2022 රටට කොහොම වෙයිද?
📅 ජනවාරි මාසය
දෙදහස් විසිදෙක වසර ආරම්භයේදීම ස්වභාවධර්මය සහ ග්‍රහ මණ්ඩලය තුළත් ඒ අවටත් සුවිශේෂී සිදුවිම් සිදුවෙමින් පවතී. සිකුරු ග්‍රහයාට ආසන්නව ‘ලෙනාඩ්’ වල්ගා තරුව පායා ඇති අතර දෙසැම්බර් 16 වැනි දින සිට ලංකාවටද එය ප්‍රදර්ශනය වෙමින් පවතී.
මෙවැනි පසුබිමක් තුළ උදාවෙන 2022 වසරේ ජනවාරි පළමුවැනිදා වනවිට ලංකාවට හිමි කුම්භ ලග්න කේන්දරයෙහි සෙනසුරු ඒරාෂ්ටකයක් සහ කාලසර්ප යෝගයක්ද නිර්මාණය වී තිබේ. ජනවාරි 16 වැනි දින දක්වා රවි ග්‍රහයා ධනු රාශියේ ගෝචර වන හෙයින් සියලු සුබදායි කටයුතුවලට මෙම කාලසීමාව අයහපත් වේ. ජනවාරි 16 දක්වා කුජ ග්‍රහයා ආණ්ඩුව නියෝජනය කරන දහවැනි භාවයේ කේතු සහ බුධ සමඟ යෝග වී සිටීම මත රජයේ සියලුම කටයුතු දුර්වල වීමටත් කුජගේ සිවුවැනි දෘෂ්ටියෙන් ගුරු පීඩාවට පත්වීම තුළ රටේ කීර්තිනාමය ජාත්‍යන්තර වශයෙන් පිරිහීමටත් පත්වේ.
ජනවාරි 16 වැනිදායින් පසු පාර්ලිමේන්තුව තුළ ඇතිවන නොසන්සුන්කාරී තත්ත්වයට දේශපාලන පක්ෂ තුළ පවතින අභ්‍යන්තර ගැටුම් හා මතවාද බලපවත්වනු ඇත. මෙවැනි ග්‍රහ පිහිටීම් නිසා 2022 ජනවාරි මාසය තුළ මහජනතාවට සතුටින් ජීවත් විය හැකි කාලයක් අපේක්ෂා කළ නොහැකිය.
📅 පෙබරවාරි මාසය
පූර්ණ කාලසර්ප යෝගයක් සහිතව උදාවෙන පෙබරවාරි මාසයේ දොළොස්වැනි දින දක්වා රවි ග්‍රහයා සෙනසුරුගෙන් පීඩාවට පත්වී වක්‍ර වූ බුධ සමඟ යෝග වී දොළොස්වැන්නේ සිටී. ශනි ගමන් කරනුයේ සුවණ නැකැතේය. ග්‍රහයන් සිවුදෙනකු දොළොස්වැන්නේ ප්ලූටෝ සමඟ යෝග වීම සංචාරක කටයුතු අඩාල කිරීම, මහජනතාවගෙන් රජය හා රාජ්‍ය නිලධාරීන් පීඩාවට පත්වීමට හේතුවනු ඇත.
පෙබරවාරි දාසයවැනි දින ඇතිවන ග්‍රහ යුද්ධයට අනුව රට තුළ බාලාපරාධ, ස්ත්රීන්ට හිරිහැර වීම, මංකොල්ලකෑම් වැඩිවීම සිදුවේ. මහජනතාව කෝපයට පත්වීම හේතුවෙන් දැඩි මර්දන ක්‍රියාමාර්ගවලට ආණ්ඩුව යොමුවීමෙන් ජන අරගල නිර්මාණය වීමට පසුතලය සකස් වේ.
පොදුවේ බලන විට යහපතට වඩා අයහපත වැඩිවීමෙන් කෘෂිකාර්මික අංශ, වැවිලි කර්මාන්ත ක්ෂේත්රය අසාර්ථක වීමත් ඒ අනුව ආහාර හිඟයක් ඇතිවීමත් හේතුවෙන් ජනතාව ප්රකෝපයට පත්වීමේ පසුබිමක් නිර්මාණය වනු ඇත.
📅 මාර්තු මාසය
මාර්තු මාසය තුළදී වෙන කිසිම වර්ෂයකදී නොපැවතුණු අයුරින් 2022 වර්ෂයේ ග්‍රහ යුද්ධ පහක් පවතී. මෙම ග්‍රහ යුද්ධවලින් ජනතාවාදී ග්‍රහයන් වූ සෙනසුරු සහ සිකුරු වැඩි ජයග්‍රහණ ලබන අතර එක් යුද්ධයක් නෙප්චුන් ග්‍රහයා විසින්ද, තවත් යුද්ධයක් ගුරු ග්‍රහයා විසින්ද ජයග්‍රහණය කරයි. මෙම යුද්ධ ඇතිවීමෙන් පසු රට රටවලට බලපාන ආකාරය වරහ මිහිර ආචාර්යවරයා මෙසේ දක්වා තිබේ.
රවිජේන බුධෙධවසෙත නාවික යෝදාබ්ජ සධන ගර්භිණ්ය--
භෘගුණා ජිතෙග්නිකොප-- සස්යාම්බුද යායි විද්වංශ--
ග්‍රහ යුද්ධයක් පැවැති අවස්ථාවකදී එම ග්‍රහ යුද්ධය සෙනසුරු ග්‍රහයා සමඟ සිදුවී එයින් සෙනසුරුට ජය හිමි වුවහොත් නාවික සේවයේ යෙදෙන අයට, ධීවර කර්මාන්තයේ යෙදෙන්නන්ට, දියර වර්ග නිෂ්පාදනය කරන්නන්ට තම ව්‍යාපාර කටයුතුවලින් අලාභ විඳීමට සිදුවේ. නාවික සේවාවේ සහ ධීවර කටයුතුවල යෙදෙන අයට විපත්වලට මුහුණදීමට සිදුවේ. ගැබිනි මාතාවන්ටද අපලය.
මෙම මාසය තුළදී කුජ, සිකුරු, ශනි හා ප්ලූටෝ මහජනතාව සහ කෘෂිකර්මය නියෝජනය කරන දොළොස්වැන්නේ ගමන් කරයි. ග්‍රහ යුද්ධ පහෙන් ග්‍රහ යුද්ධ තුනක්ම ශනි සහ සිකුරු ජය ලැබීම මත ආහාර අර්බුදයක් ඇතිවීමටත්, ඉන්ධන හිඟයකට මුහුණදීමටත් සිදුවේ. මාර්තු 15න් පසු ඇරඹෙන කෝණ මාසය තුළ රවි ලංකා කේන්දරයේ දෙවැන්නේ ගෝචර වන අතර කේතුගේ නව වැනි දෘෂ්ටියෙන් පීඩාවට පත්වේ. සමස්තයක් ලෙස රටේ ආර්ථිකය යහපත් නොවීමට මෙම ග්‍රහ පිහිටීම බල පවත්වයි.
📅 අප්‍රේල් මාසය
සෙනසුරු, ගුරු සහ රාහු යන ග්‍රහයන්ගේ ගෝචරවීම් සමඟ ග්‍රහ යුද්ධ හතරක්ද සිදුවෙන මෙම මාසය පෙරළිකාර මාසයක් ලෙස හැඳින්වීමට හැකිය. වසර එකහමාරකට ආසන්න කාලයක් ලංකා කේන්දරයේ සිවුවැන්නේ ගමන් කළ රාහු අප්‍රේල් 13 වැනි දින මේෂ රාශි ගතවන අතර රවි ග්‍රහයා 14 වැනි දින මේෂ රාශියට පිවිසේ. අප්‍රේල් 14 වැනි දින ගුරු ග්‍රහයා මීන රාශියේ ස්වක්ෂේත්ර වේ. මෙම ගෝචරය ආර්ථික වශයෙන් යහපත් වෙතත් සෙනසුරුගේ තුන්වැනි දෘෂ්ටියෙන් ගුරු පීඩාවට පත්වීම තුළ සාර්ථක ප්‍රතිඵල ලබාගැනීම අසීරු වේ.
සෙනසුරු ග්‍රහයා කුම්භ රාශි ගතවීමෙන් අනතුරුව මහජන උද්ඝෝෂණ අඩුවීමට හේතුවේ. මෙම කාලසීමාව තුළදී රාහු තුන්වැන්නේ ගෝචර වීමෙන් පවුල්වාදය අභියෝගයට ලක්වීමටත්, විරුද්ධ පක්ෂ බලවත් වීමටත් පටන් ගනී. මේ අවස්ථාව වනවිට රට මෙතෙක් මුහුණ දුන් වසංගත තත්ත්වය බොහෝදුරට අඩුවේ. මහජනතාව සාමාන්‍ය ජන ජීවිතයට යොමුවීමෙන් එදිනෙදා කටයුතු සාර්ථක කර ගැනීමට උත්සාහ කරනු ඇත.
📅 මැයි මාසය
අර්ධ සූර්ය ග්‍රහණයක් සමඟ ආරම්භ වන මැයි මාසය තුළ ග්‍රහ යුද්ධ තුනක්ද සිදුවේ. මෙම ග්‍රහ යුද්ධවලින් පෞර ග්‍රහයන් ලෙස හැඳින්වෙන සෙනසුරු, ගුරු සහ බුධ ජයග්‍රහණය කිරීම නිසා එහි බලපෑම රටටත්, පාලකයන්ටත් විපත්තිදායක වේ. මහපොළව කම්පා කරන සිදුවිම් මෙම කාලසීමාව තුළදී සිදුවිමට ඉඩ තිබේ. මැයි මාසයේ 18 වැනි දින දක්වා කුජ ග්‍රහයා සෙනසුරු සමඟ යෝග වී ලග්න ගතවීමෙන් රට තුළ අපරාධ බහුලවීම, ගොඩනැඟිලි කර්මාන්තශාලා ආදියට ගින්නෙන් හානිවීම, උද්ඝෝෂණ, වැඩ වර්ජන නැවත ආරම්භ වීමටත් හේතුවේ.
මැයි 18 න් පසු කුජ ග්‍රහයා ගුරු සහ සිකුරු සමඟ දෙවැන්නේ යෝග වීමෙන් බැංකු සහ මූල්‍ය ආයතනවල ආදායම අඩු වීමට බල පවත්වන අතර ජාතික ආදායම පහළ බැසීම, රාජ්‍ය සේවය දුර්වල වීම සහ පොදු සේවාවන් අඩපණ වීමටද හේතුවේ. මේ කාලසීමාව තුළ කාලසර්ප යෝගයෙන් අත්මිදෙන නමුදු මැයි 15න් පසු රවි සහ බුධ සිවුවැන්නේ ගමන් කරයි. මැයි 16 වැනි දින පූර්ණ සූර්ය ග්‍රහණයක්ද සිදුවේ. ලංකා කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම්වලට අනුව රවි ග්‍රහයා රාහුගේ දොළොස්වැනි දෘෂ්ටිය ලැබිමත්, බුධ වක්‍ර වීමත් නිසා ආණ්ඩු පක්ෂයට තදබල අර්බුදවලට මුහුණ පෑමට සිදුවේ. ස්වාභාවික විපත් නිසා අසරණ වන ගොවි ජනතාව යළිත් කබලෙන් ළිපට වැටෙන පසුබිමක් මැයි මාසයෙන් ආරම්භ වීමට ඉඩ තිබේ.
📅 ජුනි මාසය
එක් ග්‍රහ යුද්ධයක් සහිතව ලබන ජුනි මාසය තුළ ලග්නාධිපති සෙනසුරු ජුනි මාසයේ පස්වැනිදායින් පසු වක්‍ර වී කේතු ග්‍රහයාගේ නවවැනි දෘෂ්ටියෙන් පීඩාවට පත්වේ. රටෙහි පවතින ආර්ථිකය යථා තත්ත්වයට පත්කර ගැනීම අපහසු වන නමුදු ගුරු ග්‍රහයා දෙවැන්නේ ගෝචර වී සිටින අතර කුජ ග්‍රහයාගේ පීඩාවට පත්වෙතත්, ආර්ථිකය දියුණු කළ හැකි මාර්ග හ¾දුනා ගැනීමට අවස්ථාව උදාවේ.
නෙප්චුන් ග්‍රහයා ලංකා කේන්ද්‍රයේ ධනස්ථානයේ ගෝචර වීම හේතුවෙන් මංකොල්ලකෑම්, අල්ලස් ගැනීම් සහ වෙනත් අපරාධ වැඩි වනු ඇත. නීති විරෝධී ක්‍රියාවලින් මුදල් ඉපයීම සහ අපරාධවල නිරත වූවන් පාලනය කිරීමට නොහැකි තත්ත්වයක් ඇතිවීම හේතුවෙන් පොලිසිය අසීරු මට්ටමකට පත්වේ. සුළු ව්‍යාපාරවල නිරත වූ අයට මෙම මාසය එතරම් ලාභදායි මාසයක් නොවනු ඇත.
📅 ජූලි මාසය
2022 වසරේ මුල් මාස හයට වඩා තරමක සහනශීලි බවක් හිමිවෙන මාසයක් ලෙස ජූලි මාසය හැඳින්විය හැකිය. එසේ වුවද ජූලි මස තුන්වැනිදා සිට ජූලි දාහත දක්වා බුධ ග්‍රහයා කේතුගෙන් පීඩාවට පත්වේ. මෙම ග්‍රහ බලපෑම විශ්වවිද්‍යාල සිසුන් නොසන්සුන් තත්ත්වයකට පත් කිරීමට හේතුවන අතර, ජූලි දාහතෙන් පසු බුධ ග්‍රහයා කුජගෙන් පීඩා වීම මත සතුරු බලපෑම් හේතුවෙන් ආණ්ඩුවේ ප්‍රධාන නිලධාරීන්ට විපත්වලට මුහුණ පෑමට සිදුවේ.
කුජ ග්‍රහයා රාහු සහ යුරේනස් සමඟ යෝග වී ලංකා කේන්ද්‍රයේ තුන්වැන්නේ ගෝචර වීම මත රිය අනතුරු බහුල වීම, මිනිසුන්ගේ මානසික ආතතිය වැඩි වීම මෙන්ම ජීවනෝපායන මාර්ග අඩපණ වීම නිසා මහජනතාව පීඩාවට පත්වේ. මෙම අවස්ථාවේ ජූලි 13 වැනි දින සෙනසුරු ග්‍රහයා මකර රාශියේ වක්‍ර වීමෙන් රෝහල් සේවාව දුර්වල කිරීමට හේතුවේ. රෝගීන් වෙත අත්‍යවශ්‍ය මූලික පහසුකම් ලබාදීමට නොහැකි වීමෙන් සෞඛ්‍ය සේවාව මහජන අප්‍රසාදයට පත්වේ. මෙවැනි පසුබිමක් තුළ තරුණ පරපුර විප්ලවවාදී කටයුතුවලට නැඹුරු වීමෙන් රට තුළ පවතින සාම්ප්‍රදායික සිරිත් විරිත් උඩු යටිකුරුවීමට ඉඩ තිබේ.
📅 අගෝස්තු මාසය
කුජ සමඟින් යුද වැදි ජයග්‍රහණය ලබන යුරේනස් ග්‍රහයා කුජ සහ රාහු සමඟ ලංකා කේන්ද්‍රයේ තුන්වැන්නේ යෝග වීම රට තුළ හදිසි විපත්, ගිනි ගැනීම් ඇතිවීමට හේතුවේ. අගෝස්තු මාසයේ මැද භාගය වනතෙක් රාජ්‍ය කාරක රවි ග්‍රහයා හයවැන්නේ රවිට මිත්‍ර රාශියක ගමන් කිරීමෙන් මහජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් වීමට පටන් ගනී. එහෙත් ප්ලූටෝ සමඟ යෝග වූ සෙනසුරුගේ සප්තම දෘෂ්ටිය රවි ග්‍රහයා වෙතට ලැබීමෙන් ගොවියන්ට, කම්කරුවන්ට අයහපත් ලෙස බලපෑම මත රටේ ආර්ථිකය පහත වැටෙනු ඇත.
අගෝස්තු එකොළොස්වැනිදායින් පසු සිවුවැනි රාශියේ ගෝචර වන කුජගෙන් නියෝජනය වන භෞතික සම්පත් හානියට පත්වීමට රාහුගේ දොළොස්වැනි දෘෂ්ටිය හේතුවේ. පතල් කඩාවැටීම, භූචලන ඇතිවීම, ඉඩකඩම් සහ ගොවිතැන් හානියට පත්වීම, ගොඩනැඟිලි වෙළෙඳපොළවල් විපතට පත්වීම වැනි අශුභදායක සිදුවීම් මත ජනතාව පීඩාවට පත්වේ.
මෙවැනි පරිසරයක් තුළ රවි සහ බුධ අගෝස්තු දහඅට වැනිදායින් පසු හත්වැන්නේ ගෝචර වීමෙන් ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු කෙරේ උනන්දුවක් ඇති කරයි. එම සබඳතා යහපත් ලෙස පවත්වා ගැනීමට ජාත්‍යන්තර මට්ටමින්ම බාධා ඇතිවීම නිසා වෙළෙඳ ගිවිසුම් සඳහා කරනු ලබන සාකච්ඡා අතරමඟදී බිඳ වැටීමට ඉඩ තිබේ. මෙම තත්ත්වය අවබෝධ කර ගනිමින් කටයුතු කිරීමට පාලකයන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් බුද්ධිමත් විය යුතුය.
📅 සැප්තැම්බර් මාසය
ලංකා කේන්ද්‍රයෙහි ලග්නාධිපති ග්‍රහයා වූ සෙනසුරු වක්‍ර වී දොළොස්වැනි භාවයේ ප්ලූටෝ සමඟ යෝග වී සිටී. සෙනසුරු ග්‍රහයා විසින් ධනස්ථානයේ වක්‍ර වී සිටින ගුරු ග්‍රහයාත්, ගුරුට යෝග වූ නෙප්චූන් ග්‍රහයාත් තුන්වැනි දෘෂ්ටියෙන් දකී. මෙම අවස්ථාව වනවිට යුරේනස් ග්‍රහයා රාහු සමඟ යෝග වී තුන්වැනි භාවයේ සතුරු බලයෙන් සිටීම හේතුවෙන් පවුල් වාදය කෙරෙහි බලපෑම් ඇති කිරීමට මෙම ග්‍රහ පිහිටීම හේතුවනු ඇත.
මේෂ රාශියෙන් හයවැන්න වූ අටවැනි භාවයේ සැප්තැම්බර් දහඅට වැනි දින සිට රවි ග්‍රහයා ගෝචර වීම හෘදයාබාධවලින් පෙළෙන වෘශ්චික ලග්න හිමියන්ට අනතුරුදායක කාලයකි. මෙම කාලසීමාවේ බුධ ග්‍රහයා අටවැන්නේ ගමන් කිරීම නිසා පාර්ලිමේන්තු කටයුතුවලට බාධා ඇති කිරීමට හේතුවේ. සැප්තැම්බර් විසිහයවැනි දින සිදුවන ග්‍රහ යුද්ධයෙන් සිකුරු ග්‍රහයා ජයග්‍රහණය කරන අතර, ගුරු ග්‍රහයාගේ සප්තම දෘෂ්ටියට හසු වී අටවැන්නේ ගෝචර විමෙන් කාන්තාවන්ට සහ කලාකරුවන්ට විපත් ඇතිවේ.
ගුරු ග්‍රහයා දෙවැන්නේ ගමන් කිරීම රටේ ආදායම් තත්ත්වය යහපත් කිරීමට හේතුවන පිහිටීමකි. එහෙත් නෙප්චූන් ග්‍රහයා සමඟ ගුරු ග්‍රහයා යෝග වීම නිසා ඇතිවන බලපෑමෙන් රට තුළ වංචනික ක්‍රියා සිදුවීමත්, අයථා ක්‍රම ඔස්සේ උපයන මුදල් රාජ්‍ය භාණඩාගාරයට හිමි නොවීමත් හේතුවෙන් රටේ මූල්‍ය තත්ත්වය ඉහළ නැන්වීම අපහසු වේ.
📅 ඔක්තෝබර් මාසය
නෙප්චූන් ග්‍රහයා කේන්ද්‍ර ගත වීමෙන් ආරම්භ වන ඔක්තෝබර් මාසයේ සිකුරු, රවි සහ බුධ යන ග්‍රහයන් ඔක්තෝබර් දාහත දක්වා අටවැනි භාවයේ ගමන් කරයි. මේ අවස්ථාව වනවිට ලග්නාධිපති සෙනසුරු ග්‍රහයා වක්‍ර වී ප්ලූටෝ සමඟ දොළොස්වැනි භාවයේ ගෝචර වී සිටී. ලංකා කේන්ද්‍රයේ දහවැනි භාවය අධිපති, ආණ්ඩු පක්ෂය නියෝජනය කරන කුජ ග්‍රහයා ඔක්තෝබර් දාසය දක්වා සිවුවැනි භාවයේ ගමන් කිරීම ආණ්ඩුවේ ක්‍රියාකාරකම්වලට බාධා ඇති වීමටත්, විරුද්ධ පක්ෂය බලවත් වීමටත් හේතුවනු ඇත.
මෙම අවස්ථාවේ රවි, සිකුරු සහ බුධගෙන් සන්නිවේදන ක්ෂේත්රයට සහ එහි කටයුතු කරන්නන්ට, පුවත්පත් කලාකරුවන්ට, මෙන්ම ළමා සහ තරුණ පරපුරට විපත්තිදායක මාසයකි. පාර්ලිමේන්තුවේ නව නීති සම්පාදන කටයුතු දැඩි විවේචනයට පත්වන අතර ඒවා සම්බන්ධව මහජන අප්‍රසාදය ඇතිවේ. ඔක්තෝබර් දාහත්වැනිදායින් පසු විද්‍යස්ථානය වූ පස්වැන්නේ කුජ ග්‍රහයා ගමන් කිරීමත්, රවි, බුධ, කේතු සහ සිකුරු නවවැන්නේ ගෝචර වීමත් මත අධ්‍යාපන ක්ෂේත්රයෙහි ප්රබෝධයක් දක්නට ලැබීම පාසල් දරුවන්ට යහපත උදාකිරීමට හේතුවේ. එහෙත් අධිකරණ කටයුතු පිළිබඳ වාද විවාද ඇතිවීමත් අපරාධ වැඩිවීමෙන් නඩු බහුල වීමටත් මෙම ග්‍රහචාරය බල පවත්වයි.
📅 නොවැම්බර් මාසය
නොවැම්බර් අටවැනි දින පූර්ණ චන්ද්‍ර ග්‍රහණයක් සහ නොවැම්බර් විසිදෙවැනි දින බුධ සහ සිකුරු ග්‍රහයන් දෙදෙනා අතර ග්‍රහ යුද්ධයක්ද සිදුවීම නිසා මෙම මාසයද රටට ශුභඵල උදාකරන මාසයක් ලෙස හ¾දුන්වා දීමට නොහැකිය. නොවැම්බර් දාසය දක්වා රවි ග්‍රහයා ලංකා කේන්දරයේ නවවැනි භාවයේ නීච වන අතර බුධ සහ සිකුරු සමඟ යෝග වී සිටී. නොවැම්බර් දහතුන් වැනි දින දක්වා රවි, බුධ සහ සිකුරු නවවැනි භාවයේ යෝග වීමෙන් විදේශ සබඳතා ඇතිකර ගැනීමට අවස්ථා උදාවේ. වෙළෙඳ කටයුතු දියුණු කර ගැනීමට ඉඩ ලැබීමෙන් ආනයන සහ අපනයන වෙළෙඳාම් සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වාගෙන යෑමට හැකිවේ.
නොවැම්බර් දාහත්වැනි දිනෙන් පසු රවි, බුධ සහ සිකුරු යන ග්‍රහයන් වෘශ්චික රාශියේ ගෝචර වීමෙන් ගොවිතැන් කටයුතු සඳහා යහපත් කාලයක් උදාවේ. මෙම අවස්ථාවේ කුජ ග්‍රහයා සිවුවැනි භාවයේ ගෝචර වෙමින් දහවැන්නට සප්තම දෘෂ්ටි හෙළීම මත සිකුරු සහ බුධ පීඩාවට පත්වේ. උසස් පවුල්වල කාන්තාවන්ට රෝග බිය ඇතිවීමටත් ප්‍රභූන් අතරේ නින්දා සහගත ක්‍රියා සිදුවීමටත් මෙම ග්‍රහචාරය හේතුවේ. ධනස්ථානයේ ගුරු ග්‍රහයා වක්‍රවීමෙන් රාහුගේ පස්වැනි දෘෂ්ටිය අයස්ථානය වූ එකොළොස්වැනි භාවයට ලැබීමෙන් ජාතික මුදල් තත්ත්වය වර්ධනය කළහැකි මාර්ග හ¾දුනාගත හැකි අවස්ථා අවම වේ. විදේශ විනිමය නොලැබීමත්, ආර්ථික දියුණුව සඳහා ජාත්‍යන්තර සහයෝගය අහිමි වීමත් මත පවතින ආර්ථික අර්බුදය විසඳා ගැනීම දුෂ්කර වේ.
📅 දෙසැම්බර් මාසය
දෙසැම්බර් විසිනවවැනි දින සිදුවන ග්‍රහ යුද්ධයෙන් බුධ ග්‍රහයා ජය ලැබීම සාමාන්‍ය ජනතාව පීඩාවට පත්කිරීමකි. රාජ්‍යයේ බලය ප්‍රසිද්ධියට පත්වෙන භාවස්ථානය වූ තුන්වැනි භාවයේ යුරේනස් ග්‍රහයා රාහු සමඟ යෝග වීමෙන්ද, දහවැනි භාවය කුජ ග්‍රහයාගෙන් පීඩාවට පත්වීමෙන්ද රජයට සහ රාජ්‍ය නිලධාරීන්ට අයහපත් වේ. සාමූහිකව කටයුතු කළ හැකි අවස්ථා නැතිවීමත්, ජනතා සහයෝගය නොලැබී යෑමත් නිසා පොදුසේවා ව්‍යාපෘතිවල කාර්යක්ෂමතාව හීනවේ.
දෙසැම්බර් දාහත්වැනිදායින් පසු රවි ග්‍රහයා අයස්ථානය වූ එකොළොස්වැන්නේ ගෝචර වීමෙන් මහජන අණ පනත් සහ නීති සම්පාදනයට සුදුසු පසුබිමක් පාර්ලිමේන්තුව තුළ නිර්මාණය වේ. එසේ සැකසෙන නීති මහජන ශුභ සිද්ධියට අහිතකර වීම කුජගේ අටවැනි දෘෂ්ටියෙන් පැහැදිලිවීම මත විරුද්ධ පක්ෂයේ බලපෑම් තුළ එවැනි නීති සම්පාදනය කිරීම අසාර්ථක වනු ඇත.
ලග්නගත නෙප්චුන් ග්‍රහයා කේතුගේ නවවැනි දෘෂ්ටියෙන් පීඩාවීම හේතුවෙන් අ¾දුරු පාලන යුගයක් රට තුළ නිර්මාණය වීමත්, ලග්නාධිපති සෙනසුරු දහවැනි දෘෂ්ටියෙන් නමවැනි භාවයට දෘෂ්ටි හෙළීම තුළ ජාත්‍යන්තර සහයෝගය රටට අහිමි වීමත් නිසා දුර්භාග්‍ය තත්ත්වයකට මුහුණ පෑමට මහජනතාවට සිදුවේ. මෙවැනි අභාග්‍ය සම්පන්න තත්ත්වයන්ගෙන් අත්මිදී කටයුතු කිරීමට මනුෂ්‍යත්වය අගය කරමින් පරාර්ථකාමී සේවාවක දැහැමිව යෙදීමට උනන්දු වීම අගය කළ හැකි කරුණක් වේ.
කිවිපති
කල්‍යාණි හේරත් මැණිකේ (26/12/2021 මව්බිම පුවත්පතේ තරුපති විශේෂාංගය)