Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ඔබේ ලග්නාධිපතියාත් බලවත් ද?

1 year ago 7 Min read
Subha.lk
ඕනෑම කේන්ද්රයක ලග්න රාශියට අධිපති ග්රහයා ලග්නාධිපති වේ. තවදුරටත් සරල කොට කිවහොත් කොටු දොළසකින් සමන්විත කේන්ද්රයේ පළමු කොටුව ලග්නය වේ. එම ලග්නයට අධිපති ග්රහයා ලග්නාධිපතියා වේ. කේන්ද්රයේ බලය රඳා පවතිනුයේ ලග්නාධිපතියා මතය. ජන්මියා නඟාසිටුවීමට, ජන්මියා ප්රබලයකු බවට පත් කිරීමට ලග්නාධිපතියාගේ බලය අනිවාර්ය වේ. එමෙන්ම ජන්මියා තත්ත්වයෙන් පහත වැටීමට, දුබලයකු වීමට ලග්නාධිපතියාගේ දුබලතාව බලපානු ඇත. ලග්න දොළහට හිමි ලග්නාධිපතියන් මෙසේය. ★ මේෂ ලග්නයට හා වෘශ්චික ලග්නයට කුජ හෙවත් අඟහරු ලග්නාධිපති වේ. ★ වෘෂභ ලග්නයට හා තුලා ලග්නයට ශුක්ර හෙවත් සිකුරු ග්රහයා ලග්නාධිපති වේ. ★ මිථුන හා කන්යා ලග්නයට බුධ ග්රහයා ලග්නාධිපති වේ. ★ කටක ලග්නයට සඳු ග්රහයා හෙවත් චන්ද්රයා ලග්නාධිපති වේ. ★ සිංහ ලග්නයට රවි ග්රහයා ලග්නාධිපති වේ. ★ ධනු ලග්නයට හා මීන ලග්නයට ගුරු හෙවත් බ්රහස්පති ග්රහයා ලග්නාධිපති වේ. ★ මකර ලග්නයට හා කුම්භ ලග්නයට ශනි හෙවත් සෙනසුරු ලග්නාධිපති වේ. යම් ජන්මියකුගේ ලග්නාධිපති ග්රහයා උච්ඡ, ස්වක්ශේත්ර මිත්ර හෝ නීච භංග රාජ යෝග බලයෙන් වේ නම් ලග්නාධිපතියා බලවත් ය. එවැනි ජන්මීන්ට කීර්තිය, ප්රසංසාව, බලය නිතැතින් ලැබෙනවා මෙන්ම ඔවුන්ගේ ශරීර ශක්තිය හා පෞරුෂය බොහෝ ප්රබලත්වයක් ගනී. යම් හෙයකින් ලග්නාධිපතියා සතුරු, සතුරු මුඨ හෝ භංග නොවන නීචයකු වේ නම් එම ලග්නාධිපතියා දුර්වලය. එමෙන්ම ලග්නාධිපතියා 6, 8, 12 වැනි දුෂ්ටස්ථානගත වීම ද ලග්නාධිපති දුබල වන පිහිටීමකි. තවද ලග්නාධිපති මතට වැටෙන අශුභ දෘෂ්ඨි මෙන්ම ලග්නාධිපතියා අස්ථවීද, ග්රහ යුද්ධ ආදියෙන් පැරදී ඇත්ද යන්න මත ලග්නාධිපති දුබල වී යයි. එසේ ලග්නාධිපති දුපල වීම නිසා ජන්මියා පෞරුෂයෙන් හීන පුද්ගලයකු බවට පත් වේ. ජීවිතයේ ඉදිරියට නොවන බියගුළු චරිතයක් පෙන්නුම් කරයි. එමෙන්ම සමාජයේ නරක යැයි සම්මත වැඩවල නිරත වන බැවින් අපකීර්තිය නිතර පැතිරේ. ශරීර ශක්තියෙන් දුබල මොවුන් නිතර ලෙඩ රෝගවලට ගොදුරු වන චරිත වේ. ලග්නාධිපතිට සුභ ස්ථාන ලෙස කේන්ද්රයේ ලග්න භාවය, පස්වැන්න හා නමවැන්න සඳහන් කළ හැක. එමෙන්ම කේන්ද්රයේ 6 වන භාවය, 8 වන භාවය හා 12 වන භාවය ලග්නාධිපතිට සුභ නැත. මෙම පිහිටීම ලග්නයෙන් මෙන්ම සඳුගෙන් වීම ද අශුභය. ලග්නාධිපති සිටින ස්ථානයට දෙපස සුභ ග්රහයන් සිට සුභ කර්තරී වීම මගින් ලග්නාධිපති බලවත් වන අතර අශුභ ග්රහයන් ලග්නාධිපති දෙපස සිට පාප කර්තරී වීම මගින් ලග්නාධිපති දුබල වී යයි. තවද ලග්නාධිපති සුභ ග්රහයන් සමඟ යෝගව සිටීම හෝ සුභ ග්රහයන්ගේ දෘෂ්ඨියට ලක්වීම මගින් ද ලග්නාධිපති බලවත් වේ. නවාංශක කේන්ද්ර්ය මගින් ද ලග්නාධිපතිගේ බල දුබලකම පරීක්ෂා කළ හැක. ලග්න කේන්ද්රයේ ලග්නාධිපති බලවත් වුවද නවාංශක කේන්ද්රයේ ලග්නාධිපති දුබල භාවයෙන් පසු වේ නම් ලග්න කේන්ද්රයේ බලවත්කම හීන වී යයි. එමෙන්ම ලග්නාධිපති ලග්න කේන්ද්රයේ දුබල වුවද, නවාංශක කේන්ද්රයේ බලවත් නම් ලග්න කේන්ද්රයේ දුබලතාව මඟහැරී දුබල තත්ත්වයකට පත්වේ. ලග්නාධිපති බලවත් වන ආකාර පිහිටීම් බොහෝමයක් කේන්ද්රයේ වේ. ඉහත සඳහන් කරුණුවලට අමතරව ලග්නාධිපති යෝගවන භාවාධිපතියා අනුවද එම බලවත්කම පෙන්නුම් කරයි. ප්රබල ලග්නාධිපතියා 11 අධිපතියා සමඟ යෝග වූයේ නම් 11 අධිපතියා ද ප්රබලව පිහිටා ඇත්නම් ඔහු හෝ ඇයගේ ආදායම් මාර්ගය ශක්තිමත් කරයි. එමෙන්ම ප්රභල ලග්නාධිපතියා 5 අධිපතියා සමඟ යෝග වේ නම් එම අධිපතියා ද ප්රබලව පසු වේ නම් ද අදාළ ජන්මියා අධ්යාපනය මගින් උසස් තැනකට යෑමට භාග්ය ලැබේ. ප්රබල ලග්නාධිපතියා 10 අධිපතියා සමඟ යෝග වූයේ නම් එම 10 අධිපතියාත් ප්රබලව පසුවේ නම් ජන්මියාගේ රැකියාව ප්රබල එකක් වනු ඇත. මෙලෙස අනිකුත් භාවාධිපතීන් සමඟ යෝග වීම ද එම අංශයනට අදාළව සුභ ඵල උදා කරයි. එහිදී ලග්නාධිපති මෙන්ම අදාළ භාවාධිපතියා ද ප්රබල තත්ත්වයෙන් පසු විය යුතුය. යම් හෙයකින් ලග්නාධිපති හා භාවාධිපති යන දෙදෙනාම ප්රබල තත්ත්වයේ පසුවුණි නම් එම භාවයෙන් කියවෙන සුභඵල නැති වී අසුභ ඵල ලබා දේ. දෙදෙනාගෙන් ලග්නාධිපති සුභ වී භාවාධිපති අශුභ වුවහොත් අදාළ භාවයේ සුභ ඵල හීන කරයි. තවද ජන්මියාගේ වර්ගකේන්ද්ර ගැන සැලකීමේදී ද ලග්නාධිපතිගේ බලය සඳහන් කළ හැක. ජන්මියාගේ වර්ග කේන්ද්ර කිහිපයකම ලග්නාධිපතියා බලවත් වීම තුළින් පුද්ගලයාගේ බලය දෙගුණ තෙගුණ වී යයි. ලග්නාධිපති සම්බන්ධ වීමෙන් විවිධ යෝග ගණනාවක් නිර්මාණය වන බව ජ්යොතිෂයේ සඳහන් ය. ඒවා අතර ඉෂ්ටබල යෝගය, චාමර යෝගය, ප්රෂකර යෝගය, පරිජාත යෝගය, ලක්ෂ්මි යෝගය, අමලා යෝගය, වාසුමතී යෝගය, අධි යෝගය මුල්තැන ගනී. එමෙන්ම ලග්නාධිපතියා සිටින රාශිය අනුව පලාඵල විවිධ වේ. ලග්නාධිපති ලග්නයේ සිටින ජන්මියා දැඩි උත්සාහවන්ත එම උත්සාහයෙන් බොහෝ දියුණු වන ධනවත්, බලවත් චරිතයක් වේ. ලග්නාධිපති දෙවැන්නේ වේ නම් විවිධ ක්රම උපායන් මගින් ධනය උපයන, එම ධනය හොඳින් යොදවා ජීවිතය දියුණුවට ගෙනියන ප්රබල ධනවතෙක් බවට පත් වේ. මොවුන් සතු තැන්පත් ධනය වැඩිය. ලග්නාධිපති කේන්ද්රයේ 3 වැන්නේ වේ නම් ඔහු හෝ ඇය උත්සහවන්ත මෙන්ම ධෛර්යවන්ත අයෙකි. තම සහෝදරයන් වෙනුවෙන් නොයෙකුත් කැපකිරීම් කරන සහෝදරයන්ගෙන් කිසිවක් බලාපොරොත්තු නොවන අය වේ. ලග්නාධිපති කේන්ද්රයේ 4 වැන්නේ වේ නම් ඔහු හෝ ඇය ගුප්ත විiාවට බොහෝ දස්කම් පෙන්වයි. එමෙන්ම යාන වාහන, වතුපිටි ආදිය ලබන අතර, මේවා ලැබීමට ප්රමාදය අති වේ. ජීවිතයේ මුල් කාලයට වඩා මොවුන්ට මේවා ලැබෙනුයේ ජීවිතයේ අග භාගයේදී ය. ලග්නාධිපති ජන්ම කේන්ද්රයේ 5 වැන්නේ වේ නම් එම ජන්මියා අධ්යාපනයෙන් දියුණු වන අතර, දරුවන් සිටින කලක එම දරුවන් ද හොඳින් හැදෙන සමාජයට වැඩදායී යහපත් දරුවන් වන පිහිටීමකි. ලග්නාධිපති 6 වැන්නේ වීම සුභ නැත. නිතර රෝගී වීම අනුන්ගේ බැලමෙහෙවර කිරීම, බලාපොරොත්තු කඩවීම, දියුණු වීමට හෝ තමන්ගේ බලාපොරොත්තු ඉටුකර ගැනීමට බොහෝ වෙහෙස මහන්සි විය යුතුයි. ලග්නාධිපති 7 වැන්නේ වීමෙන් ජන්මියා ප්රේමයට ආදරයට බොහෝ කැමැති පුද්ගලයෙක් බවට පත් වේ. මීට අමතරව මොවුන් උසස් පුද්ගලයන්ගේ ඇසුර ලබන අතර වාසනාවන්ත ජීවිතයකට උරුමකම් කියයි. ලග්නාධිපති 8 වැන්නේ පිහිටීම එම පුද්ගලයාගේ සෞඛ්යයට අහිතකර ආකාරයට බලපාන පිහිටීමකි. තමන්ගේ ජීවිතය යහපත්කර ගැනීම මෙන්ම අයහපත් කර ගැනීමත් තමා සතු වේ. ලග්නාධිපති 9 වැන්නේ වීම ඉතා සුබඵල ගෙන දෙන පිහිටීමකි. ධාර්මික ජීවිතයක් ගෙවන මොවුන් වයසට යත්ම ගෞරවණීය පුද්ගලයන් බවට පත් වේ. උසස් තනතුරු මෙන්ම පිය පාර්ශ්වයෙන් උරුම වන දේපළ ද නොඅඩුව ලබයි. ලග්නාධිපති 10 වැන්නේ වීම ද යහපත් පිහිටීමකි. තමන්ගේ සිතැඟි ඒ ආකාරයෙන්ම ඉටුවන අතර රැකියාව ද උසස් එකක් වේ. දියුණු වන චරිතයකි. ලග්නාධිපති 11 වැන්නේ වීමද යහපත් ය. මොවුන්ට ආර්ථික අපහසුතා නැති තරම් ය. සිතුම් පැතුම් ඉටුවන චරිත වේ. බොහෝ දෙනාගේ හිත මිතුරුකම් ලැබේ. දෙයක් කිරීමේදී සැමගේ කැමැත්ත නොඅඩුව ලැබේ. ලග්නාධිපති 12 වීම අයහපත් පිහිටීමකි. මොවුන්ට ලැබෙන ආදායමට වඩා වියදම වැඩිය. විවිධ දුක් කරදරවලට මුහුණපාන මොවුන් බොරු චෝදනාවලට මෙන්ම බොහෝ දෙනාගේ වෛරයට ද භාජනය වේ. රහස් ගුප්ත ජීවිතයක් ගෙවන මොවුන්ගේ මුළු අනාගතයම අඳුරු විය හැක. ලග්නාධිපති එක් එක් රාශියේ සිටීමේ ඵලාඵල මෙසේ වුවද පලාඵල පැවසීමේදී සැලකිලිමත් විය යුතුයි. ඉහත සඳහන් පලාඵල එසේම පැවසීම බොහෝ විට වැරදි වීමට පුළුවන. පලාඵල පවසන ජන්මියාගේ කේන්ද්රයේ ලග්නාධිපති එම කේන්ද්රය තුළ බලවත් ව එනම් උච්ඡ, ස්වක්ෂේත්ර, මිත්ර හෝ නීච භංග රාජයෝගයක සිටී නම් පමණක් උක්ත සුබඵල ලැබෙනු ඇත. මෙයට අමතරව ලග්නාධිපති ග්රහයා සුභ කර්තරී වී, සුභ දෘෂ්ඨි වැටී අස්ථ නොවී, ග්රහ යුද්ද ආදියෙන් නොපැරදී සිටිය යුතුයි. තවද භාව කේන්ද්රය තුළ ලග්නාධිපති මුල් අංශයක පසු වේ නම් එනම් භාව ආරෝහන නම් ඉහත සුබඵල නොඅඩුව ලැබේ. එහිදී ලග්නාධිපති 6, 8, 12 ක වී සිටී නම් ඉහත සඳහන් අශුභ ඵල අවම වී යනු ඇත.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk