Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

කේන්දර බලලා හිත කරදර කරගන්න එපා. හැමදේම ධනාත්මකව දකිමු.

1 year ago 7 Min read
Subha.lk
ජේයාතිෂයේ වටිනාකම රැඳී පවතිනුයේ නිවැරදි පලාපල කථනය තුළ පමණක්ම නොවේ. කේන්දරයක් උඩින්පල්ලෙන් බලා පලාපල ප්රකාශ කිරීමද නොකළ යුතු කටයුත්තකි. මේ නිසා කේන්දරයක් විග්රහ කර පලාපල ප්රකාශ කිරීම ඉතා සීරුවෙන් කළ යුතු භාරදූර කටයුත්තකි. මේ ලිපිය මඟින් මා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ යම් කෙනකුගේ ජීවිතයේ සාර්ථකත්වය උදෙසා ජේයාතිෂය ධනාත්මක අයුරෙන් භාවිත කිරීමට අපට නොහැකි ද යන්නයි. ජේ‍යාතිෂය තුළින් ධනාත්මක පලාපල ප්‍රකාශයක් ලබාදීම කෙනකුගේ ජීවිතයට අවැඩක් නොවේ. මා එසේ කියන්නේ කිසියම් පුද්ගලයකුට කේන්දරයක අපලයක් උපද්‍රවයක් ඇතත් ජේ‍යාතිෂවේදියා එය ධනාත්මක අයුරින් සිතා බලා ප්‍රකාශ කළ යුතුය යන මතයේ සිටය. මෙලොව ජීවත් වන හැම මනුෂ්‍යයකුම දියුණුවට පත්වීමට, සාර්ථකත්වයට පත්වීමට, ජයග්රහණය ලැබීමට අකැමැති නැත. අප හැමෝම තුළ යහපත මෙන්ම අයහපතද සම සමව පිහිටා ඇත. ඒ වගේම අපට අපල මෙන්ම සපල ද උරුමව ඇත. ඉතින් අපල දුරු කර, සපල වඩා කෙනකුගේ දියුණුවට මාවත හෙළිකර දීමට ජේ‍යාතිෂවේදියාට අවශ්ය තරම් ඉඩකඩ ඇත. මේ අයුරින් කටයුතු කළහොත් පමණක් අපල උපද්රව ඇති පුද්ගලයා ඒ අයහපතින් මුදාගෙන සාර්ථක පුද්ගලයකු බවට පත් කළ හැකිය. කේන්දරයක් සෑදීම තුළ යම් දෙයකට කේන්ද්ර කිරීමක් සිදුවේ. එනම් අනාගතයේ සිදුවන ඉලක්කයක් වෙත කේන්ද්ර කිරීමක් සිදුවේ. කිසියම් පවුලක කෙනකුගේ දියුණුවක් සොයා බැලීමට කේන්දරයක් පරීක්‍ෂා කරන විට මා අදහස් කරන හැටියට නම් එම පවුලේ සියලු දෙනාගේම කේන්දර පරීක්‍ෂා කළ යුතුය. ඒ වගේම එම පවුලේ හැකි තරම් පිරිසක් හමුවීම හා ඔවුන් හා කතාබහ කර ඒ අයගේ අදහස් උදහස් ලබා ගැනීම ද වැදගත්ය. මීළඟට පවුලේ බලගතු ග්රහ බලයක් ඇත්තා ද දුර්වලම ග්රහ බල ඇත්තාද හඳුනා ගැනීම කළ යුතුය. ඒ අනුව යමින් මේ සියලු දෙනාම කිසියම් අනාගත දියුණුවේ ඉලක්කයක් වෙත යොමු කළ හැකිය. එසේ නොමැතිව අපල ඇති අය සොයා ඔවුන් විවිධ පුද පූජාවිධි සඳහා යොමු කිරීම තුළින් නම් යහපතක් වන්නේ නැත. මේ සඳහා මා අසා ඇති හා අත්දැක ඇති ග්‍රහයකුගේ අපලයක් ගැන උදාහරණයක් ගෙන බලමු. සෙනසුරු අපලයක් ලබා ඇති තැනැත්තා කඩමලු අඳිමින් කය වෙහෙසා වැඩ කරමින් සමාජයෙන් අෑත්ව කාලය ගත කරන්නට වැඩි කැමැත්තක් දක්වන බවට ජේ‍යාතිෂයේ සඳහන් වේ. ඉතින් මෙවැනි අයකුට ගෙයක් සාදන්නට පටන් ගතහොත් එය අකුරටම කළ හැකිය. ඔහු දිවා රෑ වෙහෙස නොබලා ඒ කටයුත්ත උපරිම අයුරින් කිරීමට පෙලඹේ. මේ අයුරින් අපලය සපලයක් කිරීම මා සඳහන් කරන ධනාත්මක පලාපල ප්‍රකාශයට හොඳ උදාහරණයකි. විශේෂයෙන් දරුවන්ගේ කේන්දර බලන විට එම දරුවන්ට අපල ඇත්නම් ඒවා මවුපියන් හා දරුවන්ගේ ඔළුවට කෙළින්ම නොදමා දරුවන්ගේ හැසිරීම මොනවාදැයි සාවධානව අසා බලා ඊට ධනාත්මක අයුරින් උපදෙස් ලබාදීම වැදගත් වේ. කිසියම් දරුවකුගේ කේන්දරයක් බලා ඔහු මේ කාලයේ “දියේ ගිලී අකාලයේ මියයනවා” නැත්නම් “හදිසි අනතුරකට පත් වෙනවා” මෙවැනි ප්‍රකාශයක් මවුපියන්ට මෙන්ම දරුවාටද දැන්වුවහොත් එය ඒ අයුරින්ම ඉටුවීමට බොහෝ දුරට ඉඩකඩ ඇත. මේ ජේ‍යාතිෂවේදියාගේ දක්ෂකමට සිදුවන්නක් නොවේ. ඒ අර ඉලක්ක කළ දේ පිළිබඳව මවුපියන් තුළ මෙන්ම දරුවා තුළද එක දිගටම සිතුවිලි ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයකි. බොහෝ දුරට හදිසි අනතුරු නිසා අත් පා බිඳුණු අයගෙන් “මොකක්ද වුණේ යැයි විමසන විට ඔවුන් බොහෝ දෙනකු දෙන පිළිතුර වන්නේ “මට මේ දවස්වල අහවල් ග්‍රහයාගෙන් අපල” ඇති බවයි. මීට හොඳම උදාහරණයක් වන්නේ සෙනසුරු ග්‍රහයාගේ මාරුව ගැන විශාල බියක් අපේ රටේ ජනතාව අතරට ගොස් ඒ සඳහා ආරක්‍ෂාව පතා කල් තියාම විවිධ පුද පූජාවන්ට ඔවුන් පෙලඹීමයි. කිසියම් ග්‍රහයකු සිටින ස්ථානය පමණක් බලා යම් යම් දේ පිළිබඳ පලාපල ප්‍රකාශ කිරීම සුදුසු නොවේ. ග්‍රහයා ස්ථානගතව සිටින්නේ කුමන බලයක් යටතේද කුමන යෝග බලයක් සහිතවද කුමන මහ දශාවක් හා අතුරු දශාවක් ගත කරන්නේද ගෝචරව ගමන් කරන ආකාරය මේ ආදී තවත් බොහෝ දේ විමසමින් මධ්‍යස්ථ මතයක සිට පලාපල ප්‍රකාශ කළ යුතු වේ. පෙර කීවාක් මෙන් පුද්ගලයා හා කතාබහ කර තීන්දු තීරණ ගැනීමද ඉතා වැදගත් වේ. කේන්දරය තුළ කුමන අයහපතක් තිබුණද මධ්‍යස්ථව සිතාබලා පලාපල ප්‍රකාශ කිරීම දෙලොවටම යහපත කළ හැකි කටයුත්තකි.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk