Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

අනාගත සහකරුවා හෝ සහකාරිය තෝරාගැනීමට කේන්දරයෙන් අත්වැලක්.

1 year ago 7 Min read
Subha.lk
විවාහ අපේක්ෂාවෙන් සිටින බොහෝ දෙනෙකුගේ විවාහය ප්රමාද වී ඇති අතර ඇතැම් පුද්ගලයන් තම ජීවිත කාලය පුරාම අවිවාහකව සිටින බව පෙනේ. කේන්ද්ර සටහනට අනුව අනාගතයේදී ලැබෙන සහකරුවා හෝ සහකාරිය පිළිබඳ ඉඟියක් ලබා දීම තුළින් විවාහක් බලාපොරොත්තුවෙන් සිටින අවිවාහක අයට යම් සහයෝගයක් ලැබේවි යැයි විශ්වාසයෙන් මෙම ලිපිය ලිවීමට අදහස් කළෙමි. කිසියම් පුරුෂ කේන්ද්ර සටහනක බුධ ග්රහයා 7 වැනි කොටුව තුළ තැන්පත්ව ඇත්නම් ඔහුට ලැබෙන සහකාරිය ඔහුට වඩා අවම වශයෙන් අවුරුදු 5ක්වත් ළා බාල අයකු වීමට වැඩි ඉඩක් ඇත. නොඑසේ නම් ඔහුට ලැබෙන සහකාරිය ඔහුට වඩා ළා බාල පෙනුමක් ඇති අයකුවත් විය යුතුය. බුධ ග්රහයා ඉතා බලගතු ලෙස 7 වැනි භාවය තුළ තැන්පත් වීම තුළිනුත් බුධ ග්රහයා අන් ග්රහයන්ගෙන් තොරව 7 වැනි භාවය තුළ තැන්පත් වීමෙනුත් ඉහත කී ආකාරයේ සහකාරියක ලැබීමේ අවස්ථාව උපරිම වනු ඇත. තවද ඉහත ආකාරයේ ග්රහ පිහිටීමක් ඇති අයකුට ඉහත කී පරිදි සහකාරිය ලැබීම ඉතාම ස්වාභාවික වන අතර, ඒ අනුව ඔහුට ඇය සමඟ ඉතා සතුටුදායක විවාහ දිවියක් ගත කළ හැකි වනු ඇත. එමෙන්ම කිසියම් ස්ත්රී කේන්ද්ර සටහනක බුධ ග්රහයා 7 වැනි භාවය තුළ තැන්පත්ව ඇති විට ඇයට ලැබෙන සහකරු ඇයට වඩා ළා බාල අයෙකු හෝ ඇය සහ සම වයසේ ඇති අයකු වීමේ ඉඩකඩ වැඩිය. නොඑසේනම් ඇයට ලැබෙන සහකරු ළා බාල පෙනුමක් ඇති අයකු වීමේ ඉඩකඩ වැඩිය. ඇයගේ කේන්ද්ර සටහනේ බුධ ග්රහයා 7 වැනි භාවය ඉතා ප්රබල ලෙස තැන්පත් වීම තුළිනුත් බුධ ග්රහයා අන් ග්රහයන්ගෙන් තොරව 7 වැනි භාවය තුළ තැන්පත් වීම තුළිනුත් මෙම තත්ත්වය උපරිම වනු ඇත. තවද ඇයට ඉහත කී ආකාරයේ පිහිටීමක් ඇත්නම් ඉහත කී ආකාරයේ සහකරුවකු ලැබීම ඉතාම ස්වභාවික වන අතර ඒ අනුව ඔවුන්ගේ කේන්ද්ර සටහන්වල වෙනත් සැලකිය යුතු විවාහ දෝෂයක් නැති නම් ඔවුන්ට ඉතා සතුටුදායක විවාහ දිවියක් ගත කළ හැකි වනු ඇත. කිසියම් ස්ත්රී කේන්ද්ර සටහනක කුජ ග්රහයා 7 වැනි භාවය තුළ තැන්පත්ව ඇති නම් ඇයට ලැබෙන පුරුෂයා ඉතා කඩවසම් අයකු වීමේ ඉඩකඩ වැඩිය. කෙසේ වෙතත් මේ ආකාරයට කුජ ග්රහයා තැන්පත් වීම තුළින් එම දෙපළට සාපේක්ෂ වශයෙන් විවාහය අසාර්ථක වීමේ අවදානමක් හට ගනියි. එමෙන්ම කිසියම් පුරුෂ කේන්ද්ර සටහනක කුජ ග්රහයා 7 වැනි කොටුව තුළ තැන්පත්ව ඇති නම් ඔහුට ලැබෙන සහකාරිය ඉතා රූමත් අයකු වීමේ ඉඩකඩ වැඩිය. කෙසේ වෙතත් එවන් අවස්ථාවලදී ද එම දෙපළගේ විවාහ දිවිය අසාර්ථක වීමේ අවදානමක් හට ගනියි. කිසියම් උත්පත්ති කේන්ද්ර සටහනක කේතු ග්රහයා 7 වැනි භාවය තුළ තැන්පත්ව ඇති නම් එවැනි අයකුට කුමක් හෝ එක් අංගයකින් නොගැළපෙන විවාහයක් සිදු වීමේ ඉඩකඩ වැඩිය. එනම් මෙවැනි පිහිටීමක් ඇති කේන්ද්ර හිමියකුට බොහෝ අංශවලින් ගැළපෙන සහකරුවෙකු හෝ සහකාරියක ලැබෙන්නට ඉඩ ඇතද කුමක් හෝ විශේෂ අංගයකින් විශාල නොගැළපීමක් ඇති අයකු ලැබීමේ ඉඩකඩ වැඩිය. මෙම නොගැළපීම සමහර විට ජාතිය, ආගම, කුලය වැනි සාධකයන් සම්බන්ධ වූවක් විය හැකිය. නොඑසේනම් ශාරීරික ප්රමාණයෙහි හෝ අධ්යාපන මට්ටමේ හෝ කරනු ලබන වෘත්තීන්වල විශාල ලෙස වෙනස්කම් තිබිය හැකිය. එමෙන්ම සමහර අවස්ථාවලදී මෙවැනි පිහිටීම් ඇති විට වයස් පරතරය විශාල ලෙස වැඩි වන්නට හෝ අසම්මත ලෙස සහකරුවාට වඩා සහකාරිය වයසින් වැඩි වීමට ද ඉඩකඩ වැඩිය. එමෙන්ම යම් උත්පත්ති කේන්ද්ර සටහනක කේතු ග්රහයා 7 වැනි භාවය තුළ ඇති විට ලැබෙන සහකරුවා හෝ සහකාරිය කේන්ද්ර හිමිකරුට වඩා ශාරීරික ප්රමාණයෙන් කුඩා අයකු වීමේ ඉඩකඩ වැඩිය. කෙසේ වෙතත් ඉහත වැනි පිහිටීමක් ඇති විට ඉහත ආකාරයේ විවාහයක් සිදු වේ නම් එය ඉතා ස්වාභාවික වන අතර, ඒ අනුව කේන්ද්ර සටහන්වල වෙනත් නිදන්ගත විවාහ දෝෂ නැතිනම් එම දෙපළට ඉතා සාර්ථක විවාහ දිවියක් ගත කිරීමට භාග්යය උදා වනු ඇත. කිසියම් පුරුෂ කේන්ද්ර සටහනක කුමන හෝ භාවයක රවි, බුධ සහ සිකුරු යන ග්රහයන් එක්ව ඇත්නම් ඔහුට ප්රභූ පවුලකින් තම විවාහ සහකාරිය තෝරා ගැනීමට භාග්යය උදා වනු ඇත. එමෙන්ම කිසියම් ස්ත්රී කේන්ද්ර සටහනක කුජ සහ චන්ද්ර යන ග්රහයන් කුමන හෝ භාවයක එක්ව ඇත්නම් ඇයට ලැබෙන සහකරුවා විදේශගතව සිටින කෙනකු හෝ නිතර විදෙස් ගමන් යෙදෙන කෙනකු හෝ විදෙස් සම්බන්ධතා ඇති අයකු වීමේ ඉඩකඩ වැඩිය. මීට අමතර ලෙස කිසියම් උත්පත්ති කේන්ද්ර සටහනක කේතු ග්රහයා 2 වැනි භාවය තුළ හෝ 8 වැනි භාවය තුළ ඇත්නම් ඔහුට හෝ ඇයට විවාහයෙන් පසුව ජීවන ක්රමය වෙනස් කිරීමට සිදු වනු ඇත. විවාහයට පෙර නාගරික ජීවිතයක් ගත කළේ නම් විවාහයෙන් පසු ග්රාමීය ජීවිතයක් ගත කිරීම උදාහරණ ලෙස දැක්විය හැකිය.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk