Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

බුධ - සිකුරු යෝගය හා විවාහය

1 year ago 7 Min read
Subha.lk
විවාහය පිළිබඳව ඇතැමෙකු ඉතා සැහැල්ලුවෙන් සිතා සිටියද විවාහය යනු මනුෂ්ය ජීවිතයේ අතිශය සුවිශේෂී සන්ධිස්ථානයකි. තමා විසින් තෝරා ලබාගන්නා ලද සහකරු හෝ සහකාරිය මියයන තුරා යහතින් හොඳින් තබා ගැනීම විවාහයේ ඒකායන අරමුණ විය යුතුය. විවාහයක් සාර්ථක වීමට හෝ අසාර්ථක වීමට සිකුරු ග්රහයාගෙන් සිදුවන බලපෑම අති මහත්ය. එමෙන්ම කිව් තවත් ග්රහයකු සමග සංයෝගය සිටිමෙන් එම බලපෑම්වල යම් යම් වෙනස්කම් හටගනී. ශුක්ර,බුධ සමඟ සංයෝග වී කේන්දරයේ ශුභ ස්ථානයක පිහිටීම විවාහ ජීවිතය මෙන්ම ලෞකික සැප වින්දනය අතින්ද ඉතාමත්ම වැදගත් යෝගයකි. එසේ කේන්දරයේ ශුභ ස්ථානයක බුධ - සිකුරු සංයෝගය සිටීම ඉතා වාසනාවන්ත විවාහ ජීවිතයකට මඟපාදන්නාක් මෙන්ම නරකට හිටියොත් එහි අනෙක් පැත්තය. එනම් බුධ,සිකුරු නරකට හිටියොත් නින්දා අපහාස ලබන ඉතා අසාර්ථක දුඃඛිත විවාහ ජීවිතයකට මඟපෑදිය හැකිය. බුධ බුද්ධියට අධිපතියාය. කතාබහට, වචනයට, තැනට සුදුසු නුවණින් කටයුතු කිරීමට, කපටි ශූර මායාවන්ට, අනුන් මුළා කිරීමට, ලිවීමට, ලිවීම් මඟින් අනුන්ගේ සිත් ඇදගැනීමට බුධ ඉතා හොඳින් සමත් වෙයි. බුධ නපුංසක ග්රහයෙකි. එබැවින් තනිව සිටින බුධගෙන් ප්රයෝජනයක් නැති තරම්ය. එහෙත් බුධ වෙනත් ග්රහයකු හා එක්වූවිට එම ග්රහයාගෙන් සිදුවිය යුතු කාර්යය ඉතා සූක්ෂ්ම අන්දමින් අඩුපාඩුවක් නැතිව පිරිසුදුවටත් අලංකාරවත් ලෙසත් සිදුකරදීමේ මාහැඟි හැකියාවක් බුධට ඇත. බුධ - සිකුරු සමඟ සංයෝග වූ විට සිකුරුගේ කාර්යභාරයට ලැබෙන්නේ අතිශය සහයෝගයකි. ලෞකික ආශාවන්ගෙන් පෙළෙන අතිශය රූමත් තරුණියකගේ ක්රියාවන්ට, හැට පැහුණු කපටි ගැහැනියකගේ නුවණ තරම් බුද්ධියක් ඇති කපටි කෙල්ලකගෙන් උදවු ලැබෙන්නාක් මෙන් ක්රියා කරයි. මෙවැන්නෝ බොහෝ විට නිසි වයසටත් කලින් පෙම්හබවල පැටලෙති. ලිවීමේ දක්ෂතාව පුදුමාකාර අන්දමින් ඇතිකරයි. කිවි -බුධ සංයෝගය කේන්දර ශුභ ස්ථානයක වී නම් විවාහයද ඉක්මන් වෙයි. වයසටත් කලින් සහකරු හෝ සහකාරිය සොයා ගැනීමට මෙවැන්නෝ සමත් වෙති.කිවි - බුධ යෝගය කේන්දරයේ 6-7-8-10– 12 යන ස්ථාන හැර අන් කුමන ස්ථානයක පිහිටියත් විවාහ ජීවිතයට යහපතක් සිදුවෙයි. පාප දෘෂ්ටි නොමැතිව ශුභ අන්දමින් සිටි තරමට යහපත වර්ධනය වේ. කිවි- බුධ සංයෝගය කේන්දරයක පවතින්නා සමාජයේ කැපී පෙනෙන්නෙක් වේ. ඒ දේහ ප්රමාණයෙන් නොව උපතින්ම ලද දක්ෂතා මඟිනි. කාව්ය ශාස්ත්ර, ගීත, වාද්ය, චිත්ර හා අනෙකුත් කලාශිල්ප මඟින් අන්යයන්ගේ සිත් ඇද බැඳගන්නා අන්දමේ ඕනෑම නිර්මාණයක් ඉතා අලංකාරවත් ලෙසත් අඩුපාඩුවක් නැතිව සාර්ථක අන්දමින් නිමකොට අනුන්ගේ සිත වසඟ කර ගැනීමේ හැකියාව කිවි බුධ යෝගය කේන්දරයක ඇති පුද්ගලයාට සහජයෙන්ම පිහිටන්නකි. කතාවට ගියද අනුන්ගේ සිත් ඇදී එන පරිදි සිනහ උපදින ලෙස කතා කිරීමේ හැකියාව පවතී. සිනහවෙන් වුව අනුන්ගේ සිත් ඇදගනී. මෙවැන්නන්ගේ සියලු ක්රියාවන් කලාත්මක වන බැවින් අනුන්ගේ සිත් ඇදගැනීමේ පුදුම ආකර්ෂණයක් මොවුන්ට ඇතිවේ. බුධ-සිකුරු සංයෝගය ඉගෙනීමටද යහපත් වන්නකි. සාහිත්යය, ගණිත මිනිතය, ලේඛක කලාව පමණක් නොව කාම විද්යාව පිළිබඳවද මෙවැන්නකට සහජයෙන්ම හොඳ දැනුමක් ඇති වේ. මෙවැනි අය දකින්නන්ට මොවුන් නැවත දැක ගැනීමට, ආශ්රය කිරීමට , පහස විඳීමට දැඩි ආශාවක් නිරුත්සාහයෙන් ඇති වේ. ඇතැම්හු එය පෙර පින සේ දකිති. ඇවැස්ස නෑකම අනුව සිදුවන බොහෝ විවාහයන්ට කිව් බුධ යෝගය බොහෝ සෙයින් බලපා ඇති බව පෙනෙන්නට තිබේ. රාශි චක්රයේ තුන්වැනි ස්ථානය වන මිථුනය සහෝදරයන් නෑනා, මස්සිනාවරුන්, පිළිබඳව කියැවෙන තැනයි. හයවැනි ස්ථානය වන කන්යාව ඇවැස්ස මස්සිනාවරුන්, නැන්දා,මාමා සහ විවාහයෙන් පසු ලැඛෙන මස්සිනාවරුන් ගැන කියැවෙන ස්ථානයයි. මෙම ස්ථාන දෙකටම අධිපති වන්නේ බුධහුය. එබැවින් මංගලකාරක සිකුරා බුධ සමඟ එතැන් වල යෝග වූ විට බොහෝ සෙයින් ඇවැස්ස නෑනා - මස්සිනා විවාහය සිදු වීමට අවශ්ය කරුණු පාදන බව එයින් පැහැදිලි වෙයි. බුධ, සිකුරු දකින තැනක සිටියත් ඥාති සම්බන්ධය මත විවාහය සිදුවිය හැකිය. එහෙත් දකින තැනක සිටීමට බුද්ධගෙන් සිකුරු රාශි හතරක් හෝ පහකින්වත් ඈත්විය යුතුය. එවැනි යෝගයක් ඇති වන්නේ කලාතුරකිනි. බුධ සිකුරු යෝගය පිළිබඳව තවත් බැලිය යුතු පැත්තක් තිබේ. මිථුන, කන්යා, ධනු, මීන යන ලග්න හැර අනෙක් ලග්නවලට කිවි බුධ හත්වැන්නේ සංයෝග වීම එතරම් හොඳක් නොවන්නකි. එම යෝගය “අභිචාරික යෝග“ නමින් හඳුන්වනු ලබයි. එවැනි කේන්දර හිමියා ඉතා ඉක්මනින්ම අනෙක් පක්ෂය හා ඇලෙයි. බොහෝ විට තමා විසින්ම අනෙක් පක්ෂ ය වසඟ කරගෙන සල්ලාල ජීවිතයකට යොමුවෙයි. විශේෂයෙන්ම ස්ත්රී පක්ෂයට ක් මෙය තදින්ම නරක ප්රතිඵලයන්ට මඟපෑදිය හැකි වන්නකි. දසවැන්නේ කිවි-බුධ යෝග වීමද එවැනි අසංවර චරිත ඇති කරන්නට හේතු සාදන්නකි. ධනය, ගේ දොර, යානවාහන, වස්තුව, දේපළ, යසඉසුරු, තනතුරු හිමිකර ගැනීමට දසවැන්නේ කිවි- බුධ සංයෝගය බොහෝ යෝග්ය වුවද චරිත පාරිශුද්ධත්වයට හානි පමුණුවන්නකි. විශාල නම්බුකාරයකු ලෙස බාහිරින් පෙන්නුම් කළද අභ්යන්තරික වශයෙන් දූෂිත යැයි කිවහැකි චරිතයකට මඟ පාදන්නකි. 7-10 යන ස්ථානයන්හි කිවි, බුධ වෙනම සිටියද එවැනි චරිතයකට හේතු සාදයි. කිවි - බුධ දෙදෙන කේන්දරයේ 6-8 12 යෝග වී පිහිටීම විවාහ ජීවිතයට දැඩි ලෙස කරදරයට පත්කරන්නට හේතු වන්නකි. මොවුන් ඉතා ඉක්මනින් හා පහසුවෙන් අනෙක් පක්ෂයට රැවටී වසඟ වෙයි. එබැවින් බොහෝ විට කරදරයන්ට මුහුණපාන්නට සිදුවෙයි. පෙම් සඳතා හේතුවෙන් සතුරු කරදරයන්ට මුහුණපාන්නට සිදු කරයි. එමෙන්ම නින්දා හා නරක නාම ලැබීමටද සලස්වයි. බොහෝ විට බලාපොරොත්තු සුන් වී පරාජය ලැබීමට සිදුවෙයි. එහෙත් හත්වැන්න අධිපතියා බලවත් තැනක නම් එම දෝෂ භංග වී යහපත් විවාහයක් සිදුවෙයි. සිකුරු නීචව හෝ දුබලව 6-8-12 යන ස්ථානයක බුධ සමඟ සිටියහොත් විවාහය බොහෝ කල්යයි. මුල් බලාපොරොත්තු කිහිපයක්ම නොයෙකුත් කරදර හේතුවෙන් බිඳවැටී අවසානයේ ඉබේම වාගේ සහකරුවකු හෝ සහකාර්යක හමුවෙයි. එම විවාහයද බොහෝ විට නිශ්ශබ්ද, රහසිගත එකක් වෙයි. එසේ වන්නේ හත්වැන්න අධිපතියා දුබල වූ බැවිනි. සිකුරු නීචව බුධ සමඟ 6 – 8 යන ස්ථානයන්හි පිහිටි අය කෙට්ටු ශරීර ඇත්තෝ වෙති. මුත්රා ආබාධ, වකුගඩු ආබාධ යන දෝෂයන්ගෙන් හෝ ශාරීරික වෙනත් අක්රමිකතා මඟින් ශරීර ශක්තිය හීන කරයි. මෙවැනි අයට හිමිවන සහකරු හෝ සහකාරියද බොහෝවිට රෝගී කෙනෙකු වීමට ඉඩ තිබේ. එම කේන්දර හත අධිපතියා දුබල තැනක නම් එය එසේම සිදුවෙයි. කේන්දරයේ සිකුරු 2-7 යන ස්ථානයන්හි නීචව බුධ සමඟ සිටියහොත් විවාහයට ලැබෙන අය රෝගී වෙයි. සෙම් රෝග, මුත්රා දෝෂ, උමතුව වැනි අසනීපයන් ලැබෙන සහකාරයාට හෝ සහකාරියට පහසුවෙන් වැලඳේ. මෙම දෝෂය වැඩි වශයෙන් බලපාන්නේ පුරුෂ පක්ෂයේ කේන්දරවලයි. එයට හේතුවන්නේ පුරුෂ කේන්දරයක ස්ත්රී කාරකවනුයේ සිකුරු බැවිනි. මේ අන්දමින් කරුණු සලකා බලන විට විවාහය යනු ජීවිතයේ අතිශය සුවිශේෂී සන්ධිස්ථානයක් වන බැවින් ඒ පිළිබඳව සැහැල්ලුවෙන් සිතා ඉක්මන්කාරී අනුවණ තීරණයන්ට නොපිවිස, මෙකී බුධ සිකුරු යෝගය මෙන්ම අනෙකුත් ජ්යෙතිෂාංගයන් කෙරෙහිද සැලකිලිමත් වන්නේ නම් යහපත් සාර්ථක ලෞකික යුග ජීවිතයක් ගත කිරීමට වාසනාව උදාකරගත හැකිවනු ඇත.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk