Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

වසරේ අවසන් සුර්ය ග්‍රහණයෙන් පසු කබලෙන් ළිපට වැටෙයිද ?

1 year ago 7 Min read
Subha.lk

මෙම වසරේ අවසාන භාගයට ළඟාවෙමින් පවතින මෙම වකවානුවේදී ලෝකවාසීන්ට වසර පුරා මුහුණපෑමට සිදුවූ දුක්ඛිත අවස්ථාවන් සමාලෝචනය කරන විට ඉදිරි කාලසීමාව කෙසේ ගෙවීමට සිදුවේද යන ප්‍රශ්නය පැනනඟී. 2021 වසරේ මැයි විසිහය වැනි දින සිට මේ දක්වා චන්ද්‍ර ග්‍රහණ දෙකකට සහ සූර්ය ග්‍රහණයකට මුහුණදීමට ලොවට සිදුවිය. එම ග්‍රහණ සිදුවීමෙන් අනතුරුව බොහෝ ව්‍යසනයන් ලෝකය පුරාම සිදුවිය. එවැනි පසුබිමක් තුළ දෙසැම්බර් මස හතර වැනි දින පූර්ණ සූර්ය ග්‍රහණයක් සිදුවේ. මෙම ග්‍රහණය සිදුවන්නේ කුජට හිමි වෘශ්චික රාශියේ බුධට හිමි දෙට නැකැතෙහිය. මේ අවස්ථාව වනවිට වෘශ්චික රාශියෙහි බුධ ග්‍රහයා දෙට නැකැතේ ගමන් කරන අතර කේතු ග්‍රහයා සෙනසුරුට හිමි අනුර නැකැතේ ගමන් කරයි. 

 

ග්‍රහණය සිදුවන අවස්ථාවෙහි වෘශ්චික රාශියේ රවි, චන්ද්‍ර, බුධ සහ කේතු යන ග්‍රහයන් ගමන් කරමින් සිටී. ලෝකායන කේන්දරයට අනුව මෙම ග්‍රහ ගෝචරය අටවැනි භාවයෙහි සිදුවේ. එමෙන්ම ග්‍රහණය සිදුවන්නේ නිරිත දිසාවෙනි. එම දිසාව අපසව්‍ය දිසාවක් ලෙස ‘දෛවඥ කාමධේනු’ ග්‍රන්ථයෙහි දැක්වේ.

සව්‍යෙනචලනං රාහොශ්චෞරහ්‍යො භයමාවහෙත් 

 

අපසව්‍යෙන චලනං ක්ෂෙමකෘද්භූරි වාරිදම් 

 

සූර්ය ග්‍රහණය සව්‍ය හෙවත් වයඹ දිසාවෙන් සිදුවුවහොත් සොර බිය ඇති වන අතර අපසව්‍ය හෙවත් නිරිත දෙසින් වුවහොත් බොහෝ වැසි ඇති වේ. දෙසැම්බර් හතර වැනි දින සිදුවන සූර්ය ග්‍රහණය බුධ ග්‍රහයාට අයත් අපසව්‍ය නැකැතක් වූ දෙට නැකැතේ සිදුවීම තවත් විශේෂත්වයකි. 

 

ලෝකායන කේන්දරයට අනුව ග්‍රහණය සිදුවූ රාශියේ අධිපති ග්‍රහයා වූ අඟහරු ග්‍රහණය සිදුවූ දිනට පසුදින අටවැනි භාවයේ ගෝචර වේ. තේජෝ ගුණයෙන් යුත් ගිනිකාරක ග්‍රහයෙක් වූ රවි ග්‍රහයාත් අටවැන්නේ සිටීම නිසා එම භාවයට අඟහරුගේ පැමිණීම දැඩි අනතුරුදායක තත්ත්වයක් උදාකිරීමට හේතු වේ. මෙතෙක් කල් නොඇසූ ආකාරයේ භයානක අනතුරු, හිංසා, විපත්තිදායක මරණ සිදුවීමට මෙම ග්‍රහචාරය හේතුවේ. 

ලංකාව කුම්භ රාශිය නියෝජනය කරන බැවින් මෙම සූර්ය ග්‍රහණය සිදුවීම ලංකාවට කුමන අයුරින් බලපායිද යන්න ජේ‍යාතිෂමය වශයෙන් විමසිය යුතුය. එසේ අධ්‍යයනය කිරීමේදී ලංකා කේන්දරයෙහි දහවැනි භාවයෙහි මෙම ග්‍රහණය සිදුවන බව පෙනීයයි. ග්‍රහණය සිදුවන මොහොතේ අඟහරු නවවැන්නේ ගෝචර වී සිටී. ඊට පසුදින වෘශ්චික රාශි ගතවන කුජ තේජෝ ගුණයෙන් යුත් රවි ග්‍රහයා සමඟ යෝග වනවිට එම රාශියේ සඳු ග්‍රහයාද සිටීම විශේෂත්වයකි. සඳු ග්‍රහයා මෙම භාවයේදී පාපී ග්‍රහයන්ගෙන් පීඩාවට පත්වේ.

 

දහවැනි භාවය මඟින් නියෝජනය වන්නේ ආණ්ඩු බලයයි. රාජ්‍යය බලය හිමි ආණ්ඩුවට දෙසැම්බර් මාසය ඇතුළතදී බරපතළ අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදුවේ. පාලක පක්ෂය ගිනි කන්දකට අත තැබුවා වැනි බරපතළ අර්බුදකාරී අවස්ථාවන්ට පත්වීමත් ආණ්ඩුවට එරෙහි වන කණ්ඩායම් ආණ්ඩුව ඇතුළතින්ම නිර්මාණය වීමත් නිසා රජයේ උසස් නිලධාරීන් රජය කෙරෙහි තැබූ විශ්වාසය බිඳ වැටෙනු ඇත. මෙම ග්‍රහ බලය තුළ සඳු ග්‍රහයා පීඩාවට පත්වීමෙන් රජය අපකීර්තියට පත්වීමත් උසස් කාන්තාවන්ට පීඩා හිරිහැර ඇති වීමත් සිදුවේ. 

 

 

ග්‍රහණය සිදුවී වසරක් වැනි දීර්ඝ කාලයක් පුරා විපාක සිදුවන හෙයින් උදාවෙන 2022 වසරද ලංකාවට යහපත් නොවන බව පෙනීයයි. කුම්භ ලග්නයේ යෝගකාරක සිකුරු ග්‍රහයා රවිගේ නැකැතක ගෝචර වී අයස්ථානය වූ එකොළොස්වැන්නේ ගමන් කරයි. මෙම සිකුරු කේතුගේ දොළොස්වැනි දෘෂ්ටියෙන් පීඩාවට පත්වීම නිසා සමස්තයක් වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කෙරෙහි දැඩි අප්‍රසාදයක් මහජනතාව තුළ ඇති වේ. ඊට අමතරව දැනට උද්ගත වී තිබෙන ඉන්ධන අර්බුදය තවදුරටත් උත්සන්න වීමෙන් ලබන වසරේ මුල් කාර්තුවද ආර්ථික වශයෙන් බරපතළ අර්බුදකාරි තත්ත්වයකට පත්වේ. 

මේ අවස්ථාව වනවිට ගුරු නීචයෙන් මිදී කේන්ද්‍ර ගත වුවද කුජ ග්‍රහයා දසවැනි භාවයේ සිට සිවුවැනි දෘෂ්ටියෙන් දැකීම නිසා ගුරු ග්‍රහයා කුජ ග්‍රහයාගෙන් පීඩාවට පත්වේ. දහවැනි භාවය ආණ්ඩුව නියෝජනය කරයි. මෙවැනි ග්‍රහ බලපෑමක් තුළ ආණ්ඩුව බුද්ධිමත් ලෙස ක්‍රියා නොකිරීමෙන් මහජන සාමයට බාධා වීමත් ඒ මත මහජනතාව ආණ්ඩුව කෙරෙහි අප්‍රසාදය පළකිරීමත් නිසා අරගල, උද්ඝෝෂණ, වැඩ වර්ජන යළි ප්‍රාණවත් වීමට පටන් ගනී.

 

මෙම අවස්ථාවේදී නෙප්චූන් ග්‍රහයාත් ලග්න ගතවී සිටීමෙන් රටපුරා දූෂිත ක්‍රියා සිදුවීමත් සොරකම් වැඩිවීමත් අපරාධ බහුල වීමත් මත ආරක්ෂක අංශ කෙරෙහි පවතින මහජන විශ්වාසය බිඳ වැටේ. මෙම ග්‍රහ යුද්ධයෙන් අනතුරුව යුරේනස් ග්‍රහයා තුන්වැනි භාවයේ ගෝචර වී සිටීම තුළ මහජනතාව විසින් රාජ්‍ය පාලනය පිළිනොගන්නා තත්ත්වයට පත්වීමත් ගොවි, කම්කරු ජනතාව පීඩනයෙන් අසරණ වීමත් මත ජනතාව ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්හි යෙදීමට පෙලඹේ.  

 

දෙසැම්බර් හතරවැනි දින සිදුවන පූර්ණ සූර්ය ග්‍රහණය ලංකාවට දර්ශනය නොවූවත් විශ්වය පුරා පැතිරී යන කිරන සමස්ත පෘථිවි තලයටම බලපෑම් කරන හෙයින් ග්‍රහණයෙන් පසුව ඇති වන පල විපාකවලින් මිදීමට නොහැකි වේ. වෘශ්චික රාශියෙහි සිදුවන සූර්ය ග්‍රහණයේ අනෙක් ප්‍රතිඵලය වන්නේ මිනිස් ජීවිතයට අහිතකර වූ මත්පැන්, මත්ද්‍රව්‍ය වෙළෙඳාමෙහි යෙදෙන්නන්ට නීතියෙන් මෙන්ම වෙනදාට වඩා සමාජ සේවා සංවිධානවලින්ද බලපෑම් ඇති වන හෙයින් ඔවුන්ගේ ජීවිතවලට හානිදායක තත්ත්වයක් උදාවේ. 

 

පසුගිය නොවැම්බර් දහනව වැනි දින සිදුවූ චන්ද්‍ර ග්‍රහණයෙන්ද අයහපත් ප්‍රතිඵල උදාවන හෙයින් මෙම ග්‍රහණ දෙකේම බලපෑමට අනුව ගොවිතැන් හෝ වෙනත් කෘෂිකාර්මික අංශයන්හි දියුණුවක් අපේක්ෂා කළ නොහැකිය. ගුරු ග්‍රහයා සමඟ යෝග වූ නෙප්චූන් ග්‍රහයාගේ බලපෑම මත විදේශ විනිමය සහ විදේශ ආධාර අහිමි වී යෑමට හේතුවේ. මෙවැනි පසුබිමක් තුළ ආහාර අර්බුදයකට මුහුණදීමටත් ප්‍රාග්ධන භාණ්ඩ සහ අමුද්‍රව්‍යවල හිඟය මත නිෂ්පාදන ආයතන වැසීයෑම තුළ වැඩි පිරිසකට රැකියා අහිමිවීමටත් ඉඩ තිබේ. වෙනදාට වඩා ආගමික නායකයන් කෙරේ මහජනතාව කලකිරීමට පත්වේ. 

 

විවිධ ආගම්වලට මුවාවී දූෂිත ක්‍රියාවන්හි යෙදෙන්නන්ට, දේශපාලන ක්‍රියාකාරිකයන්ට තාක්ෂණය ඔස්සේ අයථා ක්‍රම භාවිතයෙන් මහා පරිමාණයෙන් කළු සල්ලි උපයන්නන්ට සහ දාමරිකයන්ට පොදු නීතිය අභිභවා සොබාදහමේ නීතියෙන් දඬුවම් කිරීමට මෙම ග්‍රහචාරය බලපවත්වන බව අවධාරණය කරමි.

 

කිවිපති

කල්‍යාණි හේරත් මැණිකේ

(28/11/2021 මව්බිම පුවත්පතේ තරුපති විශේෂාංගය)

 

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk