Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

2022 කබලෙන් ළිපට ඇද වැටෙන වසරක් වෙයිද?

1 year ago 7 Min read
Subha.lk

2021 දෙසැම්බර් මස 31 වැනි දින මධ්‍යම රාත්‍රි 12.00ට 2022 නව වසර උදාවන බව පිළිගත් මතය වුවත් ජේ‍යාතිෂ සිද්ධාන්ත අනුව 2022 නව වසර එළැඹීම හිරු උදාවත් සමඟ ආරම්භ වේ. ඒ අනුව 2022 ජනවාරි මස 01 සෙනසුරාදා  දින පෙ.ව. 6.00 පසුවී විනාඩි 21 තත්පර 51 හිරු උදාවීමත් සමඟ 2022 වර්ෂයද ආරම්භ වේ. එම අවස්ථාවේ පවතින තත්කාල ග්‍රහ පිහිටීම් හෙවත් විශ්ව ග්‍රහ බලවේග ගොනුුවී පවතින ආකාරය විමසා බලමු.

 

තත්කාල ග්‍රහ පිහිටීම :-

තත්කාල කේන්දරය අනුව ගුරු හිමි ධනු ලග්නය, රවි හිමි සිංහ නවාංශකය,  කටක රාශ්‍යාර්ධය, මේෂ දෙර්කාණය, මිථුන ද්වා දශාංශකය, ධනු ත්‍රිංශාංශකය උදාව පවතින අව තෙළෙස්වක තිථියලත් ශනි දින, ශනි තත්කාල හෝරාවේ ශනි පංචමයෙන් හා ශනි සූක්ෂ්ම හෝරාව පවතින අවස්ථාවේදි බුධ හිමි දෙට නැකැතේ දෙවැනි පාදයෙන්, ගණ්ඩ යෝගයෙන්, බාලවකරණයෙන්, උඳුවප් මස අව තෙළෙස්වක තිථියලත් ශනි ඉහත වේලාවට ශ්‍රී ලංකාවට හිරු උදාවීමත් සමඟ 2022 වර්ෂය උදාවේ. මේ අවස්ථාව වන විට දිනයට හා නැකැතට අදාළ තත්කාල පක්ෂි රජ අවස්ථාවේ පසුවේ. ඉහත තත්කාල ග්‍රහ තත්ත්වය පොදුවේ ශ්‍රී ලාංකික ජන සමාජය වෙත බලපාන ආකාරය තත්කාල හෝරා ශාස්ත්‍රය ඇසුරින් විමසා බැලීම මෙම ලිපියෙහි අරමුණ වේ. 

 

ශ්‍රී ලංකාවට අදාළ කේන්දර සටහන

තත්කාල පක්ෂි රජ අවස්ථාවේ පසුවන හෙයින් සියලු බාධක මධ්‍යයේ   වුවද රාජ්‍ය පාලනය එලෙසම පවතී. වෙනසක් සිදුවන්නේ නම් ඒ පුටු මාරුවීම් පමණකි. කුම්භ ලග්න ලංකා කේන්දරයෙහි ලග්නගතව ගුරු ග්‍රහයා කුජ හා රවිගේ දෘෂ්ටියට ලක්වීම හේතුවෙන් බුද්ධිමතුන් ගනු ලබන තීරණ බොහොමයක් රටට වැඩදායි නොවේ. මහජනයා අතර රජයට එරෙහි කැලඹිළි, රහසිගත ප්‍රචාරක කටයුතු සමඟ විප්ලවවාදී කටයුතු ඇතිවේ. දූෂිත ක්‍රියා, සමඟ අපරාධවල වර්ධනයක් ඇතිවේ. කිසිදාක නොවූවිරූ අන්දමින් සියදිවි නසා ගැනීම් ආදියෙහි වර්ධනයක් ඇතිවේ. ජන ජීවිතයට බලපවත්නා කටයුතු මුළුමනින්ම වෙනස් අතකට පෙරළීමටත්, ලග්නගත ගුරු  ස්වක්‍ෂේත්‍ර කුජගේ දෘෂ්ටියට ලක්වීම හේතුවෙන් සුළු ජාතික ප්‍රජාවගේ අවශ්‍යතා අනුව ක්‍රියා කිරීමට ලග්නගත ගුරුට සිදුවේ. ආණ්ඩුවේ වැරදි ක්‍රියාකලාප හේතුවෙන් මහජනයා අතර සාමය කඩාකප්පල් වී යයි. යුරේනස් ග්‍රහයා තෙවැන්නෙහි තැන්පත්වීම තුළින් දුම්රිය, දුරකථන හා විදුලිය සම්බන්ධ විරෝධතා මතුවෙයි. දුම්රිය ගැටුම් හා පිපිරීම් හේතුවෙන් ජන ජීවිත හානියට පත්වේ. කම්කරුවන් අතර වැඩවැරීම් ඇතිවේ. තැපැල් දෙපාර්තමේන්තුවෙහි අවුල් වියවුල් බවට පත්වේ. යුද කටයුතුවලට මුහුණදීමට සිදුවේ. රාජකීයන්ට  රෝග බිය දැනේ. මරණද ඇතිවේ. මේ බාධක මධ්‍යයේ වුවද යුද හමුදාව බලවත් වී සිය වීරත්වය පායි. උසස් අයට නින්දා සහගත තත්ත්වයන් ඇතිවේ. ආණ්ඩුව ප්‍රසිද්ධ භාවයෙන් තොරවෙයි. රටේ උසස් කාන්තාවකගේ  වියෝවීමක් ඇතිවේ. මේ අතර රටට වැඩදායි පක්ෂ හෝ සංවිධාන බිහිවේ. රටට වැඩදායි බව පෙනෙන  නීති අණපනත් ඇතිවේ. ඒවා සාමාන්‍ය ජනතාවගේ සුබසිද්ධියට අදාළ ඒවානම් නොවේ. පාර්ලිමේන්තුව අපේක්ෂා කරන කටයුතු සාර්ථක වන අතර එහි නොසන්සුන් භාවය ඉස්මතුවේ. මන්ත්‍රීන් අතරද මරණ වාර්තාවේ. ස්ත්‍රීන් සම්බන්ධ නීති කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. මන්ත්‍රීන්  අතර විවාහ සිදුවේ. ආණ්ඩුවේ මැති - ඇමැති පුටු මාරුවීමක් සමඟ මන්ත්‍රින් පිළිබඳ අශෝභන ප්‍රවෘත්ති, වාදවිවාද සමඟ පාර්ලිමේන්තුවේ කටයුතු මහජන අප්‍රසාදයට ලක්වේ. වැරදි සහගත ලියකියවිලි නිසා රජය මහජන ‍ෙදා්ෂාරෝපණයට ලක්වේ. ආරෝග්‍යශාලා සහ අසරණාධාර ආයතන දියුණුවට පත්වන්නේ විවිධ පරිත්‍යාග හේතුවෙනි. ඒ පරිත්‍යාග පිළිබඳ අපවාද අසන්නට ලැබේ. ආරෝග්‍යශාලා සම්බන්ධ හොරමැරකම් කරළියට පැමිණේ. පොදු මහජනතාවගේ සුබසිද්ධියට අදාළ කිසිවක් සිදු නොවේ.  බැමිණිටියා සායට නොදෙවැනි දැඩි ආහාර අර්බුදයකට සමස්ත ජනතාවටම මුහුණදීමට සිදුවේ. ගව ඝාතන වැළැක්වීමේ අණපනත් 2022 වර්ෂය තුළදී සිදු නොවේ.

 

 

ධනු තත්කාල ලග්නයට අනුව ගොඩනඟන ලද ශ්‍රී ලංකා කුම්භ ලග්න කේන්දරය පූර්ණ කාලසර්පයෝගයකට හසුවි ඇත. 4 වැන්නේ සිට 10 වැන්න දක්වා එකදු ග්‍රහයෙක්වත් නොපිහිටා ඉහළ අර්ධය හා පහළ අර්ධය වශයෙන් පැහැදිලිවම බෙදී ඇත. ඒ අනුව පෙර වර්ෂවලට සාපේක්ෂව උපත් සංඛ්‍යාවෙහි පැහැදිලි අඩුවීමක් ඇතිවේ. ජනතාව රෝග පීඩාවලට ලක්වේ. ගව මහීෂාදී සතුන් විනාශ මුඛයට ඇදවැටෙන්නේ දරුණු නියඟ හා විවිධ රෝග හේතුවෙනි. දරුණු නියඟයකට මුහුණ දීමට සිදුවේ. නියඟය අවසානයේ මහා ජල ගැලීමකටද මුහුණදීමට සිදුවේ. 2022 අප්‍රේල් 30 දක්වා  මහජනතාව සෑම අතින්ම පීඩාවට පත්වන බව සනාථ කරයි. අප්‍රේල් 30 දිනයෙන් පසු එළැඹෙන දින 74 කාලය තරමක් දුරට රටට යහපත් තත්ත්වයක් උදාවේ. ඉන් පසු 2023  ජනවාරි 23 දක්වා වූ කාලය සමස්ත පීඩිත ශ්‍රී ලාංකික ජන සමාජය කබලෙන් ළිපට ඇදවැටීමක් පෙන්වයි. මුදල් තිබුණත් ආහාර හා සෙසු අවශ්‍යතා සොයාගැනීමට නොහැකි තත්ත්වයක් උදාවේ. දෛනිකව උපයන මුදලට එදාවේල පිරිමසා ගැනීමට නම් තවත් දිනක් පෝලිම්වල සිටිය යුතු කාලය දැනුදු  උදාවී ඇත. ඉදිරියේදී මේ තත්ත්වය තවත් උග්‍රවේ.

 

සමහර ජනමාධ්‍ය ප්‍රකාශ කරන ආකාරයට ධන ලාභ හෝ රැකියා ලාභ නොලැබෙනු ඇත.  ලැබෙන්නේ නම් ඉතා සුළු පිරිසකට පමණි. කිසිදු ලග්නයකට යහපතක් සිදු නොවේ. අපේක්ෂා භංගත්වය, සාගතය, දුර්භික්ෂ, නියඟය හා ගංවතුර ආදී තර්ජන රාශියකට මහජනතාවට මුහුණදීමට සිදුවේ.  බුද්ධිමතුන් ගන්නා තීන්දු තීරණ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට යෑමේදී කිසිදු සෙතක් මහජනතාවට ඇති නොවේ. රාජ්‍ය මූල්‍ය තත්ත්වය කිසියම් හෝ ස්ථාවර තත්ත්වයකට පත්කර ගැනීමට ආණ්ඩුව සමත්වේ. සියලු තීන්දු තිරණ අතළොස්සක් දෙනාගේ අභිවෘද්ධියට හේතුවේ.  තත්කාලයට අදාළ කාලසර්ප යෝගය ශ්‍රී ලංකාවට යහපත අභිබවා අයහපතම සිදුවීමට ඇවැසි  ප්‍රතිපත්තිමය තීරණ උගත් යයි සම්මත පිරිස විසින් දියත් කෙරේ. උගත් සැම බුද්ධිමත් නොවේ. පොතපතේ සඳහන් කරුණු එලෙසම ක්‍රියාත්මක  කිරීමට යෑමේදී ගැටලු ඇතිවන්නේ ඔවුන් බුද්ධිමතුන් නොවන හෙයිනි. උගත්කම හා බුද්ධිමත්භාවය  එකක් නොවේ. කොරෝනා වයිරසය නව ප්‍රභේද ජනනය කරමින් නැවතත් ව්‍යාප්ත වන්නේ එන්නත් ප්‍රතිශක්තියට අභියෝග කරමිනි.

ජ්‍යොතිෂවේදී - ආර්.ජී සෙනෙවිරත්න (02/01/2022 මව්බිම පුවත්පතේ තරුපති විශේෂාංගය)

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk