Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

හතර කේන්දරය පාළු වුණොත් ජිවිතයම පාලු වෙනවද?

1 year ago 7 Min read
Subha.lk
මේහිදී පළමුව හතර කේන්දර ස්ථාන මොනවාදැයි දැන ගත යුතුය. හතර කේන්දරය යනු කේන්දර හතරක් නොව එකම කේන්දරයේ පවතින බලවත් ස්ථාන හතරකි. එනම් 01, 04, 07, 10 යන භාවයන්ය. මෙම කේන්දර ස්ථාන හතරේ ග්රහයන් නොසිටීම හතර කේන්දරය පාළුවුණා යැයි සලකති. වර්තමානයේදී මෙන් නොව අතීතයේදී හතර කේන්දර ස්ථාන පාළු වූ කේන්දරයක් දුටු පමණින් එම තැනැත්තා අවාසනාවන්තයකු ලෙස සලකා කටයුතු කර ඇත. හතර කේන්දරය පාළුවූ පමණින් ඔහු සසුන්ගත කිරීමද කරනු ලබයි. හතර කේන්දර ස්ථාන පාළු වූ විට ඔහුට හෝ ඇයට ලෞකික සැපසම්පත් නොලැබෙන බව බොහෝ දෙනාගේ අදහසකි. ඒ අනුව සිතා හතර කේන්දර ස්ථානය පාළුවූ අය සසුන් ගත කරයි. හතර කේන්දර ස්ථාන පාළුවූ ස්ත්රී කේන්දරයක් දුටු විට ඇයට විවාහ වීමටවත් වාසනාවක් නොලැබෙන බව වැඩිදෙනාගේ මතයයි. නමුත් හතර කේන්දර ස්ථාන පාළු වූ අය සසුන්ගත කළද සමහර අය සිවුරු හැර ගොස් ලෞකික සැප සම්පත්ද ලබයි. හතර කේන්දර ස්ථාන පාළු වූ සමහර අය යුග දිව්යටද ඇතුළත්ව සාර්ථක විවාහ ජීවිත ගත කරති. එසේ නම් හතර කේන්දර ස්ථාන ගැන පමණක් සිතා තීරණ ගැනීම අනුවණකමකි. සමහර ජ්යොතිෂවේදීන් පවා හතර කේන්දර පාළු වූ කේන්දර දුටු පමණින් විවාහයටද නුසුදුසු බව තීරණය කරයි. එය වැරැදි ක්රියාවකි. එසේ නම් හතර කේන්දර ස්ථාන පාළුවීම ගැන නිවැරැදි අවබෝධයක් ලබාගත යුතුය. මෙහිදී හතර කේන්දර ස්ථානවලට ලැබෙන සුබ ග්රහ දෘෂ්ටිද බැලිය යුතුය. තවද හතර කේන්දර ස්ථානවලින් විග්රහ වන දේවල් ගැනද විමසා බැලිය යුතුය. කේන්දරයේ පළමු භාවයෙන් විස්තර වන්නේ ක්රියාශීලී බව, පෞරුෂත්වය, ශරීරය පැවැත්ම, ගතිගුණ වැනි දේවල්ය. හතර වැනි භාවයෙන් නිවෙස ගැනද, මව ගැනද, හත්වන භාවයෙන් විවාහය ගැනද, හවුලේ කරන කටයුතු ගැනද දහවන භාවයෙන් රැකියාව ගැනද මූලික වශයෙන් සලකා බලනු ලබයි. හතර කේන්දරය පාළු වුණා යැයි කියනු ලබන්නේ ඉහතින් සඳහන් කළ කරුණු ජන්මියාට නොලැබෙන බවය. මෙම කරුණු මිනිස් ජීවිතයේ පැවැතීමටද අත්යවශ්ය කරුණුය. මෙම දේවල් නොලැබේ නම් ජීවිතය අසාර්ථක වන බව සත්යයකි. නමුත් එසේ වූ පමණින් ඔහු හෝ ඇය අවාසනාවන්ත අයකු ලෙස සැලකීම වැරැදිය. නමුත් මෙම භාව අධිපතීන් ත්රිකෝණ ස්ථානවල ප්රබලව සිටී නම් හතර කේන්දර ස්ථාන පාළු නොවෙයි. උදාහරණයක් වශයෙන් ධනු ලග්නයෙන් උපන් අයකුගේ හතර කේන්දර ස්ථාන අධිපති වන්නේ ගුරු හා බුද්ධය. නමුත් මෙම ගුරු හා බුධ කේන්දරයේ 05 හෝ 09 භාවවල සිටීමෙන් හතර කේන්දර ස්ථාන පාළු නොවෙයි. මෙම භාව හතරේ කිසිම ග්රහයෙක් නොමැතිවද යෙදෙන සුබ යෝගද ඇත. සිංහාසන යෝගය එවැනි යෝගයකි. කේන්දරයක සියලුම ග්රහයෝ 2, 6, 8, 12 භාවවල සිටී නම් සිංහාසයන යෝගය යෙදේ. එවිට එම කේන්දරය අසුඛ කේන්දරයක් නොවෙයි. කේන්දරයේ හතර කේන්දර ස්ථාන පාළු වුවත් නවාංශක කේන්දරයේ එම භාව අධිපතින් ත්රිකෝණ ස්ථානවල හෝ හතර කේන්දර ස්ථානවල බලවත්ව සිටී නම් හතර කේන්දර ස්ථාන පාළු නොවෙයි. එනිසා නවාංශක කේන්දරයද සලකා බලා තීරණයක් ගත යුතුය. හතර කේන්දර ස්ථාන අධිපතින් දුර්වලව කේන්දරයේ අසුබ ස්ථානවල සිටීමෙන්ද හතර කේන්දර ස්ථානවලට අසුබ දෘෂ්ටි ලැබේනම්ද හතර කේන්දර ස්ථාන අධිපතින් නවාංශක කේන්දරයේද අසුබව සිටී නම් හතර කේන්දර ස්ථාන පාළු යැයි කියන්නට පුළුවන. සේවාලාභීන් අපට ගෙන එනු ලබන කේන්දර අතර හතර කේන්දර ස්ථාන පාළු කේන්දරද ඇත. ඔවුන් පවසන්නේ හතර කේන්දර පාළු වූ විට ඔවුන් අවාසනාවන්ත ලෙසය. නමුත් එම කේන්දර පරීක්ෂා කරන ව්ට එවැනි දෝෂ නැති බව පෙනේ. එනිසා සේවාලාභියකු ඔබ ළඟට හතර කේන්දර ස්ථාන පාළු කේන්දරයක් රැගෙන ආ පමණින් එම කේන්දර අසුබ කේන්දර යැයි එකවරම නොකිව යුතුය. එම කේන්දරය හොඳින් පරීක්ෂාකර බලා නිවැරැදි තොරතුරු සේවාලාභියාට පැවැසිය යුතුය.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk