Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

2022 නව වසරේ කිරි උතුරවන්න රැකියාවට පිටත් වෙන්න පුද පූජා තබන්න ශුභ නැකැත්

1 year ago 7 Min read
Subha.lk

ජේ‍යාතිෂය අනුව දිනය ඇරඹෙන්නේ හිරු උදාවත් සමඟිනි. එහෙයින් අපට 2022 නව වසර උදාවන්නේ ජනවාරි 01 වැනිදා සෙනසුරාදා උදෑසන 6.22ට හිරු උදාවත් සමඟය. ජේ‍යාතිෂ ශාස්ත්‍රානුකූලව එතෙක් පැවතෙන්නේ දෙසැම්බර් 31 වැනිදා සෙනසුරාදා දිනයමය. 

 

ජනවාරි 01 වැනිදා හිරු උදාවත් සමඟ උදාවන 2022 නව වසරේ ජේ‍යාතිෂමය තොරතුරු විමසා බලමු. සෙනසුරාදා දිනය බැවින් ශනිගේ දින කාල හෝරාව පවතී. දෙට නැකැතේ දෙවැනි පාදයේදී නව වසර උදාවෙයි. ආනන්දාදී අටවිසි යෝග අතුරින් සෙනසුරාදා දිනය හා දෙට නැකැත යෙදීම මූසල නම් වූ අශුභ යෝගය යෙදීමට හේතුවෙයි. මෙකී මූසල යෝගයේ ප්‍රතිඵලය වන්නේ ධනක්‍ෂයවීමයි. 

 

ඉකුත් වසර දෙකම කොරෝනා වසංගතය පැතිරීම, රට වසා දැමීම ආදී කාරණා හේතුවෙන්ද ඒ හේතුන් මත රැකීරක්ෂා, අධ්‍යාපන ආදී සෑම ක්‍ෂේත්‍රයකම සිදුවූ බාධා අවහිරතා නිසාද සියලු දෙනාට යම් යම් ආකාරයේ දුක් කරදර පීඩා, ගැහැට හා ආර්ථික අමාරුකම් සහිත වසර දෙකක් විය. එවැනි තත්ත්වයක් අත්විඳී ජනතාවකට එළඹෙන වසර සම්බන්ධයෙන්ද එවැනිම අනාවැකියක් පැවැසීමට සිදුවීම ඉතා කනගාටුදායක වුවද සත්‍ය වසන් කළ නොහැකි නිසාම මෙම තොරතුරු සටහන් කිරීමට දිරිය ගතිමු. 

 

එහෙයින් උදාවන නව වසරේ අසුබතාවන් දුරුකරන පරිද්දෙන් කිරි ඉතිරවීමේ නැකැත ඇතුළු අනෙක් නැකැත් ලබාදීමට අපි උත්සුක වීමු. 

 

නව වසරේ 01 වැනිදා උදේ 7.18 වනතුරු අවතෙළෙස්වක තිථිය පවතී. ඊට පසු අව තුදුස්වක තිථිය උදාවේ. සෙනසුරාදා දින අව තුදුස්වක තිථිය සිද්ධි යෝගයක් වෙයි. එයින් කාර්ය සිද්ධිය ප්‍රතිඵල වන බැවින් වෙනස්කම් සහිත පරිවර්තන රැසකට හේතුවන ලෙස මෙම කිරි ඉතිරවීමේ නැකැත සකස් කොට ඇත. 

 

මෙම අවස්ථාවේදී දෙට නැකැත හිමි කුක්කුට පක්ෂියාගේ රජ සමයත් සූක්ෂ්ම පක්ෂියාගේ භෝජන අවස්ථාවත් පවතී. ගුරුගේ දින කාල හෝරාවද, සිකුරුගේ පංචම කාලයද පවතී. 

 

උදේ 6.22 සිට 7.52 දක්වා ගුලික කාලය පවතී. ගුලික කාලය යාග හෝම, සෙත් ශාන්ති ආදියට හොඳයි. තුදුස්වක තිථිය සෙනසුරාදාට සිද්ධි වීමත් ගුලික කාලය වීමත් කුක්කුට පක්ෂියාගේ රජ සමය සූක්ෂ්ම පක්ෂියාගේ භෝජන අවස්ථාව වීමත් ගුරුගේ දින කාල හෝරාව හා සිකුරාගේ පංචම කාලය ඇතුළු මෙසේ සුබ පලයන් වැඩි හරියක් යෙදී ඇති නිසා මෙම කිරි ඉතිරීම නිසි පරිදි සිදු කළොත් සුබපල ගෙන දෙන නව වසරක් බවට පත්කර ගත හැකිය. ඔබේ දෝෂ හා රටේ දෝෂ දුරුවී යහපත් පාලන රටාවක් කරා සිතුවිලි මවන වසරක් බවට නව වසර පත්කර ගත හැකිය. 

 

 

කිරි ඉතිරවීමේදී අනුගමනය කිරීමට සුබ පිළිවෙත් 

 

නිවෙස තුළ කිරි ඉතිරිවීම සඳහා නැවුම් පොඩි මුට්ටියකට පොල්කිරි පුරවා එයට හාල් ස්වල්පයක් (තේ හැඳි 1ක්), සුදු හඳුන් පිටි තේ හැඳි 1ක් සහ අමුකහ කෑල්ලක් ලියා දමා ගෙයි සාලයේ ළිප තබා දෙහි, ‍ෙදාඩම්, නාරං ආදී පැඟිරි දර, හඳුන් දර, කුරුඳු දර පමණක් යොදා කපුරු පෙති පැකට් 5ක් ගෙන දර අතරට එම පෙති දමා නැකැත් වෙලාවට කපුරු පෙතිවලට ගිනි අවුළා ගන්න. කිරි ඉතිරී යනතුරු නිර්මාංස කෙනෙක් රතන සූත්‍රය කියන්න. 

 

ගොවිතැන් කරන ස්ථානයේ කමතේ කිරි උතුර වන්නේ නම් එළ කිරිගන්න. 2022 ජනවාරි 01 වැනි සෙනසුරාදා උදේ 7.40ට උතුර බලා ගිනි දල්වා කිරි ඉතිරවීමට සුබයි. 

 

පිරිත් කියමින් එසේ කිරි ඉතිරී ගිය පසු මුට්ටියේ ඉතිරි වූ කිරි පුවක් මල් කිනිත්තකින් හැම තැනම ඉහින්න. මෙයින් වස්‍ෙදාස් දුරුවෙයි. ඇස්වහ දෝෂ දුරුවෙයි. ශාන්තිය උදාවෙයි.

 

සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා! 

සාමවිනිසුරු, ජ්‍යෙතිෂ්‍ය ශබ්ද විද්‍යා විශාරද

බෙල්පාමුල්ලේ එච්.ජී සිරිසේන (26/12/2021 මව්බිම පුවත්පතේ තරුපති විශේෂාංගය)

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk