Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ඔබට ලොතරැයි දිනුම් සහ හදිසි ධන ලාභ ලැබෙන හැටි ජේ‍යාතිෂමය පැහැදිලි කිරීම මෙන්න

1 year ago 7 Min read
Subha.lk

 

හඳහන් බැලීම නැත්නම් ජන්මපත්‍ර පරීක්ෂාවකදී සෑම අයකුම පාහේ තමන් හට ලැබෙන හදිසි ධන ලාභ හෝ ලොතරැයි දිනුම් පිළිබඳව මහත් උනන්දුවක් දක්වයි. මේ නිසාම එවැනි ධන ලාභ ලබාදෙන ග්‍රහයෝග පිළිබඳව දැනුවත් කිරීම මෙම ලිපියේ අරමුණවේ. ජන්ම පත්‍රයක පවතින ලොතරැයි සහ එවැනි අනෙකුත් ධන ලාභවලට අදාළ ග්‍රහයෝග පරීක්ෂා කිරීමේදී පළමුවෙන්ම ජන්ම පත්‍රයේ 2, 4, 5, 6, 7, 8, 9 සහ 11 යන රාශිවලට අවධානය යොමුකළ යුතු අතර මූල්‍යමය දෘෂ්ටි කෝණයෙන් බලන විට එම රාශින් ධන ලාභ සමඟ සම්බන්ධ වන ආකාරය පහත දැක්වේ.

 

2 වැනි රාශිය: ධනස්ථානය යනුවෙන් හඳුන්වන මෙයින් නිවේදනය වන්නේ යම් අයකු සතු වත්කම් නැත්නම් ධනය මූල්‍ය සංචිත සහ තමන් උපයා ගත් වස්තුවයි.

4 වැනි රාශිය: යානවාහන, දේපළ, භවභෝග සම්පත් සහ යමකු ලබන සුඛ විහරණයයි.

5 වැනි රාශිය:  හදිසි මූල්‍යමය ලැබීම්, ලොතරැයි දිනුම් සහ සූදු ක්‍රීඩා යනාදියෙන් ලැබෙන මුදල් මෙයින් ප්‍රකාශ වේ.

6 වැනි රාශිය: මෙයින් ප්‍රකාශ වන්නෙ මූල්‍ය ආයතන බැංකු හෝ මූල්‍ය සමාගම් යනාදියෙන් ලැබෙන මුදල්ය.

7 වැනි රාශිය: විවිධ ව්‍යාපාරික කටයුතුවලින් ලැබෙන ලාභ මීට අයත් වේ.

8 වැනි රාශිය:  මෙයින් ප්‍රකාශ වන්නේ දෑවැද්ද අන්තිම කැමති පත්‍ර සහ තමන්ට ලැබෙන අන් අයගේ දේපළ යනාදියයි.

9 වැනි රාශිය: දෛවෝපගතව පෙර පින් බලයෙන් ලැබෙන මුදල් සහ දේපළ යනාදිය මීට අයත් වේ.

11 වැනි රාශිය : අයස්ථානය යනුවෙන් හඳුන්වන මෙයින් ප්‍රකශ වන්නේ විවිධ මූලාශ්‍රවලින්් නිරතුරුවම ඔබට ලැබෙන මුදල්ය.

මීළඟට වැදගත් වන්නේ හදිසි ධන ලාභ හෝ ලොතරැයි දිනුම් ලබාදෙන ග්‍රහයන් සහ ග්‍රහ යෝගයන්ය. මෙ අනුව රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි සහ රාහු යන ග්‍රහයන් මූලිකවේ. ධන ලාභ ලබා දීමේදී අදාළ ග්‍රහයන්ගේ කාර්යභාරය පහත දැක්වේ. මෙමඟින් ඔබට මුදල් ලැබෙන මූලාශ්‍රය හඳුනා ගත හැකිය.

රවි ග්‍රහයා : රජයෙන් හෝ රජයට සම්බන්ධ විවිධ ආයතනවලින් ලැබෙන මුදල් මීට අයත්වේ.

සඳු ග්‍රහයා : විදේශ රටවලින් ලැබෙන මුදල් ආනයන අපනයන කටයුතුවලට අදාළ මුදල් සහ විවිධ දියර වර්ග අලෙවියෙන් ලැබෙන මුදල් සඳුට අයත් වේ.

කුජ ග්‍රහයා : විවිධ යාන්ත්‍රිකමය කටයුතු ග්‍රන්ථ ප්‍රකාශනය ඉඩකඩම් කෘෂිකර්මාන්තය යනාදියෙන් ලැබෙන මුදල් කුජට අයත්වේ.

බුධ ග්‍රහයා : අධ්‍යාපනයට සම්බන්ධ විවිධ අංශවලින් ලැබෙන ආදායම උපකාරක පංති දේශන සහ සම්මන්ත්‍රණ යනාදියෙන් ලැබෙන මුදල් මීට අයත්වේ.

ගුරු ග්‍රහයා : බැංකු සහ මූල්‍ය ආයතනවලින් ලැබෙන ණය මුදල් සහ පොලි යනාදිය මීට අයත්වේ.

සිකුරු ග්‍රහයා: සංගීතය, චිත්‍රපට. ටෙලි නාට්‍ය මෙන්ම රඟපෑමෙන් ලැබෙන ආදායම සහ ප්‍රාසාංගික කලාවලින් ලැබෙන මුදල් මෙන්ම ඖෂධ සහ වාහන යනාදියෙන් ලැබෙන මුදල් මීට ඇතුළත් වේ.

ශනි ග්‍රහයා : අනපේක්ෂිත ලෙස හදිසියේම විවිධ මූලාශ්‍රවලින් ලැබෙන මුදල් ශනිට අයත්වේ.

රාහු ග්‍රහයා : අනපේක්ෂිත හදිසි ගනුදෙනුවලින් ලැබෙන මුදල් මෙන්ම සමහර නීතිමය නොවන මාර්ගවලින් ලැබෙන මුදල් මීට අයත් වේ. හදිසි ධන ලාභ සඳහා ජන්ම පත්‍ර පරීක්ෂා කරන විට 2, 5, 6, 8 සහ 11 යන රාශිවලට අවධානය යොමු කළ යුතුවේ.

 

 

ලොතරැයි සහ අනෙකුත් ක්ෂණික ධනලාභ ලබාදෙන සුවිශේෂි ග්‍රහ යෝග

1. ලොතරැයි දිනුමක් ලැබීමට නම් ජන්ම පත්‍රයේ 5 වැන්න බලවත් විය යුතුය. 5 වැන්නේ සඳු සිටින විට සිකුරුගේ දෘෂ්ටිය ලැබුණහොත් නියත වශයෙන්ම ලොතරැයි දිනුමක් හිමිවේ.

2. ජන්ම පත්‍රයේ 6 සහ 9 වන රාශිවල අධිපති ග්‍රහයන් 11 වැන්නේ එක්ව පිහිටි විට ලොතරැයි දිනුමක් හිමිවන අතර සූදු ක්‍රීඩා ආදියෙන්ද ජය ලැබෙනු ඇත.

3. ජන්ම පත්‍රයේ 5 වැන්න සහ 2 වැන්නට අධිපති ග්‍රහයන් රාශි මාරු කරමින් පිහිටා ඇත්නම් හදිසි ධන ලාභ හිමිවේ.

4. බුධ ග්‍රහයා 11 වැන්නේ ස්වක්‍ෂේත්‍ර වී 6 වැන්නාධිපති සමඟ සම්බන්ධ වූ විටද ධන ලාභ ලැබිමේ භාග්‍ය උදාවේ.

5. සියලුම ග්‍රහයන් 2, 6, 8 සහ 11 යන රාශිවල පිහිටිමද ධන ලාභ ලබාදෙයි.

6. කන්‍යා රාශියේ කුජ සිකුරු ශනි සහ රාහු එක්ව පිහිටීමද  ධන යෝගයකි.

7. රාහු හෝ කේතු සමඟ 5 සහ 11 අධිපති ග්‍රහයන් 5 වැන්නේ එක්ව පිහිටීමද ධන යෝගයකි.

8. ගුරු ග්‍රහයා 5 හෝ 8 වැන්නේ උච්චව පිහිටීම හෝ තම රාශියක ස්වක්‍ෂේත්‍ර වීමද ධනය ලබා දෙයි.

9. ජන්ම පත්‍රයේ 2 වැන්නාධිපති 5 වැන්නේද 5 වැන්නාධිපති 11 වැන්නේද 11 වැන්නාධිපති 2 වැන්නේද සිටීමද ප්‍රබල ධන යෝගයකි.

10. 5 වැන්නාධිපති සහ 11 වැන්නාධිපති තම රාශි මාරු කරගනිමින් පිහිටිමද හදිසි ධන සම්පත් ලබා දෙයි.

11. ගුරුගේ දෘෂ්ටිය ඇතිව 2, 7, 11 අධිපති ග්‍රහයන් ලග්නයේ පිහිටීමද හදිසි ධනය ලබාදෙයි.

12. 2, 5, 8 සහ 11 යන රාශි අධිපති ග්‍රහයන් ශුභ ග්‍රහයන්ගේ දෘෂ්ටිය ඇතිව එකිනෙකට සම්බන්ධව පිහිටීමද ධන යෝගයකි.

13. ජන්ම පත්‍රයක සෙනසුරු සහ රාහු බලවත්ව හොඳින් සංයෝගව පිහිටිම සූදු ක්‍රීඩාවෙන් ජය ලැබීමට හේතුවේ.

14. ලග්නාධිපති බලවත්ව පිහිටීම සහ 2, 5, 8, 11 අධිපති ග්‍රහයන් උච්චව පිහිටන විටද හදිසි ධන ලාභ ලැබේ.

15. බුධ ග්‍රහයා 2 වැන්නේ බලවත්ව පිහිටි විට ජන්මියා උගත්කමින් ධනයෙන් යාන වාහනවලින් සහ දේපළවලින් සමෘද්ධිමත් අයෙකු වේ.

16. පිරිමි ජන්මියකු දිවා කාලයේදි පිරිමි කැකැතකින් උපත ලබා ලග්නාධිපති රවි සහ සඳු බලවත්ව ඔත්තේ රාශියක පිහිටි විට උදාවන මහා භාග්‍යා යෝගයද හදිසි ධන ලාභ සහ ලොතරැයි දිනුම් ලබාදෙයි. එසේම කාන්තා ජන්මියකු රාත්‍රි කාලයේදි ස්ත්‍රි නැකැතකින් උපත ලබා ලග්නාධිපති රවි සහ සඳු බලවත්ව ඉරට්ටේ රාශියක පිහිටි විට උදාවන මහා භාග්‍යායෝගයද ධන සම්පත් ලබා දෙයි.

 

ටී.එම් කුලරත්න

මනෝවිද්‍යා -  ව්‍යාපාර සහ‍ ජ්‍යෙතිෂ උපදේශක (28/11/2021 මව්බිම පුවත්පතේ තරුපති විශේෂාංගය)

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk