Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

බත බුලත සරු කරවන දුනුමාලේ බිසෝ බණ්ඩාර දෙවියෝ

1 year ago 7 Min read
Subha.lk
සියනෑ කෝරලය සහ තුන් කෝරලය හමුවන මායිමේ පිහිටි සුන්දර ගැමි ගම්මානයකි දුනුමාලේ නම් ගම්මානය. ශ්රී ලංකාවේ ගම් නියම් ගම්වලට අධිපතිව ප්රාදේශීය දෙවිදේවතාවුන් විශාල පිරිසක් වැඩ වාසය කරනු ලබයි. එම ප්රාදේශීය දෙවිවරු ප්රධාන දෙවියන්ගෙන් වරම් ලබාගෙන පොදු ජනතාවට පිහිට රැකවරණය සලසනු ඇත. මෙම සුන්දර දුනුමාලේ ගමටත් එවැනි වූ බල සම්පන්න ප්රබල ප්රාදේශීය දෙවඟනක් වැඩ වාසය කළාය. ඇය බිසෝ බණ්ඩාර දෙවියන් ලෙස පොදු මහ ජනතාවගේ වන්දනාමානයට පුද පූජා සත්කාරයට සහ ගෞරවාදරයට පාත්ර වී ඇති බව පැවැසේ. අතීතයේ සියනෑ කෝරලයේ විසූ ප්රාදේශීය පාලකයකුගේ භාර්යාවක් මෙලෙස බිසෝ බණ්ඩාර දෙවියන් ලෙස පෙනී සිටින බව කියැවේ. සිය මාලිගය පිහිටා තිබුණු කන්දේ විශාල ගල් තලාවකින් බිමට වැටී සියදිවි අහිමි වූ එම කාන්තාව ගුණගරුක යහපත් ලෙස දිවි ගෙවූ නිසා මරණින් මතු දේවත්වයට පත්වූ බවත් පසුකාලීනව ගම්වැසියන් එකතු වී මහා දේවාලයක් ඉදිකර ඇය වෙනුවෙන් පුද පූජා පැවැත්වූ බවද බිසෝ බණ්ඩාර දෙවියන් ලෙස ඇය පෙනී සිටි බව ජනප්රවාදයේ සඳහන් වේ. දුනුමාලේ රංජනා රාම මහා විහාරය ආසන්නයේ පිහිටා ඇති කන්දේ විශාල ගල් ලෙනක මෙම දේවාලය පිහිටා ඇති බව පැවැසේ. දුනුමාලේ යන නම හැදුණු ආකාරයද ජනප්රවාදයේ සඳහන් වේ. එනම් එක් ධනවත් ගම්මුලාදෑනියකුගේ භාර්යාවක් අනතුරට පත්වූ අවස්ථාවක ඇයගේ ජීවිතය බේරාදුන් තැනැත්තාට ගම්මුලාදෑනියාගේ ගෙලේ බැඳි මාලය තෑග්ගක් ලෙස ලබාදුන් නිසා එදා අතීතයේ මේ ගම දුන්නුමාලේ නම් වූ බවත් පසුව වර්තමානයේ මෙය දුනුමාලේ ලෙස භාවිත කළ බව පවසනු ලැබේ. ඒ අනුව දුනුමාලේ බිසෝ බණ්ඩාර දෙවියන් යන නාමයද ජන වහරට එකතු විය. ප්රාදේශීය දේව සමූහයා අතරට එක් වූ දුනුමාලේ බිසෝ බණ්ඩාර දෙවියන් යන නාමයද ජන වහරට එකතු විය. ප්රාදේශීය දේව සමූහයා අතරට එක්වු දුනුමාලේ බිසෝ බණ්ඩාර දෙවියන් ප්රබල බල සම්පන්න හාස්කම් ඇති දෙවඟනක් බව ගම්වැසියන්ගේ පිළිගැනීමයි. පත්තිනි මෑණියන්ගෙන් වරම් ලබාගෙන පොදු බෞද්ධ ජනයාට පිහිට රැකවරණය සලසන ප්රබල අදෘශ්යමාන බලවේගයකින් යුත් දෙවඟනක් බව කියැවේ. පැපොල වැනි වසංගත රෝග ඇති වූ විට ගම්වැසියන් මෙම රෝග ගම පුරා පැතිර යෑම වළක්වා ගැනීමට දුනුමාලේ දෙවඟන වෙනුවෙන් භාර හාර කරමින් පඬුරු ගැට ගසති. ඉන් එම රෝගය පාලනය වන බව ගැමි විශ්වාසයයි. වී ගොවිතැන් කටයුතු සරු වූ පසු දේවාලයට පුද පූජා පැවැත්වීම සිරිතක් වේ. දෙවියන්ගේ නමට වී කරල් මිටියක් එල්ලා තැබීමද සිදු කෙරේ. ගොයම් පිදෙන කාලයේදී බොහෝ ගොවි නිවාසවල තෙල් වළං ළිප තැබීම, මස් මාළු තෙලින් බැදීම, පිටි කොටා කැවිලි වර්ග සෑදීමද නතර කරනු ලබයි. තම අස්වැන්න. නෙළා ගෙන විත් දෙවියන් බුදුන් උදෙසා පුද පූජා පවත්වන තුරු එම කටයුතු නතර කරන බව පැවැසේ. ගොවිතැන් සරුවීම, ගව සම්පත රැක ගැනීමට කුඩා දරුවන්ගේ රෝග පීඩා දුරුවීමට මෙන්ම වසංගත රෝග පීඩා දුරුවීමට දුනුමාලේ බිසෝ බණ්ඩාර දෙවියන්ගේ පිහිට රැකවරණය ප්රාර්ථනා කරයි. බොහෝ බැතිමතුන් භාර භාර වෙන්කර පඬුරු ගැට ගසනවා මෙන්ම පොල් අතු බැඳීමද සිදු කරනු ලබයි. ගැමි ජනතාවට දේව ආශීර්වාදය මෙන්ම සෙත ශාන්තිය උදාකරන දේවතාවියක් ලෙස දුනුමාලේ බිසෝ බණ්ඩාර දෙවඟන එදා සිට අද දක්වාම පොදු මහජනයාගේ වන්දනාමානය හා ගෞරවාදරයට පාත්ර වී ඇති බව පැවසේ.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk