Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

සෙන් ඉසුරු නගා…. රිවිපුත් රඟන රඟා!

1 year ago 7 Min read
Subha.lk
සෙන් + ඉසුරු යන්න එක්වී සෙනසුරු වශයෙන් ව්යවහාර වනු ලබයි. ඉසුරු සේනාවක් ඇති යන අරුත මෙයින් දැක්වේ. ග්රහලොව හිඟන්නා ලෙසත්, නොණ්ඩියකු ලෙසත් හඳුන්වනු ලබන අතර සෙනසුරා, හෙනහුරා හා ශනි යැයි ද, ජනවහරේ දී සෙනසුරු හඳුන්වනු ලබන අතර රිවිපුත් වශයෙන් ද හඳුන්වනු ලබයි. සෙනසුරු යන නමට බොහෝ දෙනා බියවන බවත් කොයි කවුරුත් බියවද්දන බවත් පෙන්වයි. දුකට අධිපති බව ප්රකට ය. හිඟමන අත්කොට යමෙකු නන්නන්තාර කරවන බවට ද ජ්යොතිෂයේ ද සඳහන් කරයි. එය අප අවට ඇති ජීවිත තුළින් ද ජ්යොතිෂමය කරුණු සමග ඔප්පු කරගත හැකිය. ජීවිතයකට වර්ෂ 19ක් පුරා ද රාශියක දී වර්ෂ දෙකහමාරක කාලයක් ද හිමිකරගෙන ඇති මෙම සෙනසුරුගේ බලය, කම්කරුවා ද දුගී ජනයා ද උසස් ම ජනයා ද අධිකරණය හා නීතිය ද කටුක රෝගයන් ද සීමාවක් නොමැති බලය ද ප්රමාණයක් නොමැති ධන සම්පත්තීන් ද යමෙකුට ලබාදීමේ දී ද තම බලය විහිදුවන ගතිය ද සියලු දේ තෘෂ්ණාවෙන් බදාගෙන අත්තනෝමතිකව කටයුතු කිරීමේ ගතිය ද උත්සාහයෙන් අධිෂ්ඨානයෙන් කටයුතු කිරීමෙන් උසස් ම තත්ත්වයකට පත්කරමින් සෑම බලයක්ම ස්ථිර වශයෙන් ලබාදෙන ගතිය ද සෙනසුරුගේ ගතිය වේ. එකම අභිලාෂය තුළ ඉතා දිගු කාලයක්ම දුක්විඳ දිනාගැනීම ද කල්මැරීම ද සහ කල්දැමීම ද සියලු කටයුතු නීතියෙන් හෝ අවනිතීයෙන් වුව ද තමා අපේක්ෂා කරන අයුරින්ම තමාගේ බලයට නතුකර ගැනීම ද සෙනසුරුගේ ගතියයි. කොපමණ නරක ග්රහයෙකු වශයෙන් දැක්වුව ද හොඳ ග්රහයෙකු වනුයේ උත්සාහයෙන් යම් දෙයක් නොබිදෙන ලෙසට, ගොඩනැඟීමටත්, යන්ත්ර මන්ත්ර, ධ්යාන භාවනා, සිත එකඟ කිරීම, දියුණු කිරීම වැනි දේවල්වලට හා කලකිරීමේ තත්ත්වයටද, සෙනසුරුගේ දායකත්වය ඉතා ඉහළම තත්ත්වයෙන් ලබාදේ. මකර, කුම්භ දෙරැස සෙනසුරුට හිමිය. වක්ර වීමේ ගතිය සෙනසුරුගේ අත් නොහැරෙන පුරුද්දකි. එය නොවැරදීම සෑම වර්ෂයක දීම සිදු කෙරේ. එහෙත් රාශියක් අවසන් කර ඊළඟ රාශියට යායුතු කාලයට නොවරදවා ම සිදු කිරීම අනිවාර්යයෙන්ම සිදුකරනු ලබන සෙනසුරු කාටත් මිනිස් ජීවිතයේ දී මිනිසුන්ට අපූර්වතම පාඩම් හා අත්දැකීම් සම්භාරයක් ලබාදීමට ප්රමුඛ බවක් පෙන්වයි. එක අතකින් මිනිසා කිසියම් අන්දමේ සංයමකටක් නොදැනුවත්ම ස්වයං පාලනමය පසුබිමකත් හොබවා තබන්නේ ද මිනිසා එසේ කිරීමට පත්කරවා තබන්නේ ද කවුරුත් සෙනසුරුට දක්වනු ලබන බිය ගතිය නිසා ද විය හැකිය. එය ද මනුෂ්ය ජීවිතයකට නොදැනීම වක්රාකාරයෙන් සිදුකරවනු ලබන විශාල යහපතක් ද වශයෙන් දැක්විය හැක. දෙනවිට හොඳට ම දෙනවා, යනවට ශුද්ධ කරගෙනම යනවා යන්න ද ජනවහර තුළින් මතු කරදෙන තවත් කියමනකි. අතපය කඩනවා, අබ්බගාත කරවනවා යනු ද තවත් මතයෙකි, සෙනසුරු බලවත් වූයේ ද සියලු සම්පත් ලබාදෙන බව ද රජබව පවා ලබාදෙන බව ද තවත් මතයෙකි. මේ සියල්ල රඳා පවතිනුයේ අවිචාරවත්ව කටයුතු නොකර සිහි බුද්ධියෙන් යුතුව නිවැරදි බව තුළින් බව ද එබඳු මත දරන තත්ත්වයන් තුළින්ම මනාව ප්රත්යක්ෂ කොට දෙන බව ද සාධක සහිතව ම අපට ම ඔප්පුකර පෙන්වීම ද නොමනා බුද්ධිය ඊට හේතු වන බව ද සෙනසුරු විසින්ම ඔප්පු කරවන්නේය. ශනී කුම්භයේ මුලත්රිකෝණ බලයෙන් යුක්තවනු ලබන අතර මකරයේ දී ස්වක්ෂේත්ර වේ. වෘෂභ, තුලා දෙකේදී උච්ච බලයක් ගනී. (වෘෂභය මිත්ර යැයි ද මතයෙකි) කටකය, වෘශ්චිකය සතුරු වශයෙන් ද මේෂය නීච වශයෙන් ද පෙන්වා දී ඇත. ශනිට ගති දෙකකි. මකරයේදී ලෞකික ගතියත්, කුම්භයේදී ලෝකෝත්තර ගතියත් ප්රකාශ කරවයි. මේ නිසා ම මකරයෙන් උපන් අය ලෞකික දියුණුව පිළිබඳව තද ඇල්මකින් යුක්තව උත්සාහ වන්තව මෙන්ම තද ආත්මාර්ථකාමීවම කටයුතු කිරීමට පෙළඹෙන බවත් දියුණුව සැප සම්පත් පිළිබඳව ඇති අසීමිත වූ තෘෂ්ණාධික බව නිසාම ඕනෑම අසීරු කාර්යයක් ඉදිරියට ගෙනයෑමත්, ඉන් ස්වකීය ඉෂ්ටාර්ථය ගොඩනඟා ගැනීමටත් හැකියාව හා වාසනාව ඇති අතිදක්ෂ ඵලදායී මිනිසුන් බවට පත්වන අවස්ථා බහුල කර ගනී. කුම්භයේදී ශනී තමාගේ ලෝකෝත්තර ගති පැවතුම් විහිඳා කටයුතු කරනු ලබයි. මෙයින් උපන් අය විශේෂ වශයෙන්ම කුමන අයුරකින් හෝ ජන සේවයන්හි ද පොදු කටයුතුවලදී ද මූලිකත්වයක් ගෙන කටයුතු කරන්නට නිතරම ඉදිරිපත් වන්නෝ මෙන්ම, සමජයේ අභිවෘද්ධිය උදෙසා කෙරෙන්නා වූ විශාල සත් ව්යාපාර තුළ මූලිකත්වයක් දරන අය වශයෙන් ඉදිරිපත් වන්නෝ ද ගෞරවනීය බවක් හිමිකරගැනීමේ තත්ත්වය කුම්භයට හිමි කර දෙනු ඇත. එමෙන්ම කුම්භයේ ජනිත වූවන් ආත්මාර්ථකාමී බවින් වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම තොරව උසස්ම තත්ත්වයේම පරිත්යාගශීලීත්වයෙන් ද, අන්යයන් වෙනුවෙන් කැපවීම්වලට කැමැත්තෝ ද බිහිවනවා මෙන්ම මෙයින් ද වැඩි වශයෙන්ම ඉස්මතු කරවනු ලබන්නේ ශනිගේ ලෝකෝත්තර ගතියයි. කෙසේ නමුත් අන්ය සියලුම ග්රහයන්ට වඩා ශුභඵල ද අශුභඵල ද ගෙන දීමේ ප්රමුඛස්ථානයක් සෙනසුරුට හිමිවන බව ද ප්රකට කරුණකි. කොරගසමින් ඇවිදින දුබලයෙකු ලෙසින් ශනි සංකේතවත් කොට ශනි හඳුන්වන අතර, දුක හඳුනන බව ද දුක්විඳ ගැනීමේ හැකියාව ද කලබල නොවී සෙමෙන් ස්වකීය කරගෙන යෑමේ තත්ත්වය ද ඒ තුළින් පළකරවනු ඇත. ඕනෑම දෙයකට සූදානම් බව ද දුක සැප දෙකට ම ඔරොත්තු දෙන බව ද සැපතට වඩා දුකට සූදානම් බව ද ඒ නිසා ම පීඩාකාරී බවින් මිදීමටත්, අඳුරින් එළිය ලබාගැනීමටත් කැපවෙන බවක් ද ඉන් ප්රකාශිතය. දර්ශනය, න්යාය, පර්යේෂණ, ධ්යාන, භාවනානුයෝගිවීම හා දැඩිවුත් තියුණු වුවත් විඥානයකින් හා පැහැදිලි අවබෝධයකින් කටයුතු කර ගැනීමේ හැකියාව ද කරනු ලබන කුමන කාර්යයක් තුළ හෝ නිපුණත්වයක් ඇති කර ගැනීම හා සාමකාමී බවට ගරු කිරීම ද එහෙත් තමාගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන්කොට ඒ වෙනුවෙන් දිවි පරදුවට තබා කටයුතු කිරීම ද සෙනසුරු ගේ බලයට නතුවූ අයගේ සිරිත මෙන්ම පැවතුම ද වී ඇත. විශාල බැමිවල විශාල ගල් රඳවාලීමට සක්කා ගල ප්රධාන වශයෙන් උපයෝගි වන්නාසේ, දේශපාලනය වශයෙන්, සමාජමය වශයෙන් හා වෙනත් ඕනෑම ව්යාපාරයන් රඳවා ගැනීමටත්, එහි පැවැත්මටත්, කුඩාම තැන පටන්, කම්කරුවා වශයෙනුත් සේවකයන් වශයෙනුත් ශනි ලබාදෙන දායකත්වය විශාල වේසක්කය, මෙන්ම මුක්කුව වශයෙන් සෙනසුරු හැඳින්වූයේ ද ඒ නිසාවෙනි. යමක් නිසිලෙස ස්ථාපිත කරවීම, පදිංචි කරවීම හා නිර්මාණය කරවීම වැනි දේද සෙනසුරුගේ බලය නිසා ම සිදුකරවනු ඇත්තේය. නීතිය, ප්රතිපත්තිය, දඬුවම, උස්පහත් තරාතිරමකින් තොරව ක්රියාත්මක කරවීමේ තත්ත්වය ද මෙසේම සිදු වේ. සියලුදෙනා ම සෙනසුරුට බියවෙනවා මෙන්ම සෙනසුරුගේ බලය ලද කවුරුත් කිසිදෙයකටත් කිසිවෙකුටත්, කිසිවිටෙකත් බිය නොවී ඕනෑම කෙනෙකු සමග ගැටෙන ගතිය ද, එහිදී තරාතිරම නොව සාධාරණ බව ප්රධාන අරමුණ බව ඉස්මතු කොට පෙන්වීම ද සෙනසුරු ගේ විශේෂ වූ ගති පැවතුම් වේ. ශනි මකරයේදී කිසිවෙකුත් විශ්වාස නොකර, සුපරීක්ෂා කාරීව තම කටයුතු පවත්වා ගෙන යෑමද, සූක්ෂම ලෙසින් නොදැනෙන ලෙසින් පළිගන්නා ලබන ගතිය ද, තමාගේ දිනුම ම අපේක්ෂා කරන ගතිය ද කුම්භයේදී සාමකාමීව බොහෝ දෙනාගේ හිතසුව සඳහා ම කැප වෙන බව ද පෙන්වයි. එහෙත් මෙම ලග්න දෙක තුළින්ම ඉවසීමේ ගුණය ඉතා ඉහළින්ම ප්රකිශිත කරවනු ඇත්තේය. වර්ෂයේ ඇතැම් කාලවලදී රාත්රියේදී සෙනසුරු තාරකාව අහසේ දක්නට ලැබෙනු ඇත. ළා නිල් පැහැයට හුරුව අඳුරු වර්ණයෙන් යුතුව නමුත් ගිලුනාකාර වූ මනස්කාන්ත වූ රශ්මි වළලු සහිතව සෙනසුරු දර්ශනය වනු ලබයි. එම ස්ථානය දුර්වර්ණ බවකින් හා කටුගා දැමූ අයුරක ලක්ෂණයකින් යුතු ගුවන් තලයේ සෙනසුරු තරුව දිස්වනු ඇත. එහෙත් තරමක දීප්තිමත් බවකින් යුතුව සෙනසුරු බැබළෙනු ඇත. මේ නිසා ම එය හඳුනාගැනීමට පහසු බවක් ද පෙන්වයි. සෙනසුරු ග්රහයාගේ ඉරට දුර ප්රමාණය සැතපුම් 886000000ක් වශයෙන් ද ළංවූ විට 841000000ක් ද වශයෙන් දැක්වේ. ශනිගේ විෂ්කම්භය 74240ක් වශයෙන් ඇතැම් තැන්වල එය 75100ක් යැයි ද සඳහන් වේ. ශනිට හිරු වටා යෑමට වර්ෂ 29 1/2 ක් පමණ උවමනා කරන අතර තමා වටේ යෑමට පැය දහයකුත් මිනිත්තු විසිහතරක කාලයක් ගනී. නක්ෂත්ර කක්ෂයට සමීප වනවිට ගමන වක්ර වේ. ප්රමාද වේ. එහෙත් තීක්ෂණ වේ. තමාගේ කක්ෂයේදී ගමන ස්වභාවානුකූල වේ. එහෙත් රාහුගේ කක්ෂයට සමීප වනවිට ගමන ශීඝ්ර වේ. ශනීට චන්ද්රයන් දසදෙනකුගේ ආලෝක බලයක් ඇත්තේය. පඨවි ගුණයෙන් යුතු සෙනසුරු හිරුගේ පුත් යැයි ද මේ නිසා ම රිවිපුත් යනුවෙන් හැඳින්වීම ද මන්දගාමී නිල්, නිලඟ, ශනි යන නම්වලින් හඳුන්වාලීම ද කරනු ලබයි. නිලඟ යනු විෂ්ණු දෙවියන්ට ද යෙදෙන නාමයකි. ශනිගේ බලය පිළිබඳ කාරකත්වයක් විෂ්ණුට හිමිවනු ඇතත් ශනි විෂ්ණුටත් බටකොළ කැවිය යන කතාවක් ද අප අතර ඇත්තේය. ශනී ඇසීමට, දැරීමට, රැස්කිරීමට හා අවබෝධයට දැඩි කැමැත්ත පළ කරයි. විසිකිරීමට අකැමැතිය. ලෝභී වේ. එහෙත් යමක් අත්හැරීමට හෝ යමකින් මිදීමට එකඟ වන ගතිය ඇත. රූපය ඇට මිදුළු, මහලු බව, දුක, ජරාවට පත්වීම වැනි කරුණු ශනිගේ කාරක බවට යටත් වේ. කම්කරුවා ස්වාමී තත්ත්වයට පත් කරවයි. ශ්රමයෙන් ලබන දෙය ඉතිරි කර ගැනීමටත්, ඇති කැමැත්ත මෙන්ම අන්යයන් විසින් එහි භුක්තිය හිමි කර ගැනීමට ඇති තද අකමැත්ත ද වැඩි වශයෙන් මකරයේදී පළකරවනු ඇත. කුම්භයේදී මෙම ගතිය අඩුවෙන් ප්රකාශිතය. දිනීමේදී ඉදිරියට යන ගතිය ද පැරදීමේදී ආපස්සට යමින් මුළුගැන්වෙන ගතිය ද සෙනසුරුගෙන්ම ප්රකාශ කෙරෙනු ඇත. දුක සතුට මැද, ආදරය හා විවාහය සඳහා එකම චරිතයක්ම අපේක්ෂාවෙන් එකම බැඳීමක් තුළම රැඳීම ද ඒ මත ජීවිතාන්තය දක්වාම කටයුතු කිරීම ද කලකිරීම ද පසුකාලීනව විවාහ නාමමාත්රික තත්ත්වයන්ට පත්කරවීම ද සෙනසුරුගේම ගතියයි. මකර, කුම්භ, කටක, සිංහ මෙම ඵලය විශ්ෂයෙන්ම ඇතිකර දීම ද සිදු කෙරේ. වෙනත් අයහපත් යෝග නොමැති නම් පසුකාලීනව කල් යන්නට, ඒ තුළ ඉතා ශක්තිමත් බැම්මක් ද ඇති කර දේ. මෙබඳු අයට සෙනසුරු හතේ දිග් බලයෙන් යුක්ත වීමෙන් හා හත අධිපති හතේ යෙදීමෙන් භෞම වෛධව්ය සහිත විවාහ දෝෂ භංග කිරීමේ බලය ලබාදී සැපවත් කරලීමක් උරුම කර දෙනු ඇත්තේය. එසේම මෙබඳු විවාහ පූර්ණ මානසික බැඳීම් ඔස්සේම පමණක් පැවැත එන ස්ථිර වූ ඒවා වනු ලබන අතර, සිංහයේදී මෙහි ශුභඵල අඩු කරමින් අවසානයේදී ලෞකික තත්ත්වයෙන් බැහැරව ලෝකෝත්තර තත්ත්වයට ජීවිතය නැඹුරු කරවන බවක් ද ශනි විසින්ම ඇතිකර දෙනු ලබයි. සෙනසුරුගේ ගමන මන්දගාමී වුව ද, බුද්ධිමය ගමන ඉතාම ශීඝ්ර වේ. සියුම් වූ අවබෝධයක් සහිත වීම ද යමක් හොඳින් ධාරණය කර ගැනීම ද මනා වූ කළමනාකරණයට ද වියදම අඩු කිරීමට ද අඩු ලාභයට ද තොග වශයෙන් ලාභය ලබාගැනීමට ද බුද්ධිමත්ය. කුඩුකේඩු කමින් ද අරපිරිමැස්මෙන්ද අගතැන්පත්ය. එසේම කළයුතු යුතුකම් කැපී පෙනෙන සේ කිරීම ද (කොරහේ කුණු නෑඹිලියෙන් වැසීම වැනි ක්රියා ද) ශනිගේ පැවතුම් තුළින්ම අපට පෙන්වා දෙනු ඇත. උද්ඝෝෂණ, අරගල, විප්ලවීය ක්රියා ද ශනිගේ සංයෝගය හා බලය තුළ ගොඩනංවා දේ. සෙනසුරුගේ බලයෙන් උසස් පහත් කුලීන, කුලහීන, මහේශාක්ය, අල්පේශාක්ය සියලුම දෙනා නතුකර දෙනු ඇත. ඒ ඒ රාශිවල ඒ ඒ ස්ථාන හා කාරකත්වය මත, ඉතා බලවත් බවට මිනිසා පත්කරවනු ඇත. එසේම ශනි කේන්ද්රයේ තුන, පහ, නවය, දහය වැනි තැන්වල බලවත්ව උපත ලැබූ අය සත්යවාදී මෙන්ම බොහෝ දෙනා වෙනුවෙන් කටයුතු කරන, විශාල පිරිසක් යටතට ගැනීමේ හැකියාවෙන් ද, වාසනාවෙන් ද යුක්ත වන්නෝය. ඔවුන් කීර්තිමත් තත්ත්වයට ද පත්වන්නේ ද වෙති. ශනි දුර්වල වීමේ හේතුවෙන් වංචනික හා දෙබිඩි පැවතුම් ද දුඃඛිත බව ද දීන බව ද තරාතිරම, කුලය, ක්රියාව යන කරුණුවලින් පහත් බව ද ජඩ බව ද මන්ද බුද්ධික වීම ද බන්ධනාගාර වැනි තැන්වල ලැගීම ද උරුම කර දේ. ඒරාෂ්ටකයේදී ශනි ලබාදෙන තත්ත්වය, ඒරාෂ්ටකය යෙදී තිබුණ අයුරින් හා උපතේ සිටි ආකාරය ද ලැබූ හා පිරිනැමූ ශුභාශුභ දෘෂ්ටීන් මත ඵලය අඩු වැඩි වීම හෝ යහපත, අයහපත සිදුවන අන්දම තීරණය වේ. ඒරාෂ්ටකය යනු බුද්ධියෙන්ම දිනාගත හැකි හා බුද්ධියෙන්ම දිනාගතයුතු පෙරකර්මය හේතුවෙන් බුද්ධිය මොටවීම නිසාම නොයෙකුත් ව්යසනයන්ට ලක්වන, කිසිවක් නිවැරදි ලෙස කරකියා ගැනීමට නොහැකිව අසරණ නොවී මානසික, සමාජයීක, ප්රායෝගික, පොදු මෙන්ම පෞද්ගලික ආදී කුමනම හෝ තම කටයුතු කරන තත්ත්වය අනුව (යමෙකු හැරෙන පැත්තට අවුල හෝ ප්රශ්නය මතුකරදී) කරදරය අලාභය හෝ විනාශය සිදු කර දෙනු ඇත්තේය. පූර්ව අකුසල කර්මය නිසා ඉස්මතු කරදෙන මෙම අශුභ විපාකයන් යම් තරමකට හෝ අඩු කර ගැනීමක් හෝ මඟ හරවා ගැනීමක් කළ හැකි වනුයේ පෙර පිනෙන් පමණක්මය. එහෙත් එය අහෝසි වීමක් හෝ මුළුමනින්ම අහෝසි කරවීමක් ද නොවන්නේය. මිනිසෙකු සතු පෙර පින යනු බුද්ධියයි. බුද්ධිය පැහැදිලි ලෙස හැසිරවිය හැකි නම් මෙම ඒරාෂ්ටකය ද අභිවෘද්ධියට හේතුවන ලෙස කටයුතුකර ගැනීම බුද්ධිමත්, වාසනාවන්තයන්ට ඒකාන්ත වශයෙන්ම හැකි වන්නේ ද වේ. එය ඒරාෂ්ටකයේ සැඟවී ඇති ප්රධානම ශුභඵලය ද වන්නේය. මරණයෙන් වැළකීම යමෙකුට කළ නොහැකි නමුත් මෙම ඒරාෂ්ටකයේ දැක්වෙන අශුභ ඵලය යම්තාක් දුරට සමනය කරගත හැක්කේ බුද්ධියෙන්ම පමණි. මෙම කාලවලදී කපුටන්ට ගිතෙල් මිශ්ර ආහාර, පහන්තිර දීම කවුරුත් කරන්නේ ද කපුටා සෙනසුරු ගේ වාහනය බව පිළිගත් මතයක් එදා සිට අප අතරම ගොඩනැඟී ඇති බැවින්ය. ඒරාෂ්ටකයේදී බොහෝවිට එම ජන්මියා කුමනම ආකාරයකින් වුව ද විඳ වීමට ලක්කරනු ලැබීම කරවනු ලබයි. කේන්ද්රයේ තවත් අයහපත් යෝග සහිත වූයේ නම් මරණය ද සිදු කරවයි. සඳු අටේ දුර්වලව සිටියදී ශනි ද දුර්වල වී අටවැන්නේ යෙදෙන විට ජන්මය හා අෂ්ටමය ද එකවර යෙදෙන බැවින් එය ඉතා දරුණු තත්ත්වයකින් විපාක දීමට හේතුවක් වනු ඇත. කෙනෙකුගේ මරණය සිදු වීමට එය කාරක වීමට ද හොඳින්ම ඉඩකඩ ඇත්තේය. ඉන්දියානු ක්රම අනුව ඒරාෂ්ටකය කිහිප ආකාරයට කිහිප වතාවකට පෙන්නුම් කර ඇත්තේය. දොළහ ලග්නය දෙක යන තැන්වල ශනිගේ ගමන යේලර ශනි වශයෙන් සඳු සිටින තැන ශනි ගමන් කරන විට ජන්ම ශනි වශයෙන් (2 1/2) අටේ ශනි ගමන් කරන කාලය අට්ටම ශනි වශයෙන් ද (2 1/2), පොන්ගු ශනි, මංග ශනි, කන්ද ශනි වශයෙන් මෙම සියලු තත්ත්වයන්ම ඒරාෂ්ටක තත්ත්වයේ සලකා දැක්වෙනු ඇත. මේදී මංගු ශනිගේ කාලය ජන්මයාට සමාන කරවා දක්වන අතර ඒ තුළ විනාශය හෝ මරණය ද කන්ද ශනිගේ කාලය විපත් සහිතව ගෙවන බව ද පොංගු ශනිගේ කාලය ඉතා ශුභ ඵල ගෙන දෙන බව ද දක්වයි. පෙර කියන ලද අනෙක්වා ඉතා අයහපත්ව පලදී නිර්දන බව ද දුඛිත බව ගෙනදෙනබව ද දක්වා ඇත්තේය. ඒරි යනු රාශියයි. අෂ්ටකය යනු අටවැන්නයි, ඒරි අෂ්ටක = ඒරාෂ්ටක වේ. රාශිය ගැනෙනුයේ චන්ද්රයා මුල් වීමෙන්ය. සඳුගෙන් අට වැන්න ඒරාෂ්ටක වේ. අන්ය ස්ථාන බාධක වේ. මේ සියලු තැන්ම ඒරාෂ්ටක ලෙසින් හඳුන්වන්නට බොහෝ දෙනා පෙළඹේ. එනමුත් අපට ද ශනි දොළහ ලග්න දෙක, ඒරාෂ්ටක වශයෙන් ගැනීමට පුරුදු වී ඇත. ශනී සිටින තැන සිට සඳු සිටින තැනට ඒම ජන්ම ඒරාෂ්ටකය වේ. කෙසේ නමුදු මෙම කාලසීමාවන් අපල ගෙනදෙනු ලබන කාලසීමාවන් බැවින් ඒවා බුද්ධිමත්ව සිහියෙන්ම හසුරුවා ගැනීම කිරීමෙන්ම යහපතක් සිදුකරගැනීමේ ඉඩකඩ වැඩිය. අන්ය සියලු ග්රහයන් විසින් ගෙනදෙනු ලබන ඵලයන්ට වඩා දුක, සැප මෙන්ම සතුට විනාශය, අභිවෘද්ධිය, එක එල්ලේම ප්රකාශ කරවන හා යමෙකුට යමක් කුමනම අයුරකින් හෝ ප්රත්යක්ෂ කරවනුයේ සෙනසුරු පමණකි. ශනි උච්ච, ස්වක්ෂේත්ර, මිත්ර කෙෂ්ත්ර තත්ත්වයන් තුළ වීමෙන් ශුභඵල ද දුර්වල හෝ නීච අයහපත් ඵල ද ගෙන දෙන බව ප්රකටය. ශනි මකරයේ වීමෙන් එම ස්ථානයන් කේන්දරයේ හත, පහ, නවය, දහය යන ස්ථාන වීමෙන් වඩාත් ශුභඵල ද එම ස්ථාන කුම්භය වීමෙන් ද එසේම ශුභඵල ද දෙන බව දැක්වේ. වර්ෂයකට වරක් සිදුවන ශනිගේ වක්ර ගමන සිදුවන මෙම කාලය තුළදී එම කේන්ද්ර හිමියාගේ කේන්ද්රවල යෙදෙන කාරකත්වයට අදාළ වන අයුරින් එයින් නිවේදනය වනු ලබන සියලුම දේවල් ප්රමාද වීම්, ඇණහිටීම් හෝ බිඳවැටීම් සිදු කර සියලුම දේ අඩාල කරවන අතර යළි නිවෘතයේ පටන් ටිකෙන් ටික වැඩි කොටසක් යථාතත්ත්වයට පත්කරවනු ලබන්නේය. එහෙත් උත්තරායන රාශියක යෙදුණ සෙනසුරු, එබඳු රාශියක වක්ර වීමෙන් වේෂ්ටා බලයෙන් යුක්ත වන බවත් මෙකී සෙනසුරුම යම් තැනක රාජ්යය ද යම්තැනක ශ්රීය ද ලබාදෙන බව නාරද සංහිතාව තුළින් පෙන්වාදී ඇත. යම් කරුණක දී උත්සාහය අතනොහැර සටන් කිරීමත් ඒවා නිශ්චිත වශයෙන්ම දිනවා දීමක් ශනිගේය. ශනි හතේ යෙදීමෙන් ජාතිය ආගම තරාතිරම, වයස වැනි වෙනස්කම් සහිත විවාහයක් සිදු කරවයි. ශනි බලයෙන් යුතු නම් එබඳු නොගැළපීම් ඇතත් සමාජයේ ප්රකට යහපත් අයෙකු විවාහයට ලබාදීම සිදුකරවයි. කුම්භයේදී බලවත් යහපත් විවාහයක් සිදු කරවන නමුත් එය පසුකාලීනව නාමමාත්රික තත්ත්වයකට පත්කොට එම ජන්මීන් බොහෝ විට ලෝකෝත්තර තත්ත්වයට පත්කරවනු ඇත. පස්වැන්නේ ශනි අධ්යාපනයට බාධා ගෙනදෙන නමුත් කාර්මික හා යන්ත්රසූත්ර පිළිබඳ දැනුම තුළ මනා නිපුණත්වයක් ලබාදේ. මේ සියලු තැනක ශුභ වීමෙන් ඵලය විපරීත කරවයි. දුර්වල ශනි හය, අට, දොළහ යන තැන්වලදී කල්පවතිනු ලබන විඳවනු ලබන කටුක රෝගයන්ට ගොදුරු වනු ඇත. මිත්රත්වය තුළ සදාකාලික බැඳීමක් වචනය වෙනස් නොකිරීමට නිතරම ප්රිය කරනු ඇත. සෙනසුරු සිටින අයුර හොඳය නරකය යන්න තීරණය වන්නේ ලබන දෘෂ්ටි හා උපතේදී සිටින තත්ත්වය මතය. මහ දශා අන්තර් දශා ඵල ද එසේමය. මෙම ශනිගේ තත්ත්වය නිසි ලෙස ලබන්නා වූ අවබෝධය, ශනිගේ ශුභාශුභ බව පිළිගැනීමට හා විඳ ගැනීමට හේතු වන ප්රඥා ගොචර වූ ප්රධානම රුකුලක්ම වන්නේය.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk