Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

අප සැම රැක සම්පත් ගෙන දෙන්නයි මෙපින් ගෙන දෙවියෝ මතු බුදු වෙන්නයි

1 year ago 7 Min read
Subha.lk
ශ්රී ලංකාවේ පිහිටි බෞද්ධ ජනතාවගේ වන්දනාමානයටහා ගෞරවාදරයට පත් අනුරාධපුරයේ පිහිටි සිද්ධස්ථාන බොහෝමයක් අතරින් ජය ශ්රී මහා බෝධිය, රුවන්වැලි සෑය, ජේතවනාරාමය, අභයගිරිය, ථූපාරාමය සහ මිහින්තලය හදුන්වාදිය හැකිය මෙම පූජා නගරයේ තවත් එක් පූජනීය සිද්ධස්ථානයක් මිහින්තලය ආසන්නයේ පිහිටා ඇත. එය අයියනායක දෙවියන් ආරක්ෂා කරනු ලබනවා යැයි පැවැසෙන කටු සෑය නම් දාගැබයි. මහනුවර - යාපනය ප්රධාන මාර්ගයේ මිහින්තලය පූජා නගරයේ සිට මීටර් 400ක් පමණ දුරින් කළුදිය පොකුණ ආසන්නයේ මෙම කටු සෑය පිහිටා ඇත. මිහින්තලය පූජා නගරයේ ඉදිකර ඇති වෙහෙර, විහාර හා දාගැබ් ගොඩනැඟිලි ආදිය ඉදිකිරීම සඳහා යොදාගනු ලැබූ උදලු තල, යකඩ, ගල්කටු, තාච්චි මෙන්ම වඩු කර්මාන්තයේදී භාවිත කළ උපකරණ සහ ගෙවී ගිය සියලුම පෙදරේරු උපකරණ තැන්පත් කර මෙම කටු සෑය නම් දාගැබ ඉදි කර ඇති බව පැවැසේ. ගරා වැටුණු පැරණි චෛත්යයක් මෙන් පෙනෙන මෙහි ගර්භයේ ඉහළ කොටස නොමැති අතර පාදම කළු ගලින්ද, ගර්භය ගඩොල්වලින්ද නිර්මාණය කර ඇත. කටු සෑය ඉදිරිපිටින් ගමන් කරන බොහෝ ජනයා මෙම ස්ථානයේ නතර වී පඬුරු දමා ආශීර්වාද ලබා ගැනීමට අමතක නොකරයි. ජනතාවගේ ප්රාර්ථනාවන් හා බලාපොරොත්තු ඉටු කර නැති වූ බොහෝ දේ සොයාදෙන පූජනීය ස්ථානයකි. බැතිමතුන්ගේ වන්දනාමානයට හා ගෞරවාදරයට කටු සෑය පාත්ර වී ඇත. මෙම කටු සෑය ඉදිරිපිටදී තමන් බලාපොරොත්තු වන කාරණාව පවසා පඬුරක් ගැටගැසූ පමණින් එය ඉටු වෙන බවත් සැබෑ ලෙසම බැතිමතුන්ට වාසනාව හා සෞභාග්යය උදාවෙන බව බොහෝ දෙනාගේ දැඩි විශ්වාසයයි. තම බලාපොරොත්තුව ඉටු වූ පසු බැතිමතුන් මෙම කටු සෑය අසලට පැමිණ කිරි උතුරුවා, කිර්බත් පිස කැවිලි, පලතුරු පූජාවක් පවත්වා භාරය නිදහස් කර දෙවියන්ට පින් අනුමෝදන් කරනු ලබයි. බොහෝ අය මෙම කටු සෑය අසල කිරිබත් පිස පූජා කර ඉතිරි කොටස බැතිමතුන් අතර බෙදාදෙන ආකාරයද දකින්නට හැකිය. මෙම පුද පූජා කරන බැතිමතුන්ද දවසේ ඕනෑම වෙලාවක මෙම පුදබිමේදී දැකගැනීමට හැකියාව ඇත. කටු සෑයට බාරහාර වන්නේද එය නිදහස් කරන්නේද මෙම පූජනීය ස්ථානය ආරක්ෂා කරන එය භාරව වැඩ වාසය කරන අයියනායක දෙවියන් වෙනුවෙන් බව ජනතාව පවසති. බොහෝ ඉහත හින්දු බැතිමතුන් යාපනයේ සිට කොළඹ යන විටදීද ආපසු එන විටදීද මෙම ස්ථානයේ කොළ අතු එල්ලා පඬුරු බැඳ පොල් ගසා ආශීර්වාද ලැබගෙන ගිය බවද ඒ මෙම පූජනීය ස්ථානයේ වැඩ වාසය කරන අයියනායක දෙවියන් වෙනුවෙන් බව විශ්වාසයක් පවතී. එදා මෙම ස්ථානයේදී වැඩි වශයෙන් පුද පූජා පැවැත්වූයේ හින්දු බැතිමතුන් බවත් ඒ අනුව හින්දු අයට විශාල පිහිටක් මෙම පූජනීය ස්ථානයෙන් හිමි වූ බව ජනප්රවාදයේ සඳහන් වේ. පසු කාලයේ සිංහල බෞද්ධ ජනතාවද මෙම කටු සෑය අසලදී පුද පූජා පැවැත්වීමට හා බාරහාර වෙන් කිරීමට පටන්ගෙන ඇත. වර්තමානයේ මේ වන විට ජාති භේද, ආගම් භේද, පක්ෂ පාට භේදයකින් තොරව විශාල බැතිමතුන් පිරිසක් පුද පූජා සඳහා මෙහි පැමිණේ. මෙම ස්ථානයට ඇති පිවිසුම් දොරටුවේ ඇති මුරගල් දෙකෙන් නිරූපණය වන්නේ මෙම ස්ථානය ආරක්ෂා කරනු ලබන දේවතාවුන් වන සංඛ හා පද්ම යන දෙවිවරුන් දෙපල බව පැවැසේ. නමුත් බොහෝ අය පවසන්නේ මෙහි ඇති උපකරණවලට අධිපතිව වැඩවාසය කරනු ලබන්නේ භෛරව දෙවියන් බවය. අෂ්ට භෛරව දෙවිවරුන් අතරින් පාතාල භෛරව දෙවියන් මෙහි වැඩ වාසය කරන බව තවත් එක් මතයකි. සූනියම් දෙවිඳු මෙම පූජනීය භූමියේ වැඩවාසය කරමින් කටු සෑය ආරක්ෂා කරන අතර බැතිමතුන්ට පිහිට රැකවරණය ලබාදෙන බව ඇතැම් ජනයාගේ විශ්වාසයයි. සිංහල හා හින්දු බැතිමතුන් වැඩි පිරිසකගේ මතය හා දැඩි විශ්වාසය මෙම පූජනීය ස්ථානයේ අයියනායක දෙවියන් විරාජමානව වැඩවාසය කරමින් කටු සෑයද ආරක්ෂා කරමින් පොදු ජනතාවගේ දුකට පිහිට වන බවයි. එනිසාම විශාල බැතිමතුන් පිරිසක් මෙම ස්ථානයට පැමිණෙන අතර කාලයක් තිස්සේ සුව නොවූ රෝග, නැතිවුණ දේ නැවත ලබා ගැනීමට, පවුලේ සමඟියට, දරු සම්පත් ලබා ගැනීමට, තරග විභාගයෙන් ජය ලැබීමට, සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වීමට, විවාහ ප්රමාදයට, යාන වාහන මිලදී ගැනීමට, ඉඩම් ලබාගෙන නිවාස ගොඩනැඟීමට, ව්යාපාර ආරම්භයට ඇතුළු බොහෝ කටයුතු සාර්ථක වීමට මෙම කටුසෑය අබියස බාරහාර වෙන් කිරීමෙන් පසු පිහිටක් වූ බව පැවැසේ. කටුසෑය වැනි පූජනීය ස්ථානයකින් පොදු ජනතාවට සෙතක් ශාන්තියක්, පිහිටක් මෙන්ම රැකවරණය හා ආශීර්වාදය ලැබීම සැමටම සතුටට කරුණකි. අනුරාධපුර අටමස්ථානය වන්දනාමාන කරන්න යන ඔබ මිහින්තලා පූජා නගරයට පැමිණ වසර දහස් ගණනක් පුරා පොදු ජනතාවට පිහිට වූ ජනතාවගේ වන්දනාමානයට හා ගෞරවාදරයට පාත්ර වූ කටු සෑය වෙතට පැමිණ පළමුව මල් පහන් පුදා තුණුරුවන් වැඳ අයියනායක දෙවියන්ට පින් අනුමෝදන් කර දෙවනුව ඔබේ බලාපොරොත්තුව ඉටුවීමට බාරයක් වෙන් කරන්න. ඔබේ බලාපොරොත්තුව එලෙසම ඉටුවනු ඇත. ඔබේ පැතුම ඉටුවූවා නම් ඊළඟ වසරේ ඔබ මෙම පූජනීය ස්ථානයට පැමිණ කිරි උතුරුවා, කිරිබත් පිස කටු සෑයට පූජා කර ඉතිරි කොටස සැමට බෙදාදී බාරය නිදහස් කර දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. මතක ඇතිව වෙන් කරන ලද බාරය නිදහස් කිරීමට වගබලා ගන්න. අයියනායක දෙවිඳුට පින් දීමට මෙය භාවිත කරන්න.--------------- අයියනායක පින් ඇති දෙවියන්ට යි මිහිකත වෙසෙනා සැම දෙවියන්ට යි අප සැම රැක සම්පත් ගෙන දෙන්න යි මෙපින් ගෙන දෙවියෝ මතු බුදු වෙන්න යි යං අම්මේහී කතං පුඤ්ඤං - සබ්බ සම්පති සාධකං අයියනායක දේව රාජාණං - අනුමෝදන්තු සාරං

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk