Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

අනවින කොඩිවින ඇත්තද?..

1 year ago 7 Min read
Subha.lk
අනවින කොඩිවින, බන්ධන, හදි හූනියම් කියලා කියන්නේ අවුරුදු දහස් ගණනක් මුළුල්ලේ ලංකාව ඇතුළු පෙරදිග කලාපයේ මෙන්ම අපරදිග කලාපවලද මුල් බැසගෙන තිබෙනා දෙයකි. අනවින හා කොඩිවින යනු මන්ත්ර අනුසාරයෙන් පුද්ගලයකුට අයහපතක් සිදු කිරීමයි. හදි හූනියම් යනු මරණීය ආකාරයට හෝ දරුණු කායික රෝග ඇතිවීම උදෙසා කරනු ලබන අයහපත් ක්‍රියා වේ. අනවින කොඩිවිනවලට සත්ය පදනමක් තිබිය හැකිද?. මෙයට පිළිතුර ලෙස ඔව් කිව හැකිය. සාධාරණව මධ්‍යස්ථ තැනකට ඇවිත් බැලුවහොත් මේවා සංකල්පීය වශයෙන් වටිනාකමක් තිබූ සාම්ප්‍රදායික ක්‍රමවේද වේ. අනවින හා කොඩිවින මඟින් මිනිස්සු ලෙඩ කරවන්න පුවන්ද මරවන්න පුළුවන්ද?. පිළිතුරද ලෙස ඔව් කිව හැකිය. සමහරක් විට ඔබට පෞද්ගලික අත්දැකීම් මෙන්ම ඔබ සමාජයේ දැක තිබූ නමුත් විද්‍යාත්මකව තහවුරු කිරීමක් නොමැති අද්භූත සිදුවීම්ද තිබෙන්නට පුළුවන්. නමුත් මෙවැනි දෑ 100%ක් මානසික ව්‍යාධීන් යැයි සලකා බැහැරලීම ශාස්ත්රයකට සිදු කරන බලවත් හානියකි. අනවින හා කොඩිවිනවල පදනම නිර්මාණය වන ආකාරය - අනවින හා කොඩිවින අයිති වන්නේ මිනිසාගේ මනසත් සමඟ කරන ගනුදෙනුවක් කියන කොටසට. තොරතුරු අනුව මෙහි මූලාරම්භයේ පෙරදිග වෛද්ය විද්‍යාව සමඟ සම්බන්ධයක් පවතී. පහසුව තකා ආයුර්වේදය සලකමු. අනෙක් ඒවායෙත් මේ හා සමගාමී ක්‍රමවේදයක් ඇත. ආයුර්වේදය රෝග අනුව කොටස් 3කට බෙදේ. 1 නිජ, 2 ආගන්තුක, 3 මානසික, මෙයින් මානසික නම් කොටස පිළිබඳ කතා කරමු. ආයුර්වේදයේ මානසික නම් කොටස නැවත කොටස් 3කට බෙදේ. 1 රජස්, 2 තමස්, 3 සත්ත්ව, මිනිසුන්ගේ ඇතිවන මානසික සංකූලතා සම්බන්ධව මේවායේදී විස්තර කෙරේ. රජස් - මෙය දුක ඉපදීමට හේතු වන ගුණයකි. එනම් මෙහි මනස විකෘති කරන ගුණයකි. ලක්ෂණ ලෙස, 1 ලෝභය, 2 දැඩි ආශාව, 3 කේන්තිය, 4 උඩඟු බව, 5 හීනමානය, 6 රළු බව, මෙම ලක්ෂණ සහිත වූවන් දේශපාලකයන් ආරක්ෂක නිලධාරීන් ආයතන ප්‍රධානීන් අමාත්‍යවරුන් වැනි අය වේ. තමස් - මෙය අඥාන බවට හේතු වන ගුණයකි. එනම් මනස අදුරු කරන ගුණයකි. මෙහි ලක්ෂණ ලෙස, 1 අලස බව, 2 අධාර්මික බව, 3 නින්දට ඇති කැමැත්ත, 4 උදාසීන බව, 5 අමතක වීම, 6 නුවණ දුර්වල වීම දැක්විය හැකියි. මෙම ලක්ෂණ සහිත වූවන් සොරුන් අපරාධකරුවන්, මැරයන්, බෙද්දන් වැනි ආකාර ගනී. සත්ත්ව - මෙය මනස විසින් ලබා ගත යුතු අවස්ථාවක් බවත් එය මනසේ දුර්වලතාවක් නොවන බවත් පෙන්වයි. සත්ත්ව ලෙසින් කියැවෙන්නේ හොඳ එසේත් නැත්නම්, ‘සද්’ කියන වචනයයි. එය සද්ගුණවත් සද්භාවය වැනි සමගාමී වචනයකි. මෙහි ලක්ෂණ ලෙස - 1 කෘතඥතාව, 2 නිවැරැදි සිහි කල්පනාව, 3 පිරිසුදු බව, 4 ගැඹුරු බුද්ධිය, 5 යහපත් බව, 6 උත්සාහවන්ත බව, 7 ධෛර්යය දැක්විය හැකිය. මෙම ලක්ෂණ සහිත වූවන් පූජ්ය පක්ෂය, සෘෂිවරු, යෝගීවරු සිල්වන්ත මිනිසුන් වේ. කෙසේ වෙතත් මේ සැමටම ඉහත ගුණ ත්‍රිත්වයම පවතින බව මතක තබා ගත යුතුය. මෙහිදී රජස් හා තමස් යන ගුණාංග මිනිසා තුළ අඩු වැඩි වශයෙන් පවතින බවත් ඒවා මානසික හා කායික රෝගවලට හේතු වන බවත් කියවේ. එසේම සත්ත්ව යන ගුණාංග වර්ධනය කර ගන්නේ නම් ඒවා මානසික හා කායික රෝග පහත හෙළීමට ඇති විසදුම බවත් කියැවේ. මෙම රජස්, තමස් හා සත්ත්ව යන ගුණාංග තුන අනවින කොඩිවින හදි හූනියම් බලි තොවිල් ශාන්තිකර්ම ඇතුළු බොහෝ ශාස්ත්‍රයන්හි මූලික පදනම වේ. මේවා මිනිසාට තිරිසන් සතුන්ට මෙන්ම පරිසරයේ පවතින සියල්ලට පොදු වූ ගුණාංග වේ. අනවින හා කොඩිවින කිරීම්වලදී මෙම ගුණාංග වෙනස් කිරීම හදුන්වන්නේ, අභිචාර, යන නමින්ය. අභිචාර කොටස් 2කි. 1 සුදු අභිචාර. 2 කළු අභිචාර. සුදු අභිචාර විධි - මෙයට යහපත් ක්‍රියාකාරකම් අයත් වේ. ශාන්තිකර්ම බෝධි පූජා පිරිත් සජ්ජායනා, යාතු කර්ම, ස්තෝත්ර, දේව පූජා, සෙත් කවි, තොවිල් මීට අයත් වේ. කළු අභිචාර විධි - මෙයට අයහපත් ක්‍රියාකාරකම් අයත් වේ. අනවින, කොඩිවින, වස්කවි, හදි හූනියම්, බන්ධන, පිල්ලි, ඉනා, වශී ආදිය ඊට උදාහරණ වේ. මෙයින් කළු අභිචාර විධි, අනුසාරයෙන් අනවින හා කොඩිවින සිද්ධ කෙරේ. අනවින හා කොඩිවින ක්‍රියා කරන්නේ කෙසේද?. අපගේ ශරීරය නිර්මාණය වී තිබෙන්නේ පංච මහා භූතයන්ගෙන් බව පෙරදිග විද්‍යාවන්වල සඳහන් වේ. භූතයන් ලෙස බොහෝ විට මෙහි සඳහන් වන්නේ ශක්ති විශේෂයන් ගැනය. 1 පඨවි – දෘඪතාව, 2 ආපෝ – ද්රවතාව, 3 තේජෝ – උෂ්ණත්වය, 4 වායෝ – වායුමය, 5 ආකාශ/මනසි – ශක්තිය, ශරීරයක පවතින පංච මහා භූතයන්ගේ හැසිරීම වෙනස් කිරීමට ක්‍රමවේදයක් පැරැණි ඥානවන්තයන් සතුව ක්‍රමවේදයක් පැවතිණි. ශබ්ද විද්‍යාව අනුව විවිධ වූ අක්ෂරවලට අදාළව විවිධ ශබ්ද නිපදවේ. එසේම එම අක්ෂර මේ පංච මහා භූතයන්ගේ ගුණාංග වෙනස් කිරීමට යොදා ගත හැකි බව කියැවේ. එනම් මෙම පඨවි, ආපෝ, තේජෝ, වායෝ, මනසි යන ගුණාංගවලට අදාළ අක්ෂරද පවතින බවය. මෙම අක්ෂර සුදුසු ආකාරයෙන් හදුනාගෙන මිනිසාගේ රජස්, තමස් හා සත්ත්ව යන ගුණාංගවලින් වෙනස් කළ යුත්තේ කුමන ගුණාංගයද යන්න හදුනාගෙන ඊට අදාළ අක්ෂර තෝරාගත යුතුය. එම අක්ෂර මඟින් පංච මහා භූතයන්ගෙන් කුමන භූතයා වෙනස් වේ දැයි සලකා බලයි. ඒ අනුව මන්ත්ර නිර්මාණය කරයි. මෙම මන්ත්‍රි මැතිරීම හරහා යම් සංඛ්‍යාත රටාවක් නිර්මාණය වේ. මෙම සංඛ්‍යාතය මිනිසාගේ අදාළ පංච භූතයාගේ යම් ගුණාංග වෙනස් කෙරේ. මෙහි මූලධර්මය වන්නේ සංඛ්‍යාතය ඔස්සේ දුර පවතින වස්තුවක ගුණාංග වෙනස් කිරීමය. එය විද්‍යාත්මකව සෑහෙන්න පර්යේෂණ කළ දෙයකි. සිතන්න. යම් පුද්ගලයෙක් කොඩිවිනයක් කරන්න කියලා ගුරුන්නාන්සේ කෙනෙක්ට කියනවා කියලා. එහිදී එම කොඩිවිනය සිදුකිරීමට ගුරුන්නාන්සේ යම් පිළිවෙතක් අනුගමනය කරනු ලැබේ. ඒ පිළිබඳව සෙවීමේදී පහත ආකාරයෙන් කොටස් කර දැක්විය හැකිය. 1. පුද්ගල අනන්‍යතාවක් ලබා ගැනීම - පළමුව කොඩිවිනයට භාජන වන්නා කවුදැයි කියා දැන ගැනීමේ අවශ්‍යතාව ඇති වේ. ඒ සඳහා එම පුද්ගලයාටම අනන්ය වූ හදුනා ගැනීමක් අවශ්‍යයි. ඒකට එම පුද්ගලයාගේ ජීවී අජීවී හා භාවිත කළ ද්‍රව්ය අවශ්ය වේ. උදාහරණ ලෙස. – ජීවී – රුධිරය, ඛේටය, දහඩිය, ශ්ලේෂ්මය – අජීවී – නියපොතු, රෝම – භාවිත කළ ද්‍රව්ය – ඇදුමක නූලක් යන ද්‍රව්ය සඳහන් කළ හැකිය. මෙය සරල උදාහරණයකින් පැහැදිලි කළ හැකිය. අපරාධ විද්‍යාවේදී තිබෙනවා අපරාධකරුවෙක් හදුනා ගන්නට අපරාධකරු භාවිත කළ දේවල් තුළින්,සාම්පල් ලබා ගන්නා ක්‍රමයක් පවතින බව ඔබ දන්නවා ඇති. මෙයත් එවැනිම ක්‍රමයකි. 2. කර්ම ශක්ති පරීක්ෂාව - මෙහිදී සිදුවන්නේ කොඩිවිනයට ලක්වන්නාගේ ජීවිතයේ ආර්ථික, සමාජීය හා සෞඛ්ය තත්ත්වයන්හි උච්චාවචන අවස්ථා තක්සේරු කිරීමය. නමුත් මෙහි පදනම ජීවිතයේ සෑම කාලයම සමාන නොමැති බවයි. උපන්දිනය, උපන් ස්ථානය හා නිවැරැදි උපන් වේලාව ඔස්සේ කර්ම ශක්තිය පිළිබඳ නිරූපණයක් වන කේන්දර සටහන නිර්මාණය කර ගන්නට අදාළ ගුරුන්නාන්සේට පුළුවන්. ඒ ඔස්සේ දක්ෂ කෙනෙක්ට අදාළ කොඩිවිනයට ලක් වන්නාගේ ජීවිතයේ යහපත් හා අයහපත් අවධීන් තක්සේරු කර ගන්නටත් පුළුවන්. ප්‍රායෝගිකව එම පුද්ගලයාගේ දුර්වල අවස්ථාවක් හසු කර කොඩිවිනයක් සිදු කිරීම මඟින් ඉතා ඉහළ ප්‍රතිඵල ලබා ගැනීමට ගුරුන්නාන්සේ කල්පනාකාරී වේ. නමුත් එවන් වකවානුවක් නොමැති නම් අදාළ පුද්ගලයාට කොඩිවිනයක් හරහා වන බලපෑම හා එයට ගත වන කාලය සෑහෙන්න වෙනස් වේ. සරල උදාහරණයක් ලෙස මූල්යමය අගහිඟකම් පවතින කාලයකට ලොකු වියදමක් යන වැඩකට අප යොමු වෙනවාද? පිළිතුර සාමාන්‍යයෙන් එසේ වන්නේ නැහැ. මුදල් පවතින කාලයකදී නම් එවැන්නකට යොමු විය හැකියි. වෙන්නෙ මොකද එහෙම වුණොත් තමා වැඩේ සාර්ථක වෙන්නෙ. මෙයත් එවැනිම වූ නියමයක් තමයි. 3. කාලය තේරීම - මෙම අයහපත් දේ සඳහා මන්ත්ර මැතිරීමට හා පූජා විධි සිදු කිරීමට යෝග්ය කාලය ජේ‍යාතිෂය හරහා සොයා ගත හැකියි. – සෘතුව, දිනය – වේලාව, හෝරාව, නැකත – වර්ණය – දිශාව – ස්ථානය තෝරා ගැනීම මීට අදාළ වේ. 4. මැතිරීම - මේ සඳහා මන්ත්ර විද්‍යාත්මක මූලධර්ම අනුගමනය කළ යුතුයි. එහිදී අනුගමනය කළ යුතු දේ නම්. මානසික ඒකාග්‍රතාව, නිවැරැදි පේ වීම, නිවැරදි මන්ත්ර වර්ගය තෝරා ගැනීම, නිවැරැදි දිශා තෝරා ගැනීම, නිවැරැදි කාලය තෝරා ගැනීම, නිවැරැදි වර්ණපාට තෝරා ගැනීම, නිවැරැදි ජීවම*,නිවැරැදි පලිප්පු*, නිවැරැදි ප්‍රාණ*, නිවැරැදි දිෂ්ටි*, නිවැරැදි ජපය*, නිවැරැදි සිද්ධි වීම*, වටපිට නොබැලීම, කෙළ නොගිලීම, නිවැරැදි වචන උච්ඡාරණය, නිවැරදි ශ්‍රැතිය…… නියමිත වාර ගණන අනිවාර්යයෙන්ම මැතිරීම. * ලකුණින් පෙන්වන්නේ අවම 108 වාරයක් පමණ මතුරන්න අවශ්ය අවස්ථා කිහිපය වේ. සමහරක් විට ඒ ඒ ගුරුකුල අනුව මෙය වෙනස් විය හැකි බවද මතක තබා ගත යුතුය. නමුත් සමහරක් මන්ත්ර ලක්ෂ වාරයක් මතුරන අවස්ථා තිබේ. ප්‍රධාන ලෙසම සිදු කරන්නේ මෙවැනි ක්රමයකට වේ. නමුත් මෙය කෙතරම් සංකීර්ණ ක්‍රියාවලියක්ද යන්න ඔබට වැටහෙනවා ඇත. සමහර මන්ත්ර ගත් විට වචන 500ක් හෝ ඊටත් වැඩි ඒවත් පවතී. මන්ත්‍රි ශාස්ත්‍රයේම සඳහන් කාරණයක් වන්නේ මේ එක අකුරක වැරැද්දක් සමස්ත කාර්යයම විනාශ කිරීමක් බව. මේවායෙන් නිපදවෙන කම්පන තරංගය (අවශ්ය නම් සංඛ්‍යාතය ලෙසත් සැලකිය හැකිය) ඔස්සේ යම් ද්‍රව්යයකට බලපෑමක් සිදු කිරීම මූලික කාර්යය ලෙස පෙනේ. අනුනාදය සම්බන්ධව ඔබ පාසලේදී ඉගෙන ගෙන ඇති. මෙයත් එවැනිම වූ බලපෑමකි. 5 පූජා විධි - ඉතාමත් සංකීර්ණ කටයුත්තක් වේ. අමුද්‍රව්ය සමඟ අනුගමනය කරන පිළිවෙළ පවා ඉතා දීර්ඝ වේ. මෙවැනි කටයුතු වෙනුවෙන් කෙතරම් වර්ගවල පූජා භාණ්ඩ භාවිත කරනවාද කියා ඔබ අසා ඇති. එවැනි දෑ ගුරු කුල අනුව වෙනස්කම් පැවතුණත් එය සඳහන් කිරීම මෙම ලිපිය දීර්ඝ කිරීමට හේතු වේ. 6 බලය පරීක්ෂා කිරීම - මෙය යන්තර වැනි දෑ නිර්මාණය කරන විට තවත් සංකීර්ණ ලෙස ඒවායේ බල පරීක්ෂා පවතී. මෙයින් යන්තරයක් ඉතා නිවැරදිවම බල පිහිටා ඇතිද යන්න තහවුරු කර ගනී. ඉරි පැන්නුම්, වැල් පැන්නුම්, දෙහි ගෙඩි ගුරුකම්, බිත්තර ගුරුකම් හිර යනුවෙන් ඉතා විශාල ප්‍රමාණයක් පවතී. හිර හා බන්ධන වර්ග 50 කට වඩා පවතින බව සමාජයේ කියැවේ. එසේ නම් මේවා 100ක් සත්යද නැත්නම් 100ක් මිථ්‍යා මතද කියා නැවත අපට සිතා බැලීමට සිදු වේ. මෙම ශාස්ත්ර වියැකී යන්න හේතු පහතින් දැක්විය හැකිය. 1 ශාස්ත්රය නොදන්නා අය භාවිත කිරීම. 2 ශාස්ත්‍රයේ භයානකකම හේතුවෙන් ගුරු මුෂ්ටි පැවැතීම. එසේ නම් මෙය මැජික් මෙන් සිදු කරන දෙයක් නොව, එයට වඩා ඉදිරියෙන් සිට සිදු කරන්නා වූ සංකීර්ණ කටයුත්තක් බව මෙමඟින් පෙනේ. ඒ අනුව මෙම සංකීර්ණ පියවර අනුගමනය කරන පුද්ගලයන් වර්තමානයේ කෙතරම් සිටීදැයි සිතා ගත නොහැක. ඒ අනුව මෙම ශාස්ත්ර ගුප්ත මිථ්‍යාමය හා ව්‍යාජ කරුණු ලෙස සමාජයේ නිරන්තරයෙන් දෝලනය වන්නේ ශාස්ත්‍රයේ ගැටලුවක් නිසා නොව භාවිත කරන පුද්ගලයන්ගේ ගැටලුවකින් බව අවසානයේ හොඳින්ම පෙනේ.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk