Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

හඳහනේ ලියැවී ඇති ඔබට හිමි රැකියාව

1 year ago 7 Min read
Subha.lk

වත්මන් සමාජයේ තරුණ අසහනයට බලපාන ප්‍රධානම හේතුව වන්නේ රැකියාවයි. පාසල් අධ්‍යාපනයෙන් පසුව උසස් අධ්‍යාපනයක් ලැබීමට වරම් නොලදහොත් ඊළඟ අපේක්ෂාව වනුයේද රැකියාවයි. යම්කිසි අයකුට හිමිවන රැකියාව කුමන විදියේ එකක්ද යන්න තමන්ගේ කේන්දරයේ පිහිටි ග්‍රහ බලපෑම් අනුව දැන ගත හැකිය. කේන්දරයේ දසවැනි භාවයෙන් හෙවත් දස වැන්නෙන් අඹුසැමි ජීවන පැවැත්ම දිගටම සාර්ථකව පවත්වාගෙන යෑම පිළිබඳව පෙන්නුම් කරයි. එහෙයින් දෙක, හතර, හත ස්ථාන රැකියා තීරණය කිරීමේදී වක්‍ර මෙහෙයක් ඉටු කරයි. කේතු හැර අන් කවර ග්‍රහයෙක් දස වැන්නේ සිටියත් අශුභ තත්ත්වයක් නොමැත. ක්‍ෂේත්‍ර බලයකින් යුතුව ශුභ දෘෂ්ටි, ශුභ සංයෝගවල සිටීම ඒ ඒ ග්‍රහයන්ට අනුව උසස් රැකියාවක් ලැබීම පෙන්නුම් කරයි. 

 

විශේෂයෙන් රජයේ රැකියාවක් ලැබීමට රවිගේ බලය ඉතා අවශ්‍ය වේ. රවි ආත්ම කාරක ග්‍රහයා පමණක් නොව රජයට සම්බන්ධ ග්‍රහයා බැවින් රවිගේ බලය හා ඔහු හා බැඳුණු උසස් ග්‍රහ සංයෝග හා ග්‍රහ දෘෂ්ටි තිබුණ තරමට රජයේ තනතුරු, වරප්‍රසාද උදාකරයි. දසවැන්නේ උච්ච ක්‍ෂේත්‍ර  ග්‍රහයන් සිටීම දහය අධිපති බලයෙන් යුතුව කේන්ද්‍රස්ථාන ගතව හෝ ත්‍රිකෝණ ස්ථාන ගතව සිටීම සහ ශුභ ග්‍රහ සංයෝග ශුභ දෘෂ්ටි සහිත වීම ස්ථිර රැකියාවක් ලැබීමට හේතුවේ. තවද රවි, බුධ සංයෝගය කේන්ද්‍ර ස්ථානයක හෝ ත්‍රිකෝණ ස්ථානයක හෝ යෙදුණු විට රජයේ රැකියාවක් උරුම වෙයි. එම රැකියාව කුමක්ද යන්න එම ග්‍රහ සංයෝගය පිහිටි රාශ්‍යාධිපති හා ඊට දෘෂ්ටි ලබාදුන් ග්‍රහයන් සැලකිල්ලට ගත යුතුය. දස වැන්නේ රවි, ගුරු, කුජ සහ රවි, බුධ, ගුරු ආදී වශයෙන් සංයෝගය වීමද ස්ථිර රජයේ රැකියාවක් පෙන්නුම් කරයි. දෙවැන්න වෘෂභ හෝ කටක රාශියක් වී චන්ද්‍රයා එහි සිටියේ නම්, හෝ දෙවැන්න ධනු, මීන යන රාශියක් වී ගුරු සිටියේ නම් හෝ රජයේ සේවය උරුම වේ. 

 

කේන්දරයේ දෙවැන්න මිථුන, කන්‍යා රාශියක් වී එහි ශුභ දෘෂ්ටි සහිතව රවි, බුධ, යෝගය, රවි, ගුරු යෝගය යෙදී සිටීම ලේඛන කලාව තුළින් හිමිවන රැකියාවක් පෙන්නුම් කරයි. දසවැන්නාධිපති දහයේ බලවත් නම් ගුරු වෘත්තිය හිමිවීමක්ද, යෝග කාරක ග්‍රහයන් හතර දෙනකු රවි හෝ සඳු සමඟ කේන්දරයේ යෝග වීමෙන් රජයේ සේවයේ රැකියාවක්ද පෙන්නුම් කරයි. දස වැන්න අධිපති සෙනසුරු සමඟ යෝග වූ විට ලැබෙන රැකියාව දැසිදස් කම්කරුවන් ආශි්‍රත කය වෙහෙස, කරනු ලබන රැකියාවක් වෙයි. දහය අධිපති රාහු සමඟ යෝග වූ විට අයුතු මාර්ගවලින් ධනය උපයයි. දස වැන්නේ රවි සිටිවිට රාජ්‍ය සේවයේ අධ්‍යක්ෂ ධුර, විධායක ශේ්‍රණියේ රැකියා ආදී අන් අය පාලනය කරනු ලබන රැකියා හිමි වෙයි. රවි දසවැන්නට දිග්බල බැවින් පාලන ක්‍ෂේත්‍රයේ රැකියාවලට ඉතා යහපත්ය. එසේම තම ආත්ම ගරුත්වය රැකගෙන සේවයේ යෙදෙයි. දසවැන්නේ කුජ සිටිවිට කුජ දසවැන්නට ශුභය. දසවැන්නට කුජ දිග්බල බැවින් කුමන කටයුත්තක් කළත් හෙතෙම කාර්යයේ අති දක්ෂයෙක් වෙයි. වෙළෙඳ ව්‍යාපාරවලටද ඉතා යහපත් වේ. එක තැන සිට කරන රැකියාවලට වඩා ක්‍රියාශූර තත්ත්වයෙන් කරන වැඩවලට යෝග්‍යය. විරුද්ධවාදීන් පහසුවෙන් මෙල්ල කළ හැකිය. පටන්ගත් කාර්යය කුමන බාධක මැද්දේ වුවද අවසානය දක්වා කිරීමේ දක්ෂතාවද ඇත. එසේම අවි ආයුධ පිළිබඳ ආරක්ෂක අංශයේ රැකියා, යන්ත්‍ර සූත්‍ර පිළිබඳ වැඩ, මාංස වෙළෙ¼දාම ආදී ක්‍ෂේත්‍රයන්හි රැකියාවල්ද හිමිවේ. 

 

 

දසවැන්නේ ගුරු සිටිවිට පාප දෘෂ්ටි නොලබා ගුරු දහවැන්නේ පිහිටා තිබීමද යහපත්ය. කොන්ත්‍රාත් වැඩ, ගුරු සේවය, නියෝජිත ධුර වැනි ඇමැතිකම් බොහෝ දෙනාගේ ගරුසරු ලැබිය හැකි කාර්යයන් රැකියාවක් ලෙස ලැබෙයි. තිබෙන රැකියාවෙන් ක්‍රම ක්‍රමයෙන් උසස් වීමටද වාසනාව ඇත. ගුරු දසවැන්නේ සිටින්නන්ට සමාජයේ ගෞරවය නිතැතින්ම හිමි වෙයි. තමන් යටතේ වැඩ කරන්නන්ගේ සිත් දිනාගෙන කටයුතු කිරීමට දක්ෂය. රාහු දසවැන්නේ සිටිවිට විප්ලවවාදී දේවලට සිත යොමුවේ. විදේශගත රැකියාවලටද හිමිකම් ඇත. එසේම තැනින් තැන සංචාරය කරමින් කරන රැකියා ක්‍ෂේත්‍ර නිලධාරි, අලෙවි නියෝජිතයන් ආදී රැකියාවන් හිමිවේ. කේතු දසවැන්නේ සිටිවිට ඥානය වෙහෙසවා කරන කාර්යයන් සඳහාද ඉතා යහපත්ය. ලිපිකරුවන්, ගුරුවරුන් ලේඛකයන් ආදී අය කේතු දහවැන්නෙන් බිහිවේ. 

 

චන්ද්‍රයා ජලීය (ජලය ආශි්‍රත) ග්‍රහයෙකි. මෙබඳු ජලග්‍රහයකු රැකියාකාරක වේ නම් ජන්මියා ජලය හා සම්බන්ධ රැකියාවකට යොමුවීම දෛවයේ නියමයයි. එබඳු අය ජලයට සම්බන්ධයක් ඇති ජීවන වෘත්තියක යෙදෙමින් ධනය උපයයි. නාවික හමුදා සේවය, සිසිල්බීම කර්මාන්තයක හිමිකරුවකු වීම හෝ සේවකයකුවීම, සායම් තීන්ත ආදිය නිෂ්පාදනය, සරුවත්, තේ පැන් ආදිය විකිණීම ආදිය මෙම ගණයට වැටේ. චන්ද්‍රයා කෑම බීම ආදියටද සමීප සම්බන්ධයක් ඇති ග්‍රහයෙකි. ධනස්ථානාධිපති ග්‍රහයාගේ යෝගවීමක් හෝ දෘෂ්ටි වීමෙන් හෝ යම් සම්බන්ධයක් වේ නම් එම අය කෑම බීම අලෙවි කරන්නකු හෝ ආපන ශාලා හිමියකු හෝ වීමටද ඉඩ ඇත. රැකියා කාරක චන්ද්‍රයා කෙරෙහි රාහුගේ ප්‍රභවය (බලපෑම) වේ නම් කේන්දර හිමියා මත්පැන් අලෙවි කරන්නකුවීමටද ඉඩ ඇත. කවර හෙයින්ද යත් මත්පැන්ද විස සංයුක්ත ජලීය පදාර්ථයක් බැවිනි

 

වෘෂභ හෝ තුලා කෙනකුගේ ලග්නය වී සිකුරු බලවත්ව දහවැන්න අධිපතියා සමඟ සිටීමෙන් කලා අංශයට බර රැකියාවක් කිරීමට භාග්‍යය පෙන්වන ග්‍රහ යෙදුමකි. තුලා ලග්න හිමියන්ගේ කේන්දරවල බුධ ග්‍රහයා බලවත් නම් විශේෂයෙන් ව්‍යාපාරවලට බර රැකියාවලට ඵල පෙන්වන ග්‍රහ පිහිටීමකි. සිංහ හෝ කුම්භ ලග්නය වී බුධ සමඟ සඳු දහවැන්නේ හෝ ලග්නයේ දහවැන්න සමඟ බලවත්ව සංයෝග වීමෙන් පොළොවට සම්බන්ධ ව්‍යාපාරවලින් ජයග්‍රහණ පෙන්වන ග්‍රහ පිහිටීමකි. 

 

චන්ද්‍රයා ස්ත්‍රී ග්‍රහයෙකි. මෙම ස්ත්‍රී ග්‍රහයා සිකුරු වැනි තවත් ස්ත්‍රී ග්‍රහයකුගේ බලපෑම ලැබූවිට කේන්දර හිමියා ස්ත්‍රීන් සමඟ එක්වී එම අයගේ සහාය ඇතිව රැකියාවක් කරයි. සමහර විට හෝ සිනමා නළුවකු වීමටද ඉඩ ඇත. සිනමා අධ්‍යක්‍ෂ වැනි තනතුරුද ලබනු ඇත. රැකියා කාරක චන්ද්‍රයා හා සිකුරු රාහු හා සම්බන්ධව දුර්වලව හෝ නීච රාශිගතව සිවුවැන්නේ වී නම් ජන්මියා ගණිකා මඩම් පැවැත්වීම වැනි කටයුතුවලින් ධනය රැස් කරනු ඇත. චන්ද්‍රයා බලවත්ව රවි, ගුරු, ආදීන් හා සම්බන්ධ රැකියා කාරකව සිටී නම් තානාපති තනතුරු, රාජ්‍ය අධිකාරි තනතුරු වැනි තනතුරු ලැබීමටද වාසනාව ඇත.

 

හිඹුටානේ පියතිලක ද අල්විස් (19/12/2021 මව්බිම පුවත්පතේ තරුපති විශේෂාංගය)

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk