ලොව සැරිසරන සුදු ඇත් වාහනය අරන් අප රැක දෙන්න දෙවිඳුනි සිරි සුමන සමන්..
දෙවි දේවතාවන්ට වැඳුම් පිදුම් කොට ඔවුන්ගේ පිහිට ප්රාර්ථනා කිරීම මෙරට ජන සමාජයේ අනාදිමත් කාලයක සිට පැවත එන ආගමික ලක්ෂණයකි. දේව ඇදහීම් ලොව තවත් රටවලද අදටත් සිදුකෙරෙයි.
ජනතාවගෙන් පිදුම් ලබන බොහෝ දෙවි දේවතාවෝ එම ජනතාව සමඟ එකට ජීවත්වූවෝ වෙති. ඒ අතරින් සමහරුන් රාෂ්ට්ර පාලකයෝ හෙවත් රජවරුන්ය. සමහරකු සමාජයේ පිළිගත් ප්‍රභූවරුන්ය. මහසෙන් රජු මින්නේරි දෙවියන් ලෙසත් අවිස්සාවේල්ලේ රන්වල දෙවියන් මිනිසුන් අතර කාලයක් රැඳී සිට දේවත්වයට පත්වූ බවත් සඳහන් වෙයි.
අනුරාධපුර යුගයේදී අපේ රටේ දේව ඇදහිල්ලක් නොතිබිණි. පොළොන්නරු යුගයේදී ප්රථම භාගය වනවිට අපේ සංස්කෘතියට සොළී බලපෑම් එල්ලවී තිබේ. භාරත සංස්කෘතියේ බලපෑම් සමඟ භාරත දෙවි දේවතාවෝද බිහිවූහ.
සමහර දෙවිවරු සමස්ත ලංකාවාසීන්ගේම පිදීමට ලක්වූහ. ඇතැම් දෙවිවරුන් පළාත් වශයෙන් අදහන්නට වූහ. විෂ්ණු, සමන්, කතරගම, පත්තිනි මෑණි, නාථ, උපුල්වන්, දැඩිමුණ්ඩ, භද්‍රකාලී මෑණියන් යන දෙවි දේවතාවුන් මුළුමහත් රටේම වන්දනාමානයට ලක්විණි. සුමන සමන් දෙවිඳුන් මේ අතරින් සුවිශේෂීය. සමන් දෙවියන් ලාංකේය බෞද්ධයන්ගේ අප්‍රමාණ ගෞරවයට පාත්ර වූ දිව්ය රාජයෙකි. බෞද්ධ මහෝපාසක ලාංකික දෙවියකු ලෙස සමන් දෙවිඳුන් හඳුන්වති.
මහියංගණයට පැමිණි සමන් දෙවියෝ බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා සෝවාන් ඵලයට පත්වූ බව මහා වංසයේ සඳහන් වේ. බුදුන් වහන්සේගෙන් ඉල්ලාගත් කේශ ධාතු තැන්පත් කර මහියංගණයේ චෛත්‍යයක් ඉදිකළේ සුමන සමන් නම් ප්‍රදේශාධිපතියා ලෙස සඳහන්වේ.බුදුන් වහන්සේ දෙවැනි වරට ලක්දිවට වැඩම කළ අවස්ථාවේදී සමන්ත කූටයට අධිපති සුමන සමන් දිව්‍යරාජයාගේ ඇරැයුමෙන් සිය වම් පා සලකුණු සමනොළ ගිර සිරස මත පිහිටුවූ බව “සමන්ත කූට වර්ණනාවේ” දැක්වේ. සමන්තකූට වර්ණනාවට අනුව සමන් දෙවිඳුන් සෝවාන් මාර්ග ඵලයට පත්ව ඇත්තේ බුදුන් වහන්සේගේ දෙවැනි ලංකා ගමනේදීය. ලක්දිව සතර අති ගරු ගාම්භීරව වැජඹෙන සියලු දෙවිවරුන් අතරින් සෝවාන් මාර්ගයට පත් එකම දෙවියන් වහන්සේ සමන් දෙවිඳුන්ය. බුද්ධ පූජාවට මුල් තැන දෙන දෙවොල ශීර සුමන දෙවියන් උදෙසා වූ දෙවොල වේ. ඉතා සිහිල් හා සෞම්ය දෙවියකු වන සුමන සමන් දෙවියන් කිසිවකුට දඬුවම් කිරීමට අකැමැති මහේශාක්ය දෙවියකු බව පැවැසේ.
මැණික් ආදී සම්පත් ලබා ගැනීමේදී සමන් දෙවිඳුන්ගේ පිහිට පැතීමට අෑත අතීතයේ සිට සබරගමුවේ ජනතාව පුරුදු වී සිටිති.
සමන් දෙවිඳුන් පිළිබඳ පවතින විවිධ මත,
සමන් දෙවිඳුන් ගැන අපේ ජන සමාජය තුළ මත කිහිපයක් පවතී. සමන් දෙවිඳුන් කවුරුන්දැයි හඳුනා ගැනීමට වියතුන් විවිධාකාර උත්සාහ දරා තිබේ. මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා විසින් රචිත ග්‍රන්ථයක සමන් දෙවියන් ගැන වෙනස් මතයක් ඉදිරිපත් කර ඇත. සුමන සමන් දෙවියන් ගැන තවත් මතයක් ප්රබල මත ගැටුමකට තුඩු දුන් කරුණකි.
එනම් සමන් දෙවියන් ලක්දිවට සම්ප්‍රාප්ත වී ඇත්තේ භාරතයෙන් යන්නයි. කෙසේ වුවත් සමන් දෙවිඳුන් ගැන පවතින විවිධ මත අධ්යයනය කිරීම අපූරු අත්දැකීමකි.
සමන් දෙවිඳුන් මතු බුදු බව ලබන්නටද පාරමී පුරන බෝසත් දෙවිකෙනෙකි යන්න සමන් දෙවියන් ගැන තවත් මතයකි. සමන්ත භද්ර ලෙස හැඳින්වෙන්නේ මහායාන බෝධිසත්ව කෙනෙකි. එම බෝධිසත්ව වහන්සේ සමන් දෙවියන් ලෙස හැඳින්වීමට සමහර විද්වත්හු පෙලඹී සිටිති. ප්‍රාග් ඓතිහාසික යුගයේ ලංකාවේ අසහාය බෞද්ධයා වූයේ සමන් දෙවිඳුන්ය.
සුමන සමන් නම් වූ ප්‍රාදේශීය පාලකයා බුද්ධිමත් තැනැත්තෙක් වූ නිසාම සෝවාන් ඵලය ලැබ බුදුන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කර චෛත්‍යයක් ගොඩනැඟීම වැනි මහා කාර්යයක් කළ හැක්කේ රටේ වගකිවයුත්තකුට බවත් එබැවින් සමන් දෙවියන් ප්‍රභූ පවුලකට අයත් රාෂ්ට්ර පාලකයකු බව අදහසයි. සමන් දෙවියන්ගේ සිරස මත රන්මුවා ඔටුන්නකි. දෙඅත්හි නෙලුම් මල්ය. ගෙල පැලැඳි අගනා මුතුහරකි. උන්වහන්සේගේ වාහනය සුදු පැහැති ඇතෙකි.
සුදු ඇතා මත නැඟී ලොව සැරිසරන සුමන දෙවිඳුන් ලෝවැසියන්ට සෙත ශාන්තිය සලසන බව දේව කතාවල සඳහන්ය.
“ලොව සැරිසරන සුදු ඇත් වාහනය අරන්
අප රැක දෙන්න දෙවිඳුනි සිරිසුමන සමන්”
මෙම කවි දෙපදය සබරගමුවේ ජනප්‍රිය වී ඇත්තේ සමන් දෙවිඳුන් ලෝකවාසීන්ගේ යහපතට සෙත සලසන මහේශාක්ය දෙවි කෙනකු බැවිනි.
සමන් දෙවිඳුන්ගේ වාහනය වන ඇතාට ජන සාහිත්‍යයේදී ඇළි ඇතා ලෙසද කියනු ලැබේ. සමන් දෙවිඳුන්ගේ සෞම්ය ගුණයත් බුදු බණ අසා සෝවාන් වූ නිසා සමන් දෙවියන් සුදු පැහැයෙන් නිරූපණය කළ කලාකරු සමන් දෙවියන්ගේ වාහනයටත් එම ධවල වර්ණයම යොදවන්නට ඇතැයි විශ්වාස කෙරේ. සබරගමුවේ වනාන්තරවල අෑත අතීතයේ අලි ඇතුන් බහුලව වාසය කළ බවට හේතු සාධක තිබේ. ශී්‍රපාද වන්දනා වාරය ආරම්භවීමට පෙර ඇසළ කණුව අසලට පැමිණෙන අලි ඇතුන් සිරිපා වඳින බව ද ජනප්‍රවාදයේ පැවත එයි.
සමනොළ අඩවියේ අලි ඇතුන් කිහිපදෙනකු අදටත් වාසය කරන බව වන සංරක්ෂණ නිලධාරීහු කියති. සමනොළ කඳු අතර සිටිතැයි පැවසෙන අලි ඇතුන්ගේ ගණන අට දෙනකු විය හැකි බව වන සංරක්ෂණ නිලධාරීන්ගේ අදහසයි. ලංකාවේ තෙත් කලාපයක වාසය කරන අලි රංචු දෙකෙන් එකක් ලෙස එම අලි රෑන හැඳින්වේ. තවත් අලි තිදෙනෙක් සිංහරාජයේ සිටිති.
තම පළාතට සෙත ශාන්තිය උදාකරමින් යහපත් පාලනයක් ගෙනගිය පාලකයකුගේ අභාවයෙන් පසු පොදු ජනතාව විසින් දේවත්වයෙන් වැඳුම් පිදුම් සිදුකරන්නට ඇතැයි සමන් දෙවි වරුණෙන් පැහැදිලි වේ. සමන් දෙවියන්ගේ බලවත්කම ගැන සමන් දෙවියන්ගේ අඩවියේ මිනිසුන්ට ඇත්තේ අපමණ විශ්වාසයකි.
සමනොළ කන්ද තරණය කරන විට “කට වරද්දා ගන්න එපා” යැයි කියන්නේ ඒ නිසාය. ශී්‍රපාද වඳින්න යන බැතිමතුන්ට ආරක්ෂාව සලසන්නේ සමන් දෙවිඳුන් බව බොහෝ දෙනකුගේ විශ්වාසයයි. සමනොළ කන්දේ ශී්‍රපාදය පිහිටුවා වදාළ බුදුන්වහන්සේ මෙම දුෂ්කර කඳු මුදුනට බැතිමතුන් පැමිණෙන්නේ කෙසේ දැයි සමන් දෙවිඳුන්ගෙන් විමසූ බව ජනප්‍රවාදයේ පැවත එයි. එවිට සමන් දෙවිඳුන් “ස්වාමිනී භාග්‍යවත් බුදුරජාණන් වහන්ස ඔබ වහන්සේගේ ශී්‍රපාද ලාංඡනය වැඳ පුදා ගැනීමට බැතියෙන් එන සෑම නරයකුම පුළුන් රොදක් අහසට ගන්නාක් මෙන් සැහැල්ලුවෙන් ඉහළට ගනිමි ඔවුන් රකින්නෙමි” යැයි සුමන සමන් දෙවියෝ පැවසූ බව සබරගමු ජනප්‍රවාදවල ප්‍රචලිතය.