පලාපල කීමේදී ප්‍රවේශමෙන්...
සති අන්ත මෙන්ම දිනපතා පළවන බොහෝ පත්රවල පසුගිය සතියේ ලග්න පලාපල පළකරනු ලැබිණි. එවැනි පුවත්පතක පළ කර තිබූ පලාපල අදහාගත නොහැකි තරම් වූයේ ලග්න දොළහටම බරපතළ අපල ඇති බව කියා තිබූ බැවිනි. එපමණක් නොව ඒ පලාපල කියවූ කෙනකු දැඩි මානසික කම්පනයකට ගොදුරු වූයේ නම් පුදුමයක් නොවේ. එහි තිබූ වාක්ය එතරම් ම බරපතළය.
තදබල රෝග හටගනී. තද අසනීප හටගනී. ධන හානි ඇති වේ. මේ වසර අවාසනාවන්තය. ධනය විනාශ වී යයි. ගෙදර එපා වෙයි. කරන කියන කටයුතු බිඳවැටේ. මේ වසර ඔබට අසුබය. බලාපොරොත්තු රහිත අනතුරු සිදු වේ. බංකොලොත් වේ. චෝදනාවලට හසු වේ. මුළු ලිපියම හෙවත් ලග්න සියල්ලම පාහේ මෙවැනි වාක්ය වලින් සමන්විත විය. මේ අනුව ශ්රී ලංකාවාසී සමස්ත ජනතාවටම අපල ඇතිවිය යුතුය. එහෙත් මේ පලාපල විස්තරය යථාර්ථවත් නොවේ. අසන්නා නොමඟ යවන සුළු හා ආත්ම විශ්වාසය බිඳ දමන සාප කිරීම් ඊට ඇතුළත් බව පෙනේ.
පත්රවල පමණක් නොවේ. ජ්යොතිෂ ශාස්ත්රඥයන් යැයි කියාගන්නා බොහෝ අය ද කියන දේ වලින් සේවාදායකයා ඉමහත් අපහසුතාවනට පත්වන බව අසන්නට ලැබේ. උසස් පෙළ ජීව විද්යා අංශයෙන් විභාගයට පෙනී සිට සමත් වූ ශිෂ්යාවක් හා මවක අපගෙන් සේවය ලබා ගැනිමට මුලින්ම පැමිණියේ එක්තරා අනාවැකියක් නිසා ය. “ඔය ළමයට කවදාවත් ජීව විද්යාව කරල විශ්වවිද්යාලෙට යන්න බෑ” යනුවෙන් ඇයගේ හඳහන බලා කියා ඇත. මේ අනාවැකිය අසන විට ඇය පළමුවර විභාගයට පෙනී සිටි ශිෂ්යාවකි. අනාවැකිය අනුව නම් ඇයට දෙවැනි වර විභාගයට පෙනී සිටීමට ශක්තියක් නොලැබේ.
මෙවැනි කියමන් නිසා බොහෝ මාපියන් කේන්ද්ර පරීක්ෂා කිරීමට පැමිණෙන විට තරුණ දූ දරුවන් කැඳවාගෙන එන්නේ නැත. දරුවාගේ හිත රිදේ දැයි බියක් ඔවුන් තුළ පවතී.
‘තමුසෙට කවදාවත් කසාදයක් කරගන්න ලැබෙන්නෙ නෑ. ළමයි කොහොමත් හැදෙන්නෙ නෑ. පුළුවන් නම් කසාදයක් බැඳල ළමයෙක් හදල පෙන්නනව’ මේ වූ කලී අප හිතවතෙකුගේ කේන්ද්රය බලා ජ්යොතිෂ්ශාස්ත්රඥයකු කියූ අනාවැකියකි. අනාවැකියක් පමණක්ද? එහි අභියෝගයක් ද තිබේ. මෙම අනාවැකියට හේතුව ලෙස ඔහුට පෙන්වා ඇත්තේ කෙන්ද්රයේ තිබූ ‘කාලසර්පයෝගයක්’ හා ‘කලත්ර’ දෝෂයකි. එහෙත් අප හිතවත් මිතුරා මේ වන විට දරුවන් දෙදෙනකුගේ පියෙකි. දයාබර සැමියෙකි.
ජ්යොතිෂ පංති බිම්මල් පිපෙන්නාක් මෙන් බිහිවන මෙකල මාස හයෙන්, අවුරුද්දෙන් සහතික ලත් ජ්යොතිර්වේදීන් බිහිකෙරේ. ජ්යොතිෂ පොත්පත් වෙළෙඳසලකින් මිලට ගත හැකිය. එසේ වුවද ජ්යොතිෂය පිළිබඳ වෘත්තීය දැනුම මේ තුළින් නොලැබේ.
අප ගුරුවරයකු මෙන්ම සිය ගණනක් ජ්යෝතිර්වේදීන් බිහිකළ ලිත් කතුවරයකු වූ ඇස්. ඩබ්. කස්තුරිරත්න මහතාගේ ‘හඳහන’ නම් ග්රන්ථයේ ජ්යොතිෂ්ශාස්ත්රඥයාගේ බලය ගැන මෙසේ ලියා තිබේ. ‘දක්ෂ විචක්ෂණ ජ්යොතිෂ් ශාස්ත්රඥයකුගේ දසතුරින් පිටවන සාරවත් කියමන් නිසා මහජනයා වශී වන්නේ දිව්ය මන්ත්රයටත් වඩා බලවත් ලෙසය. කොතරම් පාප ග්රහයකුගේ වුවත් අගුන මකා දමන ශුභ දෘෂ්ටි ආදිය සොයා ගනිමින්, ලබන්ට යන පාප දශාවකට අස්ථාන භයෙන් මිරිකී සිටින්නකුගේ කොතරම් අමිහිරි උපහාසයක් වුවත් පහව යන ලෙස ස්වකීය වාග් රසයෙන් රසවත් කොට දක්වා සනසවන බැවින් එයට ආශා නොකරන, කන් යොමු නොකරන කිසිවෙක් මේ මිහිපිට නැත.’
මෙයින් කියැවෙන්නේ කුමක්ද? අපලයට බය වී සිටින කෙනකු ජ්යොතිෂ්ශාස්ත්රඥයකු විසින් සනසවන ආකාරයයි. ඊට හේතුව අශුභ ග්රහ බලපැම් මෙන්ම ඒ අශුභ මකා දමන ශුභ ග්රහයන් ද සිටීමයි. කේන්ද්රය අනුව අපල ඇතැයි ද, කරන කියන දේ සාර්ථක නොවේ යැයි ද දැන ගැනීමෙන් කෙනෙකුට වන යහපත කුමක්ද? එයින් වන්නේ පුද්ගලයාගේ ධෛර්යය හීන වීම නොවේද?.
මෙවැනි කියමන් නිසා ජ්යොතිෂයට වන අගතිය මෙතකැයි කිව නොහැකිය. ‘ඔය ළමයි හොඳට පාඩම් කරන්න. හිතට ධෛර්යය අරගන්න. ඔක්කොටම මුල හිත තමයි. මට පුළුවන් කියල හිතන්න. ඔය මිථ්යා මතවලට රැවටෙන්න එපා. සෙනසරු අපල, රාහු අපල, ඇස්වහ, කටවහ, රාහු කාලය ඕව ඔක්කොම බොරු කතා. මිථ්යා විශ්වාස. ඒවට රැවටෙන්න එපා.’
මේ එක්තරා ජාතික පාසලක උසස් පෙළ සිසුන් හා මාපියන් අමතා සිංහල විෂය ඉගැන්වූ පංතිභාර ගුරුතුමිය කළ කථාවකි. මෙහි ඇත්තේද යථාර්ථය නොවේ. එය සර්ව ශුභවාදී අදහස්වලින් නොදන්නා දේ මිථ්යා විශ්වාස යැයි කීමට ගත් උත්සාහයකි. අද බොහෝ දෙනකු මෙවැනි අදහස් දරන බව පෙනේ.
ජ්යොතිර්වේදියා ද වෛද්යවරයාද, වෘත්තීය අතින් බොහෝ සමානකම් දරයි. ඇත්ත වශයෙන්ම පැරැණි වෙදැදුරෝ රෝගීන් සුවපත් කිරීමට ජ්යොතිෂය ද යොදා ගත්හ.
රෝගියකු පරීක්ෂා කරන එක්තරා වෛද්යවරයෙක් ‘ඔබට කිසිම රෝගයක් නෑ කියලා හිතාගන්න. හිතට ගන්න එපා.
ගණන්ගන්න එපා. සතුටින් ඉන්න. එච්චරයි.’ යනුවෙන් පවසයි. මේ අනුව රෝගියා රෝගය උත්සන්න වීමෙන්ම මියයනු ඇත.
තවත් වෛද්යවරයෙක් රෝගියා පරීක්ෂා කර බලා ‘ඔබේ රෝගය බරපතළයි. දැං හොඳටම අසාධ්ය වෙලා.
ජීවිතේ කෙළවර වෙන්නයි යන්නේ කරන්න දෙයක් නෑ.’ යනුවෙන් පවසයි. මේ රෝගියා රෝගය උත්සන්න වීමෙන් නොව එයට බියට පත්වීමෙන්ම මියයනු ඇත. මෙවැනි වෙද්යවරුන්ගෙන් රෝගී ජනතාවට වන යහපතක් නැත. තවත් උගත් වෛද්යවරයෙක් රෝගියා පරීක්ෂා කර මෙසේ කියයි.
‘ඔබට රෝගයක් තියෙනවා. ඒක සනීප කරගන්න පුළුවන්. බයවෙන්න එපා. මම දෙන බෙහෙත් පාවිච්චි කරන්න. මම කියන විදිහට ආහාර ගන්න. ඉක්මනින් සනීප වෙයි.’ ජනතාවට වුවමනා කරන්නේ එවැනි වෛද්යවරුන් ය. එමෙන්ම එවැනිම ජ්යොතිර්වේදීන් ය.
සැබෑ ජ්යොතිර්වේදියා කේන්ද්රයක හඳුනාගන්නා ශනි ඒරාශ්ටක අපල හෝ වෙනත් ඕනෑම අපලයක් ගැන කියා සේවාදායකයා බියට පත් කළ යුතු නොවේ. කළ යුතු වන්නේ ඒ අපලයෙන් සිදුවිය හැකි කරදර බාධක මඟහැරවීමට සදුසු ක්රියාමාර්ග ගැනීමට උපදෙස් දීමයි.
රෝගියාට රෝගය ගැන අවබෝධයක් ලබා දී ඖෂධ ලබාදීමෙන් රෝගය සුවපත් කරන්නාක් මෙනි. රාහු අපලයක් ඇති කෙනකුට මෙසේ පලාපල කිව හැකිය.
‘ඔබට රාහු අපල ලබලයි තියෙන්නේ. ඔළුව නැති ග්රහයනේ. වැඩක් නැති ගමන් යයි. සල්ලි නාස්ති කරයි. තැන් තැන්වල ඇවිද්දවයි. බඩේ අමාරුත් එක්ක ඔළුවෙ කැක්කුම එයි. රා අරක්කු බොන්න දුම් බීමට හුරුවෙන්න පුළුවන්. ඉගෙනීම කඩාකප්පල් වෙන්නත් පුළුවන්. අපලෙ තදයි.’
රාහු අපලයේ හැටි එහෙම නමුත් මේ කියමන ධනාත්මකව ද කිව හැකිය. ඒ මෙසේය. ‘රාහුගේ අපලෙට හිතේ කැළඹිලි ගතිය, නොසන්සුන් ගතිය ඇතිවෙන්න පුළුවන්. අදූරදර්ශී බවකුත් ඇතිවෙන්න පුළුවන්. මේ නිසා වැදගත් තීරණයක් ගන්න හැම වෙලාවෙම විශේෂ දැනුම ඇති කෙනකුගෙ උපදෙස් ගන්න. කාලසටහනකට වැඩ කරන්න. භාවනාවක් කරන්න. එතකොට හිත එකතැන් වෙයි. තෙම්පරාදු කෑම අඩුකරන්න. තනි තීරණ ගන්න කොට වරදින්න පුළුවන් ප්රවේශම් වෙන්න. ආගමික ජීවිතයක් ගත කරන්න.’
තද අපල තිබූ ශිෂ්ය ශිෂ්යාවන් කේන්ද්රය අනුව අපලවලට ශාන්තිකර්ම කිරීමෙන් හා ජ්යොතිර් විද්යාත්මක උපදේශනය මගින් උසස් ලෙස විභාග සමත් වී තිබේ. ජ්යොතිෂය පදනම් කරගත් උපදේශනය මගින් බොහෝ ජීවන ගැටලු විසඳා දිය හැකිය. එවැනි ජොතිර්වේද මහතකුගේ සේවය ලබා ගන්න. සාප කරන අය මඟහරින්න. ජ්යොතිෂය ප්රශ්න හඳුනාගැනීම සඳහා පමණක් නොවේ, විසඳා ගැනීමට ද එමගින් ලැබිය හැකි පිටිවහල මෙතෙකැයි කිව හැකි නොවේ.