Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ඔබව ධනවතෙක් කරන සොලමන්ගේ මුද්ද.

1 year ago 7 Min read
Subha.lk
ප්රධාන රේඛාවන්ට අමතරව අත්ලේ සටහන්වන විවිධ රේඛා සහ සලකුණු අතර තවත් රේඛා සලකුණ කිහිපයක් පිළිබඳවයි අද විස්තර කරන්නේ. ඒ තමයි චරිත රේඛාව, අන්සතු ධන රේඛාව, සොලමන්ගේ මුද්ද, ශනිගේ මුද්ද, මත්ස්ය ලකුණ, ත්රිශූලය, දැන් අපි බලමු එම රේඛා ඔබේ ජීවිතයට බලපාන්නේ කෙසේද කියා. චරිත රේඛාව (1) - සිකුරු මණ්ඩලය ආශ්‍රයෙන් ආරම්භ වී අර්ධ කවාකාර හැඩයෙන් යුතුව චන්ද්ර මණ්ඩලය ආශ්‍රයෙන් අවසන් වන්නේ එම චරිත රේඛාවයි. මැණික් කටු රේඛාවලට තරමක් ඉහළින් පිහිටීම චරිත රේඛාවේ ලක්ෂණයයි. කාම රේඛා නමිනුත් මෙය හඳුන්වයි. සිකුරු ග්‍රහයාගේ අති ධාවන බල ශක්තිය ශරීර ගත වූ අත්වල බොහෝ විට චරිත රේඛාව දැකිය හැකිය. තමන් සුදනන් බව සමාජයට පෙන්වමින් රහසිගතව විවිධ ආකාරයේ දුසිරිත්වල යෙදෙන අයගේ අත්වලත් එවැනි රේඛා පිහිටිය හැකිය. සුරාපානය ඇතුළුව ගංජා වැනි මත්ද්‍රව්යවලට ලොල්වීම් මෙම රේඛාව ඇති අයගේ කැපී පෙනෙන ලක්ෂණයකි. නොයෙකුත් සමාජ රෝග ඇති කරගෙන ජීවිත අඳුරු කර ගැනීමටත් එවැනි පිහිටීම් අනුබල දෙයි. මේ හැම ව්යසනයකටම හේතුවන්නේ ඔවුන් තුළ පිහිටන අසීමිත කාම රාගයයි. චරිත රේඛාව දඟර ගැසී විහිද යෑම වඩා අසුබය. එමඟින් ඉතාමත් දූෂිත චරිතයක් ඇති අයෙක් මූර්තිමත් වෙයි. සමහර අයගේ අත්වල චරිත රේඛාව බොහෝ ගැඹුරට පිහිටයි. එය බේබදුකමේ විශේෂ ලකුණක් ලෙස සැලකේ. අන්සතු ධන රේඛාව (2) - දෙවැනි කුජ මණ්ඩලයත්, චන්ද්ර මණ්ඩලයත් අතර ඇති ප්‍රදේශයෙන් ආරම්භ වී රවි මණ්ඩලය දෙසට විහිද යන අන්සතු ධන රේඛාවේ පිහිටීම රූප සටහනින් බලන්න. අන්සතු ධන රේඛාවේ පිහිටීම කීර්ති රේඛාවේ පිහිටීමට තරමක් සමාන වුවත් එහි කැපී පෙනෙන වෙනස්කමක් ඇති බව ඔබට වැටහෙනවා ඇති. අන්සතු ධන රේඛාව කලාතුරකින් අතක තමයි දැකිය හැක්කේ. ලොතරැයි දිනුමක් හිමි කරගෙන කෝටිපතියන් වන අයගේ මෙන්ම අන්සතු ධනයකට හිමිකම් ලබන අයගේ අත්වලත් මෙම රේඛාව පිහිටිය හැකිය. මෙම රේඛාව මත තාරකා ලකුණක් හෝ කතිර ලකුණක් දිස්වීමද ඉතා සුබපල ගෙනදේ. එවැනි අයට රේස් ඔට්ටු ඇල්ලීමෙන් ඉක්මනින් ධනවතකු විය හැකිය. සොලමන්ගේ මුදුව (3) - අෑත අතීතයේ පලස්තීනයේ ජීවත් වූ ඉතා පොහොසත්, බලවත් රජ කෙනෙක් තමයි සුලේමාන්. ඔහු සොලමන් නමින් ව්‍යවහාර වූයේ පසුවටයි. එම බලවත් රජතුමාගේ අතේ දබරැඟිල්ලේ මුල මෙම රේඛාව තිබූ නිසා සොලමන්ගේ මුදුව යනුවෙන් නම් කළ බව සාමුද්‍රික විද්‍යාවේ සඳහන් වෙයි. ඉංගී්‍රසි භාෂාවෙන් මුදුව හඳුන්වන්නේද රිං ඔෆ් සෙලමන් නමිනි. ගුප්ත මුදුව කියාත් මෙය හඳුන්වයි. සොලමන්ගේ මුද්ද මහා බලවත් පිහිටීමකි. එය රාජ යෝගයක් වශයෙන් හැඳින්විය හැකිය. මෙම මුදු සලකුණ කෙනකුගේ අතක පිහිටා තිබේ නම් මේ කාලයේ හැටියට රජවෙන්න බැරි වුවත් අවම වශයෙන් රජයේ උසස් රැකියාවක් හෝ ලැබිය හැකිය. ඒ වගේම මහ බලවතෙක් මෙන්ම ධනවතෙක් වෙන්නත් හේතුවන බව කියැවේ. සොලමන්ගේ මුදුව පිහිටන්නේ බොහෝ විට රේඛා බහුල අත්වලය. ජේ‍යාතිෂය, මන්ත්ර, ශාස්ත්ර ආදී ගුප්ත විද්‍යාවන් පහසුවෙන් හැදෑරීමටත් ඒ මඟින් රටේ ප්‍රසිද්ධ වීමටත් එවැනි පිහිටීම හේතුවෙයි. ශනිගේ මුදුව (4) - මැද ඇඟිල්ල හෙවත් ශනිගේ ඇඟිල්ල මුල අර්ධ කවාකාර හැඩයෙන් පිහිටා ඇති මෙම රේඛා සලකුණ දැන් පරීක්ෂා කරන්න. එය තමයි ශනිගේ මුදුව නමින් හඳුන් වන්නේ. අඩසඳ ලකුණ හෙවත් චන්ද්රවංකය යනුවෙන් මෙම රේඛාව හඳුන්වනු ලබයි. චපලත්වයේ ප්‍රතිමූර්තියක් වශයෙන් සලකනු ලබන ශනිගේ මුදුව සුබ පිහිටීමක් නොවේ. ශනිගේ මුදුව පිහිටා ඇති අයගේ ක්‍රියාකාරකම් ඉතා දුර්වලය. කොයිම දෙයක්වත් හරිහැටි නිවැරැදිව කළ නොහැකි වීම ඔවුන් තුළින් කැපීපෙනෙන ලක්ෂණයකි. අවංක හදවතක් නැති ඔවුන් තුළ සෘජු ප්‍රතිපත්තියක්ද නැත. ඒ නිසාම ඔවුන්ගේ ජීවිත බොහෝ විට අසාර්ථක වේ. ශනිගේ මුදුව ඇති අය රහස් වැඩවලට දක්ෂය. හුදෙකලා ජීවිතය ප්‍රිය කිරීමද ඔවුන්ගේ චරිතයේ කැපීපෙනෙන තවත් ලක්ෂණයක් වේ. මත්ස්ය සලකුණ (5) - මත්ස්ය සලකුණ කියන්නේ අත්ලේ සටහන්වන මාළුවකුගේ සලකුණයි. මෙම සලකුණ අත්ලේ ගුරු, ශනි, රවි, බුධ, සිකුරු ආදී මණ්ඩල මත වගේම රේඛා ආශි්‍රතවත් පිහිටීමට ඉඩ ඇත. රේඛා බණ්ඩි ගැසීමෙන්ද බොහෝ විට එම ලකුණ පිහිටන බව කිව යුතුයි. මත්ස්ය ලකුණ ඉතාමත් සුබපල දෙන පිහිටීමකි. අනේකවිධ භව බෝග සම්පත් ලැබීමටද මෙය හේතුවක්. කාන්තාවකගේ අත්ලේ මාළුවකුගේ සලකුණක් දර්ශනය වේ නම් ඇයට ලක්ෂ්මී යෝග උදාවෙන බවයි ශාස්ත්‍රීය නියමය. වාසනාවන්ත පුරුෂයකුට බිරිය වන ඇය සුපින්වත් දූපුතුන් ලබන ජාතියේ ශේ්‍රෂ්ඨ මාතාවක් වන්නීය. එම සලකුණ පිහිටියේ ගුරු මණ්ඩලයේ නම් වඩාත්ම සුබපල ගෙනදේ. ත්‍රිශූලය (6) - ත්‍රිශූලය කියන්නේ උල් තුනකින් සෑදුණු ලකුණකට බව රූප සටහනින් ඔබට පැහැදිලිවනු ඇති. කිසියම් රේඛාවක මුල හෝ අග ත්‍රිශූලයක ලකුණක් වැටී තිබේ නම් එම රේඛාවෙන් උත්පාදනය වන බල ශක්තිය තුන් ගුණයකින් වැඩිවෙන බව හස්ත රේඛා විද්‍යාවේ නිගමනයයි. මණ්ඩල මත ස්වාධීනව දිස්වෙන ත්‍රිශූල ලකුණ ගුරු මණ්ඩලය මත වැටී ඇත්නම් ඔහු හෝ ඇය ධනවත් මෙන්ම බලවත් වන බවට සලකුණකි. දැඩි ආගමික භක්තියක් ඇති අයගේ ශනි මණ්ඩලය මත ත්‍රිශූල ලකුණ විද්‍යමාන වන අතර ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ රවි මණ්ඩලයෙහි බොහෝ විට එවැනි ලකුණු දිස්වෙයි. බුධ මණ්ඩලය මත ත්‍රිශූල ලකුණක් තිබීම ව්‍යාපාර කටයුතුවලින් වඩා දියුණු විය හැකි අතර චන්ද්ර මණ්ඩලයේ පිහිටන ත්‍රිශූල ලකුණින් ප්‍රකාශ වන්නේ ඔහු හෝ ඇය ගුප්ත විද්‍යාවන් කෙරෙහි සහජ දක්ෂතා ඇති අයකු බවයි. කුජ මණ්ඩලය මත පිහිටන එම ලකුණින් අභීත පුද්ගලයකු මූර්තිමත් වෙයි.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk