වාස්තුවේ දිග පළල හරියට දැනගෙන වාසනාවන්ත නිවසක් තනාගනිමු.
සමාජයේ ඕනෑම අයකුට යහතින් ජීවත්වීමට සුදුසු පරිදි වාසස්ථානය සකස් කිරීමට පළමු ඒ අවට සුදුසු පරිසරයක් තිබීම නම් අනිවාර්යය දෙයකි. එය වාස්තුවේ සැබෑ තත්ත්වයේ කොටසක් වන්නේය. ඊළඟ කොටස සුදුසු භූමි ප්රදේශයයි. නිවෙසක් ඉදිකරන භූමි ප්රදේශයේ අවට පරිසරය සම්බන්ධව බොහෝවිට නිවෙස හිමියාගේ සිතට ගැළපෙන ආකාරය අනුවම තිබුණත් ඒ තුළ ඔහු නොදන්නා අසුබ පිහිටීම් පරිසරයේ තිබිය හැකිය. පරිසරය ඉතාම සුබ යැයි හැඟෙන ඉඩමක ඉදිරිපස විශාල පැරැණි නුග ගසක් තිබීම නිසා ගතට සිතට සිසිල් බවක් තිබීම නිසා සිතට වහල්වී එය තෝරා ගැනීමෙන් පසුවට සිදුවන්නේ අනර්ථයකි. නිවෙස සාදාගෙන යන අතරතුර එම නුග ගසට අරක් ගත් අදෘශ්යමාන බලවේග කෝපයට පත්වී පෙදරේරුවන්ට හා නිවෙස හිමියාට තුවාල පීඩා ඇති කිරීම අනිවර්යයෙන් සිදුවේ. අද වනවිට සමහර වාස්තු උපදේශකවරුන් මේවා බමුණු මත යැයි කීවත් පැරැණි වාස්තු පඬිතුමන්ලා මේවා පෙන්වා දී තිබේ. එසේ වුවද එම ඉඩමේ නැගෙනහිර පැත්තේ නුග ගස තිබේ නම් එය සුබදායක බව දත යුතුය. කෙසේ නමුත් එවැනි පැරැණි වෘක්ෂ කපා නොදැමිය යුතු බවද පවසා ඇත. නිවෙසේ උතුරු දිගට දිවුල් ගසද දකුණට
අට්ටික්කා ගසද බටහිරට බෝ ගසද සුබදායක බව පැරැණි වාස්තුවේ පෙන්වා ඇත. කෙසේ නමුත් නිවෙස ඉදිරිපස තැඹිලි, කුන්දිරා, ගොරක, කොට්ටන්, මැංගුස්, රඹුටන් ආදී ගස් වර්ග තුළින් යම්කිසි අදෘශ්යමාන බලවේග නිවෙසට අසුබ බලපෑම් ගෙන එන බව නම් අත්දැකීම් මා ලබා ඇත. පැරැණි වාස්තුවේද මේවා අසුබ බව පෙන්වා ඇත. එසේම විෂ්ණු, ශිව ආදී දේවාලයක ඉදිරිපස ඉඩම ඉතා අසුබ බවත් බෞද්ධ විහාරයක පිටුපස ඉඩමද අසුඛ ගෙන දෙන බවද පෙන්වා දී ඇත. මෙහිදී බෞද්ධ ආගමික පැවැත්මෙන් සිටින අයකුට විහාරයක ඉදිරිපස ඉඩම නිවෙසක් සෑදීමට සුබදායක වන බව මාගේ විශ්වාසයයි. කෙසේ නමුත් මීට අමතරව ඉඩමේ පරිසරය ආශ්රිතව කඳු, හෙල් බෑවුම්, විශාල පර්වත, සොහොන් කොත්, අපිරිසුදු ජලය ගලා යන කානු, අපද්රව්ය ගොඩගසන ස්ථාන, ඌරන්, කුකුළු, ගව, එළු ආදී සත්ත්ව කොටු, තුංමංසල, මස්, මාළු වෙළෙඳසල් මේ ආදී අසුබ යැයි හැගෙන බොහෝ දේ වාස්තුවේ පෙන්වා දී ඇතත් අද වනවිට සුදුසු ඉඩම් මිල අධික වීම නිසා වාස්තුවට නොගැළපෙන මිල අඩු ඉඩම් කොටස් මිලදී ගෙන පසුව නිවෙස ඉදිකිරීමේදී අසුබ වාස්තු ගැටලුවලට මුහුණදී අමාරුවේ වැටෙන බොහෝ අය සිටිති. ඉහත දක්වන ලද පාරිසරික වාස්තු දෝෂ බොහොමයක් පවතින එවැනි ඉඩම් මිල අඩුවෙන් ලබාගෙන වාස්තුව ගණන් නොගන්නා පුහු මත යැයි සලකන අය මෙයට මුහුණ දෙති. මේ අනුව බොහෝ දෙනාට වාස්තුවේ සැබෑ තත්ත්වය හඳුනා ගැනීමට අවස්ථාව උදාවේ. විශේෂයෙන් වාස්තුව නොපිළිගන්නා අය මෙම තත්ත්වයට මුහුණදී ධන හානි වී පසුව එම ඉඩම විකිණීමට වෙර දරන අය මා හට හමුවිය. එ නිසා පැරැණි පඬිවරුන්ගේ නුවණින් පෙන්වා දුන් එම වාස්තුමය සිද්ධාන්ත සමච්චලයට ලක් නොකළ යුතුය. නිවෙසක් ඉදිකිරීම සඳහා අවශ්ය ලී දඬු සඳහා පළමු ගස කැපීමේ වාස්තුමය චාරිත්ර හා ගස් බිමට පතිත වීමෙන් පසු පවසා ඇති අනාවැකි ඇතුළුව නිවෙසට පදිංචි වීම දක්වා දී ඇති වාස්තුමය ශාස්ත්රීය නියමයන් අදටත් කිසිවකුට බොරු මිථ්යා මත යැයි ගැරහීමට ඉඩක් නැත. නිවෙසක ප්රධාන දොර හරි මැදට හෝ දෙපස කොන් දෙකට යට ලී පිරිද්දුමක් හෝ බාල්කයක්, පරාලයක් එක එල්ලේ ලම්බකව වැටීම විද්යාත්මකව පවසන්නේ උළුඅස්සට බරක් එල්ලවීම නිසා එය දුර්වල විය හැකි බවයි. නමුත් අඟල් 5ක ලින්ටල් එකක් තිබීමෙන් එය වැළකේ. කෙසේ නමුත් ඒ ආකාරයට උළුඅස්සක් තිබීමෙන් නිවෙසේ ගෘහ මූලිකයාට තදබල රෝග, අගුණ විපත් එන බව පැරැණි උගතුන්ගේ වාස්තු මතය නම් හරියට හරි. එයට අත්දැකීම් මම නිවාස පරීක්ෂාවේදී දැක ඇත්තෙමි. එය බොරු කළ නොහැකිය. මේ ආදී වාස්තුවේ සැබෑ තත්ත්වය හඳුනාගැනීමට බොහෝ සාධක ඇත.
කෙසේ නමුත් අද වනවිට නිවෙසක් සෑදීමේදී පාර්සරික වශයෙන් පවතින අසුබ ලක්ෂණ, භූමියේ පවතින විවිධ අසුබ හැඩතල හා පොළොවෙහි ස්වභාවය, නිවෙසේ නිර්මාණ දෝෂ, මුළුතැන්ගෙය, නාන කාමර, වැසිකිළි මේවා අසුබ ස්ථාන ගත කිරීම්, වහලයේ නිර්මාණ දෝෂ, අසුබ පාද මඟහැර සුබ පාද අනුව බිත්ති, උළුඅහු, පඩිපෙළ සකස් කිරීම මේ ආදී නොයෙකුත් කරුණු සම්බන්ධව ලිපි ලේඛන තුළින් හා මාධ්යවලින් නිතර නිතර පුන පුනා පවසන අතර මා මෙම ලිපියෙන් අදහස් කරන්නේ මෙම භාරධූර අගනා පැරැණි ශාස්ත්රයක් වූ වාස්තුවේ සැබෑ තත්ත්වය
හඳුන්වා දීමටයි. මෙතෙක් මා විස්තර කළේ සැනසුම් ජීවිතයක් ගත කිරීම
සඳහා සුදුසු නිවෙසක් ඉදිකිරීමේදී එම ඉඩම අවට පරිසරයද යහපත් සිත ඇදී යන පරිසරයක් තිබිය යුතු බවය. විශේෂයෙන් අන්තරායකාර් බිහිසුණු ස්වභාවයක් අනිවාර්යයෙන්ම නොතිබිය යුතුය. වාස්තුවේ සැබෑ තත්ත්වය එයයි. එසේ නොමැතිව නිවෙස ඉදිකිරීම පමණක් වාස්තුව නොවේ. ඊළඟට නිවෙසක් ඉදිකරන භූමිය
සම්බන්ධ පිහිටීම හා මතුපිට පවතින සංයුතිය වාස්තුවේ අතිශය වැදගත්ම කොටසක් වන්නේය. මෙහිදී ඉඩමේ හැඩය, පස, ජලය, කළුගල්, කබොක් ගල් පිහිටා තිබේද මේ සියලු දේ වාස්තු පරීක්ෂණයට ලක්විය යුතුය. පැරැණි වාස්තු පඬිවරුන් පෙන්වාදී ඇති පරිදි ඉඩමේ පිහිටි රථ රෝද හැඩය, පොරෝ හැඩය, ත්රිකෝණ හැඩය, දෙකොන සිහින්වී මැද මහත, දුන්නක හැඩය මේ ආදී අසුබ හැඩ වාස්තු පරීක්ෂණයේදී බැලිය යුතුය. ආයත, හතරැස්, වෘත්තාකාර හැඩයන් ඉඩමක සුබදායක බව පැවැසේ. සුබදායක වාසස්ථානයක් ඉදිකිරීමට එවැනි බිමක්
ඉතා යහපත් බව පැරැණි වාස්තුවේ පෙන්වා දී ඇත. පස සම්බන්ධව බැලීමේදී භූමියේ මතුපිට ළා කළු පාට පස අඩියක් පමණ ගැඹුරටද ඉන්පසු රතු පාට පස පවතී නම් සුබදායක වේ. ජල සම්පත සාරවත් භූමි කොටසක අනිවාර්යයෙන් තිබිය යුතුය. නිවැරැදි වාස්තුවේ සැබෑ තත්ත්වය සනාථ වන ප්රධාන සම්පත ඉඩමේ ජලය තිබීම. බොහෝදෙනා වාස්තුව විවේචනය කළත් ජලය වාස්තුවේ කොටසක් බව නොදනී. පසද වාස්තුවේ කොටසකි. මඩ සහිත ගොහොරු ඉඩමක නිවෙසක් සෑදීමේදී අනවශ්ය ධන හානි සීමාවක් නැත. එනිසා වාසස්ථානය සාදන ඉඩමේ පස සම්බන්ධව විස්තර පැරැණි උගතුන් විශේෂයෙන් පෙන්වා දී ඇත. ඉඩම පුරා වැඩි කොටසක කළු ගල හා කබොක් ගල් පැතිර තිබේ නම් එය නිවෙසක් සෑදීමට බාධාවකි. නමුත් එය වාස්තුවේ ප්රධාන අවශ්යතාවකි. ඒ අනුව එයයි වාස්තුවේ සැබෑ තත්ත්වය.
මා මෙතෙක් දැක්වූ කරුණු අනුව වාස්තුවේ සැබෑ තත්ත්වය ඔබට පැහැදිලි විය යුතුය. එය තවදුරටත් පැහැදිලිවීමට සත්ත්ව ජීවිතයේ වාසස්ථාන ගැන ඔබ ටිකක් විමසිල්ලෙන් බලන්න. වඩු කුරුල්ලා නියම වාස්තු විද්යාඥයෙක්. ඒ සතා ගේ හදන්නේ ඉතා ආරක්ෂාකාරී අන්දමට. ඉතා ශක්තිමත්ව අනතුරුවලින් වැළකෙන ආකාරයට ගසක අත්තක කෙළවර හදනවා. එහි දොරටුව යටින් තබා කාමරය පැත්තකට තබා ක්රමානුකූලව සාදා තිබෙන්නේ. පිදුරු හා වැල් වර්ග ඒ සඳහා යොදාගනී. කපුටා කෝටු කෑලිවලින් ගේ හදනවා. මයිනා, ගිරවා යන පක්ෂීන් ගස්වල සිදුරු සාදා එහි වාසය කරනවා. ඒ සඳහා කොට්ටෝරුවා කුරුල්ලාට උදවු කරනවා. ගසේ බෙනේ හාරා දෙනවා. අනෙක් සත්තුත් මේ ආකාරයෙන් ආරක්ෂාකාර්ව ගේ හදනවා. නමුත් වේයා, කුහුඹුවා වැනි කුඩා කෘමීන් සාදන ගේ වතුරට තෙමී විනාශ වී යනවා. වේයා මැටි දිය කර කර ගේ හදනවා. කුහුඹුවා පොළොවේ ගුල් හාරා ගේ හදනවා. මෙහි කිසිම වාස්තුවක් නැහැ. අවසානයේ විනාශ වී යනවා. අද වනවිට වාස්තුවට නිග්රහ කරමින් සල්ලි තියෙනවා නම් ගෙවල් හදන්න නැකැත් ඕනෑද වාස්තුව ඕනෑද ඕවා බොරු මිථ්යා අදහස්. මෙවැනි කතා කියමින් ගෙවල් හදන උද්ධච්ච උදවියට අවසානයේදී සිදුවන්නේ වේයාට, කුහුඹුවාට සිදුවෙන දේ තමයි. එවැනි අයට සිදුවී තිබෙන දේවල් නිවාස වාස්තු පරීක්ෂණවලදී මා හට බොහෝ හමුවී තිබෙනවා.
එනිසා මේවා තමයි වාස්තුවේ තිබෙන සැබෑ තත්ත්වය. එය හඳුනාගෙන කටයුතු කළොත් හොඳයි.