Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

විසිරී තිබෙන රාශි දෙස බලා පලාපල කියවගමු.

1 year ago 7 Min read
Subha.lk
ජෝතිෂ්ය ශාස්ත්රයේදී යෝගයක් ලෙස හැඳින්වෙන්නේ කිසියම් එක්වීමකි. එය ග්රහයන්ගේ එකතුවක් හෝ ග්රහයෙක් සහ රාශියක් අතර සිදුවන එකතුවක් විය හැකියි. ජන්ම පත්රයක් අතට අරගෙන පලාඵල කීමේදී ග්රහ සංයෝග ගැන හොඳ දැනීමක් තිබීම ඉතා වැදගත් වේ. කේන්දරයක කොටු කීයක් තුළ රවි, චන්ද්ර, කුජ, බුධ, ගුරු, ශුක්ර, ශනි යන ග්‍රහයන් හත්දෙනා විසිරිලා සිටිනවාද යන කරුණ මතද සංඛ්‍යා යෝග නම් වූ යෝග කීපයක් නිර්මාණය වීම සිදුවේ. මෙම සංඛ්‍යා යෝගවලදී රාහු, කේතු නම් වූ ඡායා ග්‍රහයන් සහ යුරේනස් , නෙප්චූන්, ප්ලූටෝ යන ග්‍රහයන් ගණන් ගැනීමට භාජන කරන්නේ නැහැ. රාහු සහ කේතු පදාර්ථයෙන් නිර්මාණය වූ ග්‍රහයන් නොවන බවත් විශ්වයේ පිහිටි මන–කල්පිත ගණිතමය ලක්ෂ්ය දෙකක් පමණක් බවත් සියල්ලන්ම දන්නා කරුණක්. පළමුවෙන්ම කේන්දර පිටපත අතට ගෙන ලග්න කේන්දර කොටුවේ රවි, චන්ද්ර, කුජ, බුධ, ගුරු, ශුක්ර, ශනි යන ග්‍රහයන් හත්දෙනා කේන්දරයේ කොටු 12න් කොටු කීයක් තුළ විසිරී සිටිනවාද යන්න ගණන් කර බැලිය යුතුයි. ග්‍රහයන් හත්දෙනා රාශි හත තුළම විසිරී සිටිනවා නම් සැලකිය යුතු අධ්‍යාපනයක් ලබා විවිධ අංශයන්හි දස්කම් දක්වන්නෙක්. කතාවෙහි දක්ෂයෙකි. කතාවේ බලයෙන් ඔබට අන් අයව ඔබට අවශ්ය කටයුත්තකට යොමු කරවා ගැනීමේ ශක්තිය තිබෙනවා. කලා කටයුතු පිළිබඳව විශේෂ ඇල්මක් සහ දක්ෂතාවක් තිබෙන්නට පුළුවන්. සාහිත්ය, සංගීත, කලා ඒ අතර විශේෂයි. සමාජයේ යහපත් ලෙස ජීවත්වීම හේතුවෙන් ඔබට හොඳ මිතුරන් පිරිසක් ඇතිව ප්‍රසිද්ධ ජීවිතයක් ගත කිරීමට හැකිවෙනවා. ජීවත්වන කාලය තුළදී රටට ජාතියට ඔබ කළ සේවය නිසා මරණින් මතුද බොහෝ කලක් ඔබගේ නම පවතින බවයි සඳහන් වන්නේ. සියලුම ග්‍රහයන් රාශි හතක තැන්පත් වීමෙන් ඇතිවන මෙම යෝගය ජේ‍යාතිෂයේදී වීණා යෝගය ලෙස හඳුන්වා දී තිබෙනවා. මේ යෝගය පිහිටන්නේ ඉතාමත් කලාතුරකින්. කේන්දරයේ කොටු හයක සියලුම ග්‍රහයන් විසිරී සිටිනවා නම් (එතකොට එක කොටුවක් තුළ පමණක් ග්‍රහයන් දෙන්නෙක් ඉන්නවා) කේන්දර හිමියා උගතෙක් වේ. ඉතා පැහැදිලි නිරවුල් බුද්ධිමත්කමක් ඔහු තුළ දකින්නට පුළුවන්. චංචල නිශ්චල දේපළ ඇති ධනවත් කෙනෙකි. කීර්තිමත්ය. නිතරම පින්දහම් කරමින් ජීවත් වේ. ඒ වගේම තමයි අනුන්ට උදවු උපකාර කරන්නට කැමැත්තක් දක්වනවා. කේන්දරයේ සියලුම ග්‍රහයන් කොටු හයක් තුළ සිටීම ජේ‍යාතිෂයේදී හඳුන්වන්නේ දාමිනී යෝගය ලෙසයි. මෙම යෝග හිමියන් කිසියම් උසස් බවකින් සහ පාරිශුද්ධ බවකින් යුක්ත බවද පොතපතෙහි සඳහන් වේ. අපට හමුවන කේන්දර අතරින් බොහොමයක් කේන්දරවල සියලුම ග්‍රහයන් කොටු පහක් තුළ තැන්පත් වී ඇති බව දක්නට ලැබේ. ජේ‍යාතිර්වේදයේදී මෙලෙස කොටු පහක් තුළ ග්‍රහයන් පිහිටීම පාශ යෝගය ලෙස හඳුන්වයි. පාශ යන වචනයෙන් “උගුල” යන අර්ථය ඉස්මතු වේ. කොටු පහක් තුළ ග්‍රහයන් පිහිටන අය සාමාන්ය බුද්ධිමතුන් ලෙසත්, ඔවුන් උපක්රම යෙදීමෙහි දක්ෂයන් බවත් සඳහන් වෙනවා. සමහර කේන්දර සටහන්වල ග්‍රහයන් තැන්පත් වෙලා සිටියොත් කොටු හතරක විතරයි. එහෙම අයට හොඳ ශක්තිමත් ශරීරයක් ලැබෙන බව සඳහන් වෙනවා. ඒ අය බර වැඩ කිරීමට විශේෂ දස්කම් දක්වනවා. ශරීරය වෙහෙසා කරන වැඩක් දීර්ඝ වේලාවක් කරගෙන යෑමට හැකියාව මෙම අයට තිබෙනවා. කේන්දරයේ කොටු හතරක සියලු ග්‍රහයන් තැන්පත් වී සිටින අය තමන්ගේ ඥාතීන්ට, මිත්‍රයන්ට විශේෂ ළැදිකමක් දක්වනවා. ඔවුන් සමඟ බොහෝ කලක් සුහද ඇසුරක් පවත්වාගෙන යන්න සමත් වේ. ඇසුරු කරන හැම දෙනාටම තමන්ට හැකි පමණින් උදවු කරන්නයි මේ අය සිතන්නේ. ඒ වගේම මේ යෝගය තියෙන අයට කවදාවත් අගහිඟයක් නැහැ. කොහොම හරි තමන්ගේ දවස ගෙවා ගැනීමට අවශ්ය සම්පත් ලැබෙනවා. තේරුම් ගැනීමට අමාරු කරුණක් අවබෝධ කර ගැනීමට මේ අයට ටිකක් වෙලා ගතවෙනවා. වගා කටයුතුවල (කෘෂිකර්මය) යෙදී සිටින වැඩි දෙනකුගේ කේන්දර තුළ ග්‍රහයන් සියලු දෙනා රාශි හතරක තැන්පත් වෙලා ඉන්නවා දකින්න පුළුවන්. ජේ‍යාතිෂයේදී මෙම යෝගය කේදාර යෝගය ලෙස හඳුන්වනවා. කේදාර යන වචනයෙන් “කුඹුර” යන අර්ථය ඉස්මතු වේ. තවත් සමහර කේන්දරවල සියලුම ග්‍රහයන් තැන්පත් වී සිටින්නේ කොටු තුනක පමණයි. ඉතාමත් කලාතුරකින් තමයි මෙහෙම කේන්දර හමුවන්නේ. මතකද උතුවන්කන්දේ සූර සරදියෙල් ඔහුගේ කේන්දරයේ තමයි මේ. බලන්න. රාහු හැර අනෙක් සියලුම ග්‍රහයන් කොටු තුනක විතරක් තැන්පත් වෙලා සිටින ආකාරය. ජේ‍යාතිෂයේදී මෙම යෝගය ශූල යෝගය ලෙස හඳුන්වා දී තිබෙනවා. ශූල යන්නෙන් “උල’ යන අර්ථය ඉස්මතු වේ. මෙම යෝගය පිහිටි අයට තරමක් නපුරු සිත් පහළ වන බව සඳහන් වේ. ධනවත් වෙන්න අමාරුයි. පළිගැනීමේ චේතනා ඇති වෙන්න පුළුවන් බව සඳහන් වෙනවා. තමන්ගේ හැකියාවන්ගෙන් දක්ෂතාවන්ගෙන් උපරිම ප්‍රතිඵල තමන්ට ලබාගන්න ඉඩ ලැබෙන්නේ නැහැ. නමුත් දැඩි උත්සාහවන්තයි. මේ අය නිතරම කෝලාහලයට ප්‍රිය බවද කෝලාහල කිරීමේදී ඇති වූ කැළලක් සිරුරේ කොතැනක හෝ දකින්නට ලැබෙන බවද සඳහන් වෙනවා. ඉතාමත් කලාතුරකින් සියලුම ග්‍රහයන් රාශි දෙකක තැන්පත් වෙලා සිටින කේන්දරයක් හමුවන්න පුළුවන් රාශි දෙකක සියලුම ග්‍රහයන් තැන්පත් වීම යුග යෝගය හැටියට හඳුන්වා දී තිබෙනවා. මෙම යෝගය පිහිටි අය වැරැදි අදහස් දරන බවත් මුදල් අමාරුකම්වලින් පෙළෙන බවත්, හොඳ නරක තේරුම් අරගෙන කටයුතු නොකිරීම නිසා නිතරම කරදරවල පැටලෙන බවත් සඳහන් වෙනවා. 1962 ජනවාරි මාසයේ 25 වැනි දින සිට පෙබරවාරි 09වැනි දින දක්වා රවි, කුජ, බුධ, ගුරු, සිකුරු, ශනි යන ග්‍රහයන් හයදෙනාම මකර රාශිය හරහා ගමන් ගත් විශේෂ අවස්ථාවක් මෑත ඉතිහාසයේ හමුවෙනවා. අන්න ඒ දිනවල උපන් අයගේ කේන්දරවල ග්‍රහයන් සියලු දෙනාම රාශි දෙකක සිටින්න පුළුවන්. සියලුම ග්‍රහයන් එකම රාශියක තැන්පත් වන අවස්ථාවක්ද හමුවන්න පුළුවන්. 1962 පෙබරවාරි 03, 04. 05 දිනවලදී චන්ද්‍රයාද මකර රාශිය හරහා ගමන් කළ බැවින් මේ දිනවල සිදුවූ උපතකදී සියලුම ග්‍රහයන් එකම රාශියේ පිහිටීමෙන් ඇතිවන ගෝල යෝගය ඇතිවන්න පුළුවන්. මෙම යෝගය පිහිටි විට භෞතික සැප සම්පත් අඩුවෙන් භුක්ති විඳීමට සිදුවේ යනුවෙන් සඳහන් වේ. රාශියක තැන්පත් ග්‍රහයන් සංඛ්‍යාව පදනම් කරගෙන කේන්දරය තුළ නිර්මාණය වී ඇති යෝග, සංඛ්‍යා යෝග ලෙස ජේ‍යාතිෂයේදී හඳුන්වා දී තිබෙනවා. මෙම සංඛ්‍යා යෝග දෙස ඕනෑකමින් බැලුවොත් පෙනෙන කරුණක් තමයි කේන්දරය තුළ ග්‍රහයන් රාශි වැඩි ගණනක විසිරී සිටීමෙන් කේන්දර හිමියා සමෘද්ධිමත් වන බව .

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk