Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

2022 නව වසරට පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදයත් ලබා ගනිමු

1 year ago 7 Min read
Subha.lk

2022 වර්ෂය ලෙඩදුක්වලින් තොර වූ සුබ නව වසරක් බවට පත් කර ගැනීමට නම් අප අපගේ සිත්වල මනුස්සකම පෙරදැරිකරගත් ධාර්මික සිතිවිලි ඇති කරගත යුතුය. එය කරගත හැක්කේ අප විසින්ම ඇති කර ගන්නා ස්වයං ආධ්‍යාත්මික ගුණ වගාවකින්මය. 

 

ඒ සඳහා මනස නිරවුල් කර ගත යුතුය. මනස සුවපත් කරගත යුතුය. කාර්මිකකරණයට ලක්වී ඇති අපේ සිත් නැවත ස්වභාවධර්මයාගේ පහසට ලක් කරගත යුතුය. 

 

ගෙදර මිරිස් ගහක්, බටු පැළයක් සිටුවා ගත්තා නම් අද අපට ආහාර අහේනියකට මුහුණ පාන්නට සිදුවන්නේ නැත. අපේ පුරාණ වත් පිළිවෙත්, කෙම් ක්‍රම ආරක්ෂා කර ගත්තා නම් ගොවිතැන අතහරින්නට සිදු වන්නේ නැත. 

 

ස්වභාවධර්මයා විනාශ කර තාවකාලික සැප සම්පත් සොයා යන මිනිසා අවසානයේ තනිවේ. දුකට පත්වේ. දෙවියන්ට බුදුන්ට ගරු නොකරන්නාට සිදුවන්නේද ඒ දේමය. විශ්වාසය නමැති පරම ඥාතියා ළඟ සිටිනා තුරු කිසිවකුටත් වරදින්නේ නැත. එහෙයින් මේ නව වසරේදී විශ්වාසය පෙරදැරිව කටයුතු කරන්නට අදිටන් කරගත යුතුය. 

 

වසර දහස් ගණනක් මෙරට ලෝ වැසියාට පිහිට වූ උතුම් පත්තිනි මෑණියන්ගේ පිහිට හා ආශිර්වාදය ලබාගනිමින් උදා  වූ නව වසර සුබදායකව හා ඵලදායිව ගත කරන්නට තම නිවෙසේදීම කරගත හැකි ශාන්තිකර්මයක් පිළිබඳව අද “තරුපති” තුළින් ගෙන එමි. 

 

බුද්ධත්වය ප්‍රාර්ථනා කිරීම නිසා බෞද්ධ ජනතාවගේ ගෞරවාදරයට පත් පත්තිනි මාතාව බෝධිසත්ත්ව දෙවඟන ලෙසද පුද ලබයි. සැමට ආශිර්වාද කරන්නීය. කිසි විටෙක වෛර නොකරන්නීය. කෙනකුගේ දුකකදී කරදරයකදී ක්ෂණිකවම හිත උණුවන්නීය. 

 

කාන්තාවන්ට සිදුවන දුක් කරදරවලදීත්, දරුවන්ගේ ලෙඩදුක්වලදීත්, දරුවන් නැති අයට දරු පල ලබාදීමටත්, දරු ගැබ ආරක්ෂා කිරීම, වර්ෂාව ලබාදී, වගාවන් සශි්‍රක කිරීම ඇතුළු කරුණු කාරණාවලදී පිහිට වන්නේ පත්තිනි අම්මාය. එසේ හෙයින් පත්තිනි දෙවියන්ට  තම නිවෙසේදී පුද සත්කාර කොට ආශිර්වාදය ලබා ගැනීමට විශ්වාසය මුල්කොට ගෙන පහත ආශිර්වාද පූජාව පවත්වමු. 

 

අවශ්‍ය ද්‍රව්‍ය 

1. එළඟි තෙල් පහනක් 

2. කෙසෙල් අගිසි 01

3. කෙසෙල් ගෙඩි 01 

4. කොණ්ඩ කැවුම් 01 

5. කැකුළු හාල් 

6. මුට්ටියක් 

7. කහ පාට මල් 

8. පත්තිනි මෑණියන්ගේ පිළිමයක් හෝ ඡායාරූපයක් 

9.  බුලත් කොළයක් 

10. පඬුරක් 

11. පැන් කෝප්පයක් 

12. සාම්බ්‍රානි සහ කපුරු 

13. පුවක් කැබැල්ලක් 

 

 

 

පූජාව පවත්වන ආකාරය 

 

ප්‍රථමයෙන් තම නිවෙසේ සාලය අස්පස් කර පිරිසුදු කර ගන්න. ටීපෝවක් හෝ කුඩා මේසයක් ගෙන ඒ මත සුදු රෙදි කඩක් එළන්න. ඒ මත පත්තිනි පිළිමය හෝ ඡායාරූපයක් ඊට ඉදිරියෙන් එළඟි තෙල් පහනත්, මල් සහ පැන් කෝප්පයත් කෙසෙල් අගිස්සත් තබන්න. මීළඟට නිවෙසට ඇතුළු වන ප්‍රධාන ‍ෙදාරටුව ඉදිරිපිට ගඩොල් හෝ කළු ගල් තුනක් තබා ළිපක් සාදා කිරිබතක් පිසින්න. මෙය නිවෙසේ පිරිමියකු විසින් කළ යුතු අතර පවුලේ අන් අය සියලු දෙනාම ඊට සහභාගි වීම හොඳයි. දැන් සාලය පුරාවටත් කිරි උතුරවන ස්ථානයටත් හොඳින්  සාම්බ්‍රානි දුම් අල්වන්න. 

 

මීළඟට පහන දල්වා හඳුන්කූරු පත්තු කර පිසගත් කිරිබත් මුට්ටිය ගෙනවිත් අත් දෙකෙන්ම තුන් වතාවක් කෙසෙල් අගිස්ස මතට කිරි දානය බෙදන්න. කෙසෙල් ගෙඩිය සහ කැවුමද පුදන්න. බුලත් කොළය මත පඬුර සහ පුවක් කැබැල්ල  තබන්න. යළිත් එම ස්ථානයට දුම් අල්වන්න. මේ පූජාසනය ඉදිරිපිට පැදුරක් එළා පවුලේ සියලු දෙනාම වාඩිවන්න. 

 

පළමුව දේව ආරාධනාව කර පන්සිල් ගෙන කරණීයමෙත්ත සූත්‍රයක් හැකි නම් අනෙකුත් පිරිත්ද කියන්න. මීළඟට පහත ස්තෝත්‍ර කියන්න. මෙය අලුයම 3.30ත්  උදේ 6.00ත් අතර කරන්න. 

 

ආරාධනා කවි 

නානා සුන්දර ජන වනිතාගණ තාර පතී ඉව ශ්‍රී  දෙහං 

නානා වර්ණක ශාටක ධාරණ මාලා දාම පිලන්ධං 

නානා ශාස්ත්‍ර ප්‍රජාන විජානන ඥාන විශාරද කීර්ති ධරං 

නානා ශෝභිත රත්න නිරන්තර දදාතුතෙ පත්තිනි මාතා 

දේව ස්තෝත්‍ර 

පතිබ්බතා යා සහ සාමිකෙන 

ගන්ත්වා පුරං පණ්ඩු නාරාධිපස්ස 

දාහෙසි තං ආගු මසයිහ මාතා 

සා පත්තිනි පාලයතං සදාමං 

 

මින් පසුව පවුලේ සියලු දෙනාට ආශිර්වාදය ඉල්ලා පත්තිනි දෙවියන් වෙනුවෙන් කන්නලව්වක් කරන්න. අවසානයේ පහත පින් දෙන ගාථාව කියා පත්තිනි මෑණියන්ට පින් අනුමෝදන් කරන්න. 

 

පතිවෘත්තා ධම්ම ගුණග්ග සෙට්ටන් 

සක්කාදී දේව ගුණා සුපූජිතන් 

සත්තානුකම්පාය සුපතන් සුසීලමන් 

පුඤ්ඤාණුමෝදතූ පත්තිනි දිව්‍ය මාතා 

 

 

දේවගැති

පරාක්‍රම සුබසිංහ (21/11/2021 මව්බිම පුවත්පතේ තරුපති විශේෂාංගය)

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk