Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ඒරාෂ්ටක අපල දුරු කරන විස්මිත ගස් වැල්

1 year ago 7 Min read
Subha.lk
ඈත අතීතයේ සිටම යන්ත්ර මන්ත්ර තන්ත්ර ගුරුකම් හා සෙත් ශාන්තිකර්මවලදී මෙන්ම ග්රහ දෝෂ හරණයේදී අඹ අත්ත, දෙහි අත්ත, කොහොඹ මෙන්ම නා අත්තද බහුලව යොදා ගත්තේය. වර්තමානයේ මේ දක්වාම දක්ෂ ඇදුරන්, දේව ගැතියන්, ජ්යොතිෂවේදීන් මෙම ගස්වල අතු විවිධ වූ සෙත් ශාන්තිකර්ම සඳහා යොදාගනී. කිරි අම්මා දානය පිරිනැමීමේදී, දෙහි කපා දෝෂ දුරු කිරීමේදී, ඇප නූල් බැඳ සෙත් ශාන්ති කිරීමේදී කොහොඹ, නා, අඹ ගස්වල අතු භාවිත කෙරේ. ඒ අනුව අපට වැටහෙන්නේ අපි දන්නා දෙයට වඩා නොදන්නා බොහෝ දේ මෙම ගස් වැල්වල මෙන්ම සොබාදහමේ ඇති බවය. ගස් වැල් හා මිනිසා අතර බැඳීම අතීතයේ පටන්ම සිදුවූවකි. මෙලොව ඉපදීමේ සිට මිය යනතුරුම මිනිසාට ගස් වැල් සහ සොබාදහම උපකාරී වන බව අපි සැම හොඳින් දන්නේය. ගෘහ භාණ්ඩ සෑදීම, නිවාස අලංකාර කිරීම, දේශීය සිංහල ආයුර්වේද වෛද්ය විද්යාවට මෙන්ම ආහාර සැපයීමට ගස් වැල් හා සොබාදහම දායක වේ. ඒ වගේම මිනිසාට ඇතිවන ග්රහ අපල දුරු කර ගැනීමටද ඇතැම් ගස් පිහිටවනු ඇත. ඒ අනුව අදාළ ග්රහයන්ට හිමි ගස්වලට දිනපතා වතුර දැමීම, සාත්තු කිරීම,ස්පර්ශ කිරීම මඟින්ද ඒරාෂ්ටක අපල දුරු කර ගැනීමට හැකි බව අතීතයේ සිට මේ දක්වාම ජ්යොතිෂවේදීන්ගේ අදහසයි. ග්රහයන්ට හිමි ගස් පාමුල පිරිසුදු කර ග්රහයන්ට හිමි නියමිත දවසේ මල් පහන් පුදා එම ග්රහයන්ට නියමිත පුද පූජා තබා වන්දනාමාන කිරීමද එම ග්රහයන්ට අදාළ දෙවියන්ට පින් අනුමෝදන් කිරීමද යහපත් බව පැවැසේ. ඒරාෂ්ටක අපලය යනු ග්රහ ලොවේ රජු ලෙස සලකන සූර්යයා වටා ගමන් කරන අනෙකුත් ග්රහ වස්තූන්ගෙන් විහිදෙන අයහපත් කිරණ මිනිසාගේ සිරුරට වැදීම නිසා ඇති කරවන කම්පනය නිසා සිදුවන අසුබ ප්රතිඵලයකි. නැතිනම් ඒරාෂ්ටක අපල කාලයකි. මෙවැනි අපල සිදුකරන ලග්නාධිපති පාපී ග්රහයන් සිටින නිසා එම ග්රහයන්ට හිමි ගස්වලට පුද පූජා තැබීමෙන්, සාත්තු කිරීමෙන්, ස්පර්ශ කිරීමෙන් අපල උපද්රව දුරුවී ජීවිත ආරක්ෂා වන බව දැඩි විශ්වාසයයි. අපල උපද්රව ඇති කරන ග්රහ මණ්ඩලයේ ප්රධානියා ලෙස හඳුන්වන්නේ රවි ග්රහයා හෙවත් සූර්යයාය. රවිගේ ග්රහ අපල ඇති වූ විට ඇස් රෝග, ඇස් නොපෙනීම, හම කළු වීම, හම මතුපිට කුෂ්ට රෝග හට ගැනීම, තද සූර්ය රශ්මිය නිසා ඇතිවන අසුබ කිරණ මඟින් රෝග රැසකටම හේතු වේ. එවැනි රෝග සහ රව් අපල දුරුවීමට රවිගේ දවස වන ඉරිදා උදයේ රවිට හිමි ඉඹුල් ගසට සාත්තු කිරීම, ස්පර්ශ කිරීම, වතුර දැමීම මෙන්ම අබ තෙල් පහනක් දල්වා කහ පාට මල් පූජා කර ඊශ්වර දෙවියන්ට පින් අනුමෝදන් කිරීමෙන් ඒරාෂ්ටක අපල දුරුවේ. නැඟෙනහිර දිශාව බලා දෙවියන්ට පින්දීම යහපත් වන අතර ශිව ශිලම්බර්, මෘත්යාංජය හෝ පිිනපංජරය යන්ත්ර නිවැරැදිව ජීවම් කර ගෙල පැලඳීමෙන් අපල දුරුවේ. ග්රහලොවේ මව ලෙස ජ්යොතිෂවේදීන් හඳුන්වන්නේ සඳු ග්රහයාය. මෙම ග්රහයා සිතුවිලිවලට තදින්ම බලපෑම් ඇති කරයි. හිතුවක්කාර සිතුවිලි නිසා මානසිකව පීඩා විඳීමට සිදුවේ. එම නිසා සඳු අපල දුරුවීමට සඳුදා දවසක දිඹුල් ගසකට සාත්තු කිරීම, වතුර යෙදීම, ගස ස්පර්ශ කිරීම සහ ගිතෙල් පහන් 09ක්, බුලත් කොළ 09ක තබා දල්වා සඳු ග්රහයාට නියමිත පුද පූජාව තබා පත්තිනි මෑණියන්ට පින් අනුමෝදන් කිරීම යහපත්ය. නවගුණ යන්ත්රය, රතන යන්ත්රය, කරණීයමෙත්ත සූත්ර යන්ත්ර නිවැරැදිව ජීවම් කර ගෙල පැලඳවීමෙන් අපල දුරුවනු ඇත. දීර්ඝායුෂ ලැබෙනු ඇත. ශරීරයේ ලේවලට අධිපති ග්රහයා ලෙස හඳුන්වනු ලබන්නේ කුජ ග්රහයාය. ශරීරයේ ලප කැළැල් ඇතිවීම, තුවාල සුව නොවීම, ලේ විස වීමේ රෝග මෙම කුජ ග්රහ අපල නිසා සිදුවේය. එම දෝෂ දුරුවීමට කුජ ග්රහයාට හිමි කොළොන් ගසට කුජ ග්රහයාට හිමි අඟහරුවාදා දවසේ වතුර යෙදීම, සාත්තු කිරීම, ස්පර්ශ කිරීම සහ තැඹිලි තෙල් පහනක් දල්වා රතු මල්, රතු වස්ත්ර පූජා කර කුජ ග්රහයාට හිමි කතරගම දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. මෘත්යාංජය, අභිසම්භිධානය හෝ ආඝෝර යන්ත්රය නිවැරැදිව ජීවම් කර ගෙල පැලඳීම යහපත්ය. බුධ ග්රහ අපලය නිසා ශරීරයේ කුෂ්ට රෝග, ලප කැළැල්, උෂ්ණාධික රෝග වැනිදේ ඇතිවේ. එය දුරුවීමට බුද්ධ ග්රහයාට හිමි කොහොඹ ගසට බදාදා උදය වරුවේ සාත්තු කිරීම, නෑවීම, ස්පර්ශ කිරීම, ගස යට වැඩි වේලාවක් ගත කිරීම යහපත් බව පැවැසේ. කොහොඹ යනු දෙවියන් ප්රිය කරන දෙවියන්ගේ ආකර්ෂ ණය ලැබෙන ගසකි. බෙහෙත් තෙල් පහනක් දල්වා නිල් පාට මල්, තුල්සි කොළ, නිල් පාට වස්ත්ර සහ බුධ ග්රහයාට නියමිත පුද තබා විෂ්ණු දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. බදාදා දිනක කොහොඹ පැළයක් සිටුවන්න. බුධ අපලය සමනය කරගැනීමට හැකිය. දෙවියන්ගේ ගුරුවරයා ලෙස ජ්යොතිෂවේදීන් ගුරු ග්රහයා හඳුන්වනු ලබයි. ඇතැම් අය ග්රහලොවේ සුරගුරු ලෙසද හඳුන්වනු ලබයි. ගුරු ග්රහයාට හිමි ගස බෝ ගසය. දවස බ්රහස්පතින්දාය. ගුරුට හිමි දෙවියා ශක්ර දෙවියන්ය. ගුරු අපල දුරුවීමට නම් දිනපතා උදේ හෝ සවස බෝධි පූජා තැබීම, බෝ ගස නෑවීම, ස්පර්ශ කිරීම, බෝ ගසට සුදු මල් මාල, සිවුරු ආදිය පැලඳවීම මඟින් ඉතා යහපත් ප්රතිඵල ගෙනදේ. සඳුන් තෙල් පහනක් දල්වා කහ පාට මල් පූජා කර ශක්ර දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. රතන යන්ත්රය, නවගුණ යන්ත්රය, නවග්රහ යන්ත්රය නිවැරැදිව ජීවම් කර ගෙල පැලඳවීමෙන් අපල දුරුවේ. ආදර හැඟුම් ඇති කරවන සිකුරු ග්රහයාට හිමි දවස වන්නේ සිකුරාදාය. ග්රහ ලොවේ මනාලිය ලෙසින්ද සිකුරු ග්රහයා හඳුන්වයි. සිකුරු ග්රහයාට හිමි ගස කරඳ ගසය. ප්රිය කරන්නේ රෝස පාට මල්වලටය. මෙම ග්රහයාගෙන් ඇතිවන අපල දුරු කර ගැනීමට කරඳ ගසකට සාත්තු කිරීම, ස්පර්ශ කිරීම, වතුර යෙදීම, කරඳ පැළ සිටුවීම යහපත්ය. සිකුරාදා දවසේ කරඳ ගස පාමුල පිරිසුදු කර කරඳ කොළ 09ක් මත අබ තෙල් පහනක් දල්වා රෝස පාට මල් පූජා කර බස්නාහිර දෙස බලා සිකුරු ග්රහයාට හිමි ඊශ්වර දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. නවනාථ, නව ගුණ, ජිනපංජරය යන්ත්රය නිවැරැදිව සකස් කරගෙන ගෙල පලඳින්න. අපල දුරුවී නිරෝගී සුවය ලැබෙනු ඇත. සෙනසුරු හෙවත් ශනි ග්රහයාට හිමි ගස වන්නේ නුග ගසය. වාහනය ලෙස කපුටාව තෝරාගත් සෙනසුරු ග්රහ ලොවේ දුගියා නැතිනම් කම්කරුවා ලෙසටද හඳුන්වයි. ශනි ග්රහයාට හිමි දවස සෙනසුරාදාය. ශනි ඒරාෂ්ටක අපලය දුරුවීමට සෙනසුරාදා උදේ නුග ගසට සාත්තු කිරීම, වතුර යෙදීම, ස්පර්ශ කිරීම යහපත්ය. නුග ගස පාමුල නිල් මල්, කිරිබත්, කළු වස්ත්ර පුදට තබා එළඟිතෙල් පහන් 09 ක් දල්වා බස්නාහිර දෙස බලාගෙන විෂ්ණු දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. කපුටු දානය දීමද ඉතා යහපත්ය. නවනාථ යන්ත්රය, විෂ්ණු ආඝෝර යන්ත්රය, විෂ්ණු මණ්ඩල යන්ත්රය හෝ ශනි මෘත්යාංජය යන්ත්රය නිවැරැදිව ජීවම් කර ගෙල පැලඳවීමෙන් සෙනසුරු ඒරාෂ්ක අපලය සමනය කරගැනීමට හැකිය. ඡායා ග්රහයන් ලෙස ජ්යොතිෂවේදීන් විසින් රාහු සහ කේතු ග්රහයා හඳුන්වනු ලබයි. රාහුට හිමි ගස වන්නේ වැටකේ ගසය. රාහු ඒරාෂ්ටක අපලය ලැබූ විට ඔළුව අවුල් කරයි. නිතරම හිස කැක්කුම වැනි රෝග හට ගනී. පලක් නොවන ගමන් බිමන් යෙදේ. එක තැන සිටීමට නොහැකිය. නොපෙනෙන අසුබ කිරණ මෙම රාහු ග්රහයාගෙන් විහිදෙන බව පැවැසේ. ඒ අනුව රාහු අපල සමනය වීමට වැටකේ පැළයක් සිටුවීම, සාත්තු කිරීම, ස්පර්ශ කිරීම යහපත්ය. බෝධියකට වැටකේ මල්, වැටකේ කොළ පූජා කිරීම සුබපල ගෙනදේ. වැටකේ ගස පාමුල පිරිසුදු කර තල තෙල් පහනක් දල්වා කහ මල්, වැටකේ ගසේ මුල් තම්බා ගත් වතුර, පුදට තබා කතරගම දෙවියන්ට සහ සූනියම් දෙවියන්ට නිරිත දිශාව බලා පින් දෙන්න. මෙය අඟහරුවාදා දවස සිදුකිරීම යහපත්ය. නාගර්ජණ යන්ත්රය හෝ ආඝොර යන්ත්රය පැලඳවීමෙන් අපල දුරුවේ. කේතු ග්රහයාද ඡායා ග්රහයකු ලෙස හඳුන්වයි. කේතු අපල ඇති අයට අලසකම ඇතිවේ. ආහාර අප්රිය වන අතර ශර්රය කෙසඟ වේ. කේතු ග්රහයාට හිමි ගස කෙසෙල් ගසය. කෙසෙල් ගසක් පාමුල දම්පාට කළ බත්, රතු මල්, දම් පාට වස්ත්ර, තල කැරලි පුදට තබා අබ තෙල් පහනක් දල්වා කතරගම දෙවියන්ට පින් අනුමෝදන් කිරීමෙන් අපල දුරුවේ. කෙසෙල් ගොබයක් බෝධි පූජාවකදී බෝධියට පූජා කිරීමද යහපත්ය. නවග්රහ යන්ත්රය හෝ නීලම්බර යන්ත්රය නිවැරැදිව ජීවම් කර ගෙල පලඳින්න. අපල දුරුවී දීර්ඝායුෂ ලැබේ. වාතය, පීනස, සෙම යන තුන්දොස් සමනය කිරීමට කෙසෙල් ගසට හැකි බව අතීතයේ සිටම පැවැසේ. එනිසාම එදා සිට වර්තමානයේ මේ දක්වාම අප විසින් සෙත් ශාන්තිකර්ම සඳහා කෙසෙල් පතුරු බහුලව යොදාගැනේ. මෙම සියලුම ගස් වැල් පොදුවේ ගත් කල ඉතා අගනා වටිනා ඖෂධ්ය ගුණයකින් යුක්ත වේ. ගස් රැක ගැනීම, වන්දනාමාන කිරීම, සාත්තු කිරීම, රැකබලා ගැනීම, නැවත නැවත පැළ සිටුවීම මඟින් අපල උපද්රව දුරුවී නිරෝගී සුවය ලැබෙනු ඇත. ගස් රැක ගැනීමෙන් සොබාදහමද ආශීර්වාද කරන අතර දෙවියන් අපව රකිනු ඇත.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk