ජ්යොතිර් විද්යාවේ ආරම්භය හා විකාශය පිළිබඳ විමසීමක්
අත්දැකීම් සමග පරිණත වූ යමක් වටහාගත හැකි වූ මිනිස්සු ස්වකීය පරිසරයේ සිදුවන විවිධ වෙනස්කම්වලට ඉරහඳ පමණක් නොව සෙසු ග්රහ තාරකාවනුත් බලපාන බව වටහා ගත්හ. ඒ පිළිබඳව වඩාත් සංවේදී වූ ඔවුහු ජන ජීවිතයේ විවිධ වෙනස්කම් සහ අනාගතයේ සිදුවිය හැකි දේවල් අනුමාන කරමින් යම් අනාවැකි කීමට පටන් ගත්හ. ඉර හඳ ඇතුළු ග්රහ තාරකා පිළිබඳව වැඩිදුරටත් හදාරමින් විවිධ පරීක්ෂණ ඔස්සේ යම් නිගමනයන්ට එළැඹීමේ මෙම ක්රියාවලිය ජ්යොතිෂ් ශාස්ත්රයේ ආරම්භය විය.
ක්රි. පූ. 5000 කට පමණ පෙර ජ්යොතිෂ් ශ්රාස්ත්රය නම් මෙම විෂය බැබිලෝනියානු ශිෂ්ටාචාරයේ තිබූ බවටත්, මෙම කාල වකවානුවේ ඊජිප්තු ශිෂ්ටාචාරයේ මෙම විෂය දියුණු වෙමින් තිබූ බවටත් ලන්ඩන් කෞතුකාගාරයේ ඇති නටබුන් ඊට සාක්ෂි දරන බව විද්වතුන්ගේ මතයයි. පෙරදිග රටවල දියුණුවට පත් රාජ්යයන් ජ්යොතිෂයෙන් වැඩගත් අයුරු ඉතිහාසයෙන් පෙනේ. චීනය, සියම, බුරුමය ආදී රජවරු රාජ්ය නිලධාරීන් ලෙස ජ්යොතිස්ශාස්ත්රඥයන් පත් කර තිබූ බවටද, ඔවුනගේ වැරදි අනාගත කියමන් දඬුවන් කළ හැකි අපරාධ ලෙසටද ගණන් ගෙන තිබේ. අරාබි මිසර ජාතිකයන් තරු ගැන පරීක්ෂණ පවත්වද්දී ග්රීසිවරු වනචාරී මනුෂ්ය පිරිසක් බව පොත්පත්වලින් පෙනේ. ක්රි. පූ. 13 වෙනි ශත වර්ෂයේදී ජ්යොතිෂ්ශ්රාස්ත්රය පර්සියන්වරුන් විසින් ග්රීසියට ගෙන ගිය බවට ඉතිහාසය සාක්ෂි දරයි.
එසේම ක්රි. පූ. 13 වෙනි සියවස ග්රීසියේ ජ්යොතිෂ ගණිතය තුළින් ග්රහ ලෝකවල චලිතයන් පිළිබඳව නිශ්චිත විග්රහයන් ඉදිරිපත් කළ හෙයින් ලග්නය සහ ලග්න උදාව පිළිබඳ නිවැරදිව ගණනය කිරීමට හැකිව තිබේ. ග්රීසිය දියුණු වූ පසු ජ්යොතිෂ්ශ්රාස්ත්රය තව තවත් දියුණු වූ අතර මෙය ඔවුන්ගේ ශාස්ත්රයක් හැටියට පසු කාලවල රටවල්වල ප්රචලිත කර තිබේ. එනමුත් ග්රීක සංස්කෘතීන්යත් පෙර සිටම තාරකා ශාස්ත්රය හා ගණිත ක්රම සහිත ජ්යොතීර්විද්යා දැනුම් සම්භාරයක් පුරාණ භාරතයේ පැවති බවටත් සාක්ෂි ඇත. ජ්යොතිෂය ආරම්භය හා විකාශය හැම යුග ආරම්භයක ම සිදුවන්නේ යුග ආරම්භයෙන් පසු සත්ත්ව සංහතිය ක්රමක්රමයෙන් විකාශනය වීමත් එයින් මනුෂ්යත්වය පහළ වීමත් සමගයි. පුරාණ ගොවි යුගයේ ජීවත් වූ මිනිසුන් විසින් නොව අධ්යාත්මික ශක්තිය ඉතා උසස් තත්ත්වයක තිබූ සෘෂිවරයන් විසින් ජ්යෝතිෂය නිපදවා ඇති බව ඉතිහාසය හදාරන විට පෙනීයයි. ලෝකයේ ආරම්භය හා පැවැත්ම බෞද්ධ ධර්මය අනුවත් තන්ත්ර ග්රන්ථ අනුවත් මෙසේ දැක්විය හැකිය. කල්පාරම්භයේ ලෝකය ඝන අන්ධකාරයෙන් පැවතුනි. හිරු හෝ සඳු නැතහොත් ග්රහතාරකා තිබුණේ නැත. මෙකල මුලින්ම සත්වයෙකු පැමිණෙන්නේ ‘ආභස්සර’ නම් බ්රහ්මලෝකයෙනි. එම බ්රහ්මයාට පවතින ශරීරයෙන්ම නිකුත් වූ ආලෝකය තිබිණි. ඉන්පසු තව තවත් බ්රහ්මයින් මෙලොවට පැමිණි අතර මුලින්ම පැමිණි අය මහා බ්රහ්ම නම්විය. බ්රහ්ම යනු ඉතා උසස් කුසල ශක්තියක් ඇති සත්ව කොට්ඨාසයකි. එහෙත් ඔවුන්ගේ සිත් තුළ තෘෂ්ණාව වැඩෙත්ම ශරීරයේ ආලෝකය නැතිවිය. හිරු සඳු හා තාරකා උදාවන්නේ ඉන් පසුවය. තෘෂ්ණාව වැඩිවන හැටිත් බ්රහ්මයා ටිකින් ටික පිරිහැටිත් අග්ගඤ්ඤ සූත්රය ඇතුළු සූත්රවලින් දැනගත හැකිය.
මිනිස් කල්පයක් මහා යුග 71 කින් යුතුවේ. එම මහා යුගය උප යුග 4 කින් යුතුවේ.
ඒවා නම්--------
-කෘත යුගය – ආයු කාලය අවුරුදු 172800 කි.
-නේත්ර යුගය – ආයු කාලය අවුරුදු 129600 කි.
-ද්වාපර යුගය – ආයු කාලය අවුරුදු 864000 කි.
-කලි යුගය – ආයු කාලය අවුරුදු 432000 කි.
ඒ අනුව මේ වන විට පෘථිවිය ගෙවා ඇති ආයු කාලය මිනිස් කල්ප 6 කින් හා මහායුග 27 කිනුත් උපයුග 3 කිනුත් හා කලි යුග වර්ෂ 5118 බව දක්වා තිබේ. පෘථිවිය හටගත් පසු එහි සෘතු ගුණය සකස් වීමට කාලයක් ගත වෙන බව පෙන්වා තිබේ. වායුගෝලය හා ජලගෝලය පිළියෙල වී සකස් වීමට යන කාලය කෘත යුගය ලෙස හැඳින්වේ. ඒ අනුව කෘත යුගය තුළ ජ්යොතිෂය බිහිකළ මුනිවරු 18 ක් ද ඔවුන්ගේ එම සිද්ධාන්ත අනුව මෙම විද්යාත්මක දර්ශනය පහළව තිබෙන බව සඳහන් වේ. කෘත යුගය අවසානයේ උදාවූ නේත්ර යුගය වේදයේ ඒ සියලු ශක්තීන් මිනිසාගේ ප්රයෝජනයට යොදා ගත් අතර එහි අවසාන භාගයේ දී ලංකෝදය පුරය ඇසුරු කරගත් රාවණ නම් රජු වේදයේ කෝටිප්රාප්ත වූ බවත් සඳහන් වේ. ද්වාපාර යුගය අවසානයේදී මෙම වේදය ක්රමයෙන් විනාශ වී සියලු මනුෂ්ය ධර්මයන් විනාශව නැවතත් දාර්ශනික විප්ලවීය යුගය ආරම්භ වන්නේ මෑතක වසර 2000 ට පමණ කාල සීමාවක සිටයි. තාරකා විද්යාවත් භූගෝල විද්යාවත් පදනම් කරගෙන මේ මහා පෘථිවියේ වසන සියලුම ජීවී අජීවී කොටස් වල උපත පැවැත්ම හා විනාශය කෙරෙහි සෞරග්රහමණ්ඩලයේ රවි චන්ද්ර ඇතුළු සෙසු ග්රහ ලෝකවල සහ අස්විද බෙරණ ආදී නැකත් තරුවල බලපෑම විග්රහ කර ගැනීම සඳහා ගණිත විද්යාව ඇසුරින් නිපදවා ගන්නා ලද අතුරු විද්යාවක් වේ. එය තුන් කල් දක්නා ෂඞ් අභිඥාලාභී මහර්ෂීන්ගේ චිත්තාභ්යන්තරයෙහි වූ අසහාය උග්ර තාපස චර්යා අන්තරාවලෝකන ප්රභාවේ ප්රතිඵලයක් යැයි කල්පනා කළ හැකිය. තාරකා හා ග්රහලෝක වල සාපේක්ෂ පිහිටීම උපයෝගි කරගෙන මිනිස් ජීවිතය හා සබැඳි අවිනිශ්චිත පැතිකඩ සම්බන්ධව විශ්වාසය තැබිය හැකි තීරණ ගැනීමට යොදා ගන්නා දැනුම හා විශ්වාසය මත පදනම් වූ ශාස්ත්රය තාරකා ශාස්ත්රය නම් වේ. මෙහි මූලිකම අවශ්යතාව වන්නේ අනාවැකි පළකිරීමයි.
ජ්යොතිෂ් ශාස්ත්රය ලෝකය පැරණිතම විද්යාව ලෙස සැලකිය හැකිය. පුරාණයේ ජීවත් වූ ජීව වූ මනුෂ්යයා අනන්ත වූ ආකාශය දෙස නෙත යොමා ගගණාම්භරයෙහි වූ විවිධ තාරකාවන්ගේ ආධාරයෙන් විවිධාකාර චක්ර සහ රූසටහන් මැවූහ. එදා සිට එම තාරකා චක්ර හා ජීවිතය අතර ඇති සම්බන්ධය යොදාගැනීමට ශතවර්ෂ ගණනාවක් ගතවිය. වර්තමාන මිනිසා සඳමත පා තැබීම දක්වා සියලු විද්යාවන් වල මූලාරම්භය ජ්යොතිෂ් ශාස්ත්රයයි. ආකාශ තාරකා හා චක්රවල හා මිනිස් ශරීරගත චක්රයන්ගේ අන්යෝන්ය සම්බන්ධතාව ගලපා ගැනීමට කාලයක් ගතවුවද එහිලා වූ ව්යාවෘත භාවයෙහි ප්රතිඵලය වූයේ ජ්යෝතිර් විද්යාව ප්රාතූර්භූත භාවයයි. මේ හැර ජාතක කතාවලද ජ්යොතිෂය හා මන්ත්ර ශාස්ත්රය ගැන සඳහන් වේ. නක්ඛත්ත ජාතකය, වේදබ්භ ජාතකය, සංජීවන ජාතකය ඉන් කිහිපයකි. ජ්යෝතිෂ්ය නිර්මාණය කරන ලද සෘෂිවරුන් ලොවට බිහි වී ඇත්තේ මුල් යුගවල බවත් එතුමන්ලා දීර්ඝායුෂ ඇතිව විසූ බවත් පෙනේ. මෙහි මුල්ම සෘෂිවරයා “ලෝමශ“ නම් වන බවද අන්තිමයා ‘පරාශර’ බවද දැක්වේ. පරාශර සෘෂීන්ගේ ග්රන්ථ පමණක් මෙකල දක්නට ලැබේ. මෙම පැරණිම ග්රන්ථවලින් අද ඉතිරිව ඇත්තේ ‘වශිෂ්ට සංහිතාව’ සහ ‘නාරද සංහිතාව’ පමණි. විවිධ ග්රහ චලන හේතුවෙන් සත්වයන්ට පමණක් නොව රට රාජ්යවලට වන දේශගුණික බලපෑම් නාරද සංහිතාවේ සඳහන් වේ. “ජ්යෝතිෂ” යන වචනයේ තේරුම ‘බැබලීම’ යන්නයි. ග්රහ තාරකාවන්ගේ බැබලීම මෙයින් අර්ථවත් වේ. බබලන තාරකාවන් පිළිබඳ ශාස්ත්රය ජ්යෝතිෂය ශාස්ත්රය යනුවෙන් හැඳින්වේ. ජ්යොතිෂ විද්යාව රැඳී පවතින්නේ වෙලාව පදනම් කරගෙනය. භූගෝල විද්යාඥයන් විසින් අංශක 360 කින් සමන්විත වූ මේ මහා පෘථිවිය වෙලාව ලබා ගැනීමේ පහසුව සඳහා දේශාංශ 360 කට බෙදන ලදී. එංගලන්තයේ ග්රිනිච් නගරය හරහා වැටෙන ග්රිනිච් රේඛාව නැගෙනහිර දෙසට දේශාංශක 180ක් ද බටහිර දෙසට අංශක 180 ක්ද වශයෙන් දේශාංශක රේඛා යොදාගෙන ඇත. ඒ ඒ රටවල වැටී ඇති දේශාංශක මුල්කොටගෙන ග්රිනිච් රේඛාවේ සිට අංශක 1ක් ද මිනිත්තු 4 බැගින් වෙලාව දක්වනු ලබයි. දේශාංශ කලා 1ක් තප්පර 4ක් ද කාලය නියම වෙයි. එක් රටකට දේශාංශ කිහිපයක් වැටෙනු ඇත. ඒ නිසා එක් එක් දේශාංශ ඔස්සේ වෙලාව දැක්වීමට ගියහොත් රටකට කටයුතු පවත්වා ගැනීමේදී අපහසුතා ඇතිවේ. එමනිසා ග්රිනිච් රේඛාවේ සිට අංශක 15න් 15 වේලාව දක්වන රේඛා නම්කොට ඇත. මේ අනුව ලංකාවට වෙලාව දක්වන දේශාංශක රේඛාව වන්නේ නැගෙනහිර දේශාංශ අංශක 82.30 (මඩකලපුව) මේ අනුව බලන විට ග්රිනිච් වේලාව දවල් දහවල් 12 වන විට ලංකාවේ වේලාව සවස 5.30 වේ. (අංශක 82 කලා 30 ඥා මිනිත්තු 00 තප්පර 4 පැය 5 මිනිත්තු 30) ලෝකයට නිවැරදි වේලාව දැක්වීම සඳහා එංගලන්තයේ ග්රිනිච් නුවර පිහිටා තිබෙන රාජකීය තාරකා පර්යේෂණාගාරය තිබෙන විද්යුත් ඔරලෝසුවල උපකාරයෙන් මුළු ලෝකයටම නිවැරදි ඔරලෝසුව වේලාව දක්වනු ලැබේ. ජ්යොතිෂ්යය පිළිබඳව ඇති අරුතක් වන්නේ සත්වයා විසින් කරන ලද පෙර කුසල් හා අකුසල් මෙයින් ප්රකාශ කෙරේ යන්නයි. “ජ්යෝතිෂිනි පූර්වකෘතං කර්මං අනෙනෙති ජ්යෝති” යන වදනින් මේ බව ප්රකාශ කෙරේ. තක්සලා විශ්වවිද්යාලයයෙහි ඉගැන්වූ විෂයයන් අතුරින් ජ්යෝතිෂයද එකකි.
පෙර විෂයයන් හැටහතරක් උගන්වා තිබේ. සිව්සැට කලා යනු ඊට නමකි. සිව්සැට කලාවන්ගේ පසළොස්වන කලාව ජ්යොතිෂයයි. ලෝකයේ විවිධ විද්යාවන් පහළ වුවද මිනිසා සඳ මත පා තැබීම දක්වා වූ සියලු විද්යාවන්හි මූලාරම්භය ජ්යෝතිර්විද්යාව ම බව මධ්යස්ථ මතධාරීන්ගේ අදහසයි. එසේම නක්ෂත්ර තාරකා ග්රහයන් සහ රාශීන්ගේ උදාවන රටාවන්හි පවත්නා කර්ම ක්රියාදාමයේ පදනම ජ්යොතිෂය සඳහා ප්රධාන වශයෙන් බලපෑමක් කෙරේ. ලෝකාභිවෘත්ත පුද්ගල අපේක්ෂිත ධර්ම, අර්ථ, කාම, මෝක්ෂ යන චතුර්විධ සම්පත් වල හිමි අහිමි සීමාන්තරයේ ස්වභාවය විනිශ්චය කරගැනීම සඳහා ජ්යෝතිෂයෙන් ලැබෙන්නේ සුළුපටු දායකත්වයක් නොවේ. ජෝතිෂ විද්යාව, නැකැත් ශාස්ත්රය, හෝරා ශාස්ත්රය, තාරකා ශාස්ත්රය යන විවිධ නම් වලින් මෙය හඳුන්වන අතර ජ්යෝතිෂ විෂය සම්බන්ධ වී ඇති අනෙකුත් සමාජයීය විෂයයන් කවරේද යන්න හඳුනාගැනීම කළ යුතු වෙයි. එම විෂයයන් පහත දැක්වෙන අයුරින් දැක්විය හැකිය.
තාරකා විද්යාව, ගණිත විද්යාව, පරිගණක විද්යාව, උපදේශනය, ආචාර විද්යාව, ආයුර්වේද වෛද්යකරණය, මනෝ විද්යාව, ශබ්ධ විද්යාව මන්ත්ර, තන්ත්ර, ශ්ලෝක, සැහැළි, කවි පංච තූර්ය නාද භාවිතය පූජා විධීන් වේ. අතීතයේදී නිමිත්ත පාඨකයන්, නැකතියා, ගණිතයා යනාදී නම්වලින් ජෝතිෂවේදීන් හඳුන්වනු ලදී. ජීවිතය හෙට දවස පිළිබඳව කල්තියා විමසීමට වෙසෙන මිනිසා ජ්යොතිෂ විද්යාව වෙත බහුලව නැඹුරු වී සිටියි. ජාති ආගම් භේදයකින් තොරව ජ්යෝතිෂ සිද්ධාන්තය ඇසුරින් තම දෛවය පිළිබඳ විමසීමට මිනිසුන් යොමු වී සිටිනු දැකගත හැකිය. සූර්යයා මධ්යයේ සිටියදී පිළිවෙළින් බුධ, සිකුරු, පෘථිවිය, කුජ, ගුරු, ශනි, යුරේනස්, නැප්චූන්, ප්ලූටෝ යන ග්රහයන් තමා වටා භ්රමණය වන අතර සූර්ය වටා පරිභ්රමණය වේ. චන්ද්රයා පෘථිවියේ උප ග්රහයෙක් වන නිසා තමා වටා භ්රමණය නොවෙමින් පෘථිවිය වටා භ්රමණය වෙමින් සූර්යයා වටා පරිභ්රමණය වේ. මෙකී ග්රහයා භ්රමණය වන මාර්ගය “කාන්ති මාර්ගය” යැයි නම් කෙරේ. කාන්ති මාර්ගය පෘථිවිය දකුණු පැත්තේ සිට උතුරු පැත්තට මාරු වන ස්ථානය හරහා සඳු මාරු වන විට රාහු යැයිද උතුරු පැත්තේ සිට දකුණු පැත්තට සඳු මාරුවන ස්ථාන කේතු යැයි ද නම් කෙරේ. චන්ද්රයා පෘථිවිය වටා යන ගමනේදී පෘථිවිය සූර්යයා වටා යන ගමන් මාර්ගය කැපෙන සන්ධිස්ථානය රාහු-කේතු ඇතිවන බව පිළිගෙන තිබේ. රාත්රී කාලයේ අහස දෙස බලන විට තාරකා විශාල ප්රමාණයක් දැකගත දැකගත හැකිය. මේ සියලුම තාරකාවෝ ඒ ඒ ග්රහ මණ්ඩලවල සූර්යන් යැයි කියනු ලැබේ. ඒවා පෘථිවියට ඉතා දුරින් පිහිටි නිසා විශාල බලපෑමක් ඇති නොවේ.
එක් එක් සක්වළවල් යනුවෙන් හඳුන්වනු ලබන්නේ මෙම ග්රහ මණ්ඩලය ග්රහයන් ගමන් ගන්නා කාන්ති මාර්ගය අංශක 18 කින් පමණ පළල් පටියකට සමාන වළල්ලකින් අංශක 360 ක් පමණ වූ එම “ඛට්” ගෝලය සම කොටස් දොළහකට බෙදන විට ලැබෙන අංශක තිහක් පමණ ප්රදේශය ඇතුළත තිබෙන තාරකා පංතිවල පිහිටීම් අනුව මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන, යන රාශි 12 කට බෙදෙයි. බුධ සිකුරු ආදී ග්රහයන් සූර්යයා වටා භ්රමණය වීමේ දී මේෂ වෘෂභ ආදී රාශි 12 ආශ්රිතව ගමන් කෙරේ. පෘථිවිය පැය 24 ක් ඇතුළත තමා වටා භ්රමණය වේ මේ අනුව පැය විසිහතරක් ඇතුළත අහසේ වූ සියලුම තාරකාවන්, රාශීන් හා ග්රහලෝක ද නැගෙනහිර ක්ෂිතිජයෙන් උදාවී බටහිර ක්ෂිතිජයෙන් බැස යන බව පෙනේ. තාරකා විද්යාවෙන් අප ලබන්නේ ඉහත කී රවි, චන්ද්ර, කුජ, බුධ, ගුරු, ආදී ග්රහලෝක 10 න් හා රාහු කේතු යන දෙදෙනා සමග ග්රහයන් 12 දෙනෙකි.
ඇසට පෙනෙන දීප්තිමත්ම ග්රහයා සූර්යයා ය. සෞරග්රහ මණ්ඩලයේ රජු ලෙස හැඳින්වේ. කිසි දවසක වක්ර නොවන ඉතා ශක්තිමත් වූ ද වුවමනාව ඇත්තා වූද පුරුෂ ග්රහයෙකි. ඔහු උෂ්ණය, එළිය, ආකර්ෂණය, පිරිසිදුකම, සහ ජීවය දෙන ග්රහයා වේ. පෘථිවිය මෙන් 330000 විශාලය. පොලොවේ සිට සැතපුම් 93000000 දුරින් පිහිටා ඇත. හිරු රැස් පොළොවට වැටීමට මිනිත්තු 8 ක් ගතවේ. ක්ෂිතිජයෙන් සම්පූර්ණයෙන්ම මතුවීමට විනාඩි 6 ක් ගතවේ. ජීව බලය හා රෝග නාශක බලය හිරුගෙන් ලැබේ. නිර්භීතකම, දීර්ඝායුෂ, ප්රසිද්ධිය, බලය, ක්රියාශූරත්වය, ගෞරවය, භක්තිය, ස්ථිර ප්රේමය, අවබෝධ ඥානය, චිත්තවේග, ඇස්, මොළය, උගුර, ඇලදිව, ඇටමිදුළු, රක්තානු ආදියට රවි අධිපති වෙයි. දවල් කාලය උපන් අයට රවි පියා වේ. යමෙකු උපදින විට රවි බලවත්ව සිටියහොත් ඔහුගේ ජීවිතය බලවත් වේ. රවි උප්පත්තියේදී රවිගේ බලය අඩු කරන ස්ථානවලදී සිටියහොත් ගරු සැලකිලි අඩුවන පරිදි හැසිරීම් පිහිටයි. හොරකම, වාචාලකම, මංකොල්ලකෑම, අහංකාරය, තරහ ගතිය වැඩිවීම ආදී ගති පැවතුම් වේ.
චන්ද්ර ග්රහයා සෞරග්රහ මණ්ඩලයේ මව ලෙස හැඳින්වේ. මව් කාරකය. උපදින අයට මව වේ. පෘථිවියට අයත් උප ග්රහයෙකි. පෘථිවියේ සිට දුර ප්රමාණය සැතපුම් 240000 කි. සඳරැස් පොළොවට වැටීමට ගතවන කාලය තප්පර එකහමාරකි. සඳු සිතට අධිපතිය. තෙත ගතිය හා සෙමට අධිපතිය. දරු උප්පත්තිය, පිළිසිඳගැනීම, ඔසප්වීම ආදියට චන්ද්රයා බලවත් වේ. ජ්යොතිෂ් ශාස්ත්රයට වශී කරන ශාස්ත්ර වලට අධිපතිය. පුර පක්ෂයේ දී සුබ වැඩ වලටත් අවපක්ෂයේ දී අසුබ වැඩවලටත් උපකාර කෙරේ. ස්ත්රීන්ගේ පයෝධර හා සියුම් අංග චන්ද්රයාට අයිතිය. කෘෂ රෝග, සරම්ප, පාචනය, උදර රෝග, ගෙඩි, ස්ත්රීන්ගේ ශුද්ධ වීමේ රෝග ආදිය සඳු නිසා ඇති වේ.
භූමිපුත්ර නමින් ජෝතිෂයේ හඳුන්වනු ලබන කුජ ග්රහයා විශ්ව ග්රහමණ්ඩලයේ සෙන්පතියා ලෙස හැඳින්වේ. පෘථිවියට සමාන ගතිගුණ ඇත. කුජ පෘථිවියට ඉතාම කිට්ටු ග්රහලෝකය ද වේ. මනුෂ්යයාගේ ධෛර්යය, ශක්තිය, එඩිය, ඔරොත්තු දීම, නිර්භීතකම, ආදිය පමණක් නොව ස්ථිර ගතිය, සටන්කාමිත්වය, වාද ශක්තිය ආදියට බලපවත්වයි. රසායනික විද්යාව, ශල්යකර්ම ආදියට බල පවත්වයි. ශරීර අවයවයන් ලෙස නළල, නාසය, රහස් ස්ථාන, මස්පිඩු ආදියට අධිපති වේ. රක්තවාත, ලේ නහර පිපිරීම් හා තුවාලවීම් ආදියට අධිපති වේ.
සෞරග්රහ මණ්ඩලයේ පොඩි පුතා, සුරතලා, පණිවිඩකරු ලෙස හැඳින්වෙන බුධග්රහයා චන්ද්රයාගෙන් හරි අඩක් පමණ වේ. සූර්යයාට ඉතාමත් සමීප ග්රහයා වේ. දවල් රෑ වීමක් නැත. ද්වි ස්වභාවයක් ඇත්තෙක් වේ. බුධ සූර්යයාට කිට්ටුවන පැත්ත ඌෂ්ණ වන අතර අනෙක් පැත්ත සීතල වේ. ගුණයට අධිපතිය. කාව්යකරණය, ව්යාකරණය, නොයෙක් නොයෙක් විද්යාවන්ට සහ ශාස්ත්රවලට විදුලි සංදේශ කටයුතු හා පරිගණක ආදී මෙවලම් වලට පණිවිඩ හුවමාරු පිළිබඳ සියලු කටයුතුවලට බුධ අධිපති වේ. ඉගෙනීම් කටයුතු පොත්පත් ලිවීම ආදියට දක්ෂකම් පෙන්වයි.
රාහු යම් කේන්දරයක සුබව පිහිටා ඇත්නම් ඉගෙනීම යහපත්ය, වන්දනා ගමන්යාම, ඵලදායි විදේශ චාරිකා, දේශපාලන අංශයට යොමුවීම පෙනහැල්ල, නාසය, නහර, අත්, ශරීරය, ශරීරය තුළ පිහිටි සියුම් ආදිය රාහු නිසා ඇති වේ. වීම, බලය ප්රසිද්ධිය ලැබීම, උනන්දුව ඇති කිරීම ආදිය රාහු නිසා ඇති වේ.
කේතු ග්රහයා බඹ නමින් හැඳින්වෙන අතර කේතුගේ හිස මනුෂ්යයකුගේ මෙන් ද ශරීරය නාගයකුගේ මෙන් ද හඳුන්වා දී ඇත. මොහු ද ඡායා ග්රහයෙකි. නෛසර්ගික පාපියෙකි. කේතුගේ විශේෂ ලක්ෂණය හකුළුවන ස්වභාවයයි. කේතු සුබව පිහිටා ඇත්නම් අධ්යාපනයෙන් උසස් ප්රතිඵල උරුම කරදෙයි. ඥානය දීප්තිමත් කරයි. ප්රසිද්ධිය ලබා දෙයි. පොතපත කියවීමට ආශා කරවයි. ගුප්ත අංශවලට සිත යොමුකරවයි. ගේදොර වාසස්ථානය දියුණුව ඇති කරයි. කේතු දුබල වූ විට හිතේ අසහනය, දද, කුෂ්ඨ තුවාල, චංචල ගති, අමනුෂ්ය රෝග, අවිශ්වාසය ඇති කරවයි.
පැරැණි සෘෂිවරුන් විසින් යුරේනස් ග්රහයා හැඳින්වූයේ වරුණ ග්රහයා ලෙසිනි. එහෙත් 1781 මාර්තු 13 වන දින සර් විලියම් නමැති තාරකා විද්යාඥයා විසින් යුරේනස් ග්රහයා සොයා ගන්නා තෙක් යුරේනස් ග්රහයා පිළිබඳ පැරැණි පොත පතෙහි සඳහන් නොවීය. මොහුට රාශි චක්රය සම්පූර්ණ කිරීමට වර්ෂ 84 දින 24ක් ගතවේ. ලෝකයේ පවතින ආකර්ෂණ බලයත් විදුලි බලයත් ගැන පවතින්නේ මේ ග්රහයාය. එසේම ගුප්ත විද්යාවන් පිළිබඳව ද විශාල බලයක් ඇති කරයි. යුරේනස් ඇතැම්විට සෙනසුරුට සමාන ගතිගුණ ඇති බව කියනු ලැබේ. විදුලි කාන්දම් බලය හා අසුබ තත්ත්වයන් ඇති කරන ග්රහයෙකි. පරීක්ෂාකාරී වීම් ආදී ගුණ ඇති ග්රහයෙකි, එසේම බලාපොරොත්තු නැති හදිසි කටයුතු ඇති කරවයි.
පැරැණි සෘෂිවරුන් විසින් ඉන්ද්ර නමින් හැඳින්වූයේ නැප්චූන් ග්රහයාය. අද්භූත ග්රහයෙක් ලෙස ඇතැමෙක් හඳුන්වන අතර වෙනත් යුරෝපීය පොත්පත් වල සඳහන් වන්නේ ඔහු අති උතුම් දෙවියකු ලෙසයි. මත්පැන් පානයට හා අබිං, කංසා ආදියට ප්රිය කරන්නෙක් වෙයි. නැප්චූන් ග්රහයා බලවත්ව සිටියහොත් ගුප්ත ශාස්ත්ර සම්බන්ධයෙන් බලවත් ආශාවක් ඇති කරවයි. ගුප්ත හා සැඟවුණු ධර්මතාවයන්ට, රහස්ය කටයුතු වලට, රහස් පරීක්ෂක වැඩවලට හා කිමිදුම් කටයුතු වලට අධිපතිය.
පැරණි සෘෂිවරුන් විසින් යම හැටියට හැඳින්වූයේ ප්ලූටෝ ග්රහයාය. වර්තමානයේ යුරෝපීය දෛවඥයන් පවා මනුෂ්යයන් සම්බන්ධයෙන් ප්ලූටෝ කොතරම් දුරට බලපවත්වන්නේ ද යන්න සොයා ගෙන ඇත්තේ කරුණු ස්වල්පයක් පමණි. ප්ලූටෝ පිළිබඳව සොයා ගනු ලැබුවේ 1930 මාර්තු 12 ය. ප්ලූටෝ පිළිබඳ පුරාණ දේවකතාවල හැඳින්වෙන්නේ පිටස්තර දේශයේ දෙවියන් හෙවත් මළවුන් පාලනය කරන්නා වශයෙනි. ප්ලූටෝ ග්රහයා වෘශ්චික රාශියට අධිපති ග්රහයා ලෙස ඇතැම් යුරෝපීය පොත්පත්වල ඇතත් තවත් තැනක සඳහන් වන්නේ මේෂ රාශියට අධිපති ග්රහයා ලෙසය.
ජ්යෝතිර් විද්යාව අතීතයේ සිටම ලංකාවේ ද භාවිතා කළ බවට සාධක ඇත. ඒ පිළිබඳව පැරණිතම සටහන වන්නේ උම්මාද චිත්රා කතා පුවතයි. උන්මාද චිත්රාව දුටු නිමිත්ත පාඨකයන් විසින් ඇයගේ පුතෙක් රාජ්ය පතා සිය මාමාවරුන් ඝාතනය කරන බව පවසා ඇත. එය ඇසූ ඇයගේ සහෝදරයෝ එවැනි තත්ත්වයක් උදා නොවීමට සියලු බාධක යෙදූහ රැකවරණ සැලසූහ. ඒ සියලු ප්රයත්නයන් අසාර්ථක බවට පත් කරමින් අවසානයේ දී නිමිත්ත පාඨකයන්ගේ අනාවැකි යථාර්ථයක් කරමින් පණ්ඩුකාභය සිය මාමාවරුන් මරා දමා සිහසුන අත්කර ගන්නට සමත් විය.
ගිරාසන්දේශ කතුවරයා හා සැළලිහිණි සන්දේශ කතුවරයා තම අභිමතාර්ථය මුදුන් පත් කර ගැනීම සඳහා තම දූතයන් වූ අගිරවාත් සැළලිහිණියාත් පිටත්කර හැරියේ සුබ මුහුර්තයකිනි. ඒ බව------
“පොරණ රිසින් කී තොප යතුරට පවර
ලද නිදොසින් රිවිදින නැකත දිනකර
කුමරි දෙසින් කිවි සුර ගුරු සිටි නොහැර
මිතුර තොසින් වඩු සිහි කර මෙත් සුතුර”
යනුවෙන් ගිරා සංදේශයේ 57 වැනි කවියෙන් පැහැදිලි වේ. එසේම සැළලිහිණි සන්දේශයේ
“උදේ සැපත් සුරගුරු අලු කැරැ අවට
සඳේ මුදුන් පත අස්විද නැකතැ සිට
නදේ සිතින් තම කුල දෙවිය සිහි කොට
යෙදේ ගමන් යහළුව මෙපුරෙන් තොපට”
මේ අනුව සැළලිහිණියා පිටත් කර හැරීමට ගුරු උච්ච බලය යුතුව ලග්නයට කටක යොදා සඳුගෙන් හතරවැන්නේ ගුරු සිටින ලෙස සදු දහවැන්නට යොදා සැළලිහිණියා කෝට්ටේ නගරයෙන් සුබ ගමනක් සඳහා පිටත් කර හැරිය බව ඉහත සඳහන් කවියෙන් පැහැදිලි වේ. සැළලිහිණියා යැවූ දූත මෙහෙවර සම්පූර්ණයෙන් සාර්ථක වූ බව ඉතිහාසය විසින් ඔප්පු කර ඇත. දුප්පත්, පොහොසත්, උගත්, නූගත්, සුඛිත, දුක්ඛිත සියලු දෙනාටම ඒ ඒ අයගේ තත්ත්වයට අනුව ජ්යොතිෂය එකසේ ප්රයෝජනවත් වේ. ජෝතිශය තුළින් පුද්ගලයාට තම අභිවෘද්ධිය තව තවත් සුවිශාල කරගැනීමටත් ඉදිරියට පැමිණීමට තිබෙන අපල උපද්රවයන්ගෙන් මගහැරීම සඳහා උපායවත් වීම පිණිසත් දුක්ඛිත පුරුෂයාට තමාගේ කරදර හිංසා පීඩා ආදියෙන් නිදහස් වීම සඳහා ක්රමානුකූලව හො සම්යක්ප්රයෝග අනුයුක්තව පිළියෙල කරගතයුතු ක්රම දැනගැනීම සඳහා ජ්යොතිෂය ප්රයෝජනවත් වේ.