Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

දුකට අධිපති සෙනසුරු ඔබ ඉන්නේ කොතැනද?

1 year ago 7 Min read
Subha.lk
ජීවිතයේ අතිමහත් දුක්ඛිත ස්වභාවය අප බුදුපියාණෝ ධර්මය තුළින් දේශනා කර වදාළහ. උපන් වයස අවු. විසිනවයේදීම මෙම සුරංගනා ලෝකයේ කටුක දුක්ඛිත ස්වභාවය තේරුම් ගත් එදා ගිහි නාමයෙන් වන සිද්ධාර්ථ කුමාරයාණෝ සියලු සම්පත් අත්හැර අභිනිෂ්ක්රමණය කොට පැවිදි වූහ. ලෞකික ලෝකෝත්තර වශයෙන් ජීවිතය කොටස් කරමින් ඒ දෙකේදීම දුක ඇතිවන බවත් දුක ඇතිවීමට හේතුවත්, දුක නැති කිරීමේ මාර්ගයත්, නිර්වාණය ගැනත් දේශනා කර වදාළහ. අප බුදුපියාණන් වහන්සේ තරම් ජීවිතයේ පවතින අස්ථිර ස්වභාවය හා දුක්ඛිත තත්ත්වය පෙන්වා දුන් ශාස්තෘන් වහන්සේ කෙනෙක් නැත. එසේ නම් ජ්යොතිෂ විද්යාව අනුව ඒ ආකාරයෙන් පෙන්වා දුන් ජීවිතයේ පවතින අස්ථිර හා දුක්ඛිතභාවය විග්රහවන්නේ කුමන ග්රහ තත්ත්වයක් අනුවද යන්න සොයා බලමු. ජ්යොතිෂමය න්යාය අනුව සෙනසුරු හා ගුරු ලෝකෝත්තර ග්රහයන් වශයෙන් වෙන්කර ඇත. මෙයින් ගුරු ජීවිතයේ පවතින දුක්ඛිත තත්ත්වයෙන් මිදීමට මග පෙන්වන ප්රධාන ග්රහයා බව පෙන්වා ඇත. මනුෂ්යයාගේ අකුසල කර්ම විපාක දෙන අවස්ථාවලදී පිහිට ලබා දෙන්නේ ද ගුරු ග්රහයාමය. සෙනසුරු පෙර ආත්මවල තමන් කරන ලද අකුසල කර්මවල විපාක නොඅඩුව ජන්මියාට ලබා දෙනු ඇත. එය මෙලොව උපත ලබන මොහොතේ සිට ලබා දෙනු ඇත. උපත ලබන මොහොතේ කුඩා බිළිඳා වුවත් ඒ ගැන නොබලා දුක ලබාදී ජීවිතය අකර්මන්ය කිරීම සෙනසුරුගේ සිරිත වේ. විශේෂයෙන් කේන්ද්රයේ 1, 2, 4, 5, 7, 8, 9, 10, 12 යන භාවවලදී සෙනසුරුගේ මෙම ක්රියාවලිය තදින් ක්රියාත්මක වේ. මෙහිදී උපතින් චන්ද්රයාගෙන් මෙම භාවවලට ගෝචරවීමද එය ජන්ම ඒරාෂ්ඨකය වශයෙන්ද, තවත් ආකාරයකින් ලග්න ඒරාෂ්ඨක කාලය වශයෙන් ද, තවත් ආකාරයකින් අෂ්ඨම ඒරාෂ්ඨකය වශයෙන්ද මෙවැනි විවිධ කාල පරාස ඔස්සේ මනුෂ්ය ජීවිතය පිළිබඳ අස්ථිර දුක්ඛිත තත්ත්වය විදහා දක්වනු ඇත. එය කිනම් ආකාරයෙන් සිදුවන්නේද යන්න කේන්ද්රයේ පළමු භාවයේ සිට බලමු. සෙනසුරු උපතින් ලග්නයේ නම් යම් අයකු උපදින විට සෙනසුරු ලග්නයේ නම් එම ලග්නයෙන් 8 වැන්න මවට හිමිව පැවතුන හොත් එම මොහොතේ දරු ප්රසූතියේදී පවා දරුවාටත් මවටත් ඉතාම අසුබ දායක වේ. දරුවාගේ ලග්නයෙන් අටවැන්න මවට හිමි වුවහොත් ඒ මොහොතේ දරුවාගේ ලග්නයේ සෙනසුරු මවගේ රෝගස්ථානයේ ගෝචර වී ඇත. මේ අනුව දරුවාටත් මවටත් දෙදෙනාගේම ජීවිතයේ අස්ථාවරය හා දුක රෝග පිරී පීඩනයට පත්වනු ඇත. මවු කුසින් බිහිවන දරුවා ක්රමයෙන් රෝ දුක් මධ්යයේ වැඩෙන විට අවට පරිසරය වටහා ගන්නා වයස අවු. 17, 18 වන කාලසීමාවේදී මෙවැනි දරුවෝ මහණවීමට ආසාවෙන් කටයුතු කරති. සෙනසුරු සමග චන්ද්රයාද ලග්න ගතවී සිටියේ නම් දරුවාට මහණවීම ස්ථිරවම සිදුවේ. එසේ නැත්නම් ජීවිතය ඉතාම දුක්ඛිත වේ. මෙම ග්රහ පිහිටීම මත එවැනි දරුවෝ ජීවිතයේ අස්ථාවර බව වටහාගෙන උසස් අන්දමින් මහණදම් පුරති. උපතින් සෙනසුරු දෙවැන්නේදී උපතින් සෙනසුරු දෙවැන්නේ සිටීම දුක කර තබාගෙන පැමිණීමකි. සම්පූර්ණ ගෘහ ජීවිතය දිළිඳු බවින් පෙළුන දුක්ඛිත ජීවිතයකි. ධනු, මකර, කුම්භ, ලග්න හිමියන්ට මෙය සාමාන්ය වුවත් මානසික පීඩනය මත ඇතිවන දුක නිවාලිය නොහැක. උපතින් චන්ද්රයාද, දෙවැන්නේ යෙදී සිටියේ නම් ගෘහ ජීවිතයේ ඉතිරි වන්නේ අස්ථිර ශරීර කූඩුව පමණකි. කටුක වූ රෝග තත්ත්වයන් සැමදා ඇතිවේ. උපතින් සෙනසුරු තුන්වැන්නේදී උපතේදී සෙනසුරු තුන්වැන්නේ යෙදීම සුබදායක බව ජ්යොතිෂයේ පෙන්වයි. නමුත් එසේ සුබදායක වන්නේ හරක් ඝාතකයාට, වංචාකාරයාට, දූෂිතයාට, පස් පවේ හැසිරෙන්නාට නොවේ. ජීවිතයේ අස්ථාවරභාවය හා දුක හඳුනාගෙන යහපත් ගමනේ යෙදෙන පුද්ගලයාට පමණය. එවැනි පුද්ගලයා සමාජයේ උසස් තැනකට යොමුවේ. නමුත් ඒ යන ගමනේ දුක නමැති බාධාවන් ඔස්සේ ඉදිරියට යාමට පුළුවන. උපතින් සෙනසුරු සිව්වැන්නේදී උපතින් සෙනසුරු සිව්වැන්නේ යෙදෙන ජන්මියාට පදිංචි ස්ථානය ආශ්රිත ගේ දොර, ඉඩකඩම්, නෑදෑයන් ඇතුළු සියල්ල දුකටම හේතුවේ. සඳු සිව්වැන්නේ හෝ තුන්වැන්නේ පස්වැන්නේ යෙදී සිටීනම් ඉතාම දුක්ඛිත තත්ත්වයක් උදාවේ. අවසානයේ සියලු දේ අතහැර දමා මහණ දම් පිරීමට පවා සිත යොමුවේ. පදිංචි ස්ථානය ආශ්රිත නෑදෑ විරුද්ධතා, නිවසේ අඩුපාඩු, අසමගිය, දිලිඳුභාවය, ආදී ගැටලුවලින් පිරී පැවතීම හේතු කොටගෙන දුකෙන් පිරි අස්ථිර ජීවිතය මෙවැනි අයට එපා වේ. යථාර්ථය තේරුම් ගෙන මහණ දම් පිරීම හරියට කළොත් මේ පුද්ගලයා එලොව මෙලොව දෙකම ජය ගනී. උපතින් සෙනසුරු පස්වැන්නේදී සෙනසුරු උපතින් කේන්ද්රයේ පස්වැන්නේ යෙදීම හොඳ නරක දෙකම සිදුවීමට හේතුවේ. ස්ත්රීන්ගේ දරු පල හීන කිරීම හෝ නැති කිරීම නැති නම් දරුගැබ් හිරකර දුක් කරදරවලට පැමිණවීම, සිදුකරනු ඇත. කෙසේ නමුත් මෙයින් පෙන්වා දෙනු ලබන්නේ ජීවිතයේ පවතින දුක හා අනිත්යතාවය විදහා දැක්වීමය. උපතින් සෙනසුරු හය වැන්නේදී උපතින් සෙනසුරු හයවැන්නේ සුබ බව ජ්යොතිෂ මතය වී ඇත. නමුත් රෝගයක් හටගත් විට එය මුළු ජීවිත කාලයම පවතිමින් අධික වශයෙන් දුක්ඛිත තත්ත්වයකට යොමු කරනු ඇත. විශේෂයෙන් වාත රෝග නිසා අතපය දුර්වල කිරීම සෙනසුරුගේ බලපෑමයි. උපතින් චන්ද්රයා ද හයවැන්නේ සිටී නම් තද මානසික පීඩනයකට ලක්වේ. උපතින් සෙනසුරු හත්වැන්නේදී කේන්ද්රයේ සෙනසුරු උපතින් හත්වැන්නේ යෙදීම ද සුබ බව ජ්යොතිෂ මතය වී ඇත. ඉක්මන් විවාහයක් නොවී එහි කටුක ස්වභාවය හැඳින ගෙන වයස 35, 40 පමණ කාලයේදී විවාහය සිදුකරලීම සෙනසුරු 7 වැන්නේදී කරන කාර්යභාරයයි. නමුත් මෙහිදී විවාහවීමෙන් පසුව දරුපල නැතිවීම හෝ වෙනයම් රෝගාබාධයක් සම්බන්ධව හෝ දුක් සහිතවීම නම් වැලැක්විය නොහැක. සෙනසුරු අටවැන්නේ ගෝචර වූ අවස්ථාවක එම තත්ත්වයට මුහුණ දෙනවාමයි. උපතින් සෙනසුරු අටවැන්නේදී ජීවිතයේ පවතින අස්ථිරභාවය හා ජාති ජරා, මරණ, ශෝක, පරිදේව ආදී අතිශය දුක්ඛිත තත්ත්වය පෙන්වා දෙන අටවැන්න සෙනසුරුගේ කටුකම ස්ථානය වන්නේය. ජන්මියාගේ පෙර පව් පලදෙන විපාක දෙන කේන්ද්රයේ අටවැන්නේ උපතින්ම සෙනසුරු පිහිටීම විශේෂයෙන් බල රහිතව සිටීම මුළු ජීවිත කාලයම දුක්ඛිත අවාසනාවන්ත වීමට හේතුවේ. අංශභාග රෝගය සෙනසුරුගේ නියම ක්රියාකාරිත්වය වන අතර අවුරුදු ගණන් ලෙඩ ඇඳේ එක්තැන් කර දුක්ඛිත ජීවිතයකට පත්කිරීම සිරිත වන්නේය. දුප්පත් පොහොසත් නොබලා මෙය සෙනසුරු කරන්නේය. උපතින් සෙනසුරු නවවැන්නේදී සෙනසුරු නවවැන්නේදී අසුබ නැත. දියුණුවක්ද නැත. ලෞකික ආශාවන් නැත. එනිසා දියුණුවට උත්සාහ නොගනී. සියලු දේ අනිත්ය බව ඉක්මනින් වටහාගෙන කටයුතු කරයි. තිබුණොත් කයි. නැත්නම් නිශ්ශබ්දව සිටී. කුසගින්න හුරුය. සියලුම පැතිවලින් දුක ගලා යන ආකාරය දැකීමෙන් තමන් ද දුක් වේ. ශෝක වේ. ගෘහ ජීවිතය, යන එන මග තොට, ආරෝග්යශාලාව නාගරික ජීවිතය, ගම්බද දිලිඳු ජීවිත, මත්පැන් හා සොරකමට වංචාවට යෙදෙන අය මේ සියලු අංශ කෙරෙහි දැකීමෙන් අස්ථිර දුක්බර ජීවිතයේ යථාර්ථය පැහැදිලි වේ. උපතින් සෙනසුරු දස වැන්නේදී උපතින් සෙනසුරු දස වැන්නේ යෙදීම ද එතරම් සුබ බවක් නොපෙනේ. කරන රැකියා අස්ථාවරවීම, අවනම්බුව දෝෂාරෝපණය නිතර සිදුවීම, රැකියාවක් නොමැතිවීම, අන් අයගේ බැලමෙහෙවර කර සුළු මුදලක් ලබාගැනීම මෙවැනි දේවලට ලක්වීමෙන් දුක හා මානසික පීඩනය නිතර ඇතිවේ. 10 වැන්න තුලාව වීමෙන් මකර ලග්නය හිමියාට තරමක් සුබවාදී වේ. උපතින් සෙනසුරු එකොළොස්වැන්නේදී උපතින් සෙනසුරු එකොළොස්වැන්නේ යෙදුනේ නම් එය පෙර ආත්මයේ දානපතියෙක් වශයෙන් පිං දහම් කටයුතු හොඳින් කළ අයෙකි. මේ මනුෂ්ය ආත්මයේ සුගතිය කරා යාමට සාධාරණ ආදායම් මාර්ග වලින් මුදල් ලාභ ලැබේ. එය වැරදි මඟට වියදම් නොකර යහපත් ජීවිතයකට යොමු කිරීමට සෙනසුරු එකොළොස් වැන්නේදී සිත් යොමුකරවනු ඇත. නැති බැරි දුක්ඛිත අය දුටු විට මෙවැනි අයට හද උණුවීම තදින් සිදුවේ. උපකාර කිරීමට ද ඉදිරිපත් වේ. මෙවැනි දේවලින් මෙම පුද්ගලයෝ ජීවිතයේ අඳුරු ස්වභාවය හොඳින් දකිති. සෙනසුරු දොළොස්වැන්නේදී දොළොස්වැන්න සෙනසුරුගේ ක්රියාවලියට එනම් නැති කිරීමට හොඳම ස්ථානය වේ. ගේ දොර ඉඩකඩම් මිල මුදල් සියල්ල විනාශ කර හැකි නම් අත පයත් නැති කර මුල්ලකට ඇද දැමීම සෙනසුරු 12 වැන්නේදී කරනු ඇත. තුලා මකර කුම්භ ලග්න හිමියන් තරමක් ආරක්ෂා කරනු ඇත. පෙර ආත්මවල කරන ලද සොරකම් කිරීම, වංචාව, අනුන්ගේ ඉඩම් තමන් සතුකර ගැනීම, දෙමාපියන්ට වද හිංසා පමුණුවා දේපළ අයිතිකර ගෙන ඒවා විකුණා කෑම මේ ආදී පාප කර්මවල ප්රතිඵල සෙනසුරු 12 වැන්නේදී දෙනු ඇත. මේ අනුව ජීවිතයේ පවතින දුක ඔහුට වැටහෙනු ඇත. මේවා දැක දැක ජීවිතයේ මොන සැපක්ද? යන්න ඔබට වැටහිය යුතුය. එසේ නම් ජීවිතයේ පවතින අස්ථිරතාවය වටහාගෙන දුක්ඛිත තත්ත්වයෙන් යාන්තමින් හෝ මිදී යහපත් ලෙස ජීවිතයේ අවසානයට මෙසේ ජීවිතය ගෙන යන්න. අනුන්ගේ සැපතට ඊර්ෂ්යා නොකර පස් පව්වලින් වැළකී උසස් පදවි ලැබීමට කේලාම් නොකියා, බොරු නොකියා, කළ ගුණ සලකමින් යහපත් ජීවිතයක් ගත කරන්න. නැතිනම් කවදා හෝ දුක්වලින් පිරී අස්ථාවර ජීවිතය සෙනසුරුගේ ග්රහණයට තදින්ම අසුවේ.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk