Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

පෙර අකුසල් දුරු කරන බෝධි පූජාවේ අනුහස්.

1 year ago 7 Min read
Subha.lk
අප මේ ලොවට බිහිවන අවස්ථාවේදී තිබෙන්නා වූ ග්රහචාරය අනුව ලියැවෙන අපගේ වේලපත්කඩය හෙවත් කේන්ද්ර සටහන ජ්යොතිෂ්ය අනුව අපගේ උපත, පෙර ආත්මවල කුසල් අකුසල්, ඉදිරියේදී එනම් අනාගතයේදී මේවා පලදෙන ආකාරය ආදී දේ එම ග්රහචාරය අනුව ඒ ඒ දශා කාලයන් හීදී සිදුවිය හැකි දේ පෙරනිමිති මඟින් අප දැනුම්වත් කර ඇත. පෙර භවයන්හිදී සිදු කරන ලද අකුසල නිසා මේ ආත්ම භවයේදී අත් විය හැකි අයහපත් ප්රතිඵලවලින් මිදීමට පෙර භවයේ සිදු කරන ලද කුසල්වලින් යම් සහනයක් මෙන්ම ඒවායින් මිදීමටත් මතු ආත්මයන් සඳහා සුගතියක් ලබා ගැනීම සඳහාත් ඉමහත් පිහිටක් බෝධි පූජාවන් මඟින් ඔබට උදාකර ගත හැකිය. මෙලොවට බිහිවන සියලුම ජීවීන් හට එම ආත්මයන් ලබනුයේ පෙර ආත්මවල කරන ලද කර්මයන්ගේ ආදීනව අනුවය. මේ භවයේදී ද ඔවුන්ගේ ජීවන රටාව, පැවැත්ම මෙන්ම මුහුණ දෙන බොහෝ දුක් කම්කටොලු ද දුක සැප අතර දෝලනය වනුයේ ද පෙර ආත්මවලදී කරන ලද කර්මයේ ප්රතිවිපාක ලෙසය. ඔබගේ කේන්ද්ර සටහන මඟින් ඒ පිළිබඳ මනා වැටහීමක් ලබා ගත හැකිවනවා පමණක් නොව ඒ ඒ කාල සීමාවන් හිදී පැමිණෙන දුක්ගැහැට, අතුරු අන්තරා ගැන ද කුමන හේතුවක් මත ඒවා සිදු වන්නේ ද යන්නත් ඔබට දැනගත හැකිය. සමාජයේ ඉතාමත්ම ප්රචලිතව ඇති බෝධි පූජා සඳහා අවම වශයෙන් එක්වරක්වත් සහභාගී නොවූ අයකු අද බෞද්ධ සමාජයේ නොමැති තරම්ය.බෝධි පූජාව අතීතයේ සිටම පැවැත එන සමාජයේ මුල් බැසගත් පූජාවක් වන අතර, මෙය ප්රධාන වශයෙන් තුනුරුවන් පෙරදැරිකොට ගෙන ඒ ගැන මහත් විශ්වාසයෙන් භක්තියෙන් යුතුව පිරිසුදු සිතින් සිදු කළ යුතු දෙයකි.බෝධි පූජාව සිදු කිරීමට දිනයක් නියම කරගත් පසු අවම වශයෙන් එම දිනයට දින 3කවත් සිට මස් මාංස අනුභවයෙන් තොරව වෛරය, ක්රෝධය, ඊර්ෂ්යාව සිතින් ඈත් කොට සිතින් මෙන්ම ගතින් ද පිරිසිදුව ඒ සඳහා කැපවිය යුතුය. එසේ නැතිව කරන්නන් වාලේ කර, පසුව "අනේ අපිත් බෝධි පූජාවක් තිබ්බා, ඒ වුණාට වැඩක් වුණේ නැහැ" කියා මැසිවිලි නඟන තත්ත්වයෙන් මිදී මේ බෝධි පූජාව සිදු කිරීමට මතක තබා ගන්න. මෙම වටිනා මහත් ආනිසංස ලැබෙන පූජාව ඔබගේ අධ්යාපන, ග්රහදෝෂ මෙන්ම ව්යාපාර, මංගල කාරණා සඳහා ද ආශිර්වාදය සහනයක් පතා සිදු කරනු ලබන දෙයක් නිසා ඒ සඳහා සූදානම් වීම මෙන්ම ඒ සඳහා අවශ්ය සියලුම දේද, දැහැත් වට්ටිය, ගිලන්පස, ඖෂධ මංජුසාව මෙන්ම මල් පහන් ද ඉතාමත්ම පිරිසුදුව සූදානම් කරගත යුතුමය. පහන් දැල්වීම සඳහා රන් තැඹිලි තෙල්, අලුත් පහන් වැටි, බෝධිය දෝවනය කිරීමට ගන්නා නැවුම් කළයක් මෙන්ම එම ජලය ද 7 වරක් පෙරා සූදානම් කර ගන්න. මල් පූජා කිරීමේදී සුදු සහ කහ පාට මල් වැඩි වශයෙන් යොදාගැනීම සුදුසු අතර, එම මල් ද ඔබ විසින්ම කඩා දෝවනය කර ගන්නේ නම් ඉතා මැනවි. බෝධිය දෝවනය කරන පැන් කලයට පිරිසුදු ජලය සමඟ සුදු හඳුන් කුඩු ස්වල්පයක් හා පිච්ච මල් ද එක් කර එය සූදානම් කර ගන්න. මල් පූජා කිරීමට ප්රථම මල් ආසනය මෙන්ම බෝධින් වහන්සේ අවට පරිසරය ද හොඳින් අතුගා පිරිසුදු කර ගැනීමට අමතක නොකරන්න. එසේ සූදානම් කරගත් පසු මල් ආසනය කහ දියර ස්වල්පයකින් පිරිසුදු කර ඒ මත කහ දියරයෙන් පිරිසුදු කරගත් බුලත් අතුරා ඒ මත මල් අතුරන්න. ඉන් පසු පුන්කලස රැගෙන බෝධින් වහන්සේ වටා අවම වශයෙන් වට 7ක් (ඔබේ දකුණු අත බෝධිය දෙසට සිටින ලෙසට) ගමන් කරන්න. මෙසේ ගමන් ආරම්භ කිරීම මරු සිටින දිශාවට පිටුපා ආරම්භ කරන්න. එසේම මෙම පූජාව රාහු කාලය මගහැර සිදු කිරීමට ද සිහි තබා ගන්න. මෙසේ ගමන් කරන අතර ජයෝ මුනින්දස්ස ගාථාව කියමින් තමන්ගේ අවශ්යතාව සිතින් මෙනෙහි කරමින් එම කටයුතු කාරණා සියල්ල උතුම් බෝධියේ ශක්තියෙන් ආනුභාවයෙන් කිසිම කරදරයක් බාධාවක් නොමැතිව ඉෂ්ට කර ගැනීමට ලැබේවා යයි සිතින් ප්රාර්ථනය කරන්න. ඉන්පසු පහන් වැටි 21 දල්වන්න. මෙම පහන් වැටි ද තමන්ගේ උරහිසට ඉහළ මට්ටමක තැබීමට හැකියාවක් ඇත් නම් ඉතා යහපත් වේ. පසුව ඔබ විසින් ගෙනෙන ලද දැහැත්, ඖෂධ මංජුසාව, ගිලන්පස ආදිය පූජා කරන්න. මෙම බෝධි පුජාවෙන් සිදු කෙරෙනුයේ තමන්ගේ ශරීරයෙන් නික්මෙන අයහපත් තරංග මෙන්ම ග්රහයන්ගේ බලපෑම්වලින් නිකුත් වන කිරණ නිසා ඇති වන අයහපත් තරංග නිසා සිදු වන මානසික හා ශාරීරික බලපෑම් බෝධින් වහන්සේගේ බෝපත්වලින් අවශෝෂණය කර ගතටත් සිතටත් මානසික මෙන්ම ශාරීරික සුවයත් එම පූජාව සිදු කරනු ලබන අයට ලැබීමයි. මෙහිදී තමන් එමඟින් බලාපොරොත්තු වන්නා වූ දේ මෙනෙහි කරමින් පැදකුණු කිරීමේදී තමන්ගේ මනසින් නිකුත් වන තරංගයන් පිට වීම අනුව එය අවශෝෂණය කර ගැනීමේදී සිදු වන බලයෙන් තමන්ගේ මනස සන්සුන් වී තමන්ටම එයින් ප්රතිඵල ලබාගත හැකි තත්ත්වයකට පත් කිරීම සිදු වෙයි. මේ සියලුම දේ පූජා කිරීමෙන් දෝවනය කිරීමෙන් පහන් දැල්වීමෙන් තමන්ගේ ජීවිතයට ආලෝකයක්, යහපතක් ලැබේවා කියා ප්රාර්ථනය කරන්න. වැරදීමෙන්වත් අයහපත් වචන භාවිත නොකරන්න. මේ පූජාව අවසන් වූ පසුව බෝධින් වහන්සේ වඳින ගාථා පවසා බුදුන් මෙන්ම සංඝයා ද සිහිපත් කරන්න. හැකි නම් දෙවියන් සඳහා ද ආරාධනා කර ස්තෝත්ර ගායනා කරන්න. අවසානයේ පිරිත් තුන් සූත්රය තුන් වරක් දේශනා කර සියලුම දෙනාට පින් පමුණුවන්න. එසේ සිදු කරගත් පුණ්ය කර්මය හේතුකොටගෙන තමාට යහපතක් වේවා යැයි නැවතත් ප්රාර්ථනය කරන්න. ඔබට නිසැකවම එම සහනය ලැබෙනු ඇත.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk