Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

දෙවියන් උදෙසා පූජා කරන පලතුරු පූජාව තමන් අනුභව කිරීම කැපද? අකැපද?

1 year ago 7 Min read
Subha.lk

අපේ රටේ දෙවියන් ඇදහීම කුමන කාලයක ආරම්භ වූයේද යන්න නිශ්චිතව කිවනොහැකි වුවත් 13 වැනි සියවසේදී පමණ ලක්දිවේ වෙසෙන සිංහල බෞද්ධ ජනතාව අතර දේව විශ්වාසය තහවුරු වූ කාල වකවානුව ලෙස හැඳින්වීමට පිළිවන. දකුණු ඉන්දීය සංස්කෘතියේ ආභාසය මත දෙවියන් ඇදහීමේ ක්‍රම බොහොමයක් අපට උරුමව ඇත. 

පෙර සිටි ආදිවාසී ජනයා ඉර - හඳ, ගස්කොළන් ආදියට වන්දනාමාන කළ බව පුරාතන කතා පුවත් මෙන්ම පැරණි ලිපි ලේඛනවලින් පැහැදිලිවේ. අදටත් අපේ ආදිවාසී ජනයා එවැනි වන්දනාමාන පුද වත්පිළිවෙත් පවත්වන අතර ඇතැම් ග්‍රාමීය ප්‍රදේශවලද ඇතැමෙක් මෙසේ සිදුකරන බව දකින්නට ලැබෙයි.

දේව සංකල්පයේදී සම්‍යාදෘෂ්ටික සහ මිත්‍යාදෘෂ්ටික වශයෙන් දෙවියන් කොට්ඨාස දෙකකි. බෞද්ධ භක්තිවන්තකයා සම්‍යාදෘෂ්ටික දෙවියන් කෙරෙහි විශ්වාසයේ තබා කටයුතු කිරීමට වැඩි නැඹුරුවක් දක්වන බව පෙනීයයි. එහෙයින් ඔවුන් තම ලෞකික අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා මේ දෙවි දේවතාවුන්ගේ පිහිට පතති.

දෙවි දේවතාවුන් ප්‍රිය කරන විවිධ පුද පූජා තිබේ. එහිදී පහන් ආලෝකය ප්‍රධාන ස්ථානයක් ගනී. පහන් ආලෝකය දෙවියන් සහ මිනිසුන් මෙන්ම නොපෙනෙන බලවේග සම්බන්ධ කරන ප්‍රධාන සම්බන්ධීකරණ  ‍ෙදාරටුවක් ලෙස දැක්වීම වැරදි නැත. එසේම පහන් ආලෝකය හරහා දෙව් ලොව සිටින දෙවියන්ට මිනිසුන් දැකීමට හැකි අතර නරයන්ටද දෙවියන් දැකගත හැකිය.  අංජනම බැලීමටද පහනක් උපයෝගි කර ගනී.  එමඟින් සිදු කරන්නේද එවැනිම සම්බන්ධීකරණයකි. නමුත් මේවා හැමෝටම දැක ගත නොහැකි අතර ඒ සඳහාද යම් සුදුසුකමක් තිබිය යුතුය.

ගන්ධ ධූප,  ඔෟෂධ, ආහාර, පත්‍ර, මල්, ශබ්ද මෙන්ම විවිධ පලතුරු වර්ගවලටද දෙවියන් ප්‍රිය කරති. උදාහරණයක් ලෙස පත්තිනි මාතාව කහ පැහැති මල්ද, අඹ පත්‍ර, ගිතෙල් පහන් ආලෝකය සේම අඹ, බෙලි, වරකා වැනි පලතුරුවලට ප්‍රියතාවක් දකවයි.

පුරාතනයේ මිනිසුන් දෙවියන් පිදීමට සහ උන්නැහේලාගෙන් උදවු උපකාර ලබා ගැනීම සඳහා නිවැරදි ලෙසත් ගරු ගාම්භීර ලෙසත් පුද සත්කාරයන් කළ බව සදහන් වෙයි. නමුත් පසුකාලීනව දෙවියන්ගෙන් පිහිටක් ලබාගැනීම යම් ගනුදෙනුවකට පමණක් සීමා කර ඇති බව පැහැදිලිවේ. මගේ කාරණාව ඉෂ්ට කරදුන්නොත් මම මේ දේ ඔබට ලබා දෙමි. ඒ පරමාර්ථයෙන් දෙවියන් සමඟ කටයුතු කරන බව පෙනේ. ආත්මාර්ථකාමී හැඟීමක් සිත යට තබාගෙන යමෙක් මෙසේ කටයුතු කළද එයින් දෙවියන් රැවටිය නොහැකි බව පැහැදිලිවම මතක තබා ගත යුතුය.

දෙවියන් උදෙසා වන භාරහාරවීම්වලදී පුද දෙන පලතුරු පූජාව මීට හොඳම උදාහරණයකි. බොහෝ විට අපට දෙවියන් සිහිවන්නේ තමන්ට කරදරයක් වූ විටකදීය. මිල මුදලින් හෝ වෙන යම් කිසි මාර්ගයකින් ඉටුකරගත නොහැකි ප්‍රශ්න ගැටලුවකදී අන්තිමට අපට තියෙන්නේ දෙවියන්ගේ පිහිට පමණකි යැයි කියවෙන අවස්ථා බහුලය.  

බාරහාරවීම් සඳහාත්, ආශීර්වාදය වෙනුවෙනුත්, දෙවියන්ගේ සිත් සතුටු කිරීම පිණිසත් වර්තමානයේදී බොහෝ දෙනකු පලතුරු පූජාවන් තැබීමට කටයුතු කරන බව පෙනේ. මේ අතරින් පලතුරු වට්ටියකට බාර වී එය ඔප්පු කිරීම අන් කටයුතුවලට වඩා අවබෝධයකින් යුතුව කළ යුතු කටයුත්තකි. මන්ද එය අප වූ පොරොන්දුවක් ඉටු කිරීමක් නිසාය.

ඉහතින් නිදසුනකට ගත් පරිදි පත්තිනි මෑණියන් වෙනුවෙන් වූ බාරයක් ඔප්පු කිරීමේදී පලතුරු හතක්, කැවිලි හතක් ප්‍රධාන වශයෙන් තැබිය යුතුය. ඊට අමතරව පොල් ගෙඩියක් හෝ තැඹිලි ගෙඩියක්, කහ පාට මල් ආදිය අවශ්‍ය දේදවේ. අප මේ සිදු කරන්න යන්නේ නැති බැරි වෙලාවේ පිහිටක් වූ දෙවියන් වෙනුවෙන් වූ පොරොන්දුවක් ඉටු කිරීමටයි. එහිදී පලතුරු මිලදී ගන්නා තැන පටන් ශ්‍රද්ධාව පෙරදැරිව කටයුතු කළ යුතුය. කුමන දෙවියන්ටද පූජාව තබනුයේ, එම දෙවියන් ප්‍රිය කරන පලතුරු තෝරා ගැනීම, පිරිසුදු ඉදුණු ඒවා තෝරා ගැනීම සහ මිල ගැන නොසිතා හොඳ පලතුරු සොයාගැනීම ප්‍රථම කරුණය.

දෙවැන්න පූජාව සකස් කිරීම නිවැරදිව දන්නා කෙනකුගේ උපදෙස් අනුව අංග සම්පූර්ණව සිදු කිරීමයි. ලෝබකමට එකම පලතුරෙන් පූජා වට්ටි කිහිපයක් සකස් කිරීම සුදුසු නැත. මීළඟ කාරණාව ගරු සරු ඇතිව දෙවියන් උදෙසා පූජා කිරීමයි. දෙවියන් කිසි විටෙකත් පූජාව අනුභව නොකරයි. පළමුව බැතිමතාගේ භක්තිය පිළිබඳව සොයා බලයි. එහි අලංකාරයට සතුටු වෙයි. අනතුරුව පලතුරු පූජාවේ සුවඳ ආඝාණය කරනු ලබයි. ඔබ අවංකව ඒ කාර්යයන් ඉටුකළේ නම් දෙවියන් ඔබ ගැන පැහැදී ඔබට තව තවත් ආශීර්වාද කරනු ලබයි.        

මීළඟ කාරණාව ඉතා වැදගත්ය. අප විසින් යම් දෙයක් බුදුන්ට පූජා කරන්නේද එය සඟ සතුය. යම් දෙයක් දෙවියන්ට පූජා කරන්නේද එය දෙවියන් සතුය. එබැවින් පූජා කරන තැනැත්තා නැවත එය භාවිත නොකරයි. මෙය නීතියක් නොව පිළිවෙතකි. ගරු කිරීමකි. සඟ සතු දේ නැතිබැරි කෙනකුට දුන්නාට වරදක් නැත. දෙවියන් සතු දේද එසේය. ඒ තුළින් දෙවියෝ මහත් සතුටට පත්වෙති.

අප විසින් දෙවියන් වෙනුවෙන් පූජා කරන පූජාවද මෙලෙසමය. දෙවියන්ට පූජා කිරීමෙන් පසුව එය අන් අයට බෙදාදීම ඉතා උතුම් කටයුත්තක්ය. පින්කමක්ය. එය දකින දෙවිවරු අතිශයින් සතුටු වෙති. ඉන් ලැබෙන පින්ද අනුමෝදන් කර ගනිති. නමුත් තමන් විසින් පූජා කළ පූජාව තමන් විසින්ම අනුභව කිරීම කෙතරම් සුදුසු වේද යන්න තීරණය කිරීම ඔබටම භාරය.

බැතිමතුන්ගේ ක්‍රියාපිළිවෙත් පිළිබඳව අපට ඇත්තේ වසර ගණනාවක අත්දැකීම්ය. ඇතැම් අවස්ථාවල සිත සසල කරවනසුලුය. තවත් විටෙක පුදුමසහගතය. බොහෝවිට බොහෝ දෙනකු නොදන්නාකම නිසා මෙවැනි අඩුපාඩු සිද්ධකර ගනිති. ඇතැමෙක් සිතා මතාම ලෝබකම නිසා අකැප දේ සිදු කරති. දෙවියන් කිසිවක් කිසිවකුගෙන් බලාපොරොත්තු නොවෙති. 

අවංකකමට සෑම විටෙම දෙවියෝ ගරු කරති. 

ඔබට දෙවි පිහිටයි! 

දේවගැති

පරාක්‍රම සුබසිංහ (21/11/2021 මව්බිම පුවත්පතේ තරුපති විශේෂාංගය)

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk