Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

සුබ අසුබ පල හෙළි කරන ශාස්ත්රධාරී භුමි සහ සතුරු රේඛා

1 year ago 7 Min read
Subha.lk
අත්ලේ ප්රධාන රේඛාවන්ට අමතරව සමහර අයගේ අත්වල පිහිටන තවත් ලුහුඬු රේඛා කිහිපයක් පිළිබඳවයි මෙවර ලිපියෙන් ඔබව දැනුවත් කරන්නේ. ඒ තමයි ශාස්ත්රධාරී රේඛාව, භූමි රේඛාව, ජන්ම රේඛාව සහ සතුරු රේඛාව. දැන් අපි බලමු එම රේඛාවන් පිහිටා ඇති ආකාරය හා එමඟින් ඔබට ලැබෙන සුබ අසුබ කෙසේද කියා. දැන් ඔබ බලන්න මේ සමඟ පළ වී ඇති රූප සටහන දෙස අංක (1). මැණික් කටු රේඛා ආශ්රයෙන් ජීවන රේඛාවෙන් ශීර්ෂ රේඛාවෙන් හෝ හෘදය රේඛාවෙන් ආරම්භ වෙන ශාස්ත්රධාර් රේඛාව පිහිටන්නේ කීර්ති රේඛාවටත්, සුඛ රේඛාවටත් මැදිවෙලා බව ඔබට අවබෝධ වෙන්න ඕන. කීර්ති රේඛාවේ සාමාන්ය පිහිටීමත් සුඛ රේඛාවේ සාමාන්ය පිහිටීමත් (ශාස්ත්රධාරී රේඛාවේ දෙපැත්ත) කෙටි ඉරිවලින් සලකුණු කර ඇති නිසා එම රේඛාව පිහිටා ඇත්තේ කෙසේද කියා ඔබට පැහැදිලි වනු ඇත. කීර්ති රේඛාව රවි මණ්ඩලයෙන් අවසන් වෙන බවත්, සුඛ රේඛාව බුද්ධ මණ්ඩලෙන් අවසන් වන බවත් පෙර පළ වූ ලිපිවලින් ඔබ දැනුවත් වෙලා ඇති. නමුත් ශාස්ත්රධාරී රේඛාව අවසන් වන්නේ වෙද ඇඟිල්ලටත්, සුළැඟිල්ලටත් අතර ඇති නිම්න ප්රදේශයෙන්. වෙනත් අයුරකින් පැහැදිලි කරනවා නම් හරියටම ඇඟිලිකරු දෙක අතරින්. මේ අයුරින් කාගේ හෝ අතක රේඛාවක් පිහිටා තිබේ නම් එය ශාස්ත්රධාර් රේඛාව යැයි කිව හැකිය. ශාස්ත්රධාරී රේඛාව හැම කෙනකුගේම අත්වල පිහිටන රේඛාවක් නොවේ. නොයෙකුත් විධියේ ශිල්ප ශාස්ත්ර පිළිබඳව මනා ප්රවීණතාවක් ලැබූ විශාරදයන්ගේ අත්වල පමණයි බොහෝ ව්ට මෙම රේඛාව දැකිය හැක්කේ. උපතින් උරුමවූ හෝ උත්සාහයෙන් ඇතිකර ගන්නා ලද අසහාය බුද්ධි බලයක් ඇති අයගේ අත්වලත් මෙම රේඛාව පිහිටිය හැකිය. ජ්යොතිර්වේදීන්, පුවත්පත් කලාවේදීන්, ගත් කතුවරුන්, විද්යාඥයන් චින්තකයන්, කවියන් වැනි ප්රසිද්ධ ජීවිත ගත කරන අයගේ අත්වල ශාස්ත්රධාරී රේඛාව ඇති බව පර්යේෂණවලින් ඔප්පු වී ඇත. ශාස්ත්රධාරී රේඛාව හක්ගෙඩි ලකුණකින් අවසන්වීම වඩාත්ම සුබ ඵල ගෙන දෙන පිහිටීමක් වේ. දස දිශාවන්හි පැතිර ගිය ඉමහත් කීර්තියක් ඇති ඔවුන් මිනිසත් බවේ උතුම් සංකේතයක් වෙයි. එම රේඛාව මත මත්ස්ය (මාළුවා) සලකුණක් තිබීමද ඒ වගේම සුබ පිහිටීමක්. භූමි රේඛාව - මැණික් කටු රේඛා ආශ්රයෙන් ආරම්භවී ජීවන රේඛාවේ අගභාගය ඡේදනය කරමින් මහපට ඇඟිල්ල දෙසට විහිද යන අංක 2 සලකුණු කර ඇති රේඛාව දැන් හඳුනා ගන්න. එය තමයි භුමි රේඛාව ඉඩකඩම් වගේම භූමියෙන් ලබා ගන්නා මැණික්, නිදන් වස්තු වැනි දේවලට හිමිකරුවන් වන අයගේ අත්වල බොහෝ විට භූමි රේඛාව දැකිය හැකි වේ. මැටි, ගල්, වැලි, ඛනිජ සම්පත් උපයෝගි කරගන්නා ව්යපාරවලින් දියුණු වන අයගේ අත්වලද පිහිටිය හැකි භූමි රේඛාව වෙනත් ඉරිවලින් කැපී යෑම සුබ නොවේ. ඉඩකඩම් සම්බන්ධ නඩු හබ, අවුල් වියවුල් ඇතිවීමට එවැනි ලක්ෂණ හේතුවිය හැකිය. දූපත් ලකුණු, කළු ලප වැටීමද ඒ වගේම අශුභ ඵල ගෙන දෙයි. ඉඩකඩම් තමන්ගේම වාසයට තීන්දු වන නිසා භූමි රේඛාව මත දිස්වන චතුරස්ර ලකුණු සුබ පිහිටීමක් වේ. ජන්ම රේඛාව මැණික් කටු රේඛා ආශ්රයෙන් ආරම්භ වී ජීවන රේඛාවේ අවසාන කෙළවර කපාගෙන උඩු අත බලා විහිද යන රේඛාව අංක 3න් පෙන්නුම් කර ඇත. එම රේඛාව ජන්ම රේඛාවයි. එම රේඛාව පැහැදිලිව දර්ශනය වේ නම් එය වාසනාවන්ත පිහිටීමක්. පූර්ව ආත්ම භාවයන්හිදී කරන ලද නොමඳ පින්බල ඇති ඔවුහු අනේක විධ භවභෝග සම්පත් ලැබීමේ භාග්යවන්තයෝ වෙති. එවැනි පිහිටීම් ඇති අයට උපන් භූමියේ ජීවත්වීමේ හා උපන් භූමියේ ව්යාපාර ආදිය ආරම්භ කිරීමෙන් ශීඝ්ර දියුණුවක් ලබාගත හැකිය. කාගේ හෝ අතක ජන්ම රේඛාව කැපී හෝ කැඩී ගොස් විකෘති වී ඇති නම් එවැනි අයට උපන් භූමියේ ජීවත්වීමෙන් හෝ උපන් භූමියේ ව්යාපාර කිරීමෙන් හෝ දියුණු විය හැකි නොවේ. ජන්ම රේඛාව මත දූපත් ලකුණු හෝ කතිර ලකුණු වැටීමද ඒ වගේම අශුභයි. එවැනි පිහිටීම් ඇති අයට විදේශ රටවලදී හදිසි විපත්, අකල් මරණ පවා සිදුවිය හැකිය. රේඛාව මත චතුරස්රයක ලකුණක් තිබේ නම් ඔහු හෝ ඇයට ජීවිතයට එල්ල වන අනේකවිධ බාධක මැඬපවත්වා අයෝමය ආත්ම ශක්තියකින් ඉදිරියට යා හැකිය. සතුරු රේඛාව - රූප සටහනේ අංක 4න් දක්වා ඇත්තේ සතුරු රේඛාවයි. ජීවන රේඛාවේ මුල් භාගය කපාගෙන ගුරු මණ්ඩලයටත්, ශනි මණ්ඩලයටත් අතර ඇති ප්රදේශයට විහිදයෑම සතුරු රේඛාවේ සාමාන්ය පිහිටීමයි. එම සතුරු රේඛාව හොඳ පිහිටීමක් නොවේ. සතුරු වචනය කියවනවාත් සමඟම ඔබට හිතෙනවා ඇති කියන්න යන්නේ කුමක්ද කියා. සතුරු රේඛාව යම් කෙනකුගේ අතක පිහිටලා තිබේ නම් එම අයට බොහෝ සතුරන් සිටින බව මතක තබා ගත යුතුය. සමහර අයගේ සතුරු රේඛාව වෙනත් ඉර්වලින් කැපී ඇත්නම් ඔවුනට සතුරු බලවේග අභිභවා නැගී සිටීමේ ආත්ම ශක්තිය, බලය හා හැකියාව ඇති බව කියැවේ. සතුරු රේඛාව දෙවැනි රේඛාවකිනුත් කැපී ඇත්නම් සතුරන් විසින් දෙනු ලබන වස විස කැවීමකින් හෝ සතුරන් විසින් කරනු ලබන හදි හූනියම්වලින් විපතක් සිදුවීමට බොහෝ විට ඉඩ ඇත. දැන් ඔබ ඔබේ අත් දෙකම දිග හැර බලන්න මෙවැනි රේඛා එකම විදියට අත්දෙකේම පිහිටලා තිබේද කියා. එකම ආකාරයට අත්දෙකේම එම සලකුණු ඇත්නම් එහි පලාපල අනිවාර්යයෙන්ම ලැබිය හැකිය. එක අතක පමණක් එම සලකුණු ඇත්නම් පලාපල අවම වේ.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk