Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

මැණික් කටුවේ රේඛා සහ ගුප්ත කතිරය තුලින් හෙළි කරන රහස්

1 year ago 7 Min read
Subha.lk
අත්ලක පිහිටන අප්රධාන රේඛාවන් අතර මැණික් කටු, රේඛාද වැදගත් වෙයි. මණිබන්ධන රේඛා, වළලුකර රේඛා යන නම්වලින්ද මෙම රේඛා හඳුන්වනු ලබයි. ජීවන රේඛාවද බොහෝ විට අවසන් වන්නේ මැණික්කටු රේඛා ආශ්රයෙන්මයි. එමෙන්ම දෛව රේඛාව, සුඛ රේඛාව, දේශාටන රේඛා මෙන්ම කීර්ති රේඛාවද සමහරවිට මැණික්කටු රේඛා ආශ්රයෙන් ආරම්භ වෙයි. මේ අනුව හස්ත රේඛා විද්යාවේදී මැණික් කටු රේඛාවලට වැදගත් ස්ථානයක් හිමිවී ඇති බව ඔබට හිතාගත හැකිය. අත්ල බාහුවට සම්බන්ධ කරන මැණික් කටුව මත වැටෙන මැණික්කටු රේඛා පිහිටා ඇති බව මේ සමඟ පළවන රූප සටහනින් ඔබට හඳුනා ගත හැකිය. පළමුවෙන්ම අංක 1න් දක්වා ඇති රේඛාව දෙස බලන්න. අත්ල පැත්තෙන් මුලටම පිහිටා ඇති රේඛාව පළමුව විස්තර කරමි. තෘණ වළල්ල යනුවෙන් මෙය හඳුන්වයි. එම රේඛා වළල්ල බලපානුයේ කිසියම් අයකුගේ ළමා කාලයටයි. එම රේඛාව පැහැදිලිව ළා රතු පාටට හුරුව ලස්සනට පැහැදිලිව වැඩී ඇත්තේ නම් ඔහු හෝ ඇය ළමා කාලයේදී මවුපියන්ගේ නොමඳ ආදරය ලබමින් සැප සම්පත් භුක්ති විඳි අයකු විය හැකිය. කැඩී බිඳී හෝ විකෘති ලෙස පිහිටා ඇති තෘණ වළල්ලෙන් එම අය ළමා කාලයේදී නොයෙකුත් දුක් කරදර වින්ද අයකු ලෙස පෙන්නුම් කරයි. දෙවැන්නෙන් දක්වා ඇති රේඛා වළල්ල ධන වළල්ල ලෙස හඳුන්වනු ලබයි. එය පුද්ගලයාගේ තරුණ කාලය තුළ පැවැති ජීවිත තත්ත්වය පෙන්නුම් කරයි. පැහැදිලි ලස්සන ධන වළල්ලක් ඇති අය තරුණ කාලයේදී අනේකවිධ සැප සම්පත් ලබන බව හස්ත රේඛා විද්යාව නිගමනය කරයි. එම රේඛාව කැඩී බිඳී හෝ දුර්වර්ණ වී පිහිටා තිබීම අසුබය. තරුණ කාලයේ නොයෙකුත් දුක් කම්කටොලුවලට මුහුණ පෑමට සිදුවන බව එමඟින් ප්රකට කරයි. රූප සටහනේ තුන්වෙනුව සටහන් කර ඇති රේඛා වළල්ල සම්පත් වළල්ල ලෙස හඳුන්වයි. එම සම්පත් වළල්ල බලපානුයේ කිසියම් අයකුගේ මහලු කාලයටයි. මෙම සම්පත් වළල්ල පැහැදිලි ලෙස දර්ශනය වේ නම් මහලු වයසේදී සතුටින් සැපෙන් දිවි ඇතිතෙක් ඉන්නට අවස්ථා හිමිවෙයි. මෙම රේඛාව කැපී කැඩී හෝ විකෘති ලෙස පිහිටියේ නම් මහලු කාලයේ දුක්බරව දිවි ගෙවීමට සිදුවේ. මැණික්කටු රේඛාවලින් මතුවූ රේඛාවක් බුධ මණ්ඩලය කරා විහිද ගියේ නම් (4) විශාල ධන ලාභයක් හිමිවන බව කියැවේ. එම රේඛාව බොහෝ විට බුධ රේඛාවේ නැතහොත් සුඛ රේඛාවේ පිහිටීමට සමානය. ඒ කෙසේ වුවද එය සුඛ රේඛාව නොවේ. චන්ද්ර මණ්ඩලය හා දෙවැනි කුජ මණ්ඩලය හරහා පිටඅල්ල පැත්තට වඩාත්ම නැඹුරු වී මෙම රේඛාව පිහිටයි. රූප සටහනින් ඔබට එය පැහැදිලි වනු ඇත. (5) දබර ඇඟිල්ලත් මහපට ඇඟිල්ලත් අතරින් ආරම්භ වුණ රේඛා දෙකක් හෝ කිහිපයක් අල්ල මැදදී විහිදී ගොස් මැණික්කටු රේඛාවලට සම්බන්ධවීම ස්ත්රී පක්ෂයට අසුබ පිහිටීමක් වෙයි. ගණිකා වෘත්තියේ නියැළෙන ස්ත්රීන්ගේ අත්වල පිහිටන රේඛා ලක්ෂණයක් වශයෙනුයි එය හඳුන්වන්නේ කෙනෙකුගේ පරමායුෂ ගණනය කරන ප්රධාන රේඛාව ලෙස ජීවන රේඛාව හඳුන්වයි. කෙසේ වුවද කෙනෙකුගේ පරමායුෂ නිගමනය කරන්නට පළමුව මැණික්කටු රේඛාත් විශේෂයෙන් පරික්ෂා කළ යුතුයි. හොඳින් දර්ශනය වන මැණික්කටු රේඛාවක සාමාන්ය ආයුෂ අවුරුදු 30ක් වශයෙන් සැලකෙයි. ඒ අනුව මැණික්කටු රේඛා දෙකක් පැහැදිලි ලෙස තිබේ නම් අවුරුදු 60ක් වශයෙන්ද, රේඛා තුනක් පැහැදිලි ලෙස ඇත්නම් ඔහුගේ හෝ ඇයගේ පරමායුෂ අවුරුදු 90ක් වශයෙන් ද නිගමනය කරනු ලබයි. කාගේ හෝ අතක මැණික්කටු රේඛා හතරක් පිහිටියේ නම් ඔහුගේ හෝ ඇයගේ පරමායුෂ අවුරුදු 120 ක් ලෙස සැලකේ. වී ඇට මාලයක් ලෙසින් වැටෙන මැණික් කටු රේඛාවලින් ධනවත් පුද්ගලයකු හඳුන්වාදෙයි. පැහැදිලි ලස්සන මැණික්කටු රේඛා තුනක් පිහිටි අත හිමි කාන්තාව රාජ මහේෂිකාවක් වීමට තරම් පින්වත් තැනැත්තියක් බව සමුද්ර සෘෂිවරයන් පවසා ඇති බව කියැවේ. මැණික් කටු රේඛා මත වැටෙන ත්රිකෝණ ලකුණුද සුබ පිහිටීමක් වෙයි. පිය, සන්තක සියලු ධනය ඇයට හෝ ඔහුට හිමිවන බව එමගින් ප්රකට කරයි. භූමිගත මැණික් වැනි සම්පත්ද උරුම විය හැකිය. මැණික්කටු රේඛා දෙකක් අතර කතිර වැටී තිබේ නම් එයින් පෙන්නුම් කරනුයේ සදාකාලික සැපවත් ගෘහ ජීවිතයකි. යම්කිසි අයකුගේ අතක මැණික්කටු රේඛා තුනක් පිහිටා එම රේඛා තුනම එකම ස්ථානයකින් කැපී කැඩී තිබේ නම් එම අය සියදිවි නසා ගැනීමට පෙලඹෙන බව කියැවෙයි. අත්ලක පිහිටන තවත් විශේෂ ලක්ෂණයක් ගැන දැන් හඳුනා ගන්න. ඒ තමයි ගුප්ත කතිරය. හෘදය රේඛාවත්, ශීර්ෂ රේඛාවත් අතර (6) ප්රදේශයෙහි මෙම සලකුණ පෙන්නුම් කරයි. මෙය ගුප්ත කතිරය ලෙස හඳුන්වයි. සමහරවිට ගුප්ත කතිරය හෘදය රේඛාව ශීර්ෂ රේඛාව හෝ දෛව රේඛාවටද සම්බන්ධව පිහිටන අතර සමහරවිට සම්බන්ධ නොවීද පිහිටිය හැකිය. ගුප්ත විද්යාවන් කෙරෙහි කැමැත්ත හා විශ්වාසය එමඟින් ප්රකාශ වෙයි. ගුප්ත විද්යාවන් හැදෑරීමට එවැනි අයට සහජ දක්ෂතා ඇති අතර ලෝකෝත්තර හැඟීම්වලින් බර වූ හදවතක් ඔවුන් සතුවෙයි. ගුප්ත කතිරය දෛව රේඛාවට සම්බන්ධ වී තිබේ නම් ඔහු හෝ ඇය බොහෝ විට ගුප්ත විද්යාව ඉගෙන ගන්නේ මුදල් උපයා ගැනීමේ පරමාර්ථයෙන් වන අතර එතුළින් ඔවුන් විශාල ලෙස ධනයද උපයා ගනී. එය ගුරු මණ්ඩලය දෙසට බරව තිබේ නම් තමන්ගේම ප්රයෝජනය සඳහා එවැනි දේවල් ඉගෙන ගන්නා බව පැහැදිලි වෙයි.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk