පුද පූජාවලින් දෙවි පිහිට ලැබෙනවද ?
මීට පෙර ලිපිවලින් දෙවියන් උදෙසා සිදු කරනු ලබන පුද පුජා සහ ඒ සඳහා කළ යුතු වත්පිළිවෙත් පිළිබඳ ඔබ දැනුම්වත් කළ අතර, එම වත්පිළිවෙත්වලින් දෙවියන්ගේ පිහිටක් ලැබෙනවාද යනුවෙන් ඇතැම් අය නඟන ප්රශ්න වෙනුවෙන් මෙම දැනුම්වත් කිරීම සිදු කෙරේ.
මේ වන විට මෙරට බොහෝ සිද්ධස්ථානවලට විශේෂයෙන් කෙම්මුර දිනයන්හිදී පුද පූජා පැවැත්වීම සඳහා බොහෝ අය පැමිණෙන බව ප්රකට කරුණකි. එමෙන්ම ලංකාවේ සිවු දිසාවේ ඇති මහා දේවාල වලටද අනුරපුර, පොළොන්නරුව, මින්නේරි දේවාලය, කතරගම, මුන්නේශ්වරම්, කෝනේශ්වරම් සහ තිරුකේශ්වරම් යන සිද්ධස්ථානවල ඉදිකර ඇති දේවාලවල පුද පූජා රැසක් සිදු කෙරේ.
කතරගම ශිව, නවගමුවේ පත්තිනි මැණියන්, කාලි මැණියන්, කඩවර දෙවියන් මෙන්ම සෙල්ල කතරගම ගණ දෙවියන් සිහි කරමින් වැල්ලවත්තේ මයුරපති කෝවිල, මරදානේ කප්පිත්තා දෙවොල හෙවත් කැප්ටන් කෝවිල, මාතලේ පත්තිනි දේවාලය වැනි ස්ථානවලට දිනපතා ජනතාව රැස් වන්නේ තම අපේක්ෂා ඉටුකර ගැනීමටය. ඒ දේවාල සහ කෝවිල්වල වාර්ෂිකව පවත්වනු ලබන උත්සවයන් සඳහා ද දහස් ගණන් ජනයා එක් රැස් වන්නේ එමඟින් ආශිර්වාදයත් පිහිටත් අපේක්ෂාවෙන් බව ද සියලු දෙනාම දන්නා කරුණකි.
ඈත අතීතයේ සිටම ජනයා තම භවභෝග, හරකබාන, දුර්භික්ෂ, ලෙඩරෝග මෙන්ම වගා කටයුතු සඳහා වර්ෂාව ප්රාර්ථනා කරමින් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව පතා පුද පූජා පවත්වා ඇත. එසේම ග්රාමීයව සිදු කරනු ලබන උත්සව සඳහා ද එම උත්සවවලදී දෙවියන් ප්රධාන කොටගෙන තමන්ටත් ගමටත් සෙත ශාන්තිය උදාකර දෙන ලෙස ඉල්ලා සිටිමින් එසේ පූජා පවත්වා ඇත.
ලංකාවේ ප්රධාන ලෙස පුද පූජා පවත්වන ස්ථාන අතර කතරගම, මුන්නේශ්වරම්, නවගමුවේ පත්තිනි දේවාලය, ත්රිකුණාමලයේ ශිව දේවාලය (කෝනේශ්වරම්), සෙල්ලකතරගම ගණදෙවි දෙවොලට මෙන්ම යාපනයේ නල්ලුර් කෝවිලට ද දහස්ගණන් ජනයා එක්රැස් වී පුද පූජා පවත්වනුයේ තමන්ගේ කටයුතුවලට දෙවි පිහිට ලබා ගැනීමේ අරමුණිනි. එමෙන්ම එම කටයුතු කාරණා සාර්ථක වීමෙන් පසුවද ඒ අයුරින්ම පුද පුජාවන් පවත්වා බාරවලින් නිදහස් වීමට ද ඔවුන් පෙලඹෙන්නේ තම කටයුතු කාරණා දෙවි පිහිටෙන් ඉටු වු නිසා බව ඔවුහු පවසති.
අතීතයේ සිට පැවතෙන ගම් මඩු, බලි, තොවිල්, දහඅට සන්නිය, නානු මුර මංගල්යය මෙන්ම අං කෙළිය ආදී ක්රීඩා ද දෙවියන් උදෙසා දෙවියන් සතුටු කර තමන්ටත් ගමටත් සෙත සාන්තිය උදාකර නිරෝගී බව ලබා ගැනීමට සිදු කළ ඒවාය. ඒවායේදී සිදු කරනු ලබන නර්තනයන්, ශබ්ද පුජාවන් දෙවියන් සතුටු කිරීම උදෙසා සිදු කර නියමිත කාලයන්හි වර්ෂාව ලැබී භවභෝග සාර්ථක වී නියමිත කාලයේ අස්වනු ලබා ගැනීම පිහිට ඉල්ලා සිටීමකි.
මෙසේ භවභෝග අස්වනු එක් රැස්කර එයින් ප්රථම කොටස වෙන් කර අලුත් සහල් මංගල්යය මෙන්ම දේව දානය ද සිදු කරනුයේ තමන් ලද පිහිටට කෘත ගුණ සැලකීමට මෙන්ම ඊළඟ කන්නයට දියවර මුදා ගැනීමට කරදර බාධක ඇති නොවේවා යන ප්රාර්ථනය ද ඇතිවය. එසේම පෙරහැර වීදි සංචාරය කරවීමෙන් ද දේව ආභරණ හෝ දේවරූපයක් ගම වටා ගෙන යමින් සිදු කරනුයේ ද දෙවියන් සතුටු කර ගමට ඇති දොස් ඉවත් කර ගැනීමටය. එම උත්සව අවස්ථාවලදී විශේෂයෙන්ම කතරගම ශුද්ධ භූමියේදී දෙවියන් විශේෂ අයුරින් නොයෙක් රූපයන්ගෙන් පෙනී සිටීමින් මනුෂ්යයන්ට හමුවු මෙන්ම පිහිටවු අවස්ථා ද ඇත.
මේ අනුව ඉතා පැහැදිලි ලෙස තේරුම් ගැනීමට ඇති කරුණ නම් විශ්වාසයෙන්, භක්තියෙන් යුතුව පුද පුජාවන් පවත් වනු ලබන විට අදෘශ්යමාන ඒ බලවේගයන්ගෙන් විශිෂ්ට බලයක්, ශක්තියක් සහ පිහිටක් ඔවුනට ලැබී ඇති බවත්ය. එසේ නොමැතිනම් විශාල ජනතාවක් මෙම සිද්ධස්ථාන වන්දනා මාන කිරීමට සහ පුද පුජා පැවැත්වීමට පැමිණෙන්නේ නැත.
එසේම යාපනය, සාම්මලේ සහ හලාවත සිට ද ජනතාව පාද යාත්රා මඟින් තමන්ට ලැබුණු පිහිට ආරක්ෂාවට තුති පුජා පැවැත්වීමට පැමිණෙන්නේ නැත. ඒ ඔවුන්ගේ භක්තිය මෙන්ම විශ්වාසයයි. එම භක්තිය විශ්වාසය මතම දෙවියන් ඔවුන්ව ආරක්ෂා කර පිහිට සලසන බව ද පැහැදිලිය. ඔබටත් ඒ අයුරින්ම ඒ විශ්වාසය භක්තිය පෙරදැරි කොට කටයුතු කාරණා සිදු කොට තමන්ගේ දුක් කම්කටොලු, ග්රහ දෝෂ මෙන්ම බාහිර උපද්රවයන්ගෙන් පිහිට ආරක්ෂාව ලබා ගැනීමට සිතට ගන්න. නියම අයුරින් වත්පිළිවෙත් සිදු කර පිහිට පතන්නේ නම් නිසැකවම ඔබට ද දෙවි පිහිට ලැබෙනු ඇත.