Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

පල අපල හරියටම දැනගන්නේ කෙහොමද?

1 year ago 7 Min read
Subha.lk
රජෙකුට හිමි අයිතිය යාචකයාටද ඇත යන්න පැරණි කියමනකි. යාචකයා රජවන්නේ ද රජු යාචකයා වන්නේද සෙනසුරුගේ බලපෑම මතය. මෙම ග්රහයා පිළිබඳව අසුභවාදීව දැකීම යනු තමන් විසින් අසුභත්වය ආරෝපණය කර ගැනීමකි. මේ සියල්ල ජන්මියකුගේ කේන්ද්ර සටහනක සුභව හෝ අසුභව පිහිටීම මත ක්රියාත්මකයි. සෙනසුරු යනු මහල්ලෙකි, කුසීතයෙකි යනු බොහෝ දෙනා අතර සෙනසුරු පිළිබඳව ඇතිවන ගොනු කිරීමකි. සෙනසුරු යහපත් වූ කේන්ද්ර සටහනක ජන්මියා ග්රහබලය අසුභව බාධකයනට ඇද වැටුණ ද ගැටලුවක් නැත. එවැන්නකුගේ විවාහ ජීවිතයේ කුමන බාධකයක් ඇතිවුවද සැලීමක් නැත. විවාහය අවසන් කිරීමක් හෝ විවාහය කඩා බිඳ දැමීමක් සිදු නොවෙයි. පහළම තැන සිට ජීවිනය ජය ගැනීමට මෙම සෙනසුරු ග්රහයා ජන්මියා හට නිබඳවම ශක්තියක් දෙනු ලබයි. බාධක විඳදරා ගැනීම තුළ ඇති වන දිරිමත් බව නොසැලෙන බව මිනිසා ලෞකික දියුණුවට පත් කරයි. අගනුවර පදික වේදිකාවේ කුඩා වෙළදාමක් කළ විසල් ව්යාපාර හිමි ධනවතකු බවට පත් කරන්නේ මෙම සෙනසුරුගේ නොසැලෙන බවයි. එවන් සෙනසුරු සත්යවාදීය. නිර්භීතය. දුර දකියි. මතුපිටට පෙනෙන්නො අප්රියජනක ස්වරූපයට වඩා වෙනස් වූ ස්වරූපයක් ආරෝපණය කර ගැනීම තුළ සෙනසුරු ජන්මියා හට වඩාත් යහපත් වෙයි. සෙනසුරුගේ උදව් උපකාර නොමැතිව කිසිවකු හට ලෞකික දියුණුවක් ලද නොහැකිය. සෙනසුරු ග්රහයා යහපත්ව සුභ දැකීම් තුළින් බලවත්ව කේන්ද්ර සටහනේ සිටින විට එවන් තරුණියන් වයස සම්පූර්ණ වීමත් සමගම විවාහ විදියට ඇතුළුවෙති. තරුණියකට මනා රූ සපුවක් සෙනසුරු විසින් උරුමකරවා දෙනු ලබයි. සෙනසුරුට සඳු හෝ සිකුරු පෙනීම විවාහය පමා කිරීමකි. සෙනසුරු මහ දසාවේ සඳු හෝ සිකුරු අතුරු දසාවේදී ස්ත්රිත් සම්බන්ධව සිත් කලකිරීම් ලෞකික ජීවිතයේදී ජන්මියා හට අත්විඳීමට ලැබේයි. විවාහයේ යම් යම් අර්බුදකාරී ගැටුම් ඇතිකරවයි. යමෙකුට සෙනසුරු යහපත්වීම මෙන්ම නිමවීමද යහපත්ය. ජනතාව අතර ගැටෙමින් තම මතවාදයන් ජනතාවට වටහා දී ඔවුන් අවනත කරවා ගැනීමට විශේෂ හැකියාවක් ඇතිවන්නේ සෙනසුරු නීච වූවන්ටය. දේශපාලන ලෝකයේ ජයකෙහෙළි නැංවූ ප්රබල චරිතයනට සෙනසුරු නීචවීම යහපත්කම විය. ජනතාව අතර සිට ඔවුන් තුළින්ම ප්රබලයකු වීමේ හැකියාව මෙම ග්රහ පිහිටීම මත තහවුරු වෙයි.ජන්මියාට බලාපොරොත්තු රහිත හදිසි ධනයක් ලබා දීමට ද සෙනසුරු මූලික වෙයි. ලෞකික ජීවිතය යහපත්ව ගත කිරීමට වෙහෙස වීම විඳදරා ගැනීමට පුරුදු කරන සෙනසුරු නිසි කල නිසි දේ ලබා දෙන්නේ යහපත් වූ තරමටමය. සෙනසුරු සිකුරු හා එක්වීම විවාහය පමාවකි. සෙනසුරු ගුරු හා එක්වීම සෙනසුරුගේ බලය යටපත් වීමකි. එයින් ගුරුගේ බලය පිළිගැනීම ඉස්මතුවෙයි. ජන්මියාගේ දිවිය උත්පත්තියට වඩා උසස් වෙයි. බුද සමග සෙනසුරු එක්වීම ජන්මියා ඉවසිලිමත් අයකු කරවයි. එයම ඔහුට කූට වංචාකාරි බුද්ධියක් ලබා දීමට ද හේතුවකි. සෙනසුරු කුජ එක්වීම මත ජන්මියා ආවේගයෙන් තොරව කටයුතු කිරීමේ දක්ෂයකු කරවයි. සඳු සෙනසුරු එක්වීම සඳුගේ චංචල භාවය තුරන් වීමකි. රවි සමඟ සෙනසුරු එක්වීම සෙනසුරුගේ දුබල ගති දුරු වී ක්රියාශීලී වීමකි. මේ සියල්ල කේන්ද්ර සටහනක් සමඟ ගොනු කිරීමෙන් පමණක් සෙනසුරුගේ ස්වභාවය අවබෝධ කළ නොහැක. උපතින්ම සෙනසුරු අසුභ වූ අයකුට ගෝචරයෙන් සෙනසුරුගේ පලවිපාකයන් කවරේද? මේ සියල්ලම අයහපත් වූ කල සෙනසුරුගෙන් ලැබේන්නේ අයහපතම පමණක්ද? නැත. නොපෙනෙන බලවේගයක් ලෙස සෙනසුරුට අයහපත් කාලයේ ද යහපත උදාකළ හැකිය. ජන්මියා උපන් නැකත අනුව සෙනසුරු යහපත අයහපත උදාකරවයි. සෙනසුරු වර්තමානයේ තුලා රාශියේ ගමන් කරන්නේ සා නැකතේය. යමෙකු උපන් නැකත අනුව පිළිවෙළින් සා නැකත දක්වා ගුණ බැලීමෙන් එහි ප්රමාණය අනුව සෙනසුරුගෙන් වන යහපත අයහපත අවබෝධ කරගත හැකිය. නැකත් විසිහත සහ උපන් නැකත හඳුනා ගැනීම තුළින් සෙනසුරුගේ සැඟවුණු බලය පෙන්වයි. පරාශර - ගර්ග ආදී ඉසිවරුන්ගේ දර්ශනය අනුව සෙනසුරුගේ ගමනින් ඇතිවන පලවිපාක විවිධය. ඔබේ උපන් නැකතේ සිට සා නැකත දක්වා ගතවන නැකත් එකතුව නොවැම්බර් 05 දායින් වෙනස් වන්නේ විසා නැකත උදාවීම නිසාය. ඔබ උපන් නැකතේ සිට නොවැම්බර් 05 දා දක්වා සා නැකත දක්වා සෙනසුරුගේ නැකැත් පලාපලයන්ද එයට විසා නැකත එකතු කිරීමෙන් නොවැම්බර් 05 න් පසු ඉදිරියට බලපවත්වන නැකැත් පලාපලයන්ද මෙලෙසය. නැකැත් යහපතට - 2-3 -4 ධන ලාභ - සැප සම්පත් ලැබීම - රැකියා දියුණුව, 5-6 ජන ප්රසාදයට පත්වීම, 12 - 13 බලවත් වීම - සතුරු පරාජය - සැප සම්පත් හිමි වීම, 19 - 20 ශරීර සනීපය - ආගමික නැඹුරුව - ලෞකික සැප, 21 - 22 - 23 විනෝද චාරිකා උසස් වීම් - සැප සම්පත්, 24 - 25 හදිසි ධන ලාභ ජනතා ප්රසාදය, නැකැත් අයහපතට- 1 - හදිසි අනතුරු - දුක් කරදර, 10 – 11 අනතුරු- මානසික ආතතිය - ලෙඩ රෝග, 14 - 15 රැකියා කරදර - පදිංචිය, රැකියා ස්ථාන මාරුවීම්, 16 – 17 – 18 කටයුතු අසාර්ථක වීම - ධන හානි - සතුරු කරදර, 26 - 27 ලෙඩ දුක් - මරණ බිය - අලාභ හානි, මෙම පල විපාකයන් සෙනසුරු ගමන් කරන නැකත සහ ඔබ උපන් නැකත අනුව ඔබට උරුමයි. මෙම වටහා ගැනීම තුළ අපල සමනය ප්රතිකර්ම යෙදීම අපල බාධකයනට මුහුණ දීමට අවැසි කායික මානසික ශක්තිය ලබාගැනීම ඔබේ ජීවිතය සාර්ථක කර ගැනීමට හේතු වෙයි. ලෞකික ජීවිතය තුළ මිනිසත් බව ලද සැම දෙනකුගේම ප්රාර්ථනය අවබෝධයෙන් ලබන ජීවිතයේ සාර්ථකත්වයම නොවන්නේද?

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk