Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

මේ විශේෂ සලකුණු ඔබේ අත්ලෙත් තිබෙනවාද බලන්න.

1 year ago 7 Min read
Subha.lk
අත්ලක පිහිටන තවත් සුවිශේෂ රේඛාවන් දෙකක් පිළිබඳවයි අද ඔබට හඳුන්වාදෙන්නේ. එය තමයි සිකුරු චක්ර රේඛාව හා මහා චතුරස්රය. මෙම රේඛාව බොහෝදෙනකුගේ අත්වල දක්නට නොලැබුණත් එම රේඛාව පිහිටා ඇත්නම් එය එම පුද්ගලයාගේ චරිතය පිළබඳව තේරුම් ගැනීමට හැකි සාක්ෂියක්ද වෙයි. සිකුරු වළල්ල, ශුක්ර මේඛලාව, අනංග දුන්න නමිනුත් හඳුන්වන්නෙත් මෙම රේඛාවයි. දබර ඇඟිල්ලටත් මැද ඇඟිල්ලටත් අතර ඇති ප්රදේශයෙන් ආරම්භ වන සිකුරු චක්ර රේඛාව අර්ධ කවාකාර හැඩයක් වෙද ඇඟිල්ලටත්, සුළඟිල්ලටත් අතර ඇති ප්රදේශයෙන් අවසන් වෙයි. සමහර අතක ගුරු මණ්ඩලය හෝ ශනි මණ්ඩලය ආශ්රයෙන් ආරම්භ වන මෙම රේඛාව බුධ මණ්ඩල ආශ්රයෙන් අවසන් වීමටද පුළුවන. සිකුරු චක්ර රේඛාවේ සාමාන්ය පිහිටීම රූප සටහනින් පරීක්ෂා කරන්න. සිකුරු චක්ර රේඛාව පිළිබඳව නොයෙකුත් විධියේ මතභේද ඇති බව පළමු කොටම අපි මතක තබාගත යුතු දෙයක්. අධික කාමාශාවන් ඇති අයගේ අත්වල බොහෝ විට මෙම රේඛාව දර්ශනය වෙයි. සිකුරු රස කාමයට අධිපති ග්රහයා වන අතර චන්ද්රයා හෙවත් සඳු සිතට මෙන්ම සකල භෞතික පදාර්ථයන් කෙරෙහිම බලපාන ග්රහයාය. මේ අනුව සැලකීමේදී සිකුරුගෙයි චන්ද්රයාගෙයි ගති ගුණ සිකුරු චක්ර රේඛාව සම්බන්ධයෙන් අගේට ගැළපේවි. සිකුරු චක්ර රේඛාව විස්තර කරන්නට පළමු එම අයගේ සිකුරු මණ්ඩලය හා චන්ද්ර මණ්ඩලය පරීක්ෂා කිරීමට සිදුවන්නේ ඒ නිසාය. මනාව පිහිටි සිකුරු මණ්ඩලයක් හා චන්ද්ර මණ්ඩලයක් ඇති අතක සිකුරු වක් රේඛාවකුත් මනාව පිහිටා ඇත්නම් ඔහු හෝ ඇය සුපිරි තත්ත්වයේ මනමාලයෙක් හෝ මනමාලියක් වන බව ඔබට තේරුම් ගත හැකි වේවි. සිකුරු චක්ර රේඛාව තරුණ යේදී ක්රියාත්මක වන රේඛාවක් බව ලෝක ප්රසිද්ධ හස්ත රේඛා විශේෂඥවරියක් වන කැතරින් සැන්ට් හිල් මැතිනිය විසින් ප්රකාශ කර ඇත. මනා හැඩයෙන් හා මනා වර්ණයෙන් පැහැදිලිව සටහන් වී ඇති සිකුරු චක්ර රේඛාව වඩාත්ම සුබපල දෙන පිහිටීමකි. නොයෙකුත් කලා විෂයන් කෙරෙහි දක්ෂතා දක්වන සිකුරු චක්ර රේඛාව හිමියන්ට විසිතුරු භාණ්ඩ නිෂ්පාදනයෙන්, සංගීත භාණ්ඩ නිෂ පාදනයෙන් මෙන්ම සාප්පු බඩු නිෂ්පාදනයෙනුත් විශාල ආදායම් මාර්ග සලසා ගැනීමට වාසනාව ඇත. ලිංගික විද්යාව පිළිබඳ පොත්පත් කියවීමට මෙන්ම රාගය දනවන චිත්රපට බලන්නත් රුචියක් දක්වන අයගේ අත්වලත් මෙම රේඛාව පිහිටිය හැකිය. සර්ව සුබවාදී දෘෂ්ටි කෝණයකින් ජීවිතය දෙස බලන ඔවුන් විවිධත්වය හා විනෝදය අගය කරති. හොඳට ආදරය කරන්න දන්න ඔවුන්ගේ යුග ජීවිතයත් ඉතා වාසනාවන්තය. කාගේ හෝ අතක සිකුරු චක්ර රේඛාව එක්කම කීර්ති රේඛාවත් මනාව පිහිටා ඇත්නම් ඔහු හෝ ඇය ලේඛකයෙක්, සංගීතඥයෙක්, නළුවෙක් හෝ චිත්රපට නිෂ්පාදකයෙක් හෝ විය හැකිය. ඕනෑම දෙයක හොඳ වගේම නරකත් තිබිය හැකිය. ඒක ලෝක ස්වභාවයයි. සිකුරු වළල්ල ගැනත් සඳහන් කළ හැක්කේ එයයි. තැනින් තැන කැඩී හෝ කැපී ගිය සිකුරු චක්ර රේඛාව අසුබය. සල්ලාල ක්රියාවලට යෑමෙන් ධනය, තත්ත්වය වගේම ජීවිතයත් විනාශ කර ගැනීමට හේතුවන පිහිටීමක් වශයෙනුයි එය හැඳින්විය හැක්කේ. ශනි මණ්ඩලයෙන් ආරම්භ වන සිකුරු වළල්ල බුධ මණ්ඩලයෙන් කෙළවර වීමද සුබ නොවේ. දුර්වල මෙම රේඛාවක් ඇති අයට බොහෝ විට ලිංගික ආබාධද ඇති විය හැකිය. ලිංගික තෘප්තිය ලැබීමේ අසීමිත ආශාව එයට හේතුවිය හැකිය. එවැනි පිහිටීම් ඇති කාන්තාවන්ටද ගර්භාශගත රෝග ඇති විය හැකිය. සිකුරු චක්ර රේඛාව මත වැටෙන තාරකා ලකුණින් සමාජ රෝග වැලඳී ජීවිතය අඳුරු කරගත් පුද්ගලයා හඳුනාගත හැකිය. විවාහ වීමට පළමුව පෙම් සබඳතා කිහිපයක් ඇතිකර ගැනීම මෙම රේඛාව ඇති අයගේ චරිතයේ විශේෂ ලක්ෂණයකි. විවාහ වුවත් අනිසි සම්බන්ධතාවන් ඇති කරගැනීම ඒ අයගේ බලවත් ආශාවක් වෙයි. මෙවැනි ගතිගුණ නිසා ඔවුන්ගේ විවාහ ජීවිතයේ අවුල් වියවුල් බොහෝවිට සිදුවිය හැකිය. එසේ වුවත් වෙනත් සුබ පිහිටීම් අත්ලේ ඇත්නම් එවැනි දෝෂ භංග විය හැකිය. මෙය කියවන ඔබ බිරියක් හෝ ස්වාමිපුරුෂයෙක් විය හැකිය. නැතිනම් පෙම්වතෙක් හෝ පෙම්වතියක් වීමටද පුළුවන. එසේ නම් එයාගේ අත්ලේත් මෙම මනමාල රේඛා වළල්ල වැටිලා තියෙනවද කියලා පරීක්ෂා කිරීම ඔබට වඩා ප්රයෝජනවත් වේවි. මහා චතුරස්රය හෘදය රේඛාවටත් ශීර්ෂ රේඛාවටත් අතර ප්රදේශය මහා චතුරස්රය නමින් හඳුන්වයි. මෙම චතුරස්රය කෙනෙකුගේ අතක දැකිය හැක්කේ සුබ රේඛාව හෝ කීර්ති රේඛාව පැහැදිලිව පිහිටි අත්වලයි. සුබ රේඛාව යනු ජීවන රේඛාවේ අවසානයේ සිට සුළැඟිල්ල මුල (බුධ මණ්ඩලය) දක්වා විහිදෙන රේඛාවයි. නැතිනම් වෙදැඟිල්ල මුල (රවි) දක්වා යන කීර්ති රේඛාවයි. රූප සටහනින් එම රේඛා පැහැදිලි වනු ඇත. හෘදය රේඛාව හා ශීර්ෂ රේඛා සරල සමාන්තරව ගමන් කරමින් මධ්යම ප්රමාණයෙන් නිර්මාණය වී ඇති මහා චතුරස්රය ඉතාමත් සුබ පිහිටීමක්. ඕනෑම දෙයක් ගැන සාධාරණ තීරණයක් ගැනීමේ හැකියාව ඇති එවැනි අය පොදු ජනතාවගේ සිතුම් පැතුම් අගය කරයි. පැහැදිලිව දර්ශනය වන මහා චතුරස්රයක් කාගේ හෝ අතක පිහිටියේ නම් ඔහු හෝ ඇය ඉතා වාසනාවන්තයි. මහා චතුරස්රය ඉතා පටු නම් එමඟින් හෙළිවන්නේ පටු අදහස් ඇති අයකුයි. හදිසි තීරණ ගැනීම ඔවුන් තුළින් කැපී පෙනෙන විශේෂ ලක්ෂණයකි. එම චතුරස්රය වඩා පළල් නම් වඩාත්ම අසුබය. හැම දෙයක් ගැනම වැරැදි විධියට හිතන, බලන එවැනි අයට සමාජ සේවා කටයුතු කොහෙත්ම නොගැළපේ. මහා චතුරස්රය විකෘති වීම දූෂිත චරිතයක් ඇතිවීමට හේතු වේ. තාරකා ලකුණක් මහා චත්රරස්රය ඇතුළත කුමන ස්ථානයක පිහිටියත් සුබපල ලැබෙන බව ප්රසිද්ධ හස්ත රේඛා විශාරදයකු වන කෙයිරෝ විසින් ප්රකාශ කර ඇත. මහා චතුරස්රය මැද පිහිටි කතිරය හඳුන්වන්නේ ගුප්ත කතිරය නමිනි. එයද අත් හිමියාට සුබපල ගෙන දෙයි.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk