අකුරු සහ ශබ්ද ගැන දැනගත යුතු මූලික කරුණු කිහිපයක්
ඉෂ්ට සිද්ධිය පිණිස කවි, ගී, සිලෝ සහ ස්තුති පත්‍රිකා සකස්කර ගැනීම සඳහා ශබ්ද විද්‍යාව උපකාරී වෙයි. ලොව පවත්නා සචේතනික හා ආචේතනික සියල්ල පඨවි, අපෝ, තේජෝ, වායෝ, ආකාශ යන පංච මහා භූතාත්මක පලයක් දරනු ඇත. අප භාවිතයේ පවතින අක්‍ෂරද පංච භූතාත්මකව පහළ වූ බව දැක්වේ. අකුරුවල සංයෝගයෙන් ඉෂ්ටා-නිෂ්ට වචන නිපදවනු ලැබේ. අකුරු තුනකින් යුත් වචනයකින් ගණද, එහි සංයෝගාත්මක සංඛ්‍යා එකතු කර බැලීමෙන් යෝනියද, මේ සියල්ල ගුණාත්මක කොට සංයෝග කර ඇති වන ශබ්දයෙන් ඉෂ්ටා - නිෂ්ට පලවිපාක ගෙනදෙන බලයක් ගොඩනැඟේ.
කෙනකුගේ අභිධානය හෙවත් ව්‍යවහාර නමට යෙදෙන අකුරුවලද පංච භූතාත්ම බලය පවතී. එම අකුරුවලට මිතුරු - සතුරු උදාසීන අකුරු කවරේදැයි සොයා බලා යහපත පිණිස ශුභ වචනද අයහපත හෙවත් වස් කවි පිණිස අශුභ වචනද යොදා ගනු ලැබේ. මන්ත්‍ර විද්‍යාවද බන්ධනය කර ඇත්තේ මෙම ශබ්ද විද්‍යාව අනුව බව පැහැදිලි වෙයි.
සෙත් කවි වනාහි එක්තරා මන්ත්‍ර විශේෂයකි. කුමන කාව්‍ය රචනයකට වුවද උල්පතකින් උනන දිය දහරක් මෙන් නොනැවතී තැනට සුදුසු පද අමුණුවා ගැනීම පිණිසද නිසි ගැළපෙන අදහස් ඇති වීම පිණිසද බහුශ්‍රැත භාවය තිබිය යුතුයි. චින්තන ශක්තිය, විමංසන බුද්ධිය, සොබාදහම, ආගම දහමට ඇති භක්තියෙන්ද පරිපූර්ණ විය යුතුයි.
සෙත් කවි රචනයට සිතැති අයට සිංහල භාෂාව පිළිබඳ සහ අක්ෂර ගැන මනා දැනීමක් තිබිය යුතුයි. එමෙන්ම ජ්‍යෙතිෂ ශාස්ත්‍රය පිළිබඳවද දැනීම තිබිය යුතුවෙයි. කරුණා-මෛත්‍රි ගුණ සම්පන්න දයාබර සිතකින් අනුන් කෙරේ යහපත පතන ධර්මානුකූල දිවි පෙවෙතක් ගත කරන, නිර්මාංස, සිල්වත් සත්පුරුෂයෝ සෙත් කවි රචනයෙහි දක්ෂයෝ වෙති. මෙවැනි ගුණාංග ඇති අය රචනා කළ සෙත් කවියේ ඉෂ්ට සිද්ධියක් ඇත. සඳු, බුධ, ගුරු, සිකුරු ආදී ශුභ ග්‍රහයන්ට අයත් වන රෙහෙන, හත, සුවණ, අස්ලිස, දෙට, රේවතී, පුනාවස, විසා, පුවපුටුප, බෙරණ, පුවපල්, පුවසල යන නැකැතක් ජන්ම නැකැත වූ සෞම්‍ය ගති ඇති පුද්ගලයා බුද්ධිමත් නම් සෙත් කවි රචනයට ඉතා හොඳයි.
වස් කවි තැනීමේදී මුවසිරස, සිත, දෙනට, පුෂ, අනුර, උත්‍රපුටුප, කැති, උත්‍රපල්, උත්‍රසල, අද, සා, සියාවස, අස්විද, මා, මුල යන අශුභ ග්‍රහයන්ගේ නැකැතකින් ජන්ම ලාභය ලබා ඇති උදවියට ශබ්ද විද්‍යාව නිපුණ කළ පසු නරකින් හෝ හොඳ ප්‍රතිඵල ගත හැකිය. අව සතවක තිථිය සිට පුර විසේනිය තිථිය දක්වා කාලය තුළ ගැළපෙන නැකැත් යොදා වස් කවි ලිවීම ඇරැඹීමට ශුභයි. සෙත් කවි ලියන තැනැත්තා විසින් වස් කවි ලිව්වහොත් කාව්‍ය කර්තෘට අවැඩක්ම සිදු වෙයි.
වස් කවියට දස්කම් විස්කම් පෑ බරණ ගණිතාචාර්යතුමා ක්‍රි.ව. 1692 ජුනි 7 වැනිදා කටක ලග්නයෙන් ශනිට අයත් පුෂ නැකැතින් උපන් කෙනෙකි. පාරම්පරික ඥානයෙන් සහ පන්සල් ඇසුරේදී ලබන ලද දැනුමෙන් හා සහජ කවීත්වයකින් හෙබි ඔහු වස් කවි කීමේ දක්ෂයෙක් බව පුරාණ පොත පතේ සඳහන් වෙයි. ඒ සඳහා නිදසුන් කිහිපයක් මෙහි සඳහන් කරමි. එනම්, මොහු ඇසුරු කරමින් සිටි ස්ත්‍රියක් වෙනත් අයෙක් සමඟ යෑම නිසා කෝප වී කියන කවි,
අත් බර අයුද දරමින් සිටි කඳ කුමර
විත් තෙද අසුර යුදවනි ජය ගතෝ පෙර
පත්කර නොදුනි නම් මගෙ සුපුරුදු සොඳුර
අත් අරවා ගනිමි මම තගෙ කදිර පුර
පවරා කදිර පුර පුද ලබනා තුම්මා
නොහැරා කියමි මම මගෙ දුක වැද නිම්මා
පවරා නොදුනි නම් මගෙ දිගැසිය නම්මා
උදුරා ගනිමි මම තගෙ වල්ලී අම්මා
දියණිය දීග යන මංගල්‍යට මස් මාළු නැතිව කල්පනාවෙන් සිටින විට ගෙට උඩින් ඇති කණ්ඩිය මත ඕලුවෙක් (ඕලුමුවෙක්) යනු දැක මේ කවිය කියා ඇත.
යාළුවේ මෙමට කළ අව මාන්නෙට
වේළුවේ තිත්ත කඩයින් බදින්නට
මාලුවේ මොකුත් නැත මුසු කරන්නට
ඕලුවේ නොදුව සිට පන්න මඟුලට
අවසානයේ ඕලුවා කණ්ඩියෙන් පහළට පැන මැරී වැටුණු බව කියැවේ.
දකුණුලක තංගල්ල ප්‍රදේශයේ සිටිනාමලුව ගමේ උපන් මොහු එවකට සිටිනාමළුවේ ධම්ම ජෝති හිමියන්ගේ ගෝලයෙකි. දිනක් ධම්මජෝති හිමියන් සමඟ මෙම ගෝලයා කීර්ති ශ්‍රී රාජසිංහ රජු දැකීමට රජ මාලිගයට ගොස් ඇත. නක්‍ෂත්‍රය දත් මෙම ගණිත කොලුවාගෙන් රජු ප්‍රශ්නයක් ලෙසින් මෙසේ අසා ඇත. අද රිට්ටාව ඇති තැන පෙන්වන්න පුළුවන්ද? කියා ඇසූවිට හතර රියන් දිග ලීයක් ගෙන්වා එහි මුදුනේ පුළුන් පිඩක් තබා රාජාංගණයෙහි සිට ලීය අහසට දිගු කොට රිට්ටාව ඇති තැනට තවත් වියතක් මදි බව රජුට දැන්වීමෙන් පසු ඇත් දත්වලින් කළ කුඩා පුටුවක් රාජපුරුෂයන් ලවා අංගණයෙහි තැබූවිට ගණිත කොලුවා ඒ මත නැඟ ලීය අහසට දිගු කළ කල්හි ඒ පුළුන් පිඩ ගිනිගෙන ඇත. මෙම ආශ්චර්යය දුටු රජතුමා විශ්මයට පැමිණ ඔහුට එම පුටුව තෑගි කොට බරණ යන ගුරු නාමයද ප්‍රදානය කොට ඇත. බරණ ගණිතයා නමින් ප්‍රසිද්ධ වූයේ එදා සිට බව සඳහන් වෙයි.
වස් කවිවලට ප්‍රසිද්ධියක් ඇති කුංකුනාවේ සුමංගල හාමුදුරුවන් වහන්සේද 1712 ජනවාරි 23 වැනිදා මිථුන ලග්නයෙන් අශුභ ග්‍රහයෙක් වන ශනිට අයත් පුෂ නැකැතින් ඉපදී ඇත. මෙම දෙදෙනාම පාප නැකැත්වලින් ඉපදී ඇති බව දැන් හොඳින් පැහැදිලි වනු ඇත.
අක්ෂර භේද-ගණ-ගණ අධිපතීහු පක්‍ෂ, දින නැකැත්, තිථි, ලග්න, හෝරා, පංච පක්ෂි, උපහාර විධි ආදිය ගැන ඉතා හොඳ දැනුමක් සෙත් කවි රචකයාට තිබිය යුතුයි. ඒ කරුණු දැනගෙන රචනා කරන කවියෙන් නියම ප්‍රතිඵල ලබන්නට පුළුවනි. එසේ නැතිව ලියන ඒවා හිස් කවි බවට පත්වෙයි. කාව්‍ය කර්තෘ සහ කාව්‍ය නායකයාගේත් ජන්ම නැකැත අවශ්‍යයි. ශුභ වස්තු හා ශුභ ශබ්ද සෙත් කවියට අවශ්‍යයි. අ-එ-ඔ-ඉ-උ-කියා ස්වර අකුරු පහකි. පංචාක්‍ෂර නමින් සඳහන් වෙයි.
එ-ක-ය-ම-ර-ජ-අ-ණ-න-ළ-අං යන අකුරු අපායාක්‍ෂර වෙයි. අපායාක්‍ෂරයක් මුල්කර නම් තබා ඇති අයට කෙතෙක් සුර සැප විඳින්නට තිබුණත් දහසක් ප්‍රශ්න මැද ඉන්න සිදුවෙයි.
උ-ප-බ-ග-හ යන අක්‍ෂර මනුෂ්‍යාක්‍ෂර වෙයි. උදාසීන තත්ත්වයෙන් පලදෙයි. ඉ-ඔ-ට-ඩ-ත-ද- ල-ව-ස- යන අකුරු දිව්‍යාක්‍ෂර වෙයි. සෙත් කවි සඳහා දිව්‍යාක්‍ෂර අකුරු මුල් කරගත යුතුයි.
සාමවිනිසුරු, ජ්‍යෙතිෂ්‍ය ශබ්ද විද්‍යා විශාරද
බෙල්පාමුල්ලේ එච්.ජී සිරිසේන (30/11/2021 මව්බිම පුවත්පතේ තරුපති විශේෂාංගය)