, මහජනතාවගේත් විපත්තිදායක තත්ත්වය බලවත් වීමත් සමඟ රජය කෙරෙහි මහජනතාවගේ කලකිරීම වැඩිවනු ඇත. මෙම අශුභ ග්රහ පිහිටීම් කර්මාන්ත ක්ෂේත්‍රයෙහි නිෂ්පාදන අඩු වීමටත් ගොවිතැන් හානි වීමටත් වෙළෙඳ ව්‍යාපාර බිඳ වැටීමටත් බලපවත්වයි. නෙප්චූන් ග්‍රහයාගෙන් ඡන්ද විමසිම්, කුමන්ත්රණ මෙන්ම නීති විරෝධී ක්‍රියා නියෝජනය වන හෙයින් සෙනසුරු ග්‍රහයා නෙප්චූන් ග්‍රහයා සමඟ යෝග වීම නිසා පාලකයන්ට එරෙහිව නැඟීසිටීමට මහජනතාව එඩිතර වේ. මෙම මොහොතේ ධනස්ථානයේ ගෝචර වී සිටින ගුරු ග්‍රහයා සෙනසුරුගේ නැකැතක ගමන් කිරීමත්, එම ගෝචර වීම රාහු ග්‍රහයා සිටින භාවයෙන් දෙවැන්න වීමත් හේතුවෙන් රාජ්ය ආදායම් පහළ වැටෙනු ඇත. යුරේනස් සහ රාහු ග්‍රහයන්ගේ යෝග වීම තුළ වැඩ කරන ජනතාව ඒකරාශි වී පාලන තන්ත්රයට එරෙහි වීමෙන් පොදු සේවාවන් අඩපණ වීමට එය හේතුවේ. 1993 සහ 1995 කාලවකවානුව තුළදී ප්‍රභූ පෙළැන්තියම විපත්වලට මුහුණ පෑවේ සෙනසුරු ග්‍රහයා කුම්භ රාශි ගත වීමෙන් අනතුරුවය. 2023 ජනවාරි දහනව වැනි දින සිට 2025 වර්ෂය දක්වා කාලසීමාව විපත්තිදායක අවස්ථාවන් ඇති වීමට බල පවත්වයි. ජීවී අජීවී සත්ත්වයන්ගේ නිර්මාණයට හේතු වූ පංචමහා භූතයන් නියෝජනය කරනු ලබන ග්‍රහයන්ගේ හැසිරීම දෙස අවඥාසහගත නොවී බුද්ධිමත් ලෙස බලමින් කටයුතු කිරීමට පෙලඹීමෙන් අවදානම් මඟහරවා ගැනීමට හැකිවේ. එසේ නොවී සාහසික පාලනයක් කරා පාලකයන් නැඹුරු වුවහොත්, ප්‍රතිඵල ඉතාමත් භයානක වේ. මෙම තත්ත්වය අවබෝධ කර ගනිමින් මහජනතාව සිහි බුද්ධියෙන් දැහැමිව ක්‍රියා කිරීමටත් සිය දූ දරුවන්ගේ ආරක්ෂාව කෙරෙහි වෙනදාට වඩා උනන්දුවෙන් කටයුතු කිරීමටත් යොමුවීම ඔබගේ මෙන්ම සමස්ත රටේ යහපතට හේතුවනු ඇත.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk