ධනය, සතුට ලබා දෙන ගෙවත්තක් හදා ගන්න හැටි
වාස්තු ශාස්ත්රය පිළිබඳ බොහෝ දෙනා අවධානය යොමු කරන්නේ ඉදිකිරීම් සම්බන්ධයෙන් පමණි. එසේ වුවත් ඉදිකිරීම් මෙන්ම ඊට පරිබාහිර බොහෝ කරුණු පිළිබඳ අධ්යයනය කිරීම අද වන විට අත්යවශ්යව ඇත. ඊට හේතුව නූතන පර්යේෂණයන්හිදී වාස්තු විද්යාවේ වපසරිය එසේ පුළුල් වී තිබීමයි. අද වන විට ඉදිකිරීම් මෙන්ම ඊට පරිබාහිර වූ වෙනත් බොහෝ දේ පරීක්ෂා කිරීමෙන් වාස්තු විද්යාත්මකව විවිධ කරුණු විග්රහ කළ හැකි බව පැහැදිලිව පෙනෙන්නට ඇත.
මේ අනුව අද වන විට ඉඩමේ විවිධ ගහකොළ පිහිටුවීම් පිළිබඳ පුළුල්ව විග්රහ කරන බව පෙනෙන්නට ඇත. මේ පිළිබඳ සාම්ප්රදායික පුරාතන ශාස්ත්රයේ ද බොහෝ කරුණු වැදගත් වන බව මැනවින් තහවුරුව තිබේ. නූතන පර්යේෂණයන්හිදී මේ තත්ත්වය තවදුරටත් පුළුල්ව විමසන බව ඉතා පැහැදිලිය.
මෙහිදී ද පොදුවේ වාස්තු ශාස්ත්රයේ එන අනෙකුත් පර්යේෂණයන්හිදී මෙන්ම දිශාවන් පිළිබඳ පැහැදිලි අවබෝධයක් සහිතව කටයුතු කළ යුතු වේ. එයට හේතුව වර්තමානයේදී අන්තරීක්ෂ ශක්තිය, භූ ශක්තිය හා චුම්භක ශක්තිය පිළිබඳ පද්ධතියක් ලෙස ගෙන අධ්යයනය කිරීම් සිදු වන බැවිනි. මෙහිදී අන්තරීක්ෂ ශක්තිය ඇතුළු වන ඊශාන දිශාවත් එම ශක්තිය ගබඩා වන නිරිත දිශාවත් සේම චුම්භක ශක්තිය ක්රියා කරන උතුරු දකුණ දිශා දෙකත් මූලිකව අපගේ අධ්යයනයට පදනම වේ. ඒවායේ අතුරු ක්රියාවල ප්රතිඵල අධ්යයනයට අන්ය දිශාවන් ද (විශේෂයෙන් වයඹ මෙන්ම දකුණ හා බස්නාහිර දිශාවන්) සැලකිල්ලට ගන්නට සිදු වෙයි. මේ අනුව අප විසින් සාම්ප්රදායික දක්වා ඇති ඵල අරණ, පුෂ්ප අරණ, ඔසු අරණ යන බෙදීම් ද සැලකිල්ලට ගත හැකිය. ඒ අනුව ඵල අරණ පිහිටු වීම සඳහා උතුරු, නැඟෙනහිර හෝ ඊසාන යන දිශාවන් උචිත නොවේ. එසේම ඵල අරණ සඳහා නිරිත දිශාව ද යොදාගත නොහැකිය.
ඒ සඳහා වඩාත් උචිත වන්නේ වයඹ දිශාවයි. එසේ කළ නොහැකි අවස්ථාවන්හිදී දකුණ හෝ බස්නාහිර දිශාවන් මේ සඳහා යොදා ගැනීමේ වරදක් නැතත් එහිදී නිරිතට නො වැටෙන පරිදි කටයුතු කළ යුතු බව අවධාරණය කළ යුතු වේ. ඵල අරණ යනු ගෙඩි සෑදෙන ගස් වර්ග වගා කෙරෙන කොටස බව පැවසිය යුතුය. මෙවැනි ගෙඩි හට ගන්නා ගස් වර්ග සිටු වීමෙන් හා ඒවායේ ගෙඩි වැටීම නිසා ඇති වන පරිසරයේ අපවිත්රතාව නිසා සිදු වන ශක්ති විපර්යාසය අපගේ අවධානයට ලක්විය යුත්තකි. එම අසුබ ශක්තීන් අන්තරීක්ෂ ශක්තිය ගලා යන ඊශාන-නිරිත රේඛාවට දුරින්ම පිහිටි දිශාවක් වන වයඹ පිහිටු වන්නේ මෙකී හානිකර බලපෑම් අවම කර ගැනීමටයි. ඊට අමතරව පුෂ්ප හෙවත් මල් පිපෙන ගස් වර්ග සිටු වීම සඳහා උචිතම දිශාවන් වන්නේ උතුරු, නැඟෙනහිර හා ඊශාන යන දිශාවන් වේ.
මේවායේ මල් පිපෙන ගස් වර්ග සිටු වීම නිසා ඇති කරන බලපෑම මඳක් පැහැදිලි කිරීම වැදගත් වේ. බොහෝ මල්වලින් ඇති කරන සුවඳ හා වෙනත් අසුබවාදී බලපෑම් නිසා පරිසරයේ යහපත් ශක්තීන් හට ගන්නා බවත් පහත් ආත්මයන්හි බලපෑම් ආදිය නොමැති වන බවත් තහවුරු වී ඇත. එවිට මෙවැනි ශාඛයන්ගෙන් නිකුත් වන අසුබ ශක්තීන් අන්තරීක්ෂ ශක්තිය හා මුසු වී සමස්ත පරිසරය පුරා පැතිර යන බැවින් පරිසරයම සුබ ශක්තීන්ගෙන් ගහන තත්ත්වයට පත්වේ. මෙය අතිශය ඵලදායී වන බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහිදී අප විසින් පෙර සටහන් කර ඇති ඔසු හෙවත් ඖෂධීය ශාක ද මෙවැනිම ප්රතිඵල ගෙන එන බව පැහැදිලිව ප්රකාශ කළ හැකිය.
එබැවින් අප විසින් වාස්තු සේවාලාභීන් වෙත යෝජනා කළ යුත්තේ මල් පිපෙන හා ඖෂධීය ශාක වැවීම සඳහා උතුර, නැඟෙනහිර හා ඊසාන දිශාව යොදා ගත යුතු බවයි. එයින් ඇති කරන සුබවාදී බලපෑම් සමස්ත පරිසරය පුරා මැනවින් පැතිර යන බව මෙහිදී අවධාරණයෙන් පැහැදිලි කළ හැකිය.
පොදුවේ අපගේ නිවෙස් ආශ්රිතව සිටු විය හැකි ශාක වර්ග පිළිබඳ පුරාතනයේ සිට මේ දක්වා වූ කරු ඵල අරණ, පුෂ්ප අරණ, ඔසු අරණ යන අණු ද මෙහිදී දැක්වීම අනුචිත නොවේ. දෙවියන් වඩින ශාකයක් ලෙස ද පූජනීයත්වයට පාත්ර වී ඇති බෙලි ගස ඕනෑම නිවෙසක සිටු විය හැකි වුවත් මෙය තරමක් විශාලව වැඩෙන බැවින් විශේෂ සැලකිල්ලකින් සිදු කළ යුතු වන්නේ ගසෙන් වැඩි ප්රතිඵල ලැබෙන අවස්ථාවන්හිදී එය කපා දැමීමට සිදු වීමේ අවදානමක් මතු විය හැකි බැවිනි. එවැනි අවස්ථාවකදී එතරම් පුළුල්ව නොවැඩෙන එසේම මල් ඵල හට ගැනීම ඉක්මනින් සිදු වන බද්ධ පැළ මේ සඳහා යොදාග ගත හැකි බව වටහා ගත යුතුව තිබේ. එසේම සමහර ශිල්පීන් තැඹිලි ගස් සිටුවීම නොකළ යුත්තක් යැයි ප්රකාශ කළ ද එවැන්නක් මූලික වාස්තු ග්රන්ථවල අවධාරණය වී නොමැත. එසේම වර්තමානයේ විවිධ අවශ්යතා සැලකීමේදී ද ඉඩකඩ ඇති භූමියක නම් පොල් හා තැඹිලි සිටු වීම හානියක් නොවේ. එසේම ඒ ශාකයන්හි ස්වභාවය අනුව යම් හෙවණක් ඇති වුවත් අන්තරීක්ෂ ශක්තියට බරපතළ ලෙස බාධා කිරීමක් සිදු නොවන බැවින් ඕනෑම දිශාවක සිටු වීමෙන් හානියක් සිදු නොවන බව අවධාරණය කළ යුතුය.
කොහොඹ ශාකය ඖෂධීය වශයෙන් අතිශයින් ඵලදායී බවට විවාදාපන්න නොවන්නක් නමුත් නිදන කාමරයක් ආසන්නයේ පිහිටු වීම එතරම් උචිත නොවේ. එයින් දරුවන් ලැබීමේ නැමියාවට යම් පමණකින් හානි වීමට ඉඩකඩ ඇති බව ද සැලකිය යුතුය. එසේ වුවත් නිදන කාමරවලට තරම්ක් දුරින් නිවෙසේ භාවිතයන් සඳහා කොහොඹ ශාකයක් තිබීම අතිශයින් ඵලදායී වේ.
පුෂ්ප අරණ සඳහා යොදාගත යුතු ශාක අතර එනම්, මල් පිපෙන ශාක අතර රෑ කුමාරි ශාකය අතිශයින් ප්රයෝජනවත් වන බව විවිධ පර්යේෂණයන්ගෙන් පවා තහවුරු වී ඇත. එහි ඇති ඉතා තියුණු සුගන්ධයක් ඇති අතර ඒ සුවඳ විහිදීම සිදු වන්නේ සවස් යාමයේ වීමත් වඩාත් ඵලදායි බව අවධාරණය කළ හැකිය. එසේම මල් පිපීම ඇරඹුණු පසු සෑම දිනයකම පාහේ මලින් පිරී ගිය ශාකයක් වීම ද අතිශයින් වැදගත්ය. දුටු සතුටු වැනි ශාක ද බාහිර භවතුන්ගේ ආකර්ෂණයට හේතු වන බව පැහැදිලිව පැවැසිය හැකිය. එසේම ඊතණ වැනි සුවිශේෂී ආගමික ශාක පිළිබඳව ද යම් සැලකිල්ලක් දැක්වීම අනුචිත නොවේ.
තුල්සි ශාකය නිවෙසකට පහසුවෙන් සිටුවා ගත හැකි විවිධ භාවිත සඳහා යොදා ගත හැකි ශාකයක් බව අවධාරණය කළ යුතුය. මේ ශාකය වර්ණ අනුව ප්රධාන වශයෙන් දෙයාකාරයකින් දක්නට ලැබේ. දම් පැහැයට හුරු වර්ණයෙන් යුතු තුල්සි ශාකයේ දම් පැහැති ශාකය කෘෂ්ණ තුලසි ලෙස ද කොළ පැහැති ශාකය ලක්ෂ්මි තුලසි ලෙස ද හඳුන්වනු ලැබේ.
මෙහිදී කෘෂ්ණ තුල්සි නිවෙසේ සමගිය සඳහා මෙන්ම ලක්ෂ්මි තුල්සි මිල මුදල් සුලබ වීම කෙරෙහි බලපාන බව ද හින්දූන්ගේ මතයක් වී ඇති බව පැවසිය යුතුය. මේ ශාක බොහෝ නිවෙස්හි එකිනෙක හා ආසන්නයෙන් සිටු වීම සිදු කර ඇති බව පෙනේ.
අප විසින් බෝ ගස් නමින් හඳුන්වන ඇසතු වෘක්ෂය නිවෙසක සිටු විය යුතු නැති ශාක ගණයකට යොදා දැක්වීම බොහෝවිට ශිල්පීන් විසින් සිදු කරන බව පෙනේ. මෙයට කිසිදු ශාස්ත්රීය පදනමක් නැත. බටහිර ජාතීන්ගේ මතවාදී බලපෑම් අතර මෙවැනි දේ බොහෝවිට දක්නා ලැබේ. (භික්ෂූන් වහන්සේලා දැකීම ගෘහ ජීවිතය අවුල් කරන්නක් ලෙස සලකා අයහපත් නිමිත්තක් ලෙස නම් කොට තිබීම ද මෙහිදී සිහිපත් වේ.)
බෝ ගස ද පෙර කී ලෙසම බෙලි ගස් මෙන්ම විශාලව වැඩෙන බැවින් බාහිර ගැටලු ඇති වන බව ද සලකා සිටු වීමේදී විශාලව වැඩෙන පරිදි යම් ක්රමවේදයකට අනුකූලව සිටු විය යුතු බව අවධාරණය කළ යුතුය. මේ සඳහා පැරණි බෝධි සිටු වීමේ ක්රමවේදය වන පතුළ තද බවින් යුතු පාෂාණ වැනි පෘෂ්ඨයක් යොදා ඇසතු ශාකය සිටු වීම උචිත විය හැකියි. එවිට ශාකය ඉහළට යන ප්රමාණය අඩු වන අතර කිසියම් සීමාවක් සහිතව ශාකය පවත්වා ගැනීම සිදු කළ හැකිය. කෙසේ වුවත් අවධාරණය කළ යුත්තේ නිසි පරිදි ශාක භාවිතයෙන් වාස්තු ශිල්පයේ අන්ය ක්ෂේත්රයන්ට නොදෙවැනි ප්රතිඵල ලබාගත හැකි බව බවයි.