වසරේ අවසන් දින කිහිපය තුළ පාර්ලිමේන්තුවේ මුල් පුටු පෙරැළියක් ?
විශ්ව බලය සියල්ලට හේතු වනු ඇත. ග්‍රහ වස්තුවල බලපෑම් එයට හේතුවෙයි. 2021 වසර අවසන් වන මෙම කාලය තුළ ඇති වන ග්‍රහ වස්තුවල වක්‍ර-අස්ත ආදී ක්‍රියාදාමයන් පාර්ලිමේන්තුවේ ප්‍රධාන නිලතලවල වෙනසක් ඇති වීමට හේතු පාදක වනු ඇත. කුම්භ ලග්නයෙන් තොරතුරු හෙළිවන ශ්‍රී ලංකාවේ ඉදිරි තත්ත්වය ගැන සංකේතාත්මකව නිරීක්ෂණය කර බැලීම මෙහි අරමුණ වෙයි.
පසුගිය නොවැම්බර් මස පළමු වැනිදා සඳුදා දින රාත්‍රි 1.12ට බුධ ග්‍රහයා අස්ත විය. ඒ වන විට බුධ කුජට අයත් සිත නැකැතේ විය. ගහෙන් වැටුණු මිනිසාට ගොනා ඇන්නා මෙන් බුධට සිදු වුණේද කරදරයකි. එයට හේතුව බුධට විරුද්ධ ග්‍රහයෙක් වන කුජගේ නැකැතේ වීමය. මෙම වසරේ දශ අධිකාරි ක්‍රමයට මන්ත්රියාධිපති හෙවත් අගමැති, කැබිනට් ඇමැතිවරු පිළිබඳ නිවේදනය වන්නේ බුධ ග්රහයාගෙනි. එවැනි භාරධූර කාර්යයක් වෙනුවෙන් පෙනී සිටීමට සිදුවී ඇති බුධ අතිශයින් දුර්වල වීම හේතුවෙන් ඔහු නියෝජනය කරන එම නිලධාරීන්ට නොසිතූ ආකාරයේ අපල කාලයකට මුහුණ දීමට සිදුවේ. දෙසැම්බර් 24 සිකුරාදා සවස 6.22ට බුධ අස්තයෙන් මිදෙයි.
බුධ අස්ථ වීම යනු රවිට ළංවීම නිසා රවිගේ රශ්මි මණ්ඩලයට ළංවීමෙන් බුධගේ රශ්මිය පිටට විහිදුවා හැරීමේ බලයක් නැති වීමයි. බොහෝ විට අස්ත වූ ග්‍රහයා මළ ග්‍රහයෙක් වෙයි. කිසිදු බලයක් නැත. අස්තයෙන් මිදීමත් කෙනෙක් බන්ධනාගාරයක හිරවීම සිට නිදහස ලබා එළියට පැමිණි පසු අමුතු දුර්වලකමක් ඇති වෙනවා සේම ග්‍රහයාටද එසේ වෙයි. කිසිදු සුබවාදී බවක් නැත.
ලංකා කේන්දරයේ බුධ අටවැන්න නිවේදනය වන ග්‍රහයා වෙයි. ශිෂ්ටභාවය හදිසි මරණ, සියදිවි හානිකර ගැනීම්, ළමයින්ගේ අනතුරු මෙන්ම නොමඟයෑම්වලට පොලඹවා ගැනීම ඇති වන බව පෙන්වා දෙන්නේ බුධගේ තත්ත්වය පරීක්ෂණය අනුවය. විශේෂයෙන්ම පාර්ලිමේන්තුව අටවැන්නේ ග්‍රහ බලයෙන් බැලිය යුතු වෙයි. මෙවන් භාරධූර වගකීමක් ඇති බුධ ග්‍රහයා අපහසුතාවට පත්වී නිදහස ලැබුණු පමණකින් ඉතා කෙටි කාලයක් තුළ එනම් දෙසැම්බර් 29 වැනිදා බුධ, සිකුරු යුද්ධයකටද මුහුණ දෙයි. මීට කලින් ලිපියකින් එම ග්‍රහ යුද්ධය ගැන විස්තර කළෙමු. මෙම ග්‍රහ යුද්ධයෙන් බුධ පරදියි. සිකුරු ජය ගනී. මෙයත් අගමැති - ඇමැතිවරු වෙනුවෙන් බලපාන අසතුටුදායක සිදුවීමක පෙර නිමිති පහළ වීමක් බව සැලකිය හැකිය.
ශෂ්යාධිපති - ධනාධිපති - තිරසාධිපති යන අවස්ථාවන් තුනක් සිකුරුට අයත් වෙයි. ගොවියා, මහජනයා, ධන ධාන්‍ය - බවබෝග සහ කාන්තාවන් සිකුරුට අයත් වෙයි. බුධ - සිකුරු දෙන්නාගේ ග්‍රහ යුද්ධයත් හරියටම ස්ත්‍රීන් දෙපළකගේ ගැටුමක් වැනිය. ඒ මොහොතේ අපහසුතාවට පත්වී සිටිය බුධ දුර්වලතාව නිසාම පැරදීමට ලක්විය. බුධගෙන් නිවේදනය වන නිලධාරීන් මෙම තත්ත්වයෙන් පීඩාවට ලක්වනු ඇත. සිකුරු වක්රවෙමින් අති ධාවන වේගයක් ඇති වීම තුළ මෙම ජය ගැනීම හේතුවෙන් කාන්තා පක්ෂය කෑකෝ ගසමින් පෙරමුණ ගනු ඇත.
2021 ගෙවෙන සමයේ මෙසේ ආන්දෝලනාත්මක තත්ත්වයකට පත්වීම තුළින් ලබන නව වසර මුල් කාර්තුව තුළ රටේ වෙනස්කම් රාශියක් සිදුවෙයි. පරිපාලන ක්ෂේත්රයේ අවුල් ජාලයක් ඇති වෙයි. වසංගත රෝග පැතිරීමේ ප්‍රවණතාවක් ඇත. පාසල්වියේ පසුවන ගෑනු ළමයි අපචාරයන්ට ලක්වෙයි. මහලු කාන්තාවන්ටද අපල ඇතිවෙයි. නවවැන්න සිකුරුට අයත් වෙයි. අධිකරණ ශාලා නඩුකාරවරු, ආගමික නායකයන්, වෙළෙඳ කටයුතු පිළිබඳ ශක්තීන්, නැව් ඇතුළු මුහුදු යාත්‍රා ගමන් පිළිබඳ නවයෙන් නිවේදනය වෙයි.
මේ අනුව බලන කල මෙම ග්‍රහ යුද්ධය හේතුවෙන් හා සිකුරුගේ බලවත්වීමෙන් ඉදිරි කාලයේදී උසාවිවල පිරිසුදු අණපනත් සම්මත වෙයි. නඩුකාරවරු අපක්ෂපාතීව නීතියට මුල්තැනදී වැරැද්දට දඬුවම් දෙනු ඇත. හොර ගිවිසුම් මේ හේතුවෙන් අහෝසි වනු ඇත. මහජනතාවගේ හඬට කන්දීමට සිදුවන නිසා පළාත් පාලන මැතිවරණයක් ඇති වෙයි. විපක්ෂයට වාසි ඇතිවෙයි. සිකුරු විපක්ෂය නියෝජනය වීම නිසා විපක්ෂයට මහජන ප්‍රසාදය ගොඩනැඟෙනු ඇත. පාලක පක්ෂය දුර්වල වනු ඇත. රටේ ආහාරපාන මෙන්ම විදේශයෙන් ගෙන්වන බඩු භාණ්ඩවල හිඟයක් ඇතිවෙයි. මේ නිසා කැලඹිලි තත්ත්වය තවත් උත්සන්න වෙයි. බහුතරයක් වෙසෙන දුප්පත් ජනතාව කබලෙන් ළිපට වැටුණා වැනි තත්ත්වයකට පත්වෙයි. දුර්භික්ෂ කාලයක් උදාවෙයි. අපි කන හැටි ළිපා දනී යනුවෙන් කියනු මිස අසරණ ජනයාට කාගේ පිහිටක් ලැබේදැයි නොදනී.
සාමවිනිසුරු, ජ්‍යෙතිෂ්‍ය ශබ්ද විද්‍යා විශාරද
බෙල්පාමුල්ලේ එච්.ජී සිරිසේන (19/12/2021 මව්බිම පුවත්පතේ තරුපති විශේෂාංගය)